ගෝනා දඩයක්කාරයින්ගෙන් හැංගුණා. දඩයක්කාරයෝ ඌ අහලින් යන්න ගියාම ඌ මිදි කොළ න්න ගත්තා.

දඩයක්කාරයන්ගේ නෙතට වැටුණා මිදි කොළ හෙලවෙන බව. ඒගොල්ලෝ:

"මෙතන කොළ අස්සේ ඉන්නේ සතෙක්වත් දැයි" යි හිතලා වෙඩි තිබ්බාම ගෝනාට තුවාල වුණා.

ඌ පණ අදිමින් කිව්වා;

"මාව බේරා ගත්ත කොළ කන්න ගියාට මට හොඳ පාඩම"

අනුවාදය :රූපසිරි පෙරේරා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ
කකුල් නැතත් පොළව උඩින්
තටු නැති මුත් අහස මැදින්
වරල් නැතත් මුහුද උඩින්

ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ


පාර වැරදුනොත් විතරයි
ගිය තැනටම අපි එන්නේ
ඒ නැත්තං කවදාවත්
ගිය තැනකින් නෑ එන්නේ
ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ


අන්තිමේදී කුණු ගොඩටයි
වැඩි හරියක් අපි යන්නේ
පොත් පිටුවල අලවාලා
ඇල්බම්වල පුරවාලා
ටික දෙනෙකුට විතරයි නේ
කවුරුන් හරි රැකගන්නේ

ලෝකෙ වටේ අපි යන්නේ
එක පාරයි ගුටි කන්නේ

-කේ. කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
එකමත් එක කාලෙක ගසක පුංචිම පුංචි කොළයක්, සුසුම් හෙලමින් අඬනවා ඒ ගහේම රිකිල්ලකට ඇහුණා. තද හුළඟක් සමග කුණාටුවක් හමද්දි කොළ දළු ඇඬුවත්, නිකරුණේ නොහඬන නිසා රිකිල්ල පුංචි කොළයෙන් මෙහෙම ඇහුවා....

”මොකද්ද ප්‍රශ්නෙ පුංචි යාළුවේ ?”

හුළඟ මට මේ දැන් කීවා, කවදහරි දවසක එයා මාව ගහෙන් වෙන්කරලා බිමට දානවා කියලා”.... පුංචි කොළය ගොඩක් දුකෙන් රිකිල්ලට උත්තර දුන්නා.

රිකිල්ල ඒ කතාව ඒ වෙලේම ගහේ අත්තකට කීවා. අත්ත ඒක මුළු ගහටම කීවා. ඒ කතාව ඇහුණ ගහ, සර සර හඬින් මුළු ගහම හොලවලා, පුංචි කොළයට මෙහෙම කීවා....

”බයවෙන්න එපා පුංචි කොළය. ඔයා ගහ හයියෙන් අල්ලගෙන ඉන්න. එතකොට ඔයාට මගෙන් වෙන් වෙන්න ඕනෑ වෙනකල්, කාටවත්ම බෑ ඔයාව බලෙන් වෙන් කරන්න.”
ඒ කතාව ඇහුණට පස්සෙ පුංචි කොළය, සුසුම් හෙළමින් ඇඬීම නතර කළා. ඒ වෙනුවට එයා තාමත් පිහාටු නොයිඳුනු, කැදැල්ලෙන් එළියට යන්නට බැරි කුරුළු පැටවුන්ට ලස්සනට සිංඳු කීවා.

සමහරක් වෙලාවට ගහ එයාගේ කොළ යාළුවෝ, අතු ඉති, රිකිලි එක්ක, එහාට මෙහාට තාලෙට හෙලවෙනකොට, පුංචි කොළයත් කවමදාවත් කාටවත්ම එයාව ගහෙන් වෙන් කරන්න බෑ කියල හිතාගෙන, ගොඩක් සන්තෝසෙන් එහාට මෙහාට නැලවි නැලවි තාලෙට නැටුම් නැටුවා.

ඉතින් ඔන්න ඔහොම පුංචි කොළය ඔක්තෝබර් මාසය වෙනකල්ම, කොළ පාටින් වැඩුණා. ඒත් ටික දවසකට පස්සෙ හේමන්තයේ දීප්තිමත් දවස් උදා වුණාම, පුංචි කොළය දැක්කා එයාගෙ වට පිටාවෙ ඉන්න අනෙක් කොළ යාළුවෝ, ලස්සන ලස්සන පාටින් හැඩවෙලා ඉන්නවා. සමහරක් කොළ කහ පාටින්. සමහරක් කොළ තදම තද රතු පාටින්. තවත් සමහරක් කොළ ඒ පාට දෙකෙන්ම ලස්සන ඉරි වලින් හැඩවෙලා. ඉතින් පුංචි කොළය ගහෙන් මෙහෙම ඇහුවා....


” අනේ ! මටත් කියන්කෝ.... ඇයි මගේ ගොඩක් යාළුවෝ ලස්සන ලස්සන පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ කියලා”....

” ඒ කොළ ඔය ලෑස්ති වෙලා ඉන්නෙ පියාඹලා යන්නයි. ඒ සන්තෝසෙටයි එයාලා ඔය සැරසිලා ඉන්නෙ”.... කියල ගහ උත්තර දුන්නා.

ඒ කතාව ඇහුණ පුංචි කොළයටත් ඉක්මණින් පියාඹන්න ඕනෑ වුණා. ඒක නිසා පාට පාටින් හැඩවෙලා ඉන්න අනෙක් යාළුවෝ වගේම, පුංචි කොළයත් උත්සහ කරලා රත්තරං පාට ඇඳුමකින් සැරසුණා.

ඒත් එයාගෙ අතු ඉති යාළුවෝ අළු පාටින් ඉන්නවා දැක්කම පුදුම වෙලා මෙහෙම ඇහුවා....

”අනේ ! අතු ඉති.... ඔයාලා තවමත් අළු පාටින් ඉද්දි, ඇයි අපි විතරක් පාට ඇඳුම් වලින්? ”

”අපේ රාජකාරිය තවමත් ඉවර නැති නිසා, වැඩ කරන ඇඳුම ඇඳන් අපි ඉන්න ඕනෑ. ඒත් ඔයාලගේ රාජකාරිය ඉවරයි. ඒක නිසා නිවාඩුව ගතකරන්න පියාඹලා යන්නයි, ඔයාලා ඔය පාට පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ ”.... කියල අතු ඉති උත්තර දුන්නා.

එතකොටම බොහොම අමාරුවෙන් හති දාගෙන ආව හුළඟක්, පුංචි කොළයව ගහෙන් වෙන් කළා. ඊට පස්සෙ පුංචි කොළයට හිතන්නවත් ඉඩ නොතියා එයාව වාතයේ උඩටම අරගෙන, ගින්දර පොකුරක් වගේ දිස්වෙන්න ඒ පැත්තට මේ පැත්තට වේගයෙන් කරකවලා, වැට අද්දර තවත් කොළ යාළුවෝ නිදාගෙන ඉන්න බිමට හිමීට වැට්ටෙව්වා. බිමට වැටුණ පුංචි කොළයට නින්ද ගිහින් හීනයක් පෙනෙන්න ගත්තා. ඒත් පුංචි කොළය එයාගේ රාජකාරිය ඉවර කරලා තිබුණ නිසා, දැක්ක හීනය මොකද්ද කියලා කියන්න ආයෙමත් ඇහැරුණේ නම් නෑ.

පරිවර්තනය : මුතු පබා නැන්දා
ඇන්දේ- රුවන්මලී නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
2.මැරෙන දවස

ගම දුවගේ මගුල් දිනය පැමිණියේය. ගම ගෙදර ඉදිරියෙහි මහත් තොරණෙකි. ගෙය වියන් බැඳ සියලු ඇඳ පුටු සුදු අතුරා අලංකාර කරන ලද්දේය. නෑදෑයෝ වටින් පිටින් එන්නට වූහ.

ඒ කිරිහාමිට බොහොම හොඳ දවසෙකි. "අනේ අම්මේ, ඉතින් ආයෙත් මෙහෙම දවසක් ළඟදී ඒ දැ" යි කිරි හාමි නොයෙක් වර ඇසීය. "ඇයි, ඔබට හිර ගෙනෙනදා?" යනු මවගේ පිළිතුරය.

කිරිහාමි වරක් කැවුම් තුබූ තැනට ගොස් ඉන් හත අටෙක රස බලයි. වරක් කිරි බත් කැටි කරන තැනට ගොස්, ඉන් කැටි හත අටකට ඉඩ ගෙන දෙයි. "කිරි බතේ ලුණු රස ඇද්ද පුතේ?" යි මව අසයි. "අනේ, මා දන්නේ නෑ, අම්මේ ගුණ දොස් කිය කියා වැඩේ පාළු කරන්න ආවා නොවෙයි මා" යි කියමින් කිරි හාමි තමාගේ කටයුත්තම කෙරෙයි.

දැන් ගෙය නෑදෑයන්ගෙන් පිරුණේය. බත් වේලාවද ළඟය. "පුතේ, අනේ හොඳ පුතා වාගේ මේ අමුඩයත් කළයත් ඇරගෙන අර වෙලේ ළිඳට ගොහින් නාලා එන්න. අද මේ මඝුල් දවසේ හොඳට පිරිසිදුවී ඇඳගෙන ඉන්නට එපා යැ?" යි මව කීවාය. වෙනදා මෙවැනි කීමක් නොසැකුවත් එදා කැවුම් කිරි බතේ අනුහසින් කිරි හාමි කීකරු විය.

වෙලේ ළිඳ ළඟ කඹයක් නොවීය. කිරිහාමිට දිය ලණුවෙක්ද නොවීය. ඉතින් කෙසේ අමුඩ ගසන්නටද? කෙසේ ළිඳෙන් දිය අදින්නටද? වෙලේ ළිඳ ළඟම දිග එළි කැර සිටි ගොනා දැක කිරි හාමි කඹය බැඳි කොන ලිහා ගත්තේය. අනෙක් කොන ගොනාගේ කරේය. කිරි හාමි කඹයේ මැද ඉණ වටේ දවටාගෙන අමුඩය ගසා ගත්තේය. කොන කළයේ බැඳ දිය ඇද ඇද නාන්නට විය.

මේ අතර ඒ අසලින් ගිය සඟ නමක් ඒ දැක, " මහ මෝඩයෙක්! ගොනා කඹය ඇද්දොත්?" යි කීයේය. "කඹය ඇද්දොත්! එහෙනම් මා අද්දන්නෙ" යි කියමින් කිරි හාමි නෑවිය. "කඹය ඇද්දොත්,

බිම පෙරළෙයි
කළය බිඳෙයි
ගොනා දිවෙයි
වැඩ ගොඩ වෙයි

යනු කියමින් සඟ නම ගියේය.

වරක් කිරිහාමි දිය කළය හිසට ඔසවනු හා සමගම කඹයේ තදය දැනී, ගොනා හිස ගැස්සීය. එයින් පය ලිස්සා ගොස් කිරි හාමි ළිං පඩිය උඩ වැටී, කළය මහ හඬින් කුඩු විය. ගොනා බිය ගෙන කිරි හාමිද ඇද ගෙන දුවන්නට වන්නේය. ඒ නියරෙහි මේ නියරෙගි හැපීමෙන් කිරි හාමිට බොහෝ තුවාල විය. වේදනාව ඉවසා ගත නොහී හේ මර හඬ දෙන්නට විය. එහෙත් ගොනා නොනැවතීම දිවුවේය.

කිරි හාමීගේ මර හඬ ඇසී, ගෙදර මිනිස්සු වහා දිව අවුත්, කඹය කපා ඔහු ගලවා ගත්තෝය. නිදහස් වූ වහාම කිරි හාමි සඟ නම සොයා දුවන්නට වන්නේය. "පුදුම හාමුදුරු කෙනෙක්! මා වැටෙන බව, කළය බිඳෙන බව, ගොනා දුවන බව කලින්ම කී හැටි" යි සිතමින් හේ පසු පස නො බලා දිවුවේය.



සඟ නම දුටු තැන දීම කිරි හාමි වැඳ වැටුණේය. "අනේ, හාමුදුරුවනේ, අර මා වැටෙන බව, කළය බිඳෙන බව, ගොනා දුවන බව කලින්ම දැක්කේ දිවැසින්ද?"

"ඔව්"

"අනේ එහෙනම් මා මැරෙන දවසත් කියන්න."

"හිසත් පයත් එක තරමට සීතල වුණු දා."

මෙසේ කියා සඟ නම ගියේය. " මැරෙන දවස දැන ගතිමි," යි කියමින් කිරි හාමි ගෙදර ආයේය. ගෙදර කලබලය එයින් නැවතී මගුල් කටයුතු හොඳින් කැරුණේය.

ඉතිරි කොටස.....
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
1. උපන් පණ

නෙරළුවේ කුසල් හාමි ගමරාල හොඳ පොහොසතෙක්. ගොඩින් අමුණු පහක්ද මඩින් අමුණු හතක්ද පමණ වූ ඉඩම් ඔහුට ඇත. ඔහුගේ මහ පෙට්ටියේ යට තට්ටුව අත ගා බලන්නට ලැබුණොත් ඔහුට මුදලුත් ඇද්ද නැද්ද යනු හොඳින් දැන ගත හැකිය.

සකසුරුවම් කමින් කුසල් හාමිනේ හිමියාට කිසි සේත් දෙවෙනි නොවේ. පෙට්ටියේ මුදල් රැකෙතියි ඇයගේ විශ්වාසයෙක් නැත. එක එක ලිග්ගල ළඟ වළලන ලද මහ කැටයක් පමණ මුදල් රකින්නට හොඳ දෙයක් නැති බව ඕ දනී. ඇය විසින් මුදල් රැක්ක යුත්තේ හිමියාගෙන් පමණෙකි. ඊට මෙතරම් හොඳ ක්‍රමයක් තවත් නැත.

මේ දෙ මහල්ලන්ට පුතෙක් ද දුවක් ද වූහ. දුව රූමත් තරුණියකි. ඇයගේ කෙස් වැටිය විදාලූ කල දණට වැටේ. ඇඟ තැඹිලි පාටය. උදයම මැද්දාට පසු නම් දත් සුදුය. හවස් වන විට ඒ රතට හැරෙයි. හොඳ උස මහතින් යුත් මේ තරුණිය දෙමවුපියනට මහත් ආඩම්බරයකි.

පුතා ගේ නම කිරිහාමිය. හේ උස්ය. මහත් ය. කදිම පෙනුමක් ඇත්තෙකි. ළමා කළ අකුරු කරන්නට යයි අසල පල්ලියකට යැවූ නමුත් ඔහු දන්නා අකුරක් නැත. ඔහුගේ නුවණ කොතරම් දැයි කියත හොත් අසල කවුරුත් ඔහුට "පණ්ඩිතයා" යයි කියති. කිසි දෙයක් ගැන කල්පනාවක් කිරීම ඔහුට නුවුවමනා බැවින්, මේ නම හොඳටම සුදුසු යයි මවුපියෝ කියත්.

ගම පුතාට තවත් නමෙක් වෙයි. එනම් "කිරිබත් හාමි" යනුයි. වෑදමක් වූ දා හෝ, මගුලක් වූදා හෝ බොහෝ දෙනා රැස්ව සිටිද්දීම, කිරි බත් ගොඩක් සොයා ගන්නට බැරි වන ලෙස හංගන ගුරුකම, කිරිහාමි දනී. එසේ කරන්නේ අනුනට ඉඩක් නොදීම පණ්ඩිත කම් දොඩමින්ය. "කිරි හාමි" යන්නට "බත්" යන ටික නිකම්ම එකතු වුණා නොවන බව මෙයින් පෙනේ.

නිදන්නට ගිය විට කිරි හාමි රෑ දහවල් වෙනසක් නොදනී. මේ කටයුතුය. මේ මොකට යුතුය යන්නත් කිරි හාමි කිසි විටෙකත් නොදකී. එබඳු යමක් අනෙකකු කීවද ඔහුට නො ඇසේ. ඔහුට හිතුනොත් සියල්ලම නොකට යුතුය. මේ නිසා කිරි හාමිට ඇති තවත් නම් බොහෝය.

කොපමණ නම් ඇති වුවත් කිරි හාමි ගේ හොඳ ගුණයෙක් වෙයි. එනම් නම්බු නමක් වුවත් අවනම්බු නමක් වුවත් එක ලෙස සැලකීමයි. මේ නිසා කිරි හාමි ගේ හිතට පීඩාවෙක් නැත. ඒ හෙයින් ලෙඩ දුක් ඔහු නොදන්නා දෙයකි.

ලෙඩක් දුකක් නැති හෙයින් කිරි හාමි කන බොන දෑ හොඳට ඇඟට අල්ලයි. ඉතින් ඇඟ මහත් වීම පුදුමයෙකැ? අනෙක් අයට කෙසේ කල දවස ගියත් කිරි හාමි සුවසේම ජීවත්වීම පුදුමයෙකැ?

ඉතිරි කොටස.....
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails