2.මැරෙන දවස

ගම දුවගේ මගුල් දිනය පැමිණියේය. ගම ගෙදර ඉදිරියෙහි මහත් තොරණෙකි. ගෙය වියන් බැඳ සියලු ඇඳ පුටු සුදු අතුරා අලංකාර කරන ලද්දේය. නෑදෑයෝ වටින් පිටින් එන්නට වූහ.

ඒ කිරිහාමිට බොහොම හොඳ දවසෙකි. "අනේ අම්මේ, ඉතින් ආයෙත් මෙහෙම දවසක් ළඟදී ඒ දැ" යි කිරි හාමි නොයෙක් වර ඇසීය. "ඇයි, ඔබට හිර ගෙනෙනදා?" යනු මවගේ පිළිතුරය.

කිරිහාමි වරක් කැවුම් තුබූ තැනට ගොස් ඉන් හත අටෙක රස බලයි. වරක් කිරි බත් කැටි කරන තැනට ගොස්, ඉන් කැටි හත අටකට ඉඩ ගෙන දෙයි. "කිරි බතේ ලුණු රස ඇද්ද පුතේ?" යි මව අසයි. "අනේ, මා දන්නේ නෑ, අම්මේ ගුණ දොස් කිය කියා වැඩේ පාළු කරන්න ආවා නොවෙයි මා" යි කියමින් කිරි හාමි තමාගේ කටයුත්තම කෙරෙයි.

දැන් ගෙය නෑදෑයන්ගෙන් පිරුණේය. බත් වේලාවද ළඟය. "පුතේ, අනේ හොඳ පුතා වාගේ මේ අමුඩයත් කළයත් ඇරගෙන අර වෙලේ ළිඳට ගොහින් නාලා එන්න. අද මේ මඝුල් දවසේ හොඳට පිරිසිදුවී ඇඳගෙන ඉන්නට එපා යැ?" යි මව කීවාය. වෙනදා මෙවැනි කීමක් නොසැකුවත් එදා කැවුම් කිරි බතේ අනුහසින් කිරි හාමි කීකරු විය.

වෙලේ ළිඳ ළඟ කඹයක් නොවීය. කිරිහාමිට දිය ලණුවෙක්ද නොවීය. ඉතින් කෙසේ අමුඩ ගසන්නටද? කෙසේ ළිඳෙන් දිය අදින්නටද? වෙලේ ළිඳ ළඟම දිග එළි කැර සිටි ගොනා දැක කිරි හාමි කඹය බැඳි කොන ලිහා ගත්තේය. අනෙක් කොන ගොනාගේ කරේය. කිරි හාමි කඹයේ මැද ඉණ වටේ දවටාගෙන අමුඩය ගසා ගත්තේය. කොන කළයේ බැඳ දිය ඇද ඇද නාන්නට විය.

මේ අතර ඒ අසලින් ගිය සඟ නමක් ඒ දැක, " මහ මෝඩයෙක්! ගොනා කඹය ඇද්දොත්?" යි කීයේය. "කඹය ඇද්දොත්! එහෙනම් මා අද්දන්නෙ" යි කියමින් කිරි හාමි නෑවිය. "කඹය ඇද්දොත්,

බිම පෙරළෙයි
කළය බිඳෙයි
ගොනා දිවෙයි
වැඩ ගොඩ වෙයි

යනු කියමින් සඟ නම ගියේය.

වරක් කිරිහාමි දිය කළය හිසට ඔසවනු හා සමගම කඹයේ තදය දැනී, ගොනා හිස ගැස්සීය. එයින් පය ලිස්සා ගොස් කිරි හාමි ළිං පඩිය උඩ වැටී, කළය මහ හඬින් කුඩු විය. ගොනා බිය ගෙන කිරි හාමිද ඇද ගෙන දුවන්නට වන්නේය. ඒ නියරෙහි මේ නියරෙගි හැපීමෙන් කිරි හාමිට බොහෝ තුවාල විය. වේදනාව ඉවසා ගත නොහී හේ මර හඬ දෙන්නට විය. එහෙත් ගොනා නොනැවතීම දිවුවේය.

කිරි හාමීගේ මර හඬ ඇසී, ගෙදර මිනිස්සු වහා දිව අවුත්, කඹය කපා ඔහු ගලවා ගත්තෝය. නිදහස් වූ වහාම කිරි හාමි සඟ නම සොයා දුවන්නට වන්නේය. "පුදුම හාමුදුරු කෙනෙක්! මා වැටෙන බව, කළය බිඳෙන බව, ගොනා දුවන බව කලින්ම කී හැටි" යි සිතමින් හේ පසු පස නො බලා දිවුවේය.



සඟ නම දුටු තැන දීම කිරි හාමි වැඳ වැටුණේය. "අනේ, හාමුදුරුවනේ, අර මා වැටෙන බව, කළය බිඳෙන බව, ගොනා දුවන බව කලින්ම දැක්කේ දිවැසින්ද?"

"ඔව්"

"අනේ එහෙනම් මා මැරෙන දවසත් කියන්න."

"හිසත් පයත් එක තරමට සීතල වුණු දා."

මෙසේ කියා සඟ නම ගියේය. " මැරෙන දවස දැන ගතිමි," යි කියමින් කිරි හාමි ගෙදර ආයේය. ගෙදර කලබලය එයින් නැවතී මගුල් කටයුතු හොඳින් කැරුණේය.

ඉතිරි කොටස.....
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails