එකමත් එක කාලෙක ගසක පුංචිම පුංචි කොළයක්, සුසුම් හෙලමින් අඬනවා ඒ ගහේම රිකිල්ලකට ඇහුණා. තද හුළඟක් සමග කුණාටුවක් හමද්දි කොළ දළු ඇඬුවත්, නිකරුණේ නොහඬන නිසා රිකිල්ල පුංචි කොළයෙන් මෙහෙම ඇහුවා....

”මොකද්ද ප්‍රශ්නෙ පුංචි යාළුවේ ?”

හුළඟ මට මේ දැන් කීවා, කවදහරි දවසක එයා මාව ගහෙන් වෙන්කරලා බිමට දානවා කියලා”.... පුංචි කොළය ගොඩක් දුකෙන් රිකිල්ලට උත්තර දුන්නා.

රිකිල්ල ඒ කතාව ඒ වෙලේම ගහේ අත්තකට කීවා. අත්ත ඒක මුළු ගහටම කීවා. ඒ කතාව ඇහුණ ගහ, සර සර හඬින් මුළු ගහම හොලවලා, පුංචි කොළයට මෙහෙම කීවා....

”බයවෙන්න එපා පුංචි කොළය. ඔයා ගහ හයියෙන් අල්ලගෙන ඉන්න. එතකොට ඔයාට මගෙන් වෙන් වෙන්න ඕනෑ වෙනකල්, කාටවත්ම බෑ ඔයාව බලෙන් වෙන් කරන්න.”
ඒ කතාව ඇහුණට පස්සෙ පුංචි කොළය, සුසුම් හෙළමින් ඇඬීම නතර කළා. ඒ වෙනුවට එයා තාමත් පිහාටු නොයිඳුනු, කැදැල්ලෙන් එළියට යන්නට බැරි කුරුළු පැටවුන්ට ලස්සනට සිංඳු කීවා.

සමහරක් වෙලාවට ගහ එයාගේ කොළ යාළුවෝ, අතු ඉති, රිකිලි එක්ක, එහාට මෙහාට තාලෙට හෙලවෙනකොට, පුංචි කොළයත් කවමදාවත් කාටවත්ම එයාව ගහෙන් වෙන් කරන්න බෑ කියල හිතාගෙන, ගොඩක් සන්තෝසෙන් එහාට මෙහාට නැලවි නැලවි තාලෙට නැටුම් නැටුවා.

ඉතින් ඔන්න ඔහොම පුංචි කොළය ඔක්තෝබර් මාසය වෙනකල්ම, කොළ පාටින් වැඩුණා. ඒත් ටික දවසකට පස්සෙ හේමන්තයේ දීප්තිමත් දවස් උදා වුණාම, පුංචි කොළය දැක්කා එයාගෙ වට පිටාවෙ ඉන්න අනෙක් කොළ යාළුවෝ, ලස්සන ලස්සන පාටින් හැඩවෙලා ඉන්නවා. සමහරක් කොළ කහ පාටින්. සමහරක් කොළ තදම තද රතු පාටින්. තවත් සමහරක් කොළ ඒ පාට දෙකෙන්ම ලස්සන ඉරි වලින් හැඩවෙලා. ඉතින් පුංචි කොළය ගහෙන් මෙහෙම ඇහුවා....


” අනේ ! මටත් කියන්කෝ.... ඇයි මගේ ගොඩක් යාළුවෝ ලස්සන ලස්සන පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ කියලා”....

” ඒ කොළ ඔය ලෑස්ති වෙලා ඉන්නෙ පියාඹලා යන්නයි. ඒ සන්තෝසෙටයි එයාලා ඔය සැරසිලා ඉන්නෙ”.... කියල ගහ උත්තර දුන්නා.

ඒ කතාව ඇහුණ පුංචි කොළයටත් ඉක්මණින් පියාඹන්න ඕනෑ වුණා. ඒක නිසා පාට පාටින් හැඩවෙලා ඉන්න අනෙක් යාළුවෝ වගේම, පුංචි කොළයත් උත්සහ කරලා රත්තරං පාට ඇඳුමකින් සැරසුණා.

ඒත් එයාගෙ අතු ඉති යාළුවෝ අළු පාටින් ඉන්නවා දැක්කම පුදුම වෙලා මෙහෙම ඇහුවා....

”අනේ ! අතු ඉති.... ඔයාලා තවමත් අළු පාටින් ඉද්දි, ඇයි අපි විතරක් පාට ඇඳුම් වලින්? ”

”අපේ රාජකාරිය තවමත් ඉවර නැති නිසා, වැඩ කරන ඇඳුම ඇඳන් අපි ඉන්න ඕනෑ. ඒත් ඔයාලගේ රාජකාරිය ඉවරයි. ඒක නිසා නිවාඩුව ගතකරන්න පියාඹලා යන්නයි, ඔයාලා ඔය පාට පාට ඇඳුම් ඇඳන් ඉන්නෙ ”.... කියල අතු ඉති උත්තර දුන්නා.

එතකොටම බොහොම අමාරුවෙන් හති දාගෙන ආව හුළඟක්, පුංචි කොළයව ගහෙන් වෙන් කළා. ඊට පස්සෙ පුංචි කොළයට හිතන්නවත් ඉඩ නොතියා එයාව වාතයේ උඩටම අරගෙන, ගින්දර පොකුරක් වගේ දිස්වෙන්න ඒ පැත්තට මේ පැත්තට වේගයෙන් කරකවලා, වැට අද්දර තවත් කොළ යාළුවෝ නිදාගෙන ඉන්න බිමට හිමීට වැට්ටෙව්වා. බිමට වැටුණ පුංචි කොළයට නින්ද ගිහින් හීනයක් පෙනෙන්න ගත්තා. ඒත් පුංචි කොළය එයාගේ රාජකාරිය ඉවර කරලා තිබුණ නිසා, දැක්ක හීනය මොකද්ද කියලා කියන්න ආයෙමත් ඇහැරුණේ නම් නෑ.

පරිවර්තනය : මුතු පබා නැන්දා
ඇන්දේ- රුවන්මලී නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails