බබූ බබා කියලා පුංචි හිවල් පැටියෙක් හිටියා. දවසක් මේ හිවල් පැටියා කම්මැලිකමෙන් එයාගේ කාමරයේ ඇඳ උඩට වෙලා ඉඳගෙන හිටියා. බබූ බබාට ලොකු තනිකමක් පාළුවක් දැණුනා.

ඔන්න එකපාරටම බබූ බබාට අදහසක් ආවා.

”දන්නවාද... මට යාළුවෙක් ඕනෑ....”
 
ඇඳෙන් බිමට පැනගත් බබූ බබා එයාටම කියා ගත්තා. ඊටපස්සෙ සමනල්ලූ අල්ලන්න යන්න හිතාගෙන, දැලකුත් අතට අරගෙන එයාගෙ අම්මා ළඟට ගියා.


”අම්මා මම යනවා යාළුවෙක් අල්ලගන්න”

”යාළුවෝ අල්ල ගන්න බැහැ. යාළුවෝ හදාගන්නයි ඕනෑ..”

අම්මා බබූ බබාට තේරුම් කරල දුන්නා. අම්මගෙ ඔවදනට කීකරු වුණ බබූ බබා දැල පැත්තකින් තියලා, යාළුවෙක්ව හදාගන්න එළියට බැස්සා.

”කොහොමද මට යාළුවෙක්ව හදාගන්න පුළුවන් ?”

බබූ බබා එයාගෙන්ම අහන ගමන් වට පිට බැලූවා. එතකොට එයා දැක්කා කෝටු කෑලි වගයක් බිම වැටිලා තියෙනවා. ඇපල් ගෙඩි දෙන තුනකුත් කඩා ගත්ත බබූ බබා, තැනින් තැන අහුල ගත්ත ඇට වර්ගත් උදව් කරගෙන යාළුවෙක්ව හදන්න පටන් ගත්තා.

බබූ බබා කෝටු කෑලි දෙකක් දෙපැත්තට විහිදෙන්න තියලා ගැට ගැහුවා. කෝටු කෑලි දෙක මැදට තව කෝටුවක් එකතු කළා. ඊට පස්සෙ මැද කෝටුවට ඇපල් ගෙඩියක් සවි කළා. ඇපල් ගෙඩියට ඇට වර්ග වලින් ඇස් දෙකකුත් දීලා, යාළුවගේ හැඩ වැඩ බැළුවා.


”ඔයා මගේ යාළුවද ?”

බබූ බබා එයා හදපු යාළුවගෙන් ඇහුවා. ඒත් යාළුවා කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

”ඔයා එනවද මා එක්ක සෙල්ලම් කරන්න ?”

බබූ බබා ආයෙමත් ඇහුවා. නමුත් උත්තර දෙනවා තියා යාළුවා හෙලවුණේවත් නෑ.

”සමහර විට මම හදපු යාළුවා ගොඩක් පුංචි ඇති.. මීට වඩා ලොකු යාළුවෙක් හැදුවනම් හරි මම..”

බබූ බබා එයාටම කියා ගත්තා. එතකොටම එයාව පහු කරන් යන හාවෙක් දැක්ක බබූ බබා හාවට කතා කරා.

”හාවෝ.... මම මේ යාළුවෙක්ව හදන්න උත්සහ කරනවා.. මම ඉස්සෙල්ලා හදපු යාළුවා පොඩි වැඩියිනේ.. ඔයාට පුළුවන්ද මට ලොකු යාළුවෙක්ව හදන්න උදව් වෙන්න ?”
 
”පුළුවන්.. පුළුවන්..” හාවා උත්තර දුන්නා.


ඉතින් ඊට පස්සෙ දෙන්නම එකතුවෙලා මහත කෝටු කෑලි, තක්කාලි, ඇට වර්ග, සහ ලොකුම ලොකු රාබු ගෙඩියකුත් හොයාගෙන ලොකු යාළුවෙක් හැදුවා.


”ඔයා අපේ යාළුවා වෙනවද ?”

දෙන්නම එයාලා හදපු යාළුවාගෙන් ඇහුවා. ඒත් යාළුවා නම් කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

”ඔයා එනවද අපිත් එක්ක සෙල්ලම් කරන්න ?”

ඒපාරත් යාළුවා උත්තරයක් දෙනවා තියා හෙල්ලූනේවත් නෑ.

”සමහර විට මේ යාළුවත් පොඩි වැඩි ඇති..”

හාවා කීවා. එතකොටම බබූ බබාටයි, හාවාටයි ඇහුණා ගහක් උඩින් හිනා හඬක් මතු වෙනවා. උඩ බලපු එයාලා දැක්කෙ, මෙච්චර වෙලා එයාල දිහාම බලං හිටපු ලේනේක්.

”හී.. හී.. හී.... ඔයාලා මොනවද මේ හදලා තියෙන්නෙ ?”

ආයෙමත් හිනාවෙන ගමන්ම ලේනා ඇහුවා.

”ඔයා හිතනවනම්, අපිට වඩා හොඳට ඔයාට යාළුවෙක්ව හදන්න පුළුවන් කියලා, එන්නකො ඇවිත් අපිට උදව් වෙන්නකො....”

බබූ බබා ලේනට කීවා.

”හොඳයි මමත් එන්නම්කො..” ලේනා උත්තර දුන්නා.
 
ඊටපස්සෙ තුන්දෙනාම එකතුවෙලා යාළුවෙක් හදන්න පටන් ගත්තා.

ලොකු වට්ටක්කා ගෙඩියක්, දර කෑලි දෙක තුනක්, ඇපල් ගෙඩි සහ රාබු ගෙඩියක උදව්වෙන් තුන්දෙනාම එකතු වෙලා ලොකුම ලොකු යාළුවෙක් හැදුවා.


”ඔයා අපේ යාළුවාද ?”

තුන්දෙනාම එකතු වෙලා හදපු යාළුවාගෙන් ඇහුවා.

”ඔයා එනවද අපිත් එක්ක සෙල්ලම් කරන්න ?”

ඒත් කිසිම උත්තරයක් හදපු යාළුවාගෙන් එයාලාට ලැබුණෙම නෑ. කළකිරුණු බබූ බබා, හාවා සහ ලේනා ලී කොටයක් උඩ වාඩි වුණා.
 
  ”කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ.. මට කවමදාවත් බැහැ යාළුවෙක් හදාගන්න.. ” බබූ බබා දුකෙන් කීවා.


ටික වෙලාවකට පස්සෙ එතැනට ආපු බබූ බබාගේ අම්මා,

”කවුද මේ අලුත් යාළුවෝ” කියලා, බබූ බබාගෙන් ඇහුවා.

”අයියෝ.... අහන්න එපා අම්මෙ.. මම කරන්න ගිය වැඩේ හරි ගියේ නෑනේ.. අපි තුන්දෙනාම එකතු වෙලා යාළුවෝ හැදුවා.. ඒත් එයාලා කැමති නෑනේ අපිත් එක්ක සෙල්ලම් කරන්න..”

”මම ඇහුවෙ ඒ යාළුවෝ ගැන නෙමෙයි.. මේ යාළුවෝ ගැන....”

අම්මා ලේනාව සහ හාවාව පෙන්නුවා. බබූ බබා, හාවා සහ ලේනා දිහා බැලුවා. එතකොට බබූ බබාට තේරුණා එයා මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ අලුත් යාළුවෝ දෙන්නෙක් එක්ක කියලා. ඒ සන්තෝසෙට එයාලා මුළු දවසම සෙල්ලම් කරා.

ඒ විතරක් නෙමෙයි එයාලා හොඳ යාළුවෝ වෙලා හැමදාම එකමුතුව එකට හිටියා.


කතාව සහ සිතුවම්:
ඇඩම් රෙල්ෆ්

පරිවර්තනය : මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails