ඉස්සරෝම කාලෙක නගරයට ආසන්නයේ පිහිටි ගමක් තිබුණා. මේ ගමේ ජීවත් වුණා මහළු බට කපන්නෙක්.හැම දවසකම මහල්ලා ඈත කඳු මුදුනට යනවා බට කපන්න.එහෙම කපාගෙන එන බට වලින් වට්ටි, පෙට්ටි සහ පෙනේර හදලා, ඒවා විකුණලා තමයි ජීවත් වුණේ.

ඔන්න ඉතින් දවසක්දා මහල්ලා පුරුදු විදියටම බට කපන්නට සූදානම් වුණා. එතකොට දැක්කා එක බට ගහක් පාමුලින් අමුතු එළියක් විහිදෙනවා.

"මේක නම් හරිම අපූරු බට ගහක් තමයි!"

එහෙම හිතාපු මහල්ලා බොහොම පරිස්සමෙන් ඒ බට ගහ කපලා, ඉරන්න පටන් ගත්තා.ඔහොම ඉරාගෙන යද්දි මහල්ලාව පුදුමයට පත් කරමින් පුංචි ගැහැණු ළමයෙක් බට ගහෙන් එළියට ආවා.


"කොයිතරම් හුරතල් දරුවෙක් ද?"

මහල්ලා පුංචි ගැහැණු ළමයාව ආදරෙන් වඩා ගත්තා.

"මේ නම් දෙයියො අපිට දුන්නු තෑග්ගක්!"

පුංචි ගැහැනු ලමයා ආදරෙන් තුරුළු කරගනිමින් මැහැල්ල කිව්වා. එදා ඉඳලා මහල්ලයි මැහැල්ලයි එකතු වෙලා ඈව බොහොම ආදරෙන් හදා වඩා ගත්තා.

ඊලඟ දවසෙත් මහල්ලා ගියා පුරුදු විදියට බට කපන්න. එදත් මහා පුදුමයක් වෙමින් තිබුණා.මහල්ලා කපන කපන බට ගහක් ගානේ රන් කාසි මතු වෙන්න පටන් ගත්තා. මහල්ලාට පුදුමයි. සතුටුයි. ඔන්න වැඩි කල් නොගොස්ම මහල්ලා මහා පොහොසතෙකු වුණා.

පුංචි ගැහැණු ළමයා බොහොම ඉක්මනින් ලොකු වෙලා තරුණියක් වුණා. ඈ බොහොම ලස්සනයි.බොහොම කාන්තිමත්.ඒ හින්දා කගුයා කියලා ඈට නම තැබුවා. ඈ කොයිතරම් ලස්සනද කියනවා නම් ඒ ගැන කටකතා බොහොම ඉක්මනින්ම නගරයට පැතිරුණා. ඇගේ සිරි බලන්නට නගරයෙන් බොහෝ මිනිසුන් මහල්ලාගේ නිවසට පැමිණියා.

කගුයා කුමරිය තමාට විවාහ කර දෙන්නැයි කියමින් බොහෝ තරුණයන් මහල්ලා ඉදිරියේ සිය දෑත් එක්කරමින් ඉල්ලා සිටියා.

අව්, වැසි නොතකා තරුණයන් එහි ඇදී එන්නට පටන් ගත්තා. ඒ අතරින් තරුණයන් පස් දෙනෙකු කෙසේ හෝ කගුයා සිය බිරිඳ කරගන්නෙමැයි කියා සිටියා.ඒ ගොල්ලො බොහොම පොහොසත්, වැදගත් නිළතල දරණ අය.


"කගුයා කියන්නෙ දෙයියො මට දුන්න තෑග්ගක්. ඒ නිසා කිසිකෙනෙකුට එයාව දෙන්න මං සූදානම් නෑ" මහල්ලා තරුණයන් අමතා කියා සිටියා.මහල්ලා කොතරම් කිව්වත් තරුණයො පස් දෙනා කනකට ගත්තෙ නෑ. අන්තිමේදි තමා බොහොම අසරණ බව මහල්ලා කගුයා කුමරියට කියා සිටියා. "ඔබේ නුවණ පාවිච්චි කරලා සුදුසු කෙනෙක් ඔබම තෝරාගෙන ඉක්මනින් විවාහ වෙන්න ඕනෑ" අවසානයෙදි මහල්ලා කගුයා කුමරියට කියා සිටියා.

"එහෙනම් මේ ලෝකයේ තියෙන වටිනාම දුර්ලබම දේ සොයා ගෙනෙන තැනැත්තා ගේ බිරිඳ වෙන්නෙමි"යි කගුයා කුමරිය මහල්ලාට කිව්වා. මහල්ලා ඒ බව තරුණයෝ පස් දෙනාට කිව්වා.

පළමුවෙනි කුමාරය අමතලා එයාට කිව්වා ඉන්දියාවට ගිහින් බුදුහාමුදුරුවො දන් වැළඳු ගල් පාත්තරෙ සොයා ගෙන එන්න කියලා. දෙවැනි කුමාරයාට කිව්වා "සදාතනික තාරුණ්ය්ය" කියන දූපතට ගිහින් එහි තිබෙන රන් ගසෙහි සුදු ගෙඩි වලින් පිරුණු අත්තක් ගෙනෙන්නට කියලා. තුන් වෙනි කුමාරයාට කිව්වා චීනයට ගිහින් එහි ජීවත් වෙන ගිණි මීයකුගෙ සමක් ගෙනෙන්නට කියලා. මකරකුගේ බෙල්ලෙ ඇතැයි කියන පංච වර්ණ අබරණ බහාලුම ගෙනෙන්නැයි හතරවෙනි කුමාරයාට කිව්වා. පස්වෙනි කුමාරයාට කිව්වෙ, ලිහිණි බිත්තරෙන් බිහි බිහිවුණැයි කියන දෙපියන් බෙල්ලෙකු ගෙනෙන්නටයි.ඒවා බොහොම සාමන්යර මිනිසුන්ට ලබා ගත හැක් දේවල් නොවෙයි. ඉතින් තරුණයෝ පස් දෙනා පුදුමයෙන් එකිනෙකාගේ මූණ බැලුවා.ඒවා සොයා ගෙනෙන්නට අසමත් වුවහොත් ඒ කිසි කෙනෙකුට කගුයා කුමරිය හිමි වෙන්නෙ නැති බව ඔවුන් තේරුම් ගත්තා.

ඔන්න ඉස්සෙල්ලාම පළමුවෙනි කුමාරය නගරය අතහැරලා ගියා. ඒත් ඔහු ඉන්දියාවට ගියේ නෑ. අහල පහළ හැම පන්සලක් ගානේම ඇවිදලා ඇවිදලා නිකම්ම නිකම් ගල් පාත්තරයක් හොයාගෙන කගුයා කුමරිය ළඟට අරන් ගියා.

"අන්තිමේදි මං ඒක හොයා ගත්තා. කිසිකරදරයක් නැතිවම ඉන්දියාවට ගිහින් එන්ටත් හැකි වුනා" ඔහු කීවා.

කගුයා කුමරිය පාත්තරේ දිහා බොහොම හොඳින් බැලුවා.

"මේ වගේ අපිරිසිදු ගල් පාත්තරයක් ඔබට ඔනෑම පන්සලකින් හොයා ගන්න පුළුවන්.මේක හැබෑම පාත්තරෙ නම් ඒකෙන් දීප්තිමක් ආලෝකයක් විහිදෙන්න ඕනෑ"

තමා කියූ බොරුව එළි වූ වග දැනගත්තාම පළමුවෙනි කුමාරය ලැජ්ජාවෙන් කාටත් නොකියාම හොරෙන් පැනලා යන්න ගියා.

දෙවැනි කුමාරයා "සදාතනික තාරුණ්යුයේ දුපතට" යන්නෙමියි කියා නැව් නැග්ගා. එහෙත් ඔහු කවදාවත්න දැන සිටියේ නෑ දූපත තියෙන්නෙ කොහෙද කියලා.ඒ හින්ද ඔහු ආපහු නගරයට ආවා. ඇවිත් නගරේ ඉන්න දක්ෂම රන් වැඩකරුවන්ට කතා කරලා කිව්ව හැබෑ රන් ගසේ අත්තක් වාගේම පෙනෙන විදියට රත්ර න් වලින් අත්තක් තනා දෙන්නට කියලා.ඔවුන් කොතරම් දක්ෂ රන් වැඩකරුවන් වුණත් රන් අත්ත දැක්ක හැටියෙම කගුයා කුමරිය හඳුනා ගත්තා, එය හැබෑ රන් ගසේ අත්තක් නොවන බව. ඒ විතරක් නෙමෙයි රන් වැඩකරුවන් රවටා මුදල් නොගෙවා කුමාරයා වැඩ කරවා ගත් බවත්, ඒ වියදම කුමරිය විසින් පියවා දමන්නටත් කියා රන් වැඩ කරුවන් කගුයා කුමරියට ලිපියක් ලීවා. ඒ බව දන ගත්ත දෙවැනි කුමාරයාත් ලැජ්ජාවෙන් පලා ගියා.

චීනයෙන් ආ නැවක් වරායට ගොඩ බැස්ස වූ බව දැනගත් තුන්වෙනි කුමාරයා වහාම එතැනට ගියා. ගිහින් විශාල මුදලක් ගෙවා ගිණි මීයකුගේ හමක් මිලදී ගෙන එය කගුයා කුමරිය වෙත ගෙනගියා. බොහොම හුරුබුහුටි පෙට්ටියක අසුරා තිබුණේ ලස්සන හමක්.

"ඉන්දියානු පූජකයෙක් තමයි මේක චීනයට ගෙනල්ලා තියෙන්නෙ!" කුමාරයා බොහොම ආඩම්බරයෙන් කියා සිටියා.

"එහෙනම් අපි මේක ගින්නට විසි කරලා බලමු. මේක හැබෑ ගිණි මීයකුගේ නම් කිසිම ගින්නකින් පිච්චෙන්නේ නෑ" කගුයා කුමරිය කිව්වා.

එහෙත් මී හම ගින්නෙදි පිළිස්සිලා විනාශ වෙලා ගියා. වෙළෙන්දා තමා රැවටූ බව දැනගත් කුමාරයාට බොහොම කේන්තියෙන් යන්ට ගියා.

හතර වෙනි කුමාරයා නැව් නැග්ගා මකරා හොයන්න. ඔහු පිටත් වුණා විතරයි අතර මගදී මහ විසාල කුණාටුවක අසුවුණා. නැව වේලිච්ච පරඬලාවක් ඒ අතට මේ අතට පැද්දෙන්ට ගිලෙන්ටත් පටන් ගත්තා.

"මකර රජ්ජුරුවන්ට තරහා ගිහිල්ලා, ඔහු පලිගන්න හදනවා"

කුමාරයාගේ නැවේ උන් සියල්ලෝම බොහොම බය වුණා.

"මකර රජ්ජුරුවනේ, අපට සමාවෙන්න ඔබට අනතුරක් කරන්න අපි ආව නෙමෙයි" හතරවෙනි කුමාරයා වෙව්ලන දෑත් එක්කොට වැඳ වැටෙමින් කියා සිටියා.

කුණාටුව දින තුනක් පැවතුනා. හතරවෙනි දවසෙ මුහුද සන්සුන් වුනා. කුමාරයා ආපහු නගරයට ආවා. ඒත් කගුයා කුමරිය දකින්නට ඉන් පස්සෙ කවදාවත් ගියේ නෑ.

පස් වෙනි කුමාරය ලිහිණි බිත්තරෙන් මතුවෙන දෙපියන් බෙල්ලා හොයමින් ලිහිණි කූඩු එකින් එකට ගියා. බලන බලන හැම තැනකම ලිහිණි කූඩු ඔහුට හමු වුනා. ඒත් ඒ කිස් තැනක ඔහුට දෙපියන් බෙල්ලෙකු මුණ ගැහුණේ නෑ. අන්තිමේදි ඔහුගේ මාලිගාවේ වහල පියස්සෙ තිබුණු ලිහිණි කූඩුවක් ඔහු දුටුවා. ඉණිමගක් තබා අමාරුවෙන් ඉහල නැගුණු ඔහු කූඩුවට අත දාමා බැලුවා. ඔහුගේ අතට අසුවුණා දෙපියන් බෙල්ලකු වැනි යමක්. "මට ඒක හම්බවුණා, ඉක්මනට වරෙල්ලා, කූඩුව වහාම බිමට ගනිල්ලා!" ඔහු තමන්ගේ සේවකයන්ට අණ කලා. සේවයන් එකතු වෙලා ලිහිණි කූඩුව ගෙනාවා. එහි තිබූ බෙල්ලා අතින් ගත් කුමාරය සතුටින් සහ පුදුමයෙන් සෝදිසි කලා.ඒත් ලංවෙලා බලද්දි වියළී ගිය ලිහිනි වසුරු පිඬක් බව වැටහුණෙන් ඔහු බොහොම දුකට පත් වුණා.

කගුයා කුමරිය දිනෙන් දින බොහොම ලස්සන වුනා.කාන්තිමත් වුණා. ඒ සිදුවීමෙන් වසර හතරක් ගෙවී ගොස් උදා වුණු වසන්ත කාලෙදී පුදුමයක් සිදුවෙමින් තිබුණා.

හඳ පායන හැම රෑකම ඒ දිහා බලාගෙන කගුයා කුමරිය කඳුළු වගුරුවන්ට පටන් ගත්තා.


"අඬන්ට තරම් කාරණාව මොකද්ද?" මහල්ලා සහ මැහැල්ල කුමරියගෙන් විමසා සිටියත්, උත්තරයක් නොදීම කුමරිය නිහඬ වුණා.

දවස් ගෙවිලා හඳ සම්පූර්ණයෙන්ම වටකුරු වුණා.එතකොට කගුයා කුමරිය තව තවත් අඬන්නටත් වැලපෙන්නටත් පටන් ගත්තා.

"මේ තරම් දුක් වෙන්ට තරම් කාරනාව මොකද්ද දුවේ?" මහල්ලා සහ මැහැල්ල බොහොම දුකෙන් නැවතත් ඇගෙන් ඇසුවා.

"මං ආවේ චන්ද්‍ර රාජධානියෙ ඉඳලා.හඳ වටකුරු වෙන ඊළඟ පෝය දවසෙ රෑට චන්ද්‍ර රාජධානියෙන් පිරිවර එනවා මාව එක්කගෙන යන්න" කගුයා කියන්න පටන් ගත්තා.

“ඒ වුනත්, අම්මවයි තාත්තවයි දාලා මට යන්න බෑ" කගුයා කුමරිය අඬමින් කියා සිටියා.

"කොයි ලෝකෙන් කවුරු ආවත් අපට කමක් නෑ දුවේ. ඔයාව කාටවත් ගෙනියන්න දෙන්නෙ නෑ අපි" මහල්ලයි මැහැල්ලයි කුමරිය සැනසුවා.

අන්තිමේදි මහල්ලා තමන්ගේ අධිරාජ්‍යයාගෙන් උදව් ඉල්ලා සිටියා, කගුයා කුමරිය රැක ගන්න.පෝය දවස උදා වනවාත් සමගම දුනුවායන් දෙදාහක් පැමිණ මහල්ලාගේ නිවස වටා රැකවල් බැන්දා.දුනුවායෝ සියල්ලන්ම අහස දෙසට තමන්ගෙ දුනු හී යොමු කරගෙන සීරුවෙන් බලා උන්නා. කගුයා කුමරියව ඈත කාමරයක රඳවලා අගුළු දැමුවා.මහල්ලාත් මැහැල්ලත් කුමරිය ලඟ ඇගේ ආරක්ෂාවට හිටියා. වැඩි වේලාවක් නොගොසින්ම හවස් වුණා. අහස අඳුරු වෙලා රාත්‍රිය ඉක්මනින් උදා වුණා. ඒත් එක්කම අහසේ ඈත කොනෙන් වටකුරු හඳ හෙමි හෙමින් නැගෙන්නට පටන් ගත්තා. ඒ හඳ එළියෙන් නැහැවිලා මුළු පරිසරයම ආලෝකමත් වුණා.

ඔන්න එතකොටව වාගේ විශාල වළාකුලක් හෙමින් හෙමින් පහලට ඇදෙන්නට වුණා. කුමරිය වෙනුවෙන් තැනූ දෝලාව වටකරගත් චන්ද්රමරාජධානියේ දෙවි වරු පිරිස වළාකුලේ නැගිලා පොළොව දෙසට එමින් සිටියා. දුනුවායෝ විදින්නට සූදානම් වුණත් එක දුනු වායෙකුටවත් හීයක් විදින්නට තියා සෙලවෙන්නට වත් බැරි වුණා.
චන්ද්‍ර රාජධානියේ දෙවිවරුන්ගෙ බලයෙන් ඔවුන් ගල් කොට තිබුණා. වළාකුළු රථය මහල්ලාගෙ කුඩා ගෙවත්තට ඉහළින් නැවතුණා.

"අපි ආවෙ කගුයා කුමරිය චන්ද්‍ර රාජධානිය වෙත ආපසු රැගෙන යන්නයි. මෙතෙක් කල් ඇය රැක බලා ගත්තාට ඔබට ස්තුතියි" බොහොම පැහැදිලි හඬකින් දෙවිවරු කියා සිටියා. ඒ සමගම කගුයා කුමරිය රඳවා සිටි කාමරේ දොරගුළු ඉබේ හැරුණා.

කගුයා කුමරිය මහල්ලා සහ මැහැල්ල සමග එළියට ආවා.

"අම්මේ, තාත්තේ, දැන් මා යා යුතු කාලය ඇවිත්.මාව හැමවිටම ආදරෙන් සිහිපත් කරන්න මේ ඇඳුම ඔබට උපකාර වෙයි" එහෙම කියලා ඈ මෙතෙක් හැඳ සිටි කිමොනො ව මහල්ලාටත් මැහැල්ලටත් තෑගි කළා. ඒ වෙනුවට සිනිඳු සේද සහ සැහැල්ලු පිහාටු වලින් තැනූ දිව්‍යමය ඇඳුමකින් සැරසුණා.

ඊටපස්සෙ වළාකුළට ගොඩ වෙලා ඈ වෙනුවෙන් එහි තිබූ දිව්‍යමය රථයෙ හිඳගත්තා.



"සුබ ගමන්!" මහල්ලාත් මැහැල්ලත් බොහොම දුකෙන් වුනත් කගුයා කුමරියට සුබ පැතුවා.

ඒත් එක්කම කගුයා කුමරිය රැගත් වළාකුළු රථය දීප්තියෙන් බැබළි බැබළි උන්නු වටකුරු හඳ මඬල දෙසට ඇදී ගියා.

ජපන් ජනකතාවක් ඇසුරිනි.
ජපන් බසින් සිංහලට නැගුවේ ප්‍රශංසනී පරණවිතාන.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails