එක්තරා කාලයක මහලු මිනිසෙක් හිටියා. ඔහුගේ මුල් නම වුණේ සන්. තමාගේ මුළු ජීවිත කාලය පුරාමත්, කුලී වැඩ කරලයි ඔහු ජීවත් වුණේ. ඔහු බොහෝම දුක් වින්ද කෙනෙක්. ජෙන්ෂෙන් සහ ටියාන්මින් කියලා පුතුන් දෙදෙනෙක් ද ඔහුට හිටියා. දෙදෙනාගෙන් වැඩි මහල්ලා වුණු ජෙන්ෂෙන්, චාම්, මහන්සි වී වැඩ කරන පිටිසරබද කොලුවෙක්. ටියාන්මින්, කිසිවක් හොඳින් නොකරන; සූදුවට සහ සල්ලාලකමට ළැදියෙක්.

එක් දවසක් සන්, ඒ දෙදෙනාම ළඟට කැඳවමින් මෙහෙම කිව්වා. "දෙදෙනා ම දෑකැත්ත බැගින් අරගෙන මාත් එක්කලා එන්න."

ජෙන්ෂෙන්, ඔහුට කී ලෙසට කළා. ඒත් ටියාන්මින් මැසිවිලි නඟමින් මෙහෙම පැවසුවා. "ආයෙත් වැඩ කරන්න! මං නම් එන්නෙ නෑ!"

මහලු සන් බැණ වැදුණට පස්සෙයි ඔහු, ඔවුන් සමග ඒමට කැමැති වුණේ.

තිදෙනා බොහොම දුර ප‍්‍රමාණයක් ඇවිදගෙන ඇවිදගෙන ගියා. ඔවුන් කඳුගැට පනස් පහක් නැංගා. වියළුණු ගඟක වංගු අනූනවයක් පසු කළා. අන්තිමේ දී ඔවුන්, සුළං ආවරණය වුණු වංගුවක් වෙතට පැමිණියා.

ටියාන්මින් තමා අවට සෝදිසියෙන් බැලුවා. උසට වැඩුණු මානා පඳුරුත්, සක්ක ගල් විමානයකුත් දුටු ඔහු නැවතත් මැසිවිලි නැඟුවා, " හරිම තැනක්! අවතාරයක්වත් මෙතැන ජීවත්වෙන්නට කැමැති වෙන එකක් නෑ!"

මහලු සන් තමන්ගේ පුතුන්ට මෙහෙම කිව්වා, "මගේ ළමයිනේ, අපි පදිංචියට සූදානම් වන්නේ මෙතැන. අපි මෙතැන පුංචි පැළක් හදන්නට ඕනෑ. භූමිය සූදානම් කරලා, මෙතැන සතුටින් ජීවත්වෙන්ට ඕනෑ."



"එතකොට ඔහු හිතාන ඉඳලා තියෙන්නේ මේකයි." ජෙන්ෂන් තමාටම කියාගත්තා. ඔහු තමාගේ පියාගේ පස්සෙන් ආවාට, ඔහුට දැන් කාරණාව වැටහී ගිය හින්දා, තාත්තා ඔහුට කියන ඕනෑම දෙයක් කරන්නට ඔහු කැමති වුණා. මෙතැන ඔවුන් හට අයුතු බලපෑම් කරන්නට කවුරුත් නෑ; වටේටම ලොකු, එළිමහන් බිමක් ඔවුනට තිබුණා. ටික වේලාවකින් ඔහු භූමියට ආදරය කරන්නට වුණා. අනිත් අතට ටියාන්මින් මෙතැනට කොහෙත් ම අකමැති වූ අතර, නිරන්තර ව මැසිවිලි නඟන්නට ගත්තා.

ඔවුන් පැමිණියාට පස්සේ, ටික කාලෙකින් මහලු සන් රෝගී වෙමින් මිය පරලොව ගියා. ඔහු මරණයට පත් වීමට මොහොතකට පෙර, ඔහු ළඟ ජීවිතය පුරාම තබාගෙන සිටි රෙදි මල්ලක් එළියට ගනිමි න් මෙහෙම පැවසුවා, "මගේ ළමයිනේ, මෙතැන හණ ඇට මල්ලක් තියෙනවා. ඔබලාට දෙන්නට මට උරුම වෙලා තියෙන්නෙ එච්චරයි. නුඹලාට අවාහයක් කරලා දෙන්නට තරම් මට කවරදාකවත් වස්තුවක් තිබ්බෙ නෑ. නුඹලාට අදින් පස්සේ මේ ඇටවලින් නුඹලාගේ දිවි මඟ සකස් කර ගන්නට වෙනවා. ලෝකයේ තියෙන අගනා ම වස්තූන් වන්නේ; මිනිසුන් සහ ඇට වර්ග කියන එක කවරදාකවත් අමතක කරන්නට එපා. ඔබට මේවා තිබේනම් සියලු දෙය ම ලැබේ වි." මෙහෙම කිව්ව මහලු සන් මියැදුණා.

තම පියාගේ මලකඳ සීතල වීමටත් පෙරාතුව ටියාන්මින් මෙහෙම කිව්වා, "සහෝදරයා, පවුලේ වස්තුව අපි බෙදා ගමු. ඉතින් අපට තියෙන එකම වස්තුව හණ ඇට හින්ද, මගේ කොටස මට දෙන්න, අපි දැන් වෙන්වෙලා යමු!"

පුදුමයට පත්වුණු ජෙන්ෂෙන් මෙහෙම පැවසුවා, "ආ, සහෝදරයා, මේවා සිද්දවෙන්ට ඕනෑ මේ විදියට නෙවේ!"

ටියාන්මින් ඔහුට ඇහුම්කන් දුන්නෙ නෑ. ඔහු රෙදි මල්ල අතට ගනිමින්, මල්ලෙන් හණ ඇට භාගයක් ම තමාගේ මල්ලට හළාගෙන; වැඩිමහලු සහෝදරයාගෙන් සමුගෙන එතැනින් පිටවී යන්නට ගියා. එදා ඉඳන් ඔවුන් වෙන්වෙලා ජීවත් වුණා.

ඉස්සෙල්ලා අපි ටියාන්මින්ගේ කතාන්දරය කියමු:

විනාඩි කිහිපයකට පසුව ඔහු කඳුකරයෙන් පිටත් ව ගියා. ඔහු නැවතත් තමාගේ කිසිවක් හොඳින් නොකරන පුරුදු ජීවන මඟ ම ගමන් ගත්තා.

පළමු දවසේදී ම එක්තරා තානායමකට ඇතුලු වෙමින් ඔහු මේ ලෙසට ඇසුවා, "මුදලාලි ඔබගේ තානායමේ මීයෝ ඉන්නවා ද?"

"ටිකක් ඉන්නවා." තානායම්කරු උත්තර දුන්නා.

"මං ගාව හණ ඇට ටිකක් තියෙනවා, මං ඒවා කොහේ ද තියන්නේ?"

"ඔබ කැමති තැනක තියන්න." තානායම්කරු මිතුරු සිනාවකින් යුතුව කීවා.

" ඒක එහෙම ද?"

"ඔව් - ඔව්." තානායම්කරු පැවසුවා.

එදින රාත‍්‍රියේ දී ටියාන්මින් හිමින් සීරුවේ නැඟිටලා, හණ ඇට මල්ල මී ගුලක් ළඟ තිබ්බා. මීයෝ හණ ඇට සේරම ගිල දැම්මා. ඔහුට උවමනා කළෙත් ඒකමයි. පසුදා උදෑසන අවදිවුණ ඔහු තමාගේ තණ ඇට ‘දේවමය තණ ඇට’ බවත් ඒවා මීයන් විසින් ගිල දමා ඇති බවත් තානායම්කරුට පැවසුවා.

"මං ඔබට ඒවා ආපහු දෙන්නේ කොහොමද!" තානායම්කරු කියා සිටියා.

"ඒක එහෙමනම්," ටියාන්මින් කිව්වා "ඔබේ නිවස කඩලා මට මීයො අල්ලලා දෙන්න!"

තානායම්කරු අවංක මිනිහෙක්. ඉතින් ඔහු තමාගේ නිවස කඩලා, මීයෝ හොයන්නට බිම අඩි තුනක් විතර යටට හෑරුවා. ඊළඟට ටියාන්මින්ට රිදී කාසි හතරකුත් දුන්නා.

එක්තරා දිනක ටියාන්මින් තවත් තානායමක ඉඳිද්දී මෙහෙම කෑගෑවා, "මෙහෙ පූසෙක් ඉන්නවාද?" මං ගාව ‘රත්රන් ඇස් තියෙන’ මීයෙක් ඉන්නවා. ඌ මං තියන්නේ කොහේද?"

"ඔබට කැමති තැනක තියන්න." තානායම්කරු උත්තර දුන්නා.

" ඒක එහෙම ද?"

"ඔව්, ඔව්" තානායම්කරු සහතික වුණා. එදින රාත‍්‍රියේ දී ටියාන්මින්, පූසෙක් ළඟ මීයෙක් තිබ්බා. පූසා හනිකට මීයා ගිල දැම්මා. උදේ තානායමේ දරුණු හඬක් ඇසුණා. තමාගේ, ‘රත්රන්’ ඇස් තියෙන මීයා වෙනුවට, බළලාත් සමඟ රන්කාසි පනහක් දෙන ලෙසට ටියාන්මින්, තානායම්කරුට හඬ ගෑවා. තානායම්කරුට කරන්නට දෙයක් නැතිවුණා. ඔහු, ටියාන්මින් ඉල්ලූ මුදලත්, බළලාත් ඔහුට දුන්නා.

තවත් දිනෙක ඔහු තුන්වෙනි තානායමට ආවා. ඔහු එහි දොර අසල දී ම තානායම්කරුගෙන් මෙහෙම ඇසුවා. "මුදලාලි මෙහෙ බල්ලෙක් ඉන්නවාද?"

"ඔව්, ඒත් ඌට බයවෙන්ට එපා," තානායම්කරු උත්තර දුන්නා.

"මං ගාව ‘රත්රන් ඔළුවක්’ තියෙන පූසෙක් ඉන්නවා. ඔබේ බල්ලා ඌට කරදරයක් කරාවිද?" ටියාන්මින් ඇසුවා.

"එහෙම නෑ ඔබ බයවෙන්ට එපා." තානායම්කරු උත්තර දුන්නා.

" ඒක එහෙම ද?"

"ඔව්, ඔව්." තානායම්කරු පැවසුවා.

එදින රාත‍්‍රියේ දී ඔහු බල්ලාගේ හොම්බ ළඟ ම, පූසා තිබ්බා. ඊළඟ දින උදෑසන අවදි වුණු ඔහු, තමාගේ පූසා බල්ලා විසින් මරා දමා ඇතැයි මරහඬ දෙන්නට ගත්තා. ඒ වෙනුවට තානායම්කරුගේ බල්ලාත්, රිදී කාසි පනහකුත් දෙන ලෙසට ඔහු තානායම්කරුට කෑගෑවා. වෙන කරන්නට දෙයක් නැතිව ඔහු, ටියාන්මින් ඉල්ලූ මුදලත්, බල්ලාත් ඔහුට දුන්නා.



එක් දිනක් ඔහු තවත් තානායමක් වෙතට පැමිණියා. එහි ස්තාලයක් ද තිබුණා. ඔහු තානායමට ගොඩවෙද්දී තානායම්කරු ඇමතුවා.

"මුදලාලි, මං ළඟ බල්ලෙක් ඉන්නවා. උගේ නම වස්තුව. මං ඌ බඳින්නෙ කොහේ ද?"

"ඔබ කැමති තැනක බඳින්න."


එදින රාත‍්‍රියේ දී ටියාන්මින්, තමන්ගේ බල්ලා ඉස්තාලයේ හිටිය ලොකු අස්සය කුගේ වලිගයේ ගැට ගැසුවා. අස්සයා පා පහරක් එල්ල කරමින් බල්ලා එතැනම මරා දැම්මා.

තමාගේ බල්ලා වෙනුවට ටියාන්මින්ට ලොකු අස්සයෙක් ලැබුණා.

දිනක්, අස්සයා පිට නැගී ඔහු එක්තරා ගමකට ආවා. එහි අවමඟුල් උළෙලක්. උළෙලට පැමිණී අය අස්සයාගේ හඬ ඇසී බිය වැදී, මිනී පෙට්ටියත් එතැන ම දමා දුවන්නට ගත්තා. මිනී පෙට්ටිය අරිමින්, මිනිය එළියට ගත් ටියාන්මින් එය සැදෑලයේ තබාගෙන එතැනින් පිටවී ගියා.

එදින සවස ඔහු තවත් ගමකට ළංවෙද්දී, වතුර ගෙනයන තරුණ ළඳුන් දෙදෙනෙක් ඔහුට මඟදී හමුවුණා. ඔයු අස්සයගෙ පිටින් බැස, ගරු සරු ලෙසට ඔවුන්ට හිස පහත් කරමින් මෙලෙස කීවා.

"ආදරණීය කාන්තාවෙනි, මගේ තාත්තා ඉන්නේ හරිම පිපාසෙන්. කරුණාකරලා ඔහුට වතුර ටිකක් දෙන්න!"

දෙදෙනාගෙන් තරුණ කාන්තාව වඩාත් කාරුණික වුණා. ඇය විගසින් ගෙදරට දිවගොස් සුප් එකක් ගෙනැවිත් දුන්නා. ඔහු ඔවුනට පිටුපාගෙන, මලමිනියෙහි රැහැන් ලෙහමින්, මලමිනියෙහි කටට සුප් කෝප්පය හැලුවා. ඊළඟට කෝප්පය ආපසු දෙමින්, ඇයට ස්තූති කළා. නැවතත් ඔහු, ඔවුනට පිටුපා සිටිමින්, හදිසියේ ම අඬන්නට ගත්තා.

"අනේ! මගේ තාත්තා මැරිලා!"

තරුණ කාන්තාවන් දෙදෙනා මෙයින් හොඳටම තැති ගත්තා.

"අපි ඔය සුප් හැදුවෙ අපිට බොන්ට." දෙදෙනාගෙන් එකියක් කීවා. " ඒක ඔබේ තාත්තාට විස වුණේ කොහොම ?"

"ඔබලා ඒක කළේ හිතාමතාමයි!" ටියාන්මින් ඔවුන් බිය ගැන්නුවා. " මේක කළාට මං ඔබලා පොලීසියට ගෙනියනවා."



අස්සකයකු ද හිමි මොහු පොහොසත් අයකු විය හැකි බවත්, ඔහුගෙන් බේරීමට තමනට නොහැකි බවත්, කාන්තාවක් දෙදෙනාට ම වැටහුණා. ඔවුන්ගේ අසරණ තත්ත්වය ටියාන්මින් සැණෙකින් වටහා ගත්තා. "එහෙනම් මේක මෙතැනින් බේරාගන්ට ඕනෑනම්, ඔබලා දෙන්නාගෙන් එක්කෙනෙක් මාත් එක්කලා එන්නට ඕනෑ."

ඔහු ඔවුන් දෙස ඇස් කොනකින් බැලුවා. දෙදෙනාගෙන් බාලයා ලස්සන එකියක ලෙසට පෙනුණු හින්දා, ඔහු ඇයට මෙහෙම පැවසුවා, "ඔබ තමයි මට උවමනා කෙනා. මගේ අස්සයාගේ පිට උඩට නගින්න!" ඔහු කාන්තාව අස්සයාගේ පිට උඩට ඇද ගනිමින්, තමාගේ වැඩිමහලු සහෝදරයා බලන්නට ගියා.

ඔහු අස්සයාගේ පිට උඩ නැගගෙන යද්දී, මිනිස්සු එකිනෙකාට මෙහෙම කියාගත්තා, " අර බලන්න! ඒ නම් උසස් නිලධාරියෙක් වෙන්න ඇති!"

"ඔහුට ඉන්නේ කොච්චර ලස්සන බිරිඳක් ද?"


මෙයින් සතුටට පත්වුණු ටියාන්මින් ලස්සන ගීතයක් මුමුණන්නට වුණා.

"මම දර නො කපමි
වගාද නොකරමි
එහෙම වුණත් මගෙ මල්ලේ
රන් ද රිදී සල්ලී
වැපුරුවෙ නෑ කුඹුරක්
මැසුවේ නෑ ඇඳුමක්
එහෙම වුණත් මා පළඳින්නේ
සේද සළු පිළියි දැනගන්නේ!
හොඳ පත පොත නො කියමි කිසිදා
හොඳ කිසිවක් නො කරමි කිසිදා
එහෙම වුණත් මට ලස්සන බිරිඳක්
අස්සයෙකුත් ඇත දැනගන්නේ!"

"හා, හා, මගේ දුප්පත් සහෝදරයා! ඔහු දැන් වළ පල්ලට ගිහිල්ලත් ඇති! දැන් මං ගිහිල්ලා එයා බලලා එන්න ඕනෑ!"
ඔහු හිතුවා.

ගඟෙහි සෙවණැති නැම්ම වෙතට ටියාන්මින් පැමිණෙත් ම, තම පියා සැදූ, එතැන තිබුණු පැල දෙස ඔහු බැලුවා. පැල එතැන තිබුණත් එය දිරාපත්වෙමින් තිබුණා. එය වසා උස තණ පඳුරු වැඩිලා. ඔහු පොළොවට පයන් ගසත් ම, පරණ ඇට කටු ගොඩක් මතුවුණා.

"හෝ! මේවා වෙන්ට ඇති මගේ වැඩිමහලු සහෝදරයාගේ ඇටකටු!" ඔහු දුෂ්ට ලෙසට කියා සිටියා. ඔහු ගමන ඇරඹීමට සූදානම්වත්ම, ඈත කඳු මත දෝංකාරය දෙවන ගී හඬක් ඔහුට ඇසුණා. ඔහු ඇළ පාරක් දිගේ කන්ද දෙසට අසු පදවාගෙන ගියා. ඔහු අසු පදවාගෙන යත් ම, අවට ඇති දසුන එන්න එන්න ම ලස්සන වුණා. ජලය ගලා යන ‘සිලි - සිලි හඬ අතරින් ඔහුට කුරුල්ලන්ගේ ‘කිචි - බිචිය’ ඇසුණා. ගං ඉවුරෙහි පලුපල්ලව සහිත, තණ පඳුරු වැඩිලාය. එය තවත් ලෝකයක් ම විය. තවත් වංගුවක් හැරුණු ඔහු, තුන් පැත්තකින් කඳුවලින් වටවුණු තැනකට පැමිණියා. බෑවුම් පුරා හණ පඳුරු වැඩී තිබුණා. ඔහු මේ පාරාදීසියේ සිර නරඹමින් ඉදිරියට ගියා. ගොවියෝ ඉණ වටක් දියේ ගිලෙමින්, හණ පොඟවමින් සිටියා.



ඔහු මෙහෙම හිතුවා: "මං කොච්චර ඇවිදලා තිබුණත් මෙහෙම ලස්සන තැනක් දැකලාම නෑ! හරි! මං හිතන්නේ මේ සැඟවුණු මිටියාවත ගැන මේ පළාතේ නඩුකාරයා දන්නෙ නැතුව ඇති. මේ භූමිය බලෙන් ම මගේ අයිතියට අරගෙන, ඇයි බැරි මට මෙතැන රජ්ජුරුවෝ වෙන්ට?" ඔහු මෙසේ අහස් මාලිගා නගද්දී, විශාල ගලක් කන්ද පහළට පෙරළීගෙන ආවා. ඊළඟට කොහේදෝ සිට කුණාටුවක් හමාගෙන ඇවිදින්, ඔහු වටකරගෙන ගල් පෙරළුණා. මුළු අහසම අඳුරු වුණා. සුළඟ විසින් ටියාන්මින් සහ අස්වයා වලාකුළක් වෙතට විසිකරනු ලැබුවා. එහි දී මීයා ඔහුගේ ඇස් අන්ධ කළා; පූසා මූණ බරු ගැහුවා; බල්ලා, ඔහු සැදැල්ලෙන් බිමට ඇද දැම්මා. කිසියම් අවතාරයක් ඔහු අල්ලා ගත් කල්හි ඔහු යටිගිරියෙන් කෑගෑවා. අවතාරය ඔහු අල්ලාගෙන ඊ ළඟ ලොවට ගෙනගියා. තමා කළ පව්කම්වලට ඔහුට එහි දී නිසි දඬුවම් ලැබුණා. ඊ ළඟ මොහොතේ කුණාටුව පහව ගියා. රතු පාට ගිනි බෝලයක් අහසේ කැරකෙමින්, යළි මහ හඬින් ගඟ ළඟ මිටියාවත මතට වැටුණා. එය මොකක් කියලා ද ඔබ හිතන්නේ? ඒ තමයි ටියාන්මින්ගේ අස්සයා. උගේ පිට උඩ ලස්සන තරුණ ළඳක් ඉඳගෙන හිටියා.

ඇය සිහිනෙන් අවදි වූ එකියක ලෙසට වටපිට බලමින් තමාට ම මෙහෙම කියා ගත්තා; "මං මේ කොහේ ද ඉන්නේ? මගේ ගෙදර කෝ?" සෝකයත්, තනිකමත් ඉවසාගත නොහැකි වුණු ඇය අඬන්නට වුණා.



මේ වෙලාවේ දී ඉතාමත් තරුණ සක්තිවන්ත තරුණයෙක් එතැනට ආවා. "ඔබ කොහේ ඉඳන් ද ආවේ, ළමයෝ?" ඇය තමාට සිදු වූ දෙය පවසමින්, ටියාන්මින් කපටි ලෙසට තමා රැවටූ ආකාරය ද විස්තර කර සිටියා. "හිස් කාලකණ්ණියා! මං තමයි ඔහුගේ වැඩිමහලු සහෝදරයා!........" තමා සහ ටියාන්මින් පවුලේ වස්තුව බෙදාගත් පිළිවෙළ ගැන ඔහු, ඇයට විස්තර කර දුන්නා; ඔහු මෙම ගමට පැමිණ, දුප්පත් මිතුරන් කිහිප දෙනෙකු සමග ගම දියුණු කළ අන්දම ගැන ඇයට කියා දුන්නා. ඔවුන් කුඹුරුවලට දිය ගෙන ඒමට, ළිං හාරලා, කාණු කැපුවා; තමාට තිබ්බ හණ ඇට අවුරුදු පතා වගා කෙරුවා. මේ විදිහට එක හණ ඇටයක් දහයක් වුණා. දහයක් සියයක් වුණා. සියයක් හණ ඇට දහසක් වුණා. නිසරු කඳුවැටි මෙසේ සරුසාර පෙදෙසක් වුණා. සෑම අතම හණ පඳුරු දකින්නට ලැබුණා.

තරුණ ළඳ මේවා අසමින් සතුටට පත්වුණා. "ඔබ නියම මිනිසෙක්!" ඇය පැවසුවා.

"මෙතැන ලස්සන තැනක්. මං මෙහේ නැවතිලා, ඔබට උයා පිහා දෙන්නම්. තෙල් සින්දලා දෙන්නම් ඔබට ඇඳුම වියලා දෙන්නම්."

"නියම අදහසක්!"
වැඩිමහලු සහෝදරයා සතුටින් කෑගෑවා.



ඇය මේ විදියට එහි නතරවෙමින්, ජෙන්ෂෙන් කරකාර බැඳ ගත්තා. එදා ඉඳන් දෙදෙනා මහන්සි වෙමින් එතැන වැඩපොළ කළා. එකට සිංදු කියමින්, සතුටින් සාමයෙන් ජයට ජීවත් වුණා.

[චීන ජනකතා | 2008]
පරිවර්තනය - පරාක්‍රම ඇස්. විජේවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails