බොහොම ඉස්සර කාලේ මේ කියන පැත්ත මහ මුකලානයක්. ඒකේ අලි, කොටි, වාගේ දරුණු සතුන් වාගේ ම හාවුන්, මුවන් වාගේ අහිංසක සතුනුත් හිටියා. ඒ එක්කම ඒකේ එක එක ජාතියේ පලතුරුත් තිබුණා. කැලේට ගිය කෙනෙකුට ඔය පලතුරු ඕනෑ තරම් බඩ පිරෙන්නට කන්ට පුළුවන්. හැබැයි ආය ගෙදරට ගෙනියන්ට බෑ. එහෙම කෙරුවොත් ඒවා ගෙදර යනකොට කුණුවෙලා. ඇයි, ඔය පලතුරු වාගේ ජාති හැදිලා තියෙන්නේ සත්තුන්ගේත්, මිනිසුන්ගේත් යහපතට, ඒවා පොදි ගහගෙන ඉන්ට නෙවෙයි.
ඔන්න එක දවසක් ඔය කැලේ කිට්ටුව හිටි ඉලන්දාරියෙක්, ‘කූඩයක් වියාගන්ට වේවැල් ටිකක් ඇදගන්ට ඕනෑ’ කියලා හිතාගෙන කැලේට කැත්තකුත් ඇන්න රිංගුවා. හැබැයි වැඩිය දුරක් එයාට යන්ට බැරිවුණා. ඔන්න ඉස්සරහට වල්අලියෙක් එනවා. එයා අලිමන්තර හොඳට දන්නවා. ඒකට මොකද ඒක එයාට කියාගන්ට බැරි වුණා. ඇයි පණ බය නේ. එයාට කියවුණේ ‘චික් ගෙරියා චික්’ කියන ටික විතරයි. එයා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඔන්න එතකොට එයා ඒ ළඟ තරමක් ලොකු ගලක් දැක්කා. ඒකට නගිංට ඕනෑ කියලා හිතලා, ඒ ගල ළඟට ගොහින් ඒකට අත තිබ්බා විතරයි, අර පස්සෙන් එළවාගෙන ආපු වල්අලියා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඒ ඉලන්දාරියත් අර ගලට නැංගා. තවම එයාගේ පපුව ටික් ටික් ගහලා ගැහෙනවා. ඒක හින්දා එයා ඒ ගලේ ඈඳිගෙන ටික වේලාවක් තමන්ට සිද්ද වෙච්ච ඇබැද්දිය ගැන හිතහිත හිටියා. ඔන්න ටික වෙලාවක් යනකොට මුවපැටියෙක් දුවගෙන එනවා, ඌ පස්සෙ කොටියෙක් පන්නාගෙනයි එන්නේ. ඔන්න මුවපැටියා ගල ළඟට ආවා විතරයි, අර ඌ පස්සෙ එළවාගෙන ආව කොටියා ආපහු හැරිලා දුවන්නට පටන්ගත්තා. දැන් මෙයාට හරි පුදුමයක්. ඔන්න ඕවා ගැන හිතහිත ඉන්නකොට, නයෙක් පස්සෙ මුගටියෙක් පන්නාගෙන එනවා. නයා ගල ළඟට ආවා විතරයි, මුගටියා ආපස්සට හැරිලා දුවන්ට පටන්ගත්තා.
ඉතින් අර විදියට ආපු සත්තුන් එහාට මෙහාට ගියාට පස්සෙ මේ ඉලන්දාරියාත් ආය වේවැල් කපන්ට යන්නේ නැතුව මේ පුදුයම ගැන හිතහිත එතැනින් එනකොට තාපසයෙක් ඉස්සරහට හම්බ වුණා. ඔන්න ඉතින් එයා දැක්ක දේ තාපසයාටත් කියාපි. "ඔව්, ඔව් පැංචෝ මේ ගලේ ඒ විදියේ බලයක් තියෙන එක මමත් දන්නවා. ඒ හින්දා ඔය ගල් ලෙනේ තමයි මාත් ඉන්නේ", කියලා විස්තර කරලා දුන්නා. මගේ නම සෙංඛණ්ඩ කියන එක හින්දා, ඔය පෙළක් ඇත්තන් මේකට සෙංඛණ්ඩ ලෙන කියලාත්, කියනවා කියලා තාපසයා කිව්වා. ඔන්න ඔය දවස්වල ගම්පොළ වික‍්‍රමබාහු රජ්ජුරුවන් නුවරක් හදන්ට හොඳ තැනක් හොය හොයා හිටියා. අර ඉලන්දාරියාට ඒක ආරංචි වෙලා , අන්න අර ජයබිම ගැන කියලා තියෙනවා. රජ්ජුරුවෝ ඇවිත්, අර තාපසයාත් හම්බවෙලා එතැන නුවරක් හදාගත්තා. එතැන තිබ්බ පොකුණේ කිරිඉබ්බෙකුත් හිටියා. ඒකත් හොඳ ලකුණක් ලු. ඉතින් පස්සෙ ඒකට සෙංකඩල නුවර කියලා කමක් දුන්නා කියලාත් කියනවා. ඔන්න ඔහොමයි ඔය නම ලැබිලා තියෙන්නේ. සේනාව කැඩුණු, බය වුණු ගල හිනදා හරි සෙංඛණ්ඩ තාපසයා හිටිය ගල හින්දා හරි සෙංකඩගල වෙන්ට පුළුවන්.
[උපුටනය: මැද රට ජනකතා 2 - නුවර වටා ගෙතුණු කතා]
එච්. එම්. එස්. තුන්දෙණිය
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook