පහුගිය ග්‍රීස්මයේ පුරෝගාමි කඳවුරට ඇවිත් දින දෙකක් ගත වෙද්දි, අපේ පුරෝගාමී නායකයා-වීත්යා අපිට කිවුවේ අපි අපේම ගෙවත්තක් සාදන්නට යන බවයි. අපි හැමෝම එකතු වෙලා වැඩ කරන විදියයි, වවන්නෙ මොන වගේ එළවළු ද කියන එකයි ගැන සාකච්ඡා කළා. අපිට ලැබිලා තිබුණු බිම්කඩ කුඩා පාත්ති වලට වෙන් කරන බවත්, එක් එක් කුඩා පාත්තිය වෙනුවෙන් පුරෝගාමින් දෙදෙනෙකු බැගින් නම් කරන්නට යන බවත් වීත්යා අපට කිවුවා. ඒ වගේම හොඳම පාත්තිය නිර්මාණය සඳහා තරඟයක් පැවැත්වෙන බවත්, දිනන අයට තෑග්ගක් හිමි වෙන බවත් එයා පැහැදිලි කළා. තරඟයේ ඉදිරියෙන් ඉන්න අය හෙමින් වැඩ කරන අයට උදවු කළ යුතු බවත්, එතකොට පොළොව හොඳින් සකස් කරලා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවත් වීත්යා කිවුවා.

මාවයි මීෂ්කාවයි එකම කණ්ඩායමකට දමන්න කියලා අපි ඉල්ලා හිටියා. මොකද කඳවුරට එන්න කලින්ම අපි දෙන්නා එකඟ වෙලා හිටියා එකට ඉන්නත්, එකට මාළු බාන්නත්, කොටින්ම එකතු වෙලා හැමදේම කරනවා කියලත්.

ඉස්සෙල්ලාම බිම් කොටලා ඉවර වෙන කණ්ඩායමට අභියෝගතා පුවරුවක් දිය යුතුයැයි වාදික් සයිත්සේව් යෝජනා කළා. ඉන් පස්සෙ එම පුවරුව හොඳම වගා කරන්නාටත්, පසුව හොඳම වල් නෙළන්නන්ටත් හිමි විය යුතු බවට සියළු දෙනාම එකඟ වුණා. අවසානයේ දී හොඳම අස්වැන්න ලබන කණ්ඩායමට එම පුවරුව ආපසු නගරය තෙක් ගෙන යාමට අවස්ථාව ලැබෙන බවත් කියා සිටියා.

ඉතිං මීෂ්කයි මමයි තරඟය දිනන්න තීරණය කළා.

'අපි මේක ඉස්සෙල්ලම දිනා ගනිමු. ඊට පස්සේ ග්‍රීස්ම කාලේ ඉවර වෙනකල්ම මේක අපි ළඟම තියාගෙන ආපහු නගරෙට යනකොට ගෙනියමු' මීෂ්කා කිවුවා.

අපිට ලැබිලා තිබුනේ ගඟ අයිනේ තිබුණු කුඩා බිම් කොටසක්. පළමුවෙන්ම අපි කළේ බිම් තීරුව මනින එක. ඉන්පස්සෙ කුඩා පාත්ති වලට වෙන් කරලා ඒ එක එකක් අංක යෙදු ලී පුවරු සවි කරලා සකස් කලා. මීෂ්කටයි මටයි ලැබුණේ පාත්ති අංක දොළහ. මීෂ්කා ඒ ගැන හිටියේ අසතුටෙන්. එයා වීත්යා ළඟට ගිහින් අපිට ලැබුණු බිම් කට්ටිය අන්තිම නරක එකක් බවට නෝක්කාඩු කියන්ට පටන් ගත්තා.

'මොකද ඒක නරක වෙන්න හේතුව?' වීත්යා ඇහුවා.

'ඒක මැද්දේ මහ විසාල ගුලක් තියෙනවා.' මීෂ්කා උත්තර දුන්නා.

'ඉතිං ඒකට මොකද? අනික ඒක ගුලක් නෙවෙයි, සතෙකු ගේ කුර සටහනක්' වීත්යා මහ හයියෙන් හිනා වුණා.

'ඒ විතරක් නෙමෙයි ගස් කොටයකුත් තියෙනවා.' මීෂ්කා ආයෙත් කිව්වා.

'ඉතිං අනිත් බිම් කට්ටි වලත් තියෙන්නෙ ගස් කොටන්.'

ඒත් මිෂ්කා ඒකට ඇහුම් කන් දුන්නේ නෑ.

'ඒක එහෙම් පිටින්ම හාරලා දමන්න වෙයි.' මීෂ්කා චුරු චුරු ගෑවා.

'දැන් යන්න. ගිහින් හාරන්න පටන් ගන්න. උදවු ඕනෑ නම් අනිත් අය ඔබට උදවු දේවි.' වීත්යා කිවුවා.

'හුහ්...අපිට පුළුවන් අපේ වැඩේ කරන්න. ඔන්න බලන්න අපි තමයි අන්තිමේදි අනිත් අයට අත දෙන්නෙත්.' මීෂ්කා වීරයා වගේ කිවුවා.



'අන්න එහෙම තමා ඉන්න ඕනෑ.' වීත්යාත් කිවුවා.

හැමෝම බිම් කෙටිල්ල පටන් ගත්තා. අපිත් බිම් කෙටිල්ල පටන් ගත්තා. ඒත් හැම තත්පරේකටම සැරයක් මීෂ්කා කලේ බිම් කෙටිල්ල නවත්තලා අනෙක් අය කොපමණ කොටා ඇත්දැයි බලන්ට දුවන එකයි.

'ඔයා හරියට වැඩ කරන්න පටන් ගත්තේ නැත්තං ඔන්න අපිට ඉන්න වෙන්නේ අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන්.' අන්තිමේදි මං මීෂ්කාට කිවුවා.

'හරි, හරි. ඒ වුනාට මට පුළුවන් අල්ලන්න ඒගොල්ලන්ව.'

ඔන්න එතකොට මීෂ්කා බිම කොටන්න පටන් ගත්තා. ආයෙමත් ටික වෙලාවකින් එයා කලේ අනිත් අයගේ බිම් කට්ටි දිහා බල බල ඉන්න එකයි.

එදා අපිට ඒ හැටි තරමක් බිම් කොටන්න බැරි වුණා. මොකද රෑ කෑමට අපිට සීනුව නාද කළ නිසා. රෑ කෑමෙන් පස්සෙ අපි දෙන්නා පාත්තියට යන්න පිටත් වුණත් වීත්යා ඇවිත් අපිව නැවැත්තුවා.

'දවසකට ඔය වැඩ කළා හොඳටම ඇති. අපි වැඩ කරන්නේ උදේට විතරයි. රෑ කෑමෙන් පස්සේ අපි විවේක ගන්න ඕනෑ. නැත්තං වෙන්නෙ පළවෙනි දවසෙම ඕනෑවටත් වඩා වැඩ කරලා ඊළඟ දවසෙ වැඩ හරියට කරන්න බැරි වෙන එකයි.'

ඊළඟ දවසේ උදේ අපි හැමෝටම කලින් බිම් කොටන්න පටන් ගත්තා. ඔන්න ටික වෙලාවකින් වීත්යා ළඟට ගිය මීෂ්කා මිනුම් පටියක් ඉල්ලා හිටියා. ඉන්පස්සේ අපි කොපමණ කොටසක් කොටා ඇත්දැයි මැන්නා. තව කොපමණ කොටසක් කොටන්නට ඉතිරිව ඇතිදැයි මැන්නා. ටික වේලාවකින් මීෂ්කා ආයෙත් පොළොව කොටන්නට පටන් ගත්තා. ආයේ මොහොතකින් මනින්ට පටන් ගත්තා. ඒ මනින හැම වෙලාවකම එයා කිවුවේ අපි සෑහෙන තරමට පොළොව කොටා නැහැයි කියන එකයි.

'ඔවු, ඔවු. ඒක එහෙම තමයි. මොකද මේක කොටන්නෙ මං විතරක් නිසා. ඔයා කරන්නේ මැන මැන ඉන්නෙක විතරයි මීෂ්කා' අන්තිමේදි මං කිවුවා.

මිනුම් පටිය වීසි කරලා මීෂ්කා ආයෙත් කොටන්න පටන් ගත්තා. එයාට වැඩි දුරක් කොටාගෙන යන්නට ලැබුනේ නෑ. එයාගේ ඉස්කෝප්පේ විසාල ගස් මුලක පැටළුණා. අන්තිමේදි මුල උදුරලා දමන්න එයා උත්සහ කළත් ඒක අසාර්ථක වුණා. එයා මුළු බිම් කට්ටිය පුරාම හාරමින් මුල ගලවන්න හැදුවා.

'ඒක එහෙමම තියෙන්න දෙන්න! ඒක ගැන ඔය තරම කරදර වෙන්නේ මොන එහෙකටද?' මං කිවුවා.

'මේක හැතැක්ම බාගෙකටත් වඩා දිගයි කියලා මං දැනගන්නේ කොහොමද?' මීෂ්කා ඇහුවා.

'ඒක එහෙමම තියන්න.'

'ඒ වුණාට ඒක කොතනකින් හරි තැනකින් ඉවර වෙන්න ඕනෑ නේද?' මීෂ්කා ඇහුවා.

'ඉතිං එහෙම වුණා කියලා මොකද්ද ඇතිවෙන වෙනස?' මං කිවුවා.

'මං මොකක් හරි පටන් ගත්තොත් ඒක මොන විදියෙන් හරි ඉවර කරලා නවතින ජාතියේ කෙනෙක්.' මීෂ්කා උත්තර දුන්නා.

එහෙම කියලා මුල දෑතින්ම අල්ලලා අදින්න පටන් ගත්තා. මට තරහ ගියා. මං මුල තිබුණුතැනට ගිහින් ඒකට හයියෙන් ගහගෙන ගහගෙන ගියා. මීෂ්කා වගකට නැතුව දිගටම මැන මැන හිටියා.

'අර බලන්න, ඒක මීටර හයහමාරක් දිගයි! අපි දැන්ම කපලා අයින් කළේ නැත්තං මේක මීටර විස්සකටත් එහා දුර ගිය එකක් වෙයි'

'ඔයා වැඩ කරනවට වඩා මේ වගේ දේවල් වලට කාලේ කන කෙනෙක් කියල දන්නවා නම් මං කොහෙත්ම ඔයා එක්ක වැඩකරන්න එන්නේ නෑ මීෂ්කා.' මං කිවුවා.

'ඉතිං ඔයා මං එක්ක වැඩ කරන්න ඕනෑ කිවුවේ කවුද. ගිහින් තනියෙන් වැඩ කරන එකයි ඇත්තේ.'

'මං මෙච්චර ප්‍රමාණයක් තනියෙන්ම කොටලා ඉවර වුණාට පස්සෙත් ඔයා එහෙම කියනවද මීෂ්කා. කොහොම වුණත් අපි පළමුවෙනියා නොවෙන එක නම් ස්ථීරයි.'

'කවුද එහෙම කියන්නෙ? අර බලන්න වාන්යා ලොෂ්කින් ගෙයි සේන්යා බොබ්රොව් ගෙයි පාත්ති දිහා, ඒ ගොල්ලො අපිට වඩා කොච්චර ටිකයි ද කොටලා තියෙන්නේ.'

එහෙම කියලා වාන්යා ලොෂ්කින්ගේ පාත්තියට ගිහින් මීෂ්කා මෙහෙම කිවුවා.

'බිම් කොටන්නනි, ඉතා ඉක්මනින්ම ඔබ සියළු දෙනාට අත දීමට අපිට හැකිවෙනවා නිසැකයි!'

ඒගොල්ලො මීෂ්කාව එළවා ගත්තා.

'ඔයා හරිම පුදුම එක්කෙනෙක් තමයි මීෂ්කා. තමන් කිසිම දෙයක් මහන්සි වෙලා කරන්නෙ නැතුව අනිත් අයට ඔහොම විහිළු කර කර ඉන්න පුළුවන්ද? ඇත්තටම අපරාදේ මං ඔයා එක්ක වැඩ කරන්න එකතු වුණේ.' මං කිවුවා.

'දුක් වෙන්නෙපා. මං ළඟ තියෙනවා කදිම අදහසක්. ඔන්න බලන්නකො හෙට වෙද්දි පුවරුව තියෙයි අපේ පාත්තියේ.' මීෂ්කා කිවුවා.

'ඔයාට නම් පිස්සු මීෂ්කා. තව දවස් දෙකක් වත් කරන්න තරම් වැඩ තියෙනවා අපිට. ඒකටත් තව දවස් හතරක්වත් යයි ඔයා දිගටම මෙහෙම වැඩ කළොත්' මං කිවුවා.

'ඔයාට පස්සෙ තේරෙයි. මගේ සැලසුම දැනගත්තම' මීෂ්කා කිවුවා.

'හරි, හරි. දැන් වැඩ කරන්න. පොළොව ඉබේ කෙටෙන්නේ නැහැ.' මං කිවුවා.

මීෂ්කා පොළොව හාරන්න ඉස්කෝප්පෙ අතට ගත්තා විතරයි වීත්යා ඇවිත් කිවුවා රෑ කෑම සුදානම් බව. ඉස්කෝප්පේ පැත්තකට වීසි කරලා මීෂ්කා කෑම කාමරය පැත්තට ගියා.

රෑ කෑමෙන් පස්සෙ අපි හැමෝම එකතු වෙලා පුවරුව හදන්න වීත්යාට උදවු කළා. අපි ඊට හරියන ලී දෙකක් සොයා ගත්තා. රෙදි කැබැල්ලක් පමණට කපා මසා ගත්තා. ඊට පස්සේ වීත්යා 'හොඳම ගොවියා' කියලා රෙදි කැබැල්ල උඩ රිදී පාට තීන්තෙන් ලියුවා. ඒක බොහොම ආකර්ෂණීය පුවරුවක්.

'අපි පඹයෙකුත් හදමු. ඒකෙන් අපිට පුළුවන් කුරුල්ලො ගෙවත්තෙන් ඈත් කරලා තියන්න' මීෂ්කා යෝජනා කළා.

හැමෝම බොහොම සතුටින් ඒ අදහසට කැමති වුණා. අපි කණුවක් අරගෙන ඒකෙ හරහට හිටින්න පඹයායගේ අත් වලට තවත් පොල්ලක් බැඳගත්තා. පරණ ගෝනියකින් කමිසයක් හදලා අන්දලා මුට්ටියක් ඔලුවට තැබුවා. මීෂ්කා ගල් අඟුරු කෑල්ලකින් පඹයාගේ ඇසුත්, නහයත් කටත් ඇන්දා. ඇත්තෙන්ම ඌ බය හිතෙන පඹයෙක්. අපි එයාව ගෙවත්ත මැද්දේ හිටවලා හයියෙන් හිනා වුණා.

ඒ අතරෙ මාව පැත්තකට ඇදගෙන ගිය මීෂ්කා මට රහසක් කියුවා.

'මෙන්න මේකයි සැලසුම. අද රෑට හැමෝම නිදාගන්න ගියාම අපි පාත්තියට යන්න ඕනෑ. එහෙම වුණොත් අපිට පුළුවන් සෑහෙන්න බිම කොටලා ඉවර කරන්න. එතකොට අපිට හෙට කරන්න ඉතිරි වෙන්නෙ බොහොම ටිකයි. ඒ කියන්නෙ අපි පුවරුව දිනා ගන්න එක ස්ථීරයි' මීෂ්කා කිවුවා.

'හැබැයි ඒ ඔයත් වැඩ කළොත් විතරයි. ඔයා මුළු වෙලාවෙම කරන්නෙ මෝඩ වැඩ කර කර ඉන්න එකනේ.' මම උත්තර දුන්නා.

'ඔන්න බලන්න, ඔයාට පෙනෙයි, මේ වතාවේ මං කඩියෙක් වගේ වැඩ කරන්න්නයි යන්නේ'

'හරි. හැබැයි ඔයා වැඩ නොකලොත්, මං වැඩ කරන්නෙත් නෑ ඔන්න.'

අපි හැමෝම නින්දට ගියා. ඒත් අපි කලේ නිදි බව බොරුව්ට අඟවන එක. හැමදේම නිශ්ශබ්ද වුණු පළවෙනි මොහොතෙම මීෂ්කා මගේ ඇලපතට ඇන්නා. ඒක මට හරියට රිදුනා. 'නැගිටින්න' මීෂ්කා රහසෙන් කිවුවා.

'අපි දැන්ම යන්න ඕනෑ. එහෙම නොවුනොත් පුවරුව අපිට ලැබෙන්නෙ නම් නෑ කොහෙත්ම'

අපි නේවාසිකාගාරෙන් හෙමින් එළියට බඩ ගෑවා. ඊට පස්සෙ ඉස්කෝප්ප දෙකත් අරන් කෙළින්ම දිව්වෙ අපේ පාත්තියට. එදා බොහොම හොඳට හඳපායලා තිබුණු නිසා හැම දෙයක්ම බොහොම පැහැදිලිව අපිට පෙනුණා.

අපි වැඩ කරන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මීෂ්කා හැබෑවටම වැඩ කළා. ඒ නිසා බොහො වෙලාවක් යන්නට කලින් ගස් කොටය තිබුණු තැනට වෙනකල්ම කොටලා ඉවර කරන්න අපිට පුළුවන් වුණා. අන්තිමේදි ඒකත් ගලවලා දමන්න අපි තීරණය කළා.

අපි කොටයේ මුල් තිබුණු තැන වටේටම පස බුරුල් කලා. ඊටපස්ස පුලුවන් තරම් වීරිය දමලා ඒක ඇද්දා. ඒත් ඒක හෙලවුණේ වත් නෑ. කොටයේ මුල් ගිහින් තිබුණු හැමතැනක්ම සෝදිසි කරලා ඒවා උගුල්ලා දමන්න අපි හිතුවා. ඒක ඒ තරම් පහසු කටයුත්තක් වුණේ නැතත් අන්තිමේදි ගස් මුල ගලවාගන්න අපිට පුළුවන් වුණා. මීෂ්කා කලේ අපි උගුල්ලපු ගස් මුල අනෙක් අයගේ පාත්තියකට වීසි කල එකයි.

'ඒක හොඳ වැඩක් නෙමෙයි මීෂ්කා.' මං කිවුවා.
'එහෙමනම් මේක අපි වීසිකරන්නේ කොහාටද?'
'අපේ යාළුවන්ගේ පාත්තියකට නම් නෙමෙයි කොහෙත්ම'
'හරි. එහෙමනම් මේක ගඟට වීසි කරමු.'


ගස් මුල ඔසවාගෙන ගිහින් අපි ඒක ගඟට වීසි කලා. ඒක කොයිතරම් බරද කිවුවොත් ඒක ඔසවාගෙන යන්න අපිට ලොකු වෙහෙසක් දරන්නට වුණා. අන්තිමේදි අපි කොහොම හරි ඒක ගං ඉවුරට ඇදගෙන ගිහින් ගඟට තල්ලු කළා. හතර වටේටම මුල් විහිදිලා තිබුණු හස් කොටය වතුරේ පහළට පාවෙවි ගියේ හරියටම අඬු-පඬු විහිදා ගත්ත මහ විසාල බූවල්ලෙකු වගෙයි. ඒක ඈතට නොපෙනි ගියාම අපි ආයෙත් නේවාසිකාගාරෙට ගියා. ආයෙත් වෙන මොකුත් වැඩක් කරන්න බැරි තරම් අපි දෙන්නට හොඳටම මහන්සියි. අනිත් එක හෙට උදේට අපිට කොටන්නට ඉතිරි වෙලා තියෙන්නෙ පුංචිම පුංචි බිම් කොටසක් විතරයි.

පහුවෙනිදා උදේ අපි ඇහැරුණේ අනිත් හැමෝටම වඩා පරක්කු වෙලා.

හරියට ඇඟ රිදෙන්න පටන් ගත්තා. අත් උස්සන්නවත් බැහැ. කකුල් උස්සන්නත් බැහැ. ඇඟ හරියටම තලලා දමලා වගේ රිදෙන්න පටන් ගත්තා. කොන්ද කෙළින් කරගන්නටත් බැරි තරම් ඇඟ රිදෙන්න ගත්තා.

'අපිට මේ මොකද වෙලා තියෙන්නෙ?' මීෂ්කා ඇහුවා.

'පොඩි වෙලාවකින් මහ ගොඩක් වැඩ කළ හින්දා තමයි ඉතිං' මං කිවුවා.

අමාරුවෙන් නැගිටලා ටික වෙලාවක් යද්දි රිදිල්ල ටික ටික අඩු වෙලා යන්ට පටන් ගත්තා. උදේ කෑම වෙලාවෙදි අපි පුවරුව දිනාගන්නවාමයි කියලා මීෂ්කා පුරසාරම් කියන්ට පටන් ගත්තා.

උදේ කෑමෙන් පස්සෙ අපි ගියා ගෙවත්තට වැඩ කරන්න. මීෂ්කයි මම ඒ ගැන එතරම් කලබ වුණේ නෑ වැඩ කරන්න. මොකද අපිට හුඟ වෙලාවක් ඉතිරි වෙලා තිබුණු නිසා.

අපි ගෙවත්තට ළඟා වෙද්දි අනිත් අය හැමෝම බොහොම කඩිසරව පොළොව කොටමින් හිටියේ හරියටම බීවරයෝ වාගෙයි. ඒගොල්ලනට හිනා වෙවී අපි ඇවිදගෙන ගියා.



'ඔය තරම මහන්සි වුණාට වැඩක් නැහැ. මොකද දැනටමත් පුවරුව දිනා ගෙනයි ඉන්නෙ අපි' මමයි මීෂ්කයි අනෙක් අයට කිවුවා.

'අපි නෙමෙයි ඔයදෙන්නා ඉක්මනින් වැඩ කරන්න පටන් ගත්තොත් තමයි හොඳ..!' ඒගොල්ලො අපිට කිවුවා.

ඔන්න එතකොටම වාගේ මීෂ්කා මෙහෙම කිවුවා.

'මේ බලන්න! මේක කාගේ පාත්තියද? තවම හාරලා තියා හාරන්න හිතලා වත් නැති පාටයි. මේ ගොල්ලො ගෙවල්වලට වෙලා තාම හොඳට නිදිද කොහෙද?'

මම පාත්ති අංකය දිහා බැලුවා. ඇත්තටම ඒක පාත්ති අංක දොළහ.

'මේක අපේ පාත්තිය!' මං මීෂ්කාට කෑ ගැහුවා.

'ඒක වෙන්නෙ කොහොමද? අපි මීට වඩා හුඟක් බිම් කෙටුවා' මීෂ්කා ඇහුවා. ඇත්තටම මමත් හිතුවේ ඒකමයි.

'සමහරවිට කවුරුහරි පාත්ති නොම්මර වෙනස් කලා වෙන්න බැරිද?' මීෂ්කා ඇහුවා.

'නෑ. ඒක වෙන්න බැහැ, බලන්න මේ තියෙන්නෙ පාත්ති අංක එකොළහ. අරක දහතුන.'

අපි ආයත් හොඳට වට පිට බැලුවා. එතකොට අපි දැක්කා ගස් මුල පාත්තිය මැද්දේ එහෙමම තියෙනවා. ඒක අපිට අදහාගන්නත් බැරි වුණා.

'මේ අහන්න මීෂ්කා. මේක අපේ පාත්තිය නම් අර ගස් මුල මෙතනට ආයෙත් ආවේ කොහොමද? අපි ඒක ඊයේ ගලවලා ගඟට වීසිකළා නෙ'


'ඔවු. ඔවු. ඒක අපි ගලවලා වීසි කලා තමයි. අලුත් එකක් එක රෑකින් වැවෙන්න විදියක් නෑ කොහෙත්ම' මීෂ්කා කිවුවා.

ඔන්න එතකොටම වාගේ අපේ පාත්තියට අල්ලපු පාත්තියේ වාන්යා ලොෂ්කින් කතා කරලා මෙහෙම කිවුවා.

'බලන්න, පුදුමයකින් වගේ අපේ පාත්තියෙ ඊයෙ තිබුණු ගස් කොටේ අද වෙනකොට අතුරුදහන් වෙලා. ඇත්තටම ඒක කොහෙ ගියාද? පුදුමයක්.. හරිම පුදුමයක්!'

හැමෝම එතනට දුවලා ගියා පුදුමය බලන්න. ඉතිං අපි දෙන්නත් ගියා.

මොකද්ද මේ වෙලා තියෙන්නෙ? ඊයේ දවසෙ පාත්තියෙන් අඩකටවත් වඩා අඩුවෙන් කොටලා තිබුනු වාන්යා ලොෂ්කින්ගේ පාත්තිය අද උදේ වෙද්දි සම්පූර්ණයෙන්ම කොටලා ඉවරයි, එකමෙක පුංචි මුල්ලක් ඇරෙන්න.

'මීෂ්කා, දන්නවද මොකද වෙලා තියෙන්නෙ කියලා? ඊයේ රෑ අපි කොටලා තියෙන්නෙ වාන්යා ලොෂ්කින්ලගේ පාත්තිය. අර උගුල්ලලා දමාපු ගස් කොටේ ඒගොල්ලන්ගේ එකක්.' මං කිවුවා.

'ඒක වෙන්න බෑ'

'ඒත් ඒක එහෙම තමයි'

'කොයි තරම් මෝඩයො ද අපි. අපි දැන් මොකද කරන්නෙ? හරි විදියට නම් ඒගොල්ල අපේ පාත්තිය අරගෙන ඒ පාත්තිය අපිට දෙන්න ඕනෑ. අන්තිමේදි අපේ මහන්සිය වතුරේ ගියා'
මීෂ්කා චුරු චුරු ගෑවා.

'කටවහගන්න. ඔයාට ඕනෑ මේ කඳවුරේ ඉන්න හැමෝම අපිට හිනා වෙනවා බලන්නද?'

'එහෙමනං මොනවද අපි කරන්නේ?'

'කොටන එක. ආපහු යන්තර දෙකක් වගේ පොළොව කොටන එක.'
මං කිවුවා.

ඉස්කෝප්ප දෙකත් අරන් ආයෙත් අපි වැඩ කරන්න පටන් ගත්තා. කලින් දවසේ වැරදීමෙන් අල්ලපු පාත්තිය කොටපු හන්දා අපේ අත් කකුල් රිදෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒ හැටි තරමක් පොළොව කොටලා ඉවර කරගන්න අපිට බැරි වුණා.

වැඩි වෙලාවක් යන්න කලින් වාන්යා ලොෂ්කින් සහ සෙන්කා බොබ්රොව් ඒගොල්ලන්ගේ පාත්තිය කොටලා ඉවර කළා. වීත්යා ඒගොල්ලට සුබ පතලා පුවරුව තෑගි කළා. ඒගොල්ලෝ පුවරුව පාත්තිය මැද්දෙ හිටෙවුවා. හැමෝම වට වෙලා අත්පොළසන් දෙන්න පටන් ගත්තා.

ඒක මීෂ්කාට දරන්න බැරි වුණා.

එයා වීත්යා ළඟට ගිහින් මෙහෙම කිවුවා.

'ඒක හරිම අසාධාරණයි!'
'ඒ මොකද ඒක අසාධාරණ වෙන්නෙ?'
'ඒ ගොල්ලන්ගේ පාත්තියේ ගස් මුල ගලවලා තියෙන්නේ වෙනත් කෙනෙක්. එගොල්ලොම එහෙම කිවුවා.'
'ඒක ඉතිං අපේ වරදක් නෙමෙයි නේ. කාටහරි දරට කොටයක් ඕනෑ වෙන්නැති. ඉතිං අපෙ ගස් කොටේ ගලවාගෙන යන්නැති'
වාන්යා මැද්දට පැනලා කිවුවා.
'කවුරුහරි වැරදිලා ගැලෙවුවා වෙන්න බැරිද?' මීෂ්කා ඇහුවා.
'එහෙම කළා නම් ඉතින් මේ අහල පහළ කොටේ තියෙන්නෙ ඕනෑ නේ'
'කවුරුහරි ඒක ගඟට වීසිකළා වෙන්න බැරිද?'
ආයෙත් මීෂ්කා කිවුවා.

'මෙහෙම වෙන්නැති. එහෙම වෙන්නැති....' කතන්දර ගොඩක් මැද්දෙ මීෂ්කා නම් කතාව නැවැත්තුවෙම නැහැ.

'වෙන කෙනෙක් ඔයගොල්ලොට පාත්තිය කොටල දුන්නා' මීෂ්කා කිවුවා. එතකොට මං මීෂ්කට වැලමිටෙන් ඇන්නා.

'ඔවු කවුරුහරි කොටන්න ඇති සමහර විට. අපි මැන්නෙ නැහැ නෙ.' වාන්යා කිවුවා.

අපි ආපහු අපේ පාත්තියට ගිහින් කොටන්න පටන් ගත්තා. වාන්යාත් සෙන්කත් එකතු වෙලා අපට විහිළු කරන්ට පටන් ගත්තා.

'අර බලන්න. ඒ ගොල්ලො හරියටම කැස්බෑවෝ දෙන්නෙක් වාගෙයි. හරිම හෙමින් වැඩ' ඒගොල්ලො කිවුවා.

'අපි ඒ ගොල්ලන්ට උදවු දෙන්න ඕනෑ. මොකද ඒ ගොල්ල අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන් ඉන්නේ' වාන්යා කිවුවා.

ඉතිං ඒ ගොල්ලො අපිට උදවු කළා. පොළොව කොටන්නත් ගස් මුල ගලවා දමන්ටත් උදවු කළා. ඒත් අපි බිම් කොටලා අවසන් කළේ සියළු දෙනාටම පසුවයි.

අන්තිමට කෙටිල්ල ඉවර කළේ අපි හින්දා, පඹයා අපේ පාත්තියේ සිටුවිය යුතුයැයි කෙනෙක් යෝජනා කළා. හැමෝම ඒකට එකඟ වුණා. ඉතිං පඹයා අපේ පාත්තියට ආවා. මීෂ්කයි මමයි ඒ ගැන හිටියේ ලොකු හිත් රිදිල්ලකින්.

'අය්යෝ.. සතුටින් ඉන්න. ඔය ගොල්ලො පැල හිටවලා වල් ගලවන්න පටන් ගත්තාම අපි පඹයාව ගලවලා වෙනත් තැනකින් හිටවමු.' හැමෝම කිවුවා.

'දුර්වලම වැඩ පෙන්වන කණ්ඩායමට අපි පඹයාව දෙමු' යූරා කොස්ලොව් යෝජනා කළා.

'ඒක හොඳයි!' හැමෝම කෑ ගැහුවා.

'සරත් කාලෙදී අඩුම පලදාවක් තියෙන පාත්තියට ඒක තෑගි දෙමු' සෙන්කා බොබ්රොව් කිවුවා.

ඉතිං මීෂ්කයි මමයි මේ කැත පඹරාළගෙන් ගැලවෙන්න මහන්සි වෙලා වැඩ කරන්න තීරණය කළා. ඒත් ග්‍රීස්ම කාලේ ඉවර වෙනකල්ම පඹයා අපේ පාත්තියේම හිටියා. පැල හිටවන කාලේ ආවම මීෂ්කා කැරට් ඇට වලට උඩින් බීට් රූට් ඇට දමලා හැමදේම අවුල් කළා. වල් ගලවන කාලේ දී වල් පැල වෙනුවට පාස්ලි ගස් උදුරා දැමුවා.

පස්සෙ ඒ වෙනුවට ආයෙමත් රාබු හිටවන්න අපට සිද්ද වුණා. මේ වැඩේ කිහිපවතාවක්ම නවතා දමන්න ඕනෑ කියලා මට හිතුණත් එවැනි දෙයක් නිසා යාළුවෙක් අතැරලා දමන්න මට හිත දුන්නේම නෑ. ඉතිං අවසානය තෙක්ම මීෂ්කා එක්ක වැඩ කරන්න මං තීරණය කළා.

ඔබට හිතාගන්නට පුළුවන්ද මීෂ්කටත් මටත් අන්තිමේදි පුවරුව දිනාගන්නට හැකි වූ බව? හැමෝම පුදුමයට පත් වුණේ හොඳම තක්කාලි අස්වැන්නත් කැකිරි අස්වැන්නත් අපිට හිමි වුණු නිසා.



ඒ ගැන පුංචි පහේ කලබලයකුත් ඇති වුණා!

'ඒක හරිම අසාධාරණයි. ඒ ගොල්ලො අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන් ඉඳලත් හොඳම අස්වැන්න ඒගොල්ලන්ට ලැබුණේ කොහොමද?' හැමෝම ප්‍රශ්න කළා.

ඒත් වීත්යා මෙහෙම කියුවා.

'ඒක ඉතාම සාධාරණයි. ඔයගොල්ලො හැමෝටම වඩා හෙමින් ඒගොල්ලො වැඩ කළා වෙන්ට පුළුවන්. ඒත් ඒගොල්ලො හුඟක් හොඳින් පොලොව කොටලා පැල හිටවූ නිසයි ඉතා හොඳ අස්වැන්නක් ලැබුණේ.'

'හොඳම පාත්තිය ලැබුණේ ඒගොල්ලන්ටයි. ඒකයි හේතුව. මටයි සෙන්කටයි ලැබුණේ නරකම පාත්තිය. ඒකයි කොයි තරම් මහන්සි වුණත් අඩු අස්වැන්නක් අපිට ලැබුනේ. ඒගොල්ලන්ටම කියන්න මේ මෝඩ පඹයාව තියාගන්න කියලා, ඒක මුළු ග්‍රිස්ම කාලෙම ඒගොල්ලන්ගේ පාත්තියේ තිබුණ වගේම' වාන්යා ලොෂ්කින් කුරු කුරු ගෑවා.

'ඒකට කමක් නෑ. පඹරාලව අපි සතුටින් බාරගන්නවා' මීෂ්කා කිවුවා.

හැමෝම හයියෙන් හිනා වුණා.

'මේ පඹරාල නොහිටියා නම් අපි කීයටවත් මේ පුවරුව දිනා ගන්නේ නෑ!' මීෂ්කා කිවුවා.

'ඒ කොහොමද?' හැමෝම ඇහුවා.

'පඹරාලට බයේ එකමෙක කුරුල්ලෙක් වත් අපේ පාත්තියට ආවේ නෑ. ඒ නිසයි ලොකුම අස්වැන්න ලබා ගන්න අපිට පුළුවන් වුණේ. ඒ විතරක් නෙමෙයි, අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියන එක අපිට නිතර මතක් කළේ මේ පඹරාලයි.'

'ඉතිං මේ මෝඩ පඹරාලට අපි දැන් මොකද කරන්නෙ මීෂ්කා?' මං ඇහුවා.

අපි පඹරාලව ගඟ පහලට අරන් ගිහින් ගඟට වීසි කළා. පඹරාල අත් දෙක විහිදාගෙනම ගඟ පහළට ගහගෙන ගියා. එයා ඈතට නොපෙනී ගියාම අපි ආපහු කඳවුරට ආවා.

අල්යෝෂා කුරොච්කින් අභියෝගතා පුවරුව එක්ක මාවයි මීෂ්කවයි අපේ පාත්තියේ තියලා පිතූරයකුත් ගත්තා. ඇත්තෙන්ම ඔබ කැමති නම් ඒ පින්තූරය බලන්න, ඔබට ඒ පින්තූරය එවන්නට අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා.

නිකොලායි නෝසව්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails