මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය

චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර කිපෙන සුළු කෙනෙක්. ඒ වගේම හුදෙකලා වෙලා ඉන්න දුක්බර කෙනෙක්. දවසක් ඔහුට මහපොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සතුට ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඉතින් මහපොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් පළි ගන්නට හිතූ ජේඩ් අධිරාජයා එය විනාශ කරදමනු පණිස කටින් ගිනි පිඹින මායාකාර පාත්තයෙකු පෘථීවියට එව්වා.

මේ බව දැනගත් ජේඩ් අධිරාජයේ ජීවත් වුණු එක්තරා කාරුණික කන්‍යාවක්, මහපොළව වෙත පැමිණියා. පෘථීවියේ ජීවත් වුණු මිනිසුන් හමු වූ ඈ මායාකාර පාත්තයා පිළිබඳ තොරතුරු ඔවුන්ට දැන්වූවා. එපමණක් නොවෙයි, මායාකාර පාත්තයා කිසියම් උපක්‍රමයකින් අල්ලාගෙන සිරකිරීමට හැකි නම්, ගිනි පිඹීමට ඌට කිසි ලෙසකත් නොහැකි බව පවසා යන්නට ගියා.


ජේඩ් අධිරාජයා

තමන් ජීවත්වන මහපොළොව විනාශ කිරීමට එන පාත්තයා ගැන මිනිසුන් බොහොම යහපත් අවධානයෙන් සිටි නිසා ඌව ඉක්මනින්ම අල්ලා කූඩුවක සිරකරන්නට මිනිස්සුන්ට හැකි වුණා.

ඔන්න ඒ අතරේ මිනිස්සුන්ගෙන් කෙනෙකු යෝජනා කළා ඔවුන් සියලු දෙනාම රතු පාට ලන්තෑරුම් දැල්විය යුතු බව. එවිට දැල්වෙන රතු ලන්තෑරුම් වලින් නික්මෙන ආලෝකය නිසා මහපොළොව ගිනි ගන්නේ යයි ජේඩ් අධිරාජයාට පෙනෙන නිසා, තමාගේ උපක්‍රමය සාර්ථක වූ බව සිතා ඔහු සතුටු වනු ඇති බවත් ඔහු කිව්වා.

ඔන්න හරියටම එදා ඉඳලා මේ වෙනකල්, හැම කාලෙකම, පළමුවෙනි චන්ද්‍ර මාසයේ පහළොස් වෙනි දිනයේදී චීන වැසියෝ සියල්ලන්ම එකතු වෙලා රතු ලන්තෑරුම් උත්සවය පවත්වනවා.

ඉතින් මෙහෙම දිගින් දිගටම මේ දිහා බලාගෙන හිටපු ජේඩ් අධිරාජයාගේ ඊර්ෂ්‍යාව මැකිලා ගියාලු. ඉන් පස්සේ කවදාවත් ජේඩ් අධිරාජයාට පෘථීවියේ වැසියන් ගැන නපුරු හිතක් පහල වුණෙත් නෑලු. ඒ මොකද, පෘථීවියේ මිනිස්සුන්ට ඔහුගේ සිතේ වූ කාරුණික බව අවදි කරන්නට හැකි වූ නිසාලු.


රතු ලන්තෑරුම් උත්සවය

රන් මකරා සහ චීනයේ මකර-සිරස උත්සවය

බොහෝ කාලෙකට පෙර චීනයේ කහ නදිය අසල ප්‍රදේශයේ මහා නියඟයක් පැවතුණා. කහ නදියට ජලය ගෙන එන කුඩා ගංගා සියල්ල ඒ නියඟයෙන් වියළි ගියා. කිසිවෙකුට පිපාසයට බොන්නට දිය බිඳක් වත් සොයා ගන්නට නොහැකි වුණා. මේ කහ නදිය අසබඩ පිහිටා තිබූ 'මකර කෙටේරිය' නම් වූ කන්ද පාමුල ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා ජීවත් වුණා. අවසානයක් නැති නියං පීඩාවෙන් මිදෙන්නට මගක් සොයා ගන්නට සිතු ඔවුහු දිනක් ගමේ ජීවත් වූ මහල්ලෙකු වෙත ගොස් උපදෙස් ඉල්ලා සිටියා. නගරයට දිය ගෙනෙන්නට හැකි රහස ඇත්තේ 'ස්වර්ණ මකර පොකුණේ' පතුලේ බවත් එයා සොයා ගත හොත් දිය ලබා ගත හැකි බවත් මහල්ලා ඔවුන්ට කිව්වා.

ඉතින් 'ස්වර්ණ මකර පොකුණ' සොයා යන්නට තීරණය කල ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා බොහෝ දුරක් ඇවිදීමෙන් අනතුරුව පොකුණ ඇති ස්ථානයට පැමිනුනා. ඉන් පසු රහස සැඟවී ඇතැයි කියූ පොකුණු පතුල තෙක් ඔවුන් හෑරුවා. මෙහෙම හාරාගෙන හාරගෙන යන විට එක්වරම මතුවුණේ සුදුපැහැති පාෂාණයක්. එය එක්වණම සුදු පාට පරෙවියකු බවට පත් වුණා. අනතුරුව තටු ගසා අහසට නැග සැණෙන් සුදු රැවුලක් ඇති මහල්ලෙකු බවට පත් වුණා.

"දිය ලැබෙන තෙක් ඔබේ නිරුවත් දෑත් වලින් කන්ද හාරන්නට ඔබට කොහෙත්ම බෑ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ 'මකර -කෙටේරිය' කඳු මුදුන තරණය කර එහි ඇති කෙටේරිය සොයා ගැනීමයි." පරෙවි-මහල්ලා ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා ට කිවුවා. ඒත් එක්කම වාගේ මහල්ලා සුදු පැහැ දුමක් බවට හැරී නොපෙනී ගියා.

මහල්ලා ගේ උපදෙස් අනුව ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා කන්ද තරණය කර අවසන් වත්ම, ඈතින් කුඩා පන්සලක් ඔවුන්ට දිස් වුණා. බොහෝ මහන්සි වී සිටි ඔවුන් දෙදෙනා පන්සලට ඇතුලු වත්ම එහි තබා තිබූ කෙටේරිය ඔවුන්ට හමුවුණා.


මකර-සිරස උත්සවය

කෙටේරිය රැගෙන ආපසු කඳු පාමුලට පැමිණි ඔවුන් දෙදෙනා කෙටේරියෙන් කඳු පාමුලට පහර දෙනවාත් සමගම රන්වන් දියදහරාවක් මතු වී ඉහළට නැගී රන් මකරා පෙනී සිටියා. ඒ රන් මකරා එසැණින් ගුවනට පැන එහි සරන්නට වත්ම අහස කළු වී මහ වැසි ඇද වැටෙන්නට වුණා.

ඉතින් එදා පටන් අද වනතුරු චීන වැසියෝ දෙවැනි චන්ද්‍ර මාසයේ දෙවැනි දිනයේදී එය සිහිපත් කරලා රන් මකරා වෙනුවෙන් 'මකර-සිරස උත්සවය' පවත්වනවලු.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails