තැනිතලාවට අළුත් දවසක් උදාවුණා...ඉර හෙමින් හෙමින් කන්ද නැගලා මීදුම පහු කරන් වලාකුළකට ගොඩ වුණා...ඉරේ රස්නෙට වලාකුළු රත් වෙලා එකතු කරන් හිටපු වැහි බිංදු පිනි බිංදු වෙලා පොළොවට වැටුණා...වලාකුළු අතරින් හෙමින් මතුවෙලා වට පිට බලන කොට අහස රත්තරන් පාට වෙලා එළිය වැටුණා. ඉරේ රැස් හීන් කිරණ වෙලා අහසෙ ඉඳන් පොළොවට එළිය ගෙනාවා. ඉර එළිය වැටෙද්දි නිදාගෙන හිටපු මල් ඇහැරිලා නිදි ගැට කැඩුවා. ගඟ අද්දර තැනිතලාවෙ පිපුණු ලස්සන කහ පාට රෝස මල-
කොළයකට ඔළුව තියාගෙන නිදාගෙන ඉඳලා ඇහැරිලා අහස දිහා බැලුවා... ඉර එළිය රස්නෙ වැඩියි...රෝස මල ආයෙත් ඇස් වහ ගත්තා. ආයෙත් හෙමින් සැරේ ඇස් ඇරලා හිනා වෙන කොට සුළඟ හෙමින් හමලා රෝස මල නැළෙව්වා. මේ රෝස මල කහම කහ පාටයි. එයාගෙ සුවඳ කඳු වළලු හතක් එහාට විහිදෙනවා. වලාකුළු වලින් එහා අහස් ගංගාවෙ පාවෙන පාරාදීසයේ ඉන්න සුරංගනාවියො රෑට ඇවිත් රෝස මල ඉඹලා සුවඳ අරන් යනවා ඒ ගොල්ලන්ගෙ සළු වලට සුවඳ කවන්න...
රෝස මල මේ තරම් සුවඳ ඇයි කියලා දන්නවද? රෝස මලට තිබුණෙ බොහොම කරුණාවන්ත හදවතක්. ඒ හදවතේ පිරුණු ආදරය තමයි සුවඳ වෙලා හැම තැනම පැතිරෙන්නෙ.. රෝස මල වෙන මල් වගේ ඉක්මණින් පරවෙලා ගියේ නෑ, දවසින් දවස ලස්සන වුණා. පැණි අරන් යන බමරුන්ටත්, පාට දීලා යන සමනලයින්ටත්, බය හිතෙන කළුවරටත් රත්තරන් පාටට හිනාවෙන ඉරටත් එක වගේ ආදරේ වුණා..පොඩි ළමයින්ට පැණි කුරුල්ලන්ට බිම් මල් වලට මිහිරි හඬින් සුබ පැතුවා. ඇයි කළබලේ පියාඹන මැස්සන්ට ? ගිරි මුදුන් වල ඉඳන් ඉඳලා හිටලා පහළට ඇවිත් අහක බලන් යන රාජාලියන්ට, කෑම හොයන් යන වළස් හාමිලට වගේම ආඩම්බරෙන් වලිග කරකවන කොටි හපුවන්ටත් බොහොම ආචාරශීලීව සුබ පැතුවා. සමහරු රෝස මලට පෙරළා සුබ පැතුවා. තව අය ආඩම්බරෙන් අහක බලන් ගියා. ඒ වුණාට රෝස මල දුක් නොවී තව තවත් හිනා වුණා. ඒ හින්දම හැමදාම අළුත් වුණා.
මේ උදෙත් රෝස මල හැමෝ එක්කම හිමිදිරියෙ ලස්සන විඳිමින් ඉන්න කොට තමයි මකුළුවෙක් තමන්ගෙ දැලේ රැඳුණු පිනි වලින් මුතු මාලයක් හදාගෙන ගහකින් පහළට පහළට බැහැලා ඇවිත් ආචාර කළේ.
"සුබ උදෑසනක් රෝස මල"
රෝස මල බොහොම සතුටින් දෙපැත්තට වැනිලා මෙහෙම කියනවා.
"සුබ උදෑසනක් පුංචි මකුළුවෝ"
මකුළුවා රෝස කටු උඩින් අඩිය තියලා උඩට උඩට ගිහින් රෝස මලට ළං වෙලා පිනි මුතු මාලෙ රෝස මලට දැම්මා. වීදුරු වගේ පිනි කැට රෝස කම්මුල් උඩ රැඳිලා බොහොම අපූරුවට දිලිසුනා.
රෝස මල සතුටින් හිනා වුණා. මකුළුවාට සුබ පතලා මෙහෙම ඇහුවා. "කරුණාවන්ත පුංචි මකුළුවෝ, මමත් කැමතියි නුඹට තෑග්ගක් දෙන්න..නුඹට ඕනෑ මොනවද?”
මකුළුවා කල්පනා කරලා මෙහෙම උත්තර දෙනවා...
"ලස්සන රෝස මලේ, මගේ දැලේ ඕනෑ තරම් පිනි කැට තියෙනවා. ඒත් සුවඳ නෑ...මට නුඹේ එක රෝස පෙත්තක් දුන්නොත් මගේ ගෙදරත් සුවඳ හමාවි.”
"අපොයි ඒක සුළු දෙයක්නෙ...” රෝස මල හිනාවෙලා මල් පෙත්තක් ගලවලා මකුළුවාට දුන්නා.
මකුළුවා බොහොම සතුටින් රෝස පෙත්ත අරන් ගෙදර ගියා. රෝස පෙත්ත මකුළු දැලේ එල්ලුවම දැල වියලා තිබුණු ගහම සුවඳ වුණා. මකුළුවා බොහොම සතුටින් මකුළු දැල උඩ නැටුමක් නැටුවා. ඉර හෙමිහිට බැහැලා ගියා. රෝස මලෙන් වෙන් කරපු මල් පෙත්ත හෙමින් හෙමින් මැලවුණා. සුවඳ අඩුවුණා...ඊළඟ උදේ මල් පෙත්ත පර වෙලා ගිහින් තිබුණා. මකුළුවා බොහොම දුකෙන් රෝස මල ළඟට ගියා...කාරණය අහපු කරුණාවන්ත රෝස මල තවත් පෙත්තක් ගලවලා දුන්නා.
මේ විදිහට හැමදාම උදේට රෝස මල මකුළුවාට පෙති ගලවලා දුන්නා. දවස් ගත වෙලා ගියා. එක දවසක් ඉර පායන කොට රෝස මලේ ඉතිරි වෙලා තිබුණෙ එකම එක පෙත්තයි. රෝස මල තව දුරටත් කඳු යායෙන් එහාට සුවඳ විහිදුවෙ නෑ.පෙති නැති නිසා ලස්සන තිබුණෙත් නෑ. රෝස මල පර වෙමින් තිබුණා.
පැණි කුරුල්ලෝ මේ ආරංචිය සමනලයින්ට කිව්වා.සමනලයෝ සුරංගනාවියන්ට කිව්වා... සුරංගනාවියන්ගෙ කඳුළු වලාකුළු උඩට වැටුණම වලාකුළු දියවෙලා කැලෑවට වැටුණා... එතකොට කැලේ ගස් රෝස මල ගැන දැනගත්තා. ගස් වලින් සත්තු දැන ගත්තා. හැමෝම තැනිතලාවට එකතු වුණා. කවදාවත්ම සුබ උදෑසනක් නොකියූ වලස්හාමි පවා ආවා. මකුළුවා බොහොම දුකට පත් වෙලා රෝස ගහ මුලට වෙලා ඇඬුවා. අහල පහල ගස් අතු නමාගෙන බිම බලාගෙන දුක්වුණා. රෑ බෝ වුණා..රෝස මල පරවුණා. හැමෝම කණගාටු වෙලා තමන්ගෙ ගෙවල් වලට ගියා.
තැනිතලාව නිහඬ වුණා. හඳ එළිය පැතිරෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ ඈත නිම්නයක ඉඳලා සමනලයෙක් පියඹලා ඇවිත් රෝස ගහේ වැහුවා. ඒ සමනලයාගේ තටු බොහොම අලංකාරයි. ලෝකේ හැම පාටම ඒ තටුවල තිබුණා. සමනලයා කහ පාට ඉල්ලගෙන තිබුනේ රෝස මලෙන්. මලේ ඉතිරි වෙලා තිබුණු අන්තිම පෙත්ත මත වහපු සමනලයා බොහොම දුකෙන් මෙහෙම කෙඳිරුවා.
"කරුණාවන්ත රෝස මල, කාටත් සුවඳ දුන් පාට දුන් ආදරණීය හදවත, නැවත පිබිදෙන්න ... අනේ! නැවත පිබිදෙන්න..”
මැදියම් රැය එළඹුණා. එළිය නිවලා හඳත් නින්දට ගියා.. කළුවරේ සමනලයා එකම එක කඳුළක් හෙළුවා ... ඒ කඳුළු බිංදුව රෝස මල් පෙත්ත උඩ රැඳුණා. ඉන්පස්සේ සමනලයා පියඹලා ගියා. සමනලයාගේ කඳුළු බිංදුව රෝස මල් පෙත්තටත්, මල් පෙත්තෙන් රෝස කටු වලටත්, කටු වලින් මුල් වලටත් උරා ගත්තා.
පහුවදා ඉර කන්ද නැගලා වෙනදා වගේම පෑව්වා. පොළොව දිහා බලද්දි ඉර පුදුම දෙයක් දැක්කා. පරවුණ රෝස මල ළඟ කටුවක් උඩ කහම කහ පාට රෝස පොහොට්ටුවක් මතුවෙලා. ඒ පොහොට්ටුව උඩ කඳුළු බිංදුවක් වගේ පිනි බිංදුවක් රැඳිලා. ඉර සතුටින් හිනාවුනා. ඉර හිනාවෙනවා ඇහුනු දුකෙන් හිටි සුරංගනාවියො, කුරුල්ලො, වලස් හාමිලා සමනල්ලු තැනිතලාවට දුවගෙන ආවා. සුවඳ දිදී හෙමිහිට පිපෙන්න පටන් අරන් තිබුණ රෝස පොහොට්ටුව දැක්කා. මුළු තැනිතලාවම සිනා හඬින් සංගීතයෙන් පිරුණා. බිම් මල් බොහොම අලංකාර නැටුමක් නැටුවා. බෙන වලට වෙලා වියළි පලතුරු කකා හිටපු කැලෑ හාවො එළියට ඇවිත් කණ් උස්සලා උඩ පැන්නා. මකුළුවත් දුවගෙන ආවා... හොඳටම සතුටු වුණා. හැබැයි පෙති නම් ඉල්ලන්නෙ නෑ කියලා හිතුවා ආයෙ කවදාවත්. ඒත් රෝස පොහොට්ටුව පිපුනම හැමදාම උදේට පිනි මුතු මාලෙ දාලා ලස්සන කරනවා කියලා හිතා ගත්තා.
ඉතිං ඔන්න මේ රෝස පොහොට්ටුව ඉක්මණින් පිපේවි. හැමෝටම ආචාරශීලීව හිස නමාවි. සුරංගනාවියෝ රෑට තනි රකීවි. රාජාලියො, සමනල්ලු, බත් කූරො, මැස්සො රෝස මලට සුබ පතාවි! කරුණාවන්ත රෝස මලින් හමන සුවඳ තැනිතලාවෙන් එහා කඳු වලින් ඈතට විහිදේවි. ඒ සුවඳ දැනෙන නපුරු හදවත් උනත් ආදරයෙන් ඉතිරේවි....
[ලිව්වේ- වසිලිස්සා| ඇන්දේ- නම නොදන්න සුරංගනාවි]
වසිලිස්සා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook