ලොව සිටින ලොකුම ගෙඹි විශේෂය ජීවත් වෙන්නෙ බටහිර අප්‍රිකාවේ. සාමාන්‍ය ව්‍යවහාරයේදි "ගොලියත් ෆ්‍රොග්" ලෙස හැඳින්වෙන්න මෙම විශාල ගෙඹි විශේෂය සත්ව විද්‍යාත්මකව නම් කරලා තියෙන්නෙ Conraua Goliath ලෙසයි. බටහිර අප්‍රිකාවෙ කැමරූන් සහ සමකාසන්න ගිනියාව නිජබිම කරගත් මෙම ගෙඹි විශේෂයේ වැඩුණු සතෙක් දිගින් සෙ.මී. 33 ක්ද, බරින් කිලෝ ග්රෑම් 3.3 ක්ද වෙනවා. ක්‍රස්ටේසියාවන්, කුඩා ගෙම්බන් සහ වෙනත් කෘමි විශේෂ ආහාර වශයෙන් ගන්නා මොවුන් ජීවත් වෙන්නෙ නොගැඹුරු වැලි පතුළක් ඇති වේගයෙන් ගලා යන ජල පහර සහිත ගංගා වලයි. මෙවැනි ගංගා වල හොඳින් ඔක්සිජනීකෘත වූ ඉතා පැහැදිලි ජලය තිබීම එයට හේතුවයි. කැමරූන් හි උතුරු ප්‍රදේශයේ සිට දකුණු දෙසට සමකාසන්න ගිනියාවේ බෙනිටෝ නදිය තෙක් කි.මී. 50 ක් වූ ප්‍රදේශය වාසස්ථානය කරගෙන තමයි මෙම ගෙඹි විශේෂයේ පැතිරීම සටහන් වෙන්නෙ. මෙම ගෙම්බන්ගේ ආයු කාලය වසර 15 ක්. මොවුන්ගේ ශ්‍රවණ සංවේදනයන් ඉතාම තියුණුයි. එහෙත් අනෙකුත් ගෙම්බන්ගේ මෙන් ඝෝෂක මඩි පිහිටා නෑ.

බටහිර අප්‍රිකානුවන්ට නම් ගොලියත් ගෙම්බන් කියන්නෙ ප්‍රණීත ආහාරයක්! ඒ විතරක් නෙමෙයි හොඳ සුරතලෙක්! වාසස්ථාන සීග්‍රයෙන් විනාශ වී යාමත්, ආහාරයක් ලෙස යොදා ගැනීමත් ලොව වටා විවිධ සත්වෝද්‍යාන වලට සහ සුරතලුන් ලෙස අපනයනය කිරිමත් මේ වන විට ඔවුන්ගේ සීග්‍ර වඳවී යෑමට හේතුවක් වෙලා තියෙනවා. එමෙන්ම මෙම ගෙඹි විශේෂය ස්වභාවික පරිසරයේ හැරෙන්නට කෘතිම පරිසරන්හිදී අභිජනනය නොකිරීමත් සැලකිය යුතු හේතුවක්. ඒ නිසාම, වඳවි යාමේ තර්ජනයට මුහුණ පා සිටින ගෙඹි විශේෂයක් ලෙස කැමරූන් රජය විසින් නම් කරනු ලැබ ඇති මොවුන් අපනයනය කළ හැක්කේ වසරකට ගෙම්බන් 300 ක් පමණක් ලෙස සීමා පනවලා තිබෙනවා.

පුබුදු ගයාන් වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails