නිල් අහස වෙන්න ආසයි මට අම්මේ
වලාකුළක ගෑවි ගෑවි කතා කරන්න

පොඩි තරු කැටයක් වෙන්න ඕනෙ අම්මේ
හඳ නැති දාටත් අම්මා ළඟ තනියට ඉන්න

ලොකු ගඟක් වෙන්න ආසයි මට අම්මේ
වන වදුලු මැදින් නගර මැදින් ගලා බහින්න

මහ මුහුද වෙන්න ආසයි මට අම්මේ
දඟ රැල්ල වෙලා පුංචි අයගෙ කකුල් තෙමන්න

තිත් මුව පැටියෙක් උනොත් එහෙම අම්මේ
මට පුළුවන් වෙයි පිම්මෙ දුවලා ඔට්ටු තියන්න

රන් සමනලයෙක් වෙන්නද මම අම්මේ
දුර පියාඹලා දේදුන්නෙන් පාට ගේන්න

හැඩ මල් යායක් වෙන්නම් මම අම්මේ
ඉරත් එක්ක අවදි වෙලා සුවඳ බෙදන්න

මම හොඳ ළමයෙක් වෙන්නම් මගෙ අම්මේ
මාව ආදරේට තුරුල් කරන් කතා කියන්න

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails