එක් කාලෙක මහලු මිනිහෙක් වාසය කළා. ඔහු කොච්චර මහලු ද කියතොත් ඔහුගේ ඇස් පේන්නේ නැහැ. අත පය වලංගු නැහැ. කෑම කන කොට අත වෙව්ලන නිසා කෑම බීම හැම තැනම දමනවා. ඇස් පේන්නේ නැති නිසා වැසිකිළියටවත් යන්න අමාරුයි. මහල්ලාගෙ පුතයි ලේලියි මහලු පියාට නියම විදිහට ඇප උපස්ථාන කළේ නැහැ. මහලු පියා නිදා ගත්තෙ ගෙයි මුල්ලෙ පැදුරකයි. ඇඳුම් සෝදා දුන්නෙ නැහැ. නාවලා පිරිසිදු කළේ නැහැ. මේ විදිහට මහල්ලා බොහොම දුක් වින්දා.

දවසක් කෑම කන අතර අත වෙව්ලන නිසා පිඟාන බිම වැටිල බිඳුණා. වතුර බොන කෝප්පයත් බිඳුණා. පුතයි ලේලියි පියාට හොඳටම බැණලා බෙලෙක් පිඟානකුයි වතුර බොන්න ටින් එකකුයි ගෙනත් දුන්නා. මහලු පියා ශෝකයෙන් ඇඩුවා මිස වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ.

මහල්ලාට පොඩි මුණුපුරෙක් හිටියා. දවසක් ඒ පොඩි දරුවා කුණුගොඩක තිබුණු පරණ බෙලෙක් පිඟානකුයි ටින් එකකුයි හොයා ගෙන හොඳට හෝදලා ගෙදර ගෙනත් තිබ්බා.

''මොනවටද පුතා මේ පරණ බෙලෙක් පිඟානයි, ටින් එකයි හෝදලා තිබ්බේ?'' කියා අම්මයි තාත්තයි ඇහැවුවා.

''මම ලොකු මිනිහෙක් වෙලා කසාද බැන්ඳට පස්සෙ තාත්තා නාකි මිනිහෙක් වෙනවා. එතකොට තාත්තට කන්න බොන්න දෙන්න මම දැන්ම ඉඳලා පිඟානකුයි, ටින් එකකුයි සූදානම් කරල තියනවා.'' කියා දරුවා කිවුවා. තාත්තගෙයි අම්මගෙයි ඇස්වල කඳුළු පිරුණා. ඔවුන් ඉක්මනට තාත්තව නාවලා, පිරිසිදු ඇඳුම් අන්ඳවලා, නිදාගන්න හොඳ ඇඳක් දීලා පියා මිය යන තෙක්ම හොඳට ඇප උපස්ථාන කළා.

ලියෝ තෝල්ස්තෝයි
පරිවර්තනය - සිරිල් සී. පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails