ලිව්වේ: තුෂාරි ප්‍රියංගිකා නැන්දා
ඇන්ඳේ : නාමලී දන්වත්ත
නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පැන්ඩා බබෝ උන්ඩි වෙලා මොකද කරන්නේ
කොළ උණ කාලා නැතුවද උගුර කසන්නේ
උණ ගොබ මාලුව කොහොමද රසට උයන්නේ
පැන්ඩා අම්මා දන්නෙ නැද්ද අමුවෙන් කන්නේ


උණ ගස් සේරම කාලා කොහොමද පැන්ඩෝ
වෙසක් එකට කූඩු අපිට කොහෙන්ද පැන්ඩෝ
කූඩු හදන්නට උණ බට ඕනෑ පැන්ඩෝ
එකක් දෙකක් මග ඇරලා කන්ඩකො පැන්ඩෝ


ලිවුවේ - කේ.කේ. සමන් කුමාර මාමා

මෙන්න පැන්ඩා බබාලගෙ වැඩ!



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
පුංචි හඳහාමි උන්නෙ අඞ අඞ.

ඈ කොච්චර හයියෙන් කෑ ගහලා ඇඩුවද කියතොත්, ඒ අසලින් පා වෙලා ගිය පුළුන් වළා රොදක් ගමන නවත්වලා මෙහෙම ඇහුවා.

" හඳ හාමියේ, හඳ හාමියෙ මේ හැටි අඞන්නෙ මොකටද?" කියලා.

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" කියලා හඳහාමි උත්තර දුන්නා අඞ අඞම.

" අපොයි ඒකටද?"

" ඔයාගෙ මූණ හුඟක් මැලවිලා. ඇයි ඔයා කහපාටින් දීප්තිමත් වෙන්නෙ නැත්තෙ? අන්න එහෙම වුනොත් ඔයාට පුළුවනි මුහුණ ආයෙත් දකින්න මූදෙන්" වළා රොද කිවුවා.

ඔන්න ඒ පාර හඳ හාමි එයාගේ මූණෙ එළිය මලානික සුදුපාට මකලා දාලා දීප්තිමත් කහපාටින් සරසා ගත්තා.

ඊ ළඟට අහස උඩින් පායාගෙන ගිහින් මූදට ඉහළින් එබිලා බැලුවා.

ඒත් ඇයට ඇගේ මුහුණ දකින්න ලැබුණෙ නැහැ.ඉතිං ඔන්න ඈ ආයෙත් අඩන්ටයි වැලපෙන්ටයි පටන් ගත්තා.

ඈ කොච්චර හයියෙන් කෑ ගහලා ඇඩුවද කියතොත් වැහිපොද ගැහිල්ල නතර කල වැස්ස නැවතිලා මෙහෙම ඇහුවා.

"හඳ හාමියේ, හඳ හාමියේ අඩන්නෙ මොකටද?"

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" හඳහාමි වැළපෙමින් කියා සිටියා.

"එහෙම වෙන්නෙ ඔයා හුඟක් පොඩි හින්දයි.ඇයි ඔයා ඉක්මනින් ලොකු වෙලා රවුම් වෙන්නෙ නැත්තෙ? එතකොට ඔබට ආයෙත් පුළුවනි මුහුද ඇතුලෙන් මූණ දකින්න."

ඔන්න ඉතිං හඳ හාමි දවස් කීපයක් බලාගෙන හිටියා, එයා ඉක්මනින් ලොකු වෙන තුරු. රවුම් වෙනතුරු.

ඊ ළඟට අහස උඩින් පායාගෙන ගිහින් මූදට ඉහළින් එබිලා බැලුවා.

ඒත් මුහුද ඇතුලෙන් ඇගේ මූණ දැකගන්න ඈට බැරි වුණම, ඈ ආයෙත් අඞන්ට පටන් ගත්තා.

ඈ කොතරම් හයියෙන් ඇඩුවාද කියතොත් ඈ පසුකරගෙන යමින් සිටි ගිගිරුම් රාළත්, අකුණු හාමිනේත් ගොරවන එකයි විදුලි කොටන එකයි නවත්වලා මෙහෙම ඇහුවා.

"හඳහාමියේ, හඳ හාමියේ මොකටද මේ අඞන්නේ?"

" මූදට එබුනම මගෙ මූණ පෙනෙන්නෙ නැති හින්දා" ඈ වැලපෙමින් ම උත්තර දුන්නා.

"එහෙම වෙන්නෙ ඔයාගේ මූණෙ එළිය අඩු හින්දයි.ඇයි ඔයාගේ එළිය වැඩිකරගන්න මහන්සි නොවෙන්නෙ? එහෙම වුණොත් යස අපූරුවට මූණ පෙනෙයි මූද මැදින්."

ඔන්න ඉතිං ඈ මුහුණ වඩ වඩාත් දීප්තිමත් කරගත්තා.

ආයෙමත් අහස උඩින් පායාගෙන ගිහින් හෙමින් මූදට ඉහළින් එබිලා බැලුවා.

අනේ, ඒත් ඇගෙ මූණ දැකගන්න ඈට බැරි වුනා. ඔන්න ඈ ආයෙත් අඞන්ට පටන් ගත්තා.

ඈ කොයිතරම් හයියෙන් ඇඩුවාද කියතොත් ඈ පසුකරගෙන යමින් හුන් දේදුනු නැන්දා දේදුනු පාට ඔක්කොම රැළි කරලා වක ගැහිලා කාරුණිකව මෙහෙම ඇහුවා.

"ලස්සන පුංචි හඳහාමියේ, මේ හැටි අඞන්ට තරම් කාරණාව මොකද්ද?"

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" පුංචි හඳහාමි අඞමින්ම උත්තර දුන්නා.

"ඔයාගෙ මූණ නොපෙන්නෙ ඇයි කියලා දන්නවද?" ඔන්න දේදුනු නැන්දා පුංචි හඳහාමිගෙන් ඇහුවා.

"නෑ. මං දන්නෙ නෑ." හඳහාමි කිවුවා.

"මූද රළු හින්දා"

"ඇත්තටම?"

"ඔව්. ඇත්තටම!" දේදුනු නැන්දා කියා සිටියා.

"ඉතිං මං මොකද කරන්නෙ?"

"ඔයාට කරන්න තියෙන්නෙ මූදට අධිපති දෙවියන්ට කතා කරන එකයි. එයාට කතා කරල කියන්න මූදු රැළි නැගෙන එකයි හුළං හමන එකයි නවත්වන්ට කියලා."

"ස්තුතියි නැන්දේ"

"ඒක මං මේ දැන්ම කරන්නම්" හඳහාමි සතුටින් කෑ ගහලා කිවුවා.

වළාකුළයි, වැස්සයි, අකුණු යි, ගෙරවිල්ලයි හැමෝම පැත්තකට වෙලා බලාගෙන හිටියා. පුංචි හඳහාමි මූදට කතා කරලා මෙහෙම කිවුවා.

මහ මූදේ දෙවියනි
රැළි නගනා දෙවියනි
පෙන්නා ඔබෙ බලය අපට
කියනවාද මහ මූදට
රැළි නොනගා නිහඩ වෙන්ට
මූද උඩින් එබී බලා
මගේ මූණ දැකගන්නට
සතොසින් මට හිනැහෙන්නට

ඊලඟට, පුංචි හඳහාමි අහස උඩින් පායගෙන ගිහින් මූදට උඩින් එබිලා බැලුවා ආයෙත්.

ඔන්න එතකොට දෑක්කා ඇගේ දීප්තිමත් කහපාටින් දිලිසෙන, ලොකුම ලොකු රවුම් මූණ මූද මැදින් එයාට හිනාවෙන හැටි.

"මට මාව පෙනෙනව මූදෙන්!" අන්තිමේදී ඈ සතුටින් කෑගැහුවා.


ලිවුවේ - කැතරිනා එම්. සහ ටී. කෙම්ප් ඇන්දේ - හෝ ඉහි ඔ
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

එකෝමත් එක කාලෙක ඈත ගම්මානයක මහල්ලකුයි මැහැල්ලකුයි ජීවත් වුනා. ඒ ගොල්ලන්ට දරුවො හිටියෙ නැති හින්ද ඒ දෙන්නා හුඟක් දුකෙන්, පාලුවෙන් තමයි හිටියේ. ඔන්න, දවසක් දා අර මහල්ලා ලී කෑල්ලක් අරගෙන ඒක දරුවෙකු ගෙ හැඩ හුරුකමට කපල ඔප දැමුව. ඊට පස්සේ මැහැල්ල ඒ ලී බෝනික්කා අරගෙන රෙද්දකින් ඔතල මෙන්න මෙහෙම කිය කියා නළවන්ට පටන් ගත්තා.

තෙර්යෝෂා පුංචි පුතේ
ඇස් පොඩි වහගන්න පුතේ
හොඳට නිදා ගන්න පුතේ
මාළු පැටවු හති වැටිලා - ගේ කුරුල්ලො හැංගීලා
හා පැටවුන් කපටි නරින් -උන් හැම ඇත හැංගීලා
පුතුට නිදන්නට ඉඩ දී - උන් කැලයේ හැංගීලා
තෙර්යෝෂා පුංචි පුතේ
හොඳට නිදා ගන්න පුතේ..

ඔහොම කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දි තෙර්යෝෂා කියන මේ පුංචි ලී බෝනික්කා ඇත්තම ඇත්ත පුංචි ළමයෙක් බවට හැරුණා. වැඩි කල් නොගොසින්ම මේ පුංචි තෙර්යෝෂා බොහොම නුවණක්කාර තරුණයෙකු බවට පත් වුණා. මහල්ලා එයාට ලී වලින් පුංචි ඔරුවක් හදල දුන්නා. ඒකෙ බඳ සුදු පාටින් ලස්සනට පින්තාරු කරලා. හබල් දෙක රතු පාටින් පින්තාරු කරලා. ඉතින්, තෙර්යෝෂා මේ ඔරුවට නැගල මෙන්න මෙහෙම කියනවා.

මගේ පුංචිම පුංචි ඔරුවේ
මා කියනා දේ කර දෙන්නෙ
මාළු බොහෝ රංචු ගැහෙන
කොහේ හෝ යස තැනක් ඇතේ
මා එතැනට රැගෙන යන්න.

තෙර්යෝෂා එහෙම කියාපු ගමන්ම අර පුංචි ඔරුව එයා කියන දේ අහලා ගඟ දිගේ එයාව අරගෙන ගියා මාළු ඉන්න දිහාවට. ඉතින් එදා ඉඳලා හැම දවසකම තෙර්යෝෂා ඒයාගෙ පුංචි ඔරුවෙ නැගල මාළු අල්ලන්ට යනවා. දවල් වුනහම මැහැල්ල තෙර්යෝෂාට කෑම අරගෙන ඇවිත් ඉවුරෙ ඉඳන් මෙන්න මෙහෙම කිය කියා කෑගහනවා.

තෙර්යෝෂා පුංචි පුතේ - උඹට කෑම ගෙනත් ඇතේ
කිරි, මී කිරි , පාන් සමග - රස මී පැණි මල්ලේ තියේ

ඈතින් මැහැල්ලගේ කටහඩ ඇහුණු ගමන් ම තෙර්යෝෂා ආපහු ඔරුව ඉවුර දෙසට පදවනවා. මැහැල්ල ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා තෙර්යෝෂා එනතුරු. තෙර්යෝෂා ඉවුරට ආවම එයාට කවනවා. ඊට පස්සෙ ඒයාගෙ ඇඳගෙන ඉන්න කමිසයයි ඉනේ බඳින පටියයි මාරු කරවනවා. ඔන්න ඊට පස්සෙ තෙර්යෝෂා ආයෙත් ඔරුවෙ නැගල ගගේ ඈතට යනවා. තෙර්යෝෂා අල්ලපු මාළු අරන් මැහැල්ල ගෙදර යන්ට යනවා. නපුරු මායාකාරියක් මේ හැමදෙයක්ම බලාගෙන හිටියා. ඉතින් දවසක්දා මේ මායාකාරිය ගං ඉවුරට ඇවිත් එයාගෙ හොරහැඩි කටහඩින් මෙන්න මෙහෙම කියුවා.

තෙර්යෝෂා පුංචි පුතේ - උඹට කෑම ගෙනත් ඇතේ
කිරි, මී කිරි , පාන් සමග - රස මී පැණි මල්ලේ තියේ

ඒ එයාගෙ මහළු අම්මාගේ කටහඩ නොවෙන බව තෙර්යෝෂාට තේරුණා. ඉතිං තෙර්යෝෂා එයාගෙ පුංචි ඔරුවෙන් ඉල්ලා සිටියා එයාව ගං ඉවුරෙන් හුඟක් ඈතට අරගෙන යන්න කියලා. ඉතිං සුදුපාට පුංචි ඔරුව ඉවුරෙන් ඈතට ඈතට තෙර්යෝෂා ව අරගෙන ගියා මායාකාරියට එයාව අල්ලගන්න බැරිවෙන්න. මායාකාරිට තරහ ගිහින් කම්මල් කාරයා ලඟට ගිහින් කිවුවා හරියටම තෙර්යෝෂා ගේ අම්මගෙ කටහඩ වගේ හීනි ලස්සන කටහඩක් එයාට හදලා දෙන්න කියලා. ඉතිං කම්මල් කාරයත් තමන් දන්න හැම ශිල්ප ක්‍රමයක්ම පාවිච්චි කරලා මායාකාරියට එයාගේ කටහ~ හදලා දුන්නා. ඊට පස්සෙ ආයෙත් ගං ඉවුර ළඟට ගිය මායාකාරි කලින් විදියටම මෙහෙම කියන්න පටන් ගත්තා.

තෙර්යෝෂා පුංචි පුතේ - උඹට කෑම ගෙනත් ඇතේ
කිරි, මී කිරි , පාන් සමග - රස මී පැණි මල්ලේ තියේ

ඒ හඩ එයාගෙ මහළු අම්මගේ වගේමයි. කිසි වෙනසක් නැහැ. තෙර්යෝෂා හිතුවේ අම්මා ඇවිත් එයාට කතා කරනවා කියලා. එයා වේගයෙන් ගං ඉවුරට ඔරුව පදවාගෙන ආවා. ඉවුරට ළංවෙද්දිම මායාකාරී පැනලා තෙර්යෝෂා ව අල්ල ගෙන එයාගෙ මල්ලට ඔබලා කට ගැට ගැහුවා. ඊට පස්සෙ කැළේ මැද්දෙ තියෙන එයාගෙ ගෙදරට අරගෙන ගියා.

මායාකාරි ගේ ඇතුලේ උන්නු එයාගේ දුව අල්යොන්කාට කතා කරලා, එයා ආපහු එනතොට තෙර්යෝෂාව ගිණි උඳුනට දමල පුළුස්සල ලැහැස්ති කරන්න කියලා ආයෙත් යන්ට ගියා. හිටි තැනින් නැගිටලා අල්යොන්කා ගියා උඳුන දල්වන්ට . එයා හොඳට දර දමලා උඳුන දල්වලා, උඳුන හොඳ හැටි රත් වේගෙන එනකොට තෙර්යෝෂාට කිවුවා පුළුස්සන තැටිය ට නැගල ඒකෙ වැතිරෙන්න කියලා. ඒත් වැතිරෙනවා වෙනුවට තෙර්යෝෂා කලේ තැටියට නැගලා, අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට විහිදුවා ගෙන ඉඳගත්තු එක, අල්යොන්කාට එයාව ගිණි උඳුනට දමන්න බැරිවෙන විදිහට.

‘ඒයි කොල්ලෝ, මං උඹට කිවුවෙ තැටියට නැගල ඒකෙ දිගාවෙන්න’ කියල අල්යොන්කා කෑ ගැහුවා.
‘මං දන්නෑ. මට කියා දීපන්’ තෙර්යෝෂා පිළිතුරු දුන්නා,
‘බල්ලොයි පූසොයි නිදා ගන්න හැටි උඹ දැකලා නැද්ද. අන්න ඒ විදියට වැතිරියන්’
‘මං කිවුවනෙ. මං දන්නේ නැහැ. මට කියා දීපන්’

අල්යොන්කා තැටියට නැගලා වැතිරුනා විතරයි තෙර්යෝෂා තැටිය උඳුන තුලට තල්ලූ කරලා දොර වැහුවා. මායාකාරි ආයෙත් එනවා දැක්ක තෙර්යෝෂා දුවල දුවල ගිහින් ළග තිබුණු විශාල ඕක් ගහ මුදුනට නැග්ගා. උඳුනේ පියන ඇරලා තැටියේ තිබුණු පිලිස්සුණු මස් අනුභව කළ මායාකාරිය, මිදුලට ගිහින් තණ ගොල්ලක පෙරළෙමින් ප්‍රීතියෙන් මෙහෙම ගායනා කරන්නට වුනා.

පෙරළෙමි පෙරළෙමි - නැළවෙමි සැනසෙමි
අනේ මෝඩ තෙර්යෝෂා - මගේ පිඟානට ආවා

ඒක ඇහුණා තෙර්යෝෂාට. එයා ඕක් ගහ මුදුනේ ඉඳන් මෙන්න මෙහෙම කිවුවා එතකොට.

අනේ මෝඩ අල්යොන්කා - උඹේ පිඟානට ආවා

ඕක් ගහේ කොල සුළඟට සෙළවෙන හඩ වෙන්නට ඇතැයි සිතූ මායාකාරිය ආයෙත් අර සින්දුව කියන්න පටන් ගත්තා.

පෙරළෙමි පෙරළෙමි - නැළවෙමි සැනසෙමි
අනේ මෝඩ තෙර්යෝෂා - මගේ පිඟානට ආවා
අනේ මෝඩ අල්යොන්කා - උඹේ පිඟානට ආවා

කියලා ඒකට තෙර්යෝෂා ආයෙත් උත්තරදුන්නා.ඒක ඇහුනු ගමන්ම මායාකාරිය උඩ බැලූවා. එතකොට එයා දැක්කා තෙර්යෝෂා ඕක් ගහ මුදුනට වෙලා ඉන්න හැටි. ගහ ළගට ගිය මායාකාරිය ඒයාගෙ දත්වලින් විශාල ඕක් ගහේ කඳ හපන්නට පටන්ගත්තා. ඔන්න එතකොට මායාකාරිගේ ඉස්සරහ දත් දෙකක් කැඩිලා ගියා. කම්මල් කාරයා හොයාගෙන ගිය මායාකාරිය යකඩ වලින් දත් දෙකක් හදලා දෙන්නයැයි කිවුවා. ඉතින් කම්මල්කාරයත් යකඩ දත් හදලා දුන්නා. ඔන්න, දැන් මායාකාරි ආයෙත් ඕක් ගහේ විශාල කඳ හපන්නට පටන් ගත්තා. ඕක් ගහේ කඳ කොච්චර ශක්තිමත් ද කිවුවොත්, මායාකරියගේ තවත් දත් දෙකක කැඩිලා ගියා. එයා කළේ කලින් වගේම කම්මල්කරුවා ළඟට ගිහින් යකඩ වලින් හදපු දත් දෙකක් සවි කරගත්ත එක. ඔන්න දැන් ආයෙත් ඇය පෙරටත් වඩා වේගයෙන් වමටත් දකුණටත් බැගින් පොතු වීසිකරමින් ඕක් කඳ හපන්ට පටන් ගත්තා. දැන් ගහ පෙරළෙන්න ආසන්නයි. දැන් මොකද කරන්නෙ කියල තෙර්යෝෂා කල්පනා කළා. එතකොටම එයා දැක්කා ඈතින් පියාඹා ගෙන යන පාත්තයෝ රෑනක්. තෙර්යෝෂා පාත්තයින්ට කතා කරලා මෙහෙම කිවුවා.

මගේ මිතුරු කුරුල්ලනේ - මා මෙතැනින් බේරගන්න
අනේ මාව අරං යන්න - අම්මා ඇති මග බලාන

‘තව රංචුවක් පිටිපස්සෙන් එනවා. ඒගොල්ලො අපිට වඩා ශක්තිමත්. එගෝල්ලො ඔබව රැගෙන යාවි’ කියල පාත්තයෝ රංචුව ඉගිළිලා ගියා. ඕක් ගස වැටෙන්නට ආසන්න බව හඟවමින් කිරි කිරි හඩක් නැගෙන්නට වුණා. මායාකාරිය තෙර්යෝෂා දෙස බලමින් තලූ මරන්නට වුනා. ඔන්න එතකොටව වාගෙ තවත් පාත්තයෝ රංචුවක් එතැනින් පියඹාගෙන යනවා තෙර්යෝෂා දැක්කා. එයා ආයෙත් අර සින්දුව කිවුවා.

මගේ මිතුරු කුරුල්ලනේ - මා මෙතැනින් බේරගන්න
අනේ මාව අරං යන්න - අම්මා ඇති මග බලාන

‘ අපිට පිටිපස්සෙන් තිත් වැටුනු ශක්තිමත් පුංචි පාත්තයෙක් එනවා. ඔහු ඔබව රැගෙන යයි’ කියමින් පාත්ත රංචුව ඈතට ඉගිලූණා. ඕක් ගහ පෙරලිලා වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි තෙර්යෝෂා දැක්කා පුල්ලි වැටුණු පාත්තයෙක් පියාඹගෙන එනවා. එයා පාත්තයට බැගෑපත් වුනා එයාව ගෙදර ගෙනියන්න කියලා.

මගෙ ලස්සන පාත්තයෝ - කරුණාකර මේ අහන්න
අනේ මාව අරං යන්න - අම්මා ඇති මග බලාන

පුල්ලි වැටුණු පුංචි පාත්තයාට තෙර්යෝෂා ගැන දුක හිතුණා. එයා හෙමින් ගහ මුදුනට පාත් වෙලා තෙර්යෝෂා ව එයාගෙ පිටේ තියාගෙන මහළු අම්මා ඉන්න තැනට අරගෙන ගියා. තෙර්යෝෂාගේ ගෙදර කවුළුවට පහල තණබිස්සෙන් තෙර්යෝෂා ව බැස්සුවා. එයා දැක්කා එයාගේ මහළු අම්මා තෙර්යෝෂාව මතක් වෙන්න හදාපු රසම රස රොටී වලින් එකක් මහළු තාත්තාට දෙනවා. ඉතිරි රොටිය ඈ අරගෙන කන්න ඉඳගත්තා විතරයි, මෙන්න තෙර්යෝෂා කවුළුවෙන් එබිලා ඇහුවා ‘කෝ මට?’ කියලා. ඒ කටහඩ ඇහුණු ගමන්ම රොටී ඉල්ලන්නේ කවුද කියලා බලන්න මහළු තාත්තා එළියට ගියා. එතකොට එයා දැක්කා තෙර්යෝෂා ඉන්නව කවුලූව ළඟ. තෙර්යෝෂාගෙ මහළු අම්මයි තාත්තයි එයා ආපහු ගෙදර ආපු එක ගැන බොහොම සතුටු වුණා. පුල්ලි වැටුණු පුංචි පාත්තයා ට කන්න බොන්න දීලා එයාව ගෙදර තියා ගත්තා එයා ලොකු වෙනතුරු. කල් ගත වෙද්දි පුල්ලි වැටුණු පුංචි පාත්තයා ශක්තිමත් ලොකු පාත්තයෙක් වුනා. දැන් එයා තමයි රංචුවේ නායකයා.

අලෙක්සේයි තෝල්ස්තෝයි
රුසියානු ජන කතාවක් ඇසුරිනි.

පරිවර්තනය- ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ටින් ටින් ගැන නොදන්න පුංචි පැටියෙක් හොයා ගන්න බැරි තරම්. ඒ තරමට පුංචි පුතාලා දුවලා ටින් ටින්ට ආදරෙයි. පුංචි හිම බෝලයක්වගේ ලස්සන ස්නෝවි බලූ පැංචට ටින් ටින්ටත් වඩා ආදෙරෙයි. හැබැයි ඉතිං බියන්කා කැස්ටොෆියොරේ නෝනටනං ගොඩක් අය කැමති නෑ. එයගේ සිංදු වලට කැප්ටන් හැඩොක් කනේ ඇඟිලි ගහ ගන්නවා. ප්‍රොෆෙසර් කැල්කියුලස්ගේ අලූත් සොයාගැනීම් වලටත් පුංචි ඔයාලා ආසයි නේද?


ඉතින් පුංචි පුතේ දුවේ අපි මෙච්චර ආසා කරන අපේ ටින් ටින්ව ඉස්සෙලම පොඩිත්තන්ට තෑගි කලේ කව්ද කියලා දන්නවද? ඒ ජෝජස් කියලා මාමා කෙනෙක්. එයාට තව නමක් තිබුනා. ඒ තමා හර්ජ්, ඔන්න පුතේ.... හර්ජ් මාමා මුලින්ම ටින් ටින්ව ඇන්දේ 1929 දී... පුතාලා තියා මමවත් ඉපදිලා නෑ... මුලින්ම ටින් ටින්ට තනියට හිටියේ ස්නෝවි පැංචා විතරයි... ටින් ටින් කාටුන් පොත කියෝපු ලෝකේ පුරා හිටපු පුංචිත්තෝ එදා ඉදන් අද වෙනකල් ටින් ටින්ට යි ස්නෝවිටයි පුදුම විදිහට ආදරේ කරනවා!

හර්ජ් මාමා

පස්සේ කාලෙක හර්ජ් මාමාට හම්බ උනා අපූරු යාලූවෙක්. එයාගෙ නම චෑං - චොං-

චෑං මාමා හර්ජ් මාමාට ගොඩක් උදව් කරා අලූත් අලූත් යාළුවෝ ටින් ටින් එක්කලා එකතු කරන්නට. තොම්සන් සහ තොම්සන්... මතකයි නේද අර පිස්සු රහස් පරීක්ෂකයෝ දෙන්නා...? මතක් වෙද්දිත් හිනා යනවා නේද පුතේ? එයාලාව ටින් ටින්ගේ කතාවලට ගෙනාවෙ චෑං මාමා. කැප්ටන් හැඩොක්, බියන්කා කැස්ටොපියොරි, ප්‍රොෆෙසර් කැල්කියුලස් වගේ අයත් ටින් ටින් එක්ක එකතු උනා.

ඔයාලට මතකද අර ටින් ටින් ටිඛෙට් දේශයට ගිය කතන්දරේ... අන්න ඒකේ චෑං කියල චරිතයක් තිබුනා...! එයාව හර්ජ් මාමා එකතු කලේ එයගේ යාළුවා චෑං මාමාව මතක්වෙන්න.

මුලින්ම හර්ජ් මාමාගෙ ටින් ටින් කාටුන් එක ගියේ පත්තර සඟරා වල... පස්සෙ තමයි ඔය අපි ටී.වී. එකේ බලන කාටුන් චිත්‍රපටි හැදුවේ. ටින් ටින්ගේ කතා පොත් කෝටි විස්සකට වැඩිය විකිණිලා තියනවාලූ! බලන්න ටින් ටින් කොච්චර ජනප්‍රිය ද කියලා!

ඉතන් අපි ටින් ටින් ගැන ගොඩක් දේවල් කතා කළා නේද? මීට පස්සේ පුතලා - දුවලා ටින් ටින් බලත්දී හර්ජ් මාමාවත් මතක් වේවි නේද? ටින් ටින් විතරක් නෙමෙයි, දූලා පුතාලා ආසාවෙන් බලන- කියවන හැම කතන්දරයක්ම පිටිපස්සෙ ළමයින්ට ආදරේ කරන හොඳ නැන්දලා- හොඳ මාමලා හුඟාක් ඉන්නවා. කතන්දර වලට වගේම අපි එයාලටත් ආදරේ කරන්න ඕනේ.


1929 දී ඉපදිලා අවුරුදු ගානක්ම පුතාලා එක්ක හිටියා වාගේ, හැමදාමත් ලොකේ පුරා පුංචි පැටව් එක්ක ටින් ටින් ඉදීවි!

තනියම නොවේ...!
ස්නෝවි පැංචාත් එක්ක..!
බව් වව් බව් වව්...!

-ටුට්ටි මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails