පුංචි හඳහාමි උන්නෙ අඞ අඞ.

ඈ කොච්චර හයියෙන් කෑ ගහලා ඇඩුවද කියතොත්, ඒ අසලින් පා වෙලා ගිය පුළුන් වළා රොදක් ගමන නවත්වලා මෙහෙම ඇහුවා.

" හඳ හාමියේ, හඳ හාමියෙ මේ හැටි අඞන්නෙ මොකටද?" කියලා.

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" කියලා හඳහාමි උත්තර දුන්නා අඞ අඞම.

" අපොයි ඒකටද?"

" ඔයාගෙ මූණ හුඟක් මැලවිලා. ඇයි ඔයා කහපාටින් දීප්තිමත් වෙන්නෙ නැත්තෙ? අන්න එහෙම වුනොත් ඔයාට පුළුවනි මුහුණ ආයෙත් දකින්න මූදෙන්" වළා රොද කිවුවා.

ඔන්න ඒ පාර හඳ හාමි එයාගේ මූණෙ එළිය මලානික සුදුපාට මකලා දාලා දීප්තිමත් කහපාටින් සරසා ගත්තා.

ඊ ළඟට අහස උඩින් පායාගෙන ගිහින් මූදට ඉහළින් එබිලා බැලුවා.

ඒත් ඇයට ඇගේ මුහුණ දකින්න ලැබුණෙ නැහැ.ඉතිං ඔන්න ඈ ආයෙත් අඩන්ටයි වැලපෙන්ටයි පටන් ගත්තා.

ඈ කොච්චර හයියෙන් කෑ ගහලා ඇඩුවද කියතොත් වැහිපොද ගැහිල්ල නතර කල වැස්ස නැවතිලා මෙහෙම ඇහුවා.

"හඳ හාමියේ, හඳ හාමියේ අඩන්නෙ මොකටද?"

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" හඳහාමි වැළපෙමින් කියා සිටියා.

"එහෙම වෙන්නෙ ඔයා හුඟක් පොඩි හින්දයි.ඇයි ඔයා ඉක්මනින් ලොකු වෙලා රවුම් වෙන්නෙ නැත්තෙ? එතකොට ඔබට ආයෙත් පුළුවනි මුහුද ඇතුලෙන් මූණ දකින්න."

ඔන්න ඉතිං හඳ හාමි දවස් කීපයක් බලාගෙන හිටියා, එයා ඉක්මනින් ලොකු වෙන තුරු. රවුම් වෙනතුරු.

ඊ ළඟට අහස උඩින් පායාගෙන ගිහින් මූදට ඉහළින් එබිලා බැලුවා.

ඒත් මුහුද ඇතුලෙන් ඇගේ මූණ දැකගන්න ඈට බැරි වුණම, ඈ ආයෙත් අඞන්ට පටන් ගත්තා.

ඈ කොතරම් හයියෙන් ඇඩුවාද කියතොත් ඈ පසුකරගෙන යමින් සිටි ගිගිරුම් රාළත්, අකුණු හාමිනේත් ගොරවන එකයි විදුලි කොටන එකයි නවත්වලා මෙහෙම ඇහුවා.

"හඳහාමියේ, හඳ හාමියේ මොකටද මේ අඞන්නේ?"

" මූදට එබුනම මගෙ මූණ පෙනෙන්නෙ නැති හින්දා" ඈ වැලපෙමින් ම උත්තර දුන්නා.

"එහෙම වෙන්නෙ ඔයාගේ මූණෙ එළිය අඩු හින්දයි.ඇයි ඔයාගේ එළිය වැඩිකරගන්න මහන්සි නොවෙන්නෙ? එහෙම වුණොත් යස අපූරුවට මූණ පෙනෙයි මූද මැදින්."

ඔන්න ඉතිං ඈ මුහුණ වඩ වඩාත් දීප්තිමත් කරගත්තා.

ආයෙමත් අහස උඩින් පායාගෙන ගිහින් හෙමින් මූදට ඉහළින් එබිලා බැලුවා.

අනේ, ඒත් ඇගෙ මූණ දැකගන්න ඈට බැරි වුනා. ඔන්න ඈ ආයෙත් අඞන්ට පටන් ගත්තා.

ඈ කොයිතරම් හයියෙන් ඇඩුවාද කියතොත් ඈ පසුකරගෙන යමින් හුන් දේදුනු නැන්දා දේදුනු පාට ඔක්කොම රැළි කරලා වක ගැහිලා කාරුණිකව මෙහෙම ඇහුවා.

"ලස්සන පුංචි හඳහාමියේ, මේ හැටි අඞන්ට තරම් කාරණාව මොකද්ද?"

" මූදට උඩින් එබුනම මට මගේ මූණ පෙනෙන්නෙ නෑ" පුංචි හඳහාමි අඞමින්ම උත්තර දුන්නා.

"ඔයාගෙ මූණ නොපෙන්නෙ ඇයි කියලා දන්නවද?" ඔන්න දේදුනු නැන්දා පුංචි හඳහාමිගෙන් ඇහුවා.

"නෑ. මං දන්නෙ නෑ." හඳහාමි කිවුවා.

"මූද රළු හින්දා"

"ඇත්තටම?"

"ඔව්. ඇත්තටම!" දේදුනු නැන්දා කියා සිටියා.

"ඉතිං මං මොකද කරන්නෙ?"

"ඔයාට කරන්න තියෙන්නෙ මූදට අධිපති දෙවියන්ට කතා කරන එකයි. එයාට කතා කරල කියන්න මූදු රැළි නැගෙන එකයි හුළං හමන එකයි නවත්වන්ට කියලා."

"ස්තුතියි නැන්දේ"

"ඒක මං මේ දැන්ම කරන්නම්" හඳහාමි සතුටින් කෑ ගහලා කිවුවා.

වළාකුළයි, වැස්සයි, අකුණු යි, ගෙරවිල්ලයි හැමෝම පැත්තකට වෙලා බලාගෙන හිටියා. පුංචි හඳහාමි මූදට කතා කරලා මෙහෙම කිවුවා.

මහ මූදේ දෙවියනි
රැළි නගනා දෙවියනි
පෙන්නා ඔබෙ බලය අපට
කියනවාද මහ මූදට
රැළි නොනගා නිහඩ වෙන්ට
මූද උඩින් එබී බලා
මගේ මූණ දැකගන්නට
සතොසින් මට හිනැහෙන්නට

ඊලඟට, පුංචි හඳහාමි අහස උඩින් පායගෙන ගිහින් මූදට උඩින් එබිලා බැලුවා ආයෙත්.

ඔන්න එතකොට දෑක්කා ඇගේ දීප්තිමත් කහපාටින් දිලිසෙන, ලොකුම ලොකු රවුම් මූණ මූද මැදින් එයාට හිනාවෙන හැටි.

"මට මාව පෙනෙනව මූදෙන්!" අන්තිමේදී ඈ සතුටින් කෑගැහුවා.


ලිවුවේ - කැතරිනා එම්. සහ ටී. කෙම්ප් ඇන්දේ - හෝ ඉහි ඔ
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails