එකෝමත් එක කාලෙක ඈත ගම්මානයක මහල්ලකුයි මැහැල්ලකුයි ජීවත් වුනා. ඒ ගොල්ලන්ට දරුවො හිටියෙ නැති හින්ද ඒ දෙන්නා හුඟක් දුකෙන්, පාලුවෙන් තමයි හිටියේ. ඔන්න, දවසක් දා අර මහල්ලා ලී කෑල්ලක් අරගෙන ඒක දරුවෙකු ගෙ හැඩ හුරුකමට කපල ඔප දැමුව. ඊට පස්සේ මැහැල්ල ඒ ලී බෝනික්කා අරගෙන රෙද්දකින් ඔතල මෙන්න මෙහෙම කිය කියා නළවන්ට පටන් ගත්තා.

තෙර්යෝෂා පුංචි පුතේ
ඇස් පොඩි වහගන්න පුතේ
හොඳට නිදා ගන්න පුතේ
මාළු පැටවු හති වැටිලා - ගේ කුරුල්ලො හැංගීලා
හා පැටවුන් කපටි නරින් -උන් හැම ඇත හැංගීලා
පුතුට නිදන්නට ඉඩ දී - උන් කැලයේ හැංගීලා
තෙර්යෝෂා පුංචි පුතේ
හොඳට නිදා ගන්න පුතේ..

ඔහොම කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දි තෙර්යෝෂා කියන මේ පුංචි ලී බෝනික්කා ඇත්තම ඇත්ත පුංචි ළමයෙක් බවට හැරුණා. වැඩි කල් නොගොසින්ම මේ පුංචි තෙර්යෝෂා බොහොම නුවණක්කාර තරුණයෙකු බවට පත් වුණා. මහල්ලා එයාට ලී වලින් පුංචි ඔරුවක් හදල දුන්නා. ඒකෙ බඳ සුදු පාටින් ලස්සනට පින්තාරු කරලා. හබල් දෙක රතු පාටින් පින්තාරු කරලා. ඉතින්, තෙර්යෝෂා මේ ඔරුවට නැගල මෙන්න මෙහෙම කියනවා.

මගේ පුංචිම පුංචි ඔරුවේ
මා කියනා දේ කර දෙන්නෙ
මාළු බොහෝ රංචු ගැහෙන
කොහේ හෝ යස තැනක් ඇතේ
මා එතැනට රැගෙන යන්න.

තෙර්යෝෂා එහෙම කියාපු ගමන්ම අර පුංචි ඔරුව එයා කියන දේ අහලා ගඟ දිගේ එයාව අරගෙන ගියා මාළු ඉන්න දිහාවට. ඉතින් එදා ඉඳලා හැම දවසකම තෙර්යෝෂා ඒයාගෙ පුංචි ඔරුවෙ නැගල මාළු අල්ලන්ට යනවා. දවල් වුනහම මැහැල්ල තෙර්යෝෂාට කෑම අරගෙන ඇවිත් ඉවුරෙ ඉඳන් මෙන්න මෙහෙම කිය කියා කෑගහනවා.

තෙර්යෝෂා පුංචි පුතේ - උඹට කෑම ගෙනත් ඇතේ
කිරි, මී කිරි , පාන් සමග - රස මී පැණි මල්ලේ තියේ

ඈතින් මැහැල්ලගේ කටහඩ ඇහුණු ගමන් ම තෙර්යෝෂා ආපහු ඔරුව ඉවුර දෙසට පදවනවා. මැහැල්ල ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා තෙර්යෝෂා එනතුරු. තෙර්යෝෂා ඉවුරට ආවම එයාට කවනවා. ඊට පස්සෙ ඒයාගෙ ඇඳගෙන ඉන්න කමිසයයි ඉනේ බඳින පටියයි මාරු කරවනවා. ඔන්න ඊට පස්සෙ තෙර්යෝෂා ආයෙත් ඔරුවෙ නැගල ගගේ ඈතට යනවා. තෙර්යෝෂා අල්ලපු මාළු අරන් මැහැල්ල ගෙදර යන්ට යනවා. නපුරු මායාකාරියක් මේ හැමදෙයක්ම බලාගෙන හිටියා. ඉතින් දවසක්දා මේ මායාකාරිය ගං ඉවුරට ඇවිත් එයාගෙ හොරහැඩි කටහඩින් මෙන්න මෙහෙම කියුවා.

තෙර්යෝෂා පුංචි පුතේ - උඹට කෑම ගෙනත් ඇතේ
කිරි, මී කිරි , පාන් සමග - රස මී පැණි මල්ලේ තියේ

ඒ එයාගෙ මහළු අම්මාගේ කටහඩ නොවෙන බව තෙර්යෝෂාට තේරුණා. ඉතිං තෙර්යෝෂා එයාගෙ පුංචි ඔරුවෙන් ඉල්ලා සිටියා එයාව ගං ඉවුරෙන් හුඟක් ඈතට අරගෙන යන්න කියලා. ඉතිං සුදුපාට පුංචි ඔරුව ඉවුරෙන් ඈතට ඈතට තෙර්යෝෂා ව අරගෙන ගියා මායාකාරියට එයාව අල්ලගන්න බැරිවෙන්න. මායාකාරිට තරහ ගිහින් කම්මල් කාරයා ලඟට ගිහින් කිවුවා හරියටම තෙර්යෝෂා ගේ අම්මගෙ කටහඩ වගේ හීනි ලස්සන කටහඩක් එයාට හදලා දෙන්න කියලා. ඉතිං කම්මල් කාරයත් තමන් දන්න හැම ශිල්ප ක්‍රමයක්ම පාවිච්චි කරලා මායාකාරියට එයාගේ කටහ~ හදලා දුන්නා. ඊට පස්සෙ ආයෙත් ගං ඉවුර ළඟට ගිය මායාකාරි කලින් විදියටම මෙහෙම කියන්න පටන් ගත්තා.

තෙර්යෝෂා පුංචි පුතේ - උඹට කෑම ගෙනත් ඇතේ
කිරි, මී කිරි , පාන් සමග - රස මී පැණි මල්ලේ තියේ

ඒ හඩ එයාගෙ මහළු අම්මගේ වගේමයි. කිසි වෙනසක් නැහැ. තෙර්යෝෂා හිතුවේ අම්මා ඇවිත් එයාට කතා කරනවා කියලා. එයා වේගයෙන් ගං ඉවුරට ඔරුව පදවාගෙන ආවා. ඉවුරට ළංවෙද්දිම මායාකාරී පැනලා තෙර්යෝෂා ව අල්ල ගෙන එයාගෙ මල්ලට ඔබලා කට ගැට ගැහුවා. ඊට පස්සෙ කැළේ මැද්දෙ තියෙන එයාගෙ ගෙදරට අරගෙන ගියා.

මායාකාරි ගේ ඇතුලේ උන්නු එයාගේ දුව අල්යොන්කාට කතා කරලා, එයා ආපහු එනතොට තෙර්යෝෂාව ගිණි උඳුනට දමල පුළුස්සල ලැහැස්ති කරන්න කියලා ආයෙත් යන්ට ගියා. හිටි තැනින් නැගිටලා අල්යොන්කා ගියා උඳුන දල්වන්ට . එයා හොඳට දර දමලා උඳුන දල්වලා, උඳුන හොඳ හැටි රත් වේගෙන එනකොට තෙර්යෝෂාට කිවුවා පුළුස්සන තැටිය ට නැගල ඒකෙ වැතිරෙන්න කියලා. ඒත් වැතිරෙනවා වෙනුවට තෙර්යෝෂා කලේ තැටියට නැගලා, අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට විහිදුවා ගෙන ඉඳගත්තු එක, අල්යොන්කාට එයාව ගිණි උඳුනට දමන්න බැරිවෙන විදිහට.

‘ඒයි කොල්ලෝ, මං උඹට කිවුවෙ තැටියට නැගල ඒකෙ දිගාවෙන්න’ කියල අල්යොන්කා කෑ ගැහුවා.
‘මං දන්නෑ. මට කියා දීපන්’ තෙර්යෝෂා පිළිතුරු දුන්නා,
‘බල්ලොයි පූසොයි නිදා ගන්න හැටි උඹ දැකලා නැද්ද. අන්න ඒ විදියට වැතිරියන්’
‘මං කිවුවනෙ. මං දන්නේ නැහැ. මට කියා දීපන්’

අල්යොන්කා තැටියට නැගලා වැතිරුනා විතරයි තෙර්යෝෂා තැටිය උඳුන තුලට තල්ලූ කරලා දොර වැහුවා. මායාකාරි ආයෙත් එනවා දැක්ක තෙර්යෝෂා දුවල දුවල ගිහින් ළග තිබුණු විශාල ඕක් ගහ මුදුනට නැග්ගා. උඳුනේ පියන ඇරලා තැටියේ තිබුණු පිලිස්සුණු මස් අනුභව කළ මායාකාරිය, මිදුලට ගිහින් තණ ගොල්ලක පෙරළෙමින් ප්‍රීතියෙන් මෙහෙම ගායනා කරන්නට වුනා.

පෙරළෙමි පෙරළෙමි - නැළවෙමි සැනසෙමි
අනේ මෝඩ තෙර්යෝෂා - මගේ පිඟානට ආවා

ඒක ඇහුණා තෙර්යෝෂාට. එයා ඕක් ගහ මුදුනේ ඉඳන් මෙන්න මෙහෙම කිවුවා එතකොට.

අනේ මෝඩ අල්යොන්කා - උඹේ පිඟානට ආවා

ඕක් ගහේ කොල සුළඟට සෙළවෙන හඩ වෙන්නට ඇතැයි සිතූ මායාකාරිය ආයෙත් අර සින්දුව කියන්න පටන් ගත්තා.

පෙරළෙමි පෙරළෙමි - නැළවෙමි සැනසෙමි
අනේ මෝඩ තෙර්යෝෂා - මගේ පිඟානට ආවා
අනේ මෝඩ අල්යොන්කා - උඹේ පිඟානට ආවා

කියලා ඒකට තෙර්යෝෂා ආයෙත් උත්තරදුන්නා.ඒක ඇහුනු ගමන්ම මායාකාරිය උඩ බැලූවා. එතකොට එයා දැක්කා තෙර්යෝෂා ඕක් ගහ මුදුනට වෙලා ඉන්න හැටි. ගහ ළගට ගිය මායාකාරිය ඒයාගෙ දත්වලින් විශාල ඕක් ගහේ කඳ හපන්නට පටන්ගත්තා. ඔන්න එතකොට මායාකාරිගේ ඉස්සරහ දත් දෙකක් කැඩිලා ගියා. කම්මල් කාරයා හොයාගෙන ගිය මායාකාරිය යකඩ වලින් දත් දෙකක් හදලා දෙන්නයැයි කිවුවා. ඉතින් කම්මල්කාරයත් යකඩ දත් හදලා දුන්නා. ඔන්න, දැන් මායාකාරි ආයෙත් ඕක් ගහේ විශාල කඳ හපන්නට පටන් ගත්තා. ඕක් ගහේ කඳ කොච්චර ශක්තිමත් ද කිවුවොත්, මායාකරියගේ තවත් දත් දෙකක කැඩිලා ගියා. එයා කළේ කලින් වගේම කම්මල්කරුවා ළඟට ගිහින් යකඩ වලින් හදපු දත් දෙකක් සවි කරගත්ත එක. ඔන්න දැන් ආයෙත් ඇය පෙරටත් වඩා වේගයෙන් වමටත් දකුණටත් බැගින් පොතු වීසිකරමින් ඕක් කඳ හපන්ට පටන් ගත්තා. දැන් ගහ පෙරළෙන්න ආසන්නයි. දැන් මොකද කරන්නෙ කියල තෙර්යෝෂා කල්පනා කළා. එතකොටම එයා දැක්කා ඈතින් පියාඹා ගෙන යන පාත්තයෝ රෑනක්. තෙර්යෝෂා පාත්තයින්ට කතා කරලා මෙහෙම කිවුවා.

මගේ මිතුරු කුරුල්ලනේ - මා මෙතැනින් බේරගන්න
අනේ මාව අරං යන්න - අම්මා ඇති මග බලාන

‘තව රංචුවක් පිටිපස්සෙන් එනවා. ඒගොල්ලො අපිට වඩා ශක්තිමත්. එගෝල්ලො ඔබව රැගෙන යාවි’ කියල පාත්තයෝ රංචුව ඉගිළිලා ගියා. ඕක් ගස වැටෙන්නට ආසන්න බව හඟවමින් කිරි කිරි හඩක් නැගෙන්නට වුණා. මායාකාරිය තෙර්යෝෂා දෙස බලමින් තලූ මරන්නට වුනා. ඔන්න එතකොටව වාගෙ තවත් පාත්තයෝ රංචුවක් එතැනින් පියඹාගෙන යනවා තෙර්යෝෂා දැක්කා. එයා ආයෙත් අර සින්දුව කිවුවා.

මගේ මිතුරු කුරුල්ලනේ - මා මෙතැනින් බේරගන්න
අනේ මාව අරං යන්න - අම්මා ඇති මග බලාන

‘ අපිට පිටිපස්සෙන් තිත් වැටුනු ශක්තිමත් පුංචි පාත්තයෙක් එනවා. ඔහු ඔබව රැගෙන යයි’ කියමින් පාත්ත රංචුව ඈතට ඉගිලූණා. ඕක් ගහ පෙරලිලා වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි තෙර්යෝෂා දැක්කා පුල්ලි වැටුණු පාත්තයෙක් පියාඹගෙන එනවා. එයා පාත්තයට බැගෑපත් වුනා එයාව ගෙදර ගෙනියන්න කියලා.

මගෙ ලස්සන පාත්තයෝ - කරුණාකර මේ අහන්න
අනේ මාව අරං යන්න - අම්මා ඇති මග බලාන

පුල්ලි වැටුණු පුංචි පාත්තයාට තෙර්යෝෂා ගැන දුක හිතුණා. එයා හෙමින් ගහ මුදුනට පාත් වෙලා තෙර්යෝෂා ව එයාගෙ පිටේ තියාගෙන මහළු අම්මා ඉන්න තැනට අරගෙන ගියා. තෙර්යෝෂාගේ ගෙදර කවුළුවට පහල තණබිස්සෙන් තෙර්යෝෂා ව බැස්සුවා. එයා දැක්කා එයාගේ මහළු අම්මා තෙර්යෝෂාව මතක් වෙන්න හදාපු රසම රස රොටී වලින් එකක් මහළු තාත්තාට දෙනවා. ඉතිරි රොටිය ඈ අරගෙන කන්න ඉඳගත්තා විතරයි, මෙන්න තෙර්යෝෂා කවුළුවෙන් එබිලා ඇහුවා ‘කෝ මට?’ කියලා. ඒ කටහඩ ඇහුණු ගමන්ම රොටී ඉල්ලන්නේ කවුද කියලා බලන්න මහළු තාත්තා එළියට ගියා. එතකොට එයා දැක්කා තෙර්යෝෂා ඉන්නව කවුලූව ළඟ. තෙර්යෝෂාගෙ මහළු අම්මයි තාත්තයි එයා ආපහු ගෙදර ආපු එක ගැන බොහොම සතුටු වුණා. පුල්ලි වැටුණු පුංචි පාත්තයා ට කන්න බොන්න දීලා එයාව ගෙදර තියා ගත්තා එයා ලොකු වෙනතුරු. කල් ගත වෙද්දි පුල්ලි වැටුණු පුංචි පාත්තයා ශක්තිමත් ලොකු පාත්තයෙක් වුනා. දැන් එයා තමයි රංචුවේ නායකයා.

අලෙක්සේයි තෝල්ස්තෝයි
රුසියානු ජන කතාවක් ඇසුරිනි.

පරිවර්තනය- ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails