සියළුම තාත්තලා අතරින් ඉතාම හොඳ තාත්තා මගේ තාත්තාය. ඒ ගැන නම් කිසිම සැකයක් ඇත්තේ නැත. මගේ තාත්තා තරම් හොඳ තාත්තා කෙනෙකු වෙන කිසිම පුතෙකුට ලැබී නැත. ඔබ මගේ තාත්තා හොඳින් හඳුන්නනේ නැතිද? එසේ නම් ඔබට ඔහු විහිළුවට අකැමැති සැඩ පරුෂ අයකුය කියා සිතෙනවාට සැකයක් නැත. එහෙත් ඇත්තටම ඔහු එසේ නොවේ. මගේ තාත්තා විනෝද කාමී අහිංසක තාත්තා කෙනෙකි. බැලූ බැල්මට නම් පෙනෙන්නෙ සැඩ පරුෂ කෙනෙකු බවයි. එසේ සිතෙන්නට හේතුව මගේ තාත්තා දෙතොලින් සිනාසෙන කෙනෙකු නොවීමයි.

මගේ තාත්තා සිනා සැලුවේ දෙනෙතිනි. මගේ තාත්තාට තිබුණේ අපූරු නිල් කැට දෙකක් වන් දෙනෙතකි. ඔහුගේ සිතෙහි සතුටක් ඇති විට ඒ දෙනෙත රැයක දැල්වුණු ගින්නක් ලෙසින් සුන්දරව දිලිසේ. එවිට ඔබ ඒ දෙනෙත දෙස විමසිල්ලෙන් බැලිය යුතුය. ඒ දෙනෙත් මැද ඇවිලෙන රත් පැහැති සිනා දල්ල එවිට ඔබගේ නෙත ගැටෙනවා ඇති.

එහෙත් එවිට වත් ඔහුගේ දෙතොල් සෙලවෙන්නේ නැත. මගේ තාත්තා දෙනෙතින් සිනාසෙන්නෙකු වීම ගැන එකල මම උද්දාමයට පත් වූයෙමි. තාත්තා සිනාසුණේ දෙනෙතින් නිසා ඔහු මා සමග මූනිච්චාවට සිනා නැගුවේ නැත. හදවත සිනාසෙන්නේ නැති විටක ඇස්වලින් සිනාසෙන්නට කිසිවෙකුට හැකියාවක් නැත. මුවින් සිනාසීම මීට වෙනස්ය. කැමති ඕනෑම විටෙක දෙතොල් පලල් කර මුවට සිනාවක් නගා ගන්නට ඔබට පුළුවන. ඒ නිසා නියම සිනා මුවත් සමඟ දෙඇසක් සිනාසෙන බව ඔබ මතක තබා ගත යුතුය. ඒ නිසා ම අඔබට කියමි, යමෙකු ඔබ සමඟ මුවින් සිනාසෙන විට ඔබ ඔහුගේ දෙනෙත දෙස බලන්න. මුව සමඟ දෙනෙත ද සිනාසෙන්නෙ නැති නම් එය සිනාවක් නොව මවා පෑමකි.

මගේ තාත්තා උගතෙක් නොවේ. ඔහු සිය ජීවිත කාලයට පොත් විස්සක් වත් කියවා තිබුණා යයි මම නොසිතමි. එහෙත් ඔහු තරම් හොඳ කතන්දර කාරයෙකු ලොව කිසිම තැනක සිටියේ නැථ. සෑම රාත්රිඔයකදීම නින්දට යාමට පෙර ඔහු මට කතන්දරයක් කියා දුන්නේය. ඔහු ගෙතූ සමහර කතාවක් කොටස් කීපයක් වශයෙන් රාත්රීට කීපයක් පුරාම නොකඩවා දිගහැරුණේය.

එවැනි එක කතාවක් රාත්‍රීන් පහළොවක් පුරා ගලා ගියේය. ඒ කතාව ගෙතුණේ මිතුරු යෝධයා නමැති අරුම පුදුම මිනිසෙකු වටාය.

මිතුරු යෝධයා සාමාන්‍ය මිනිසකු මෙන් තුන් ගුණයක් උස මහතින් යුතුය. ඔහුගේ අතක් විල්බැරොවක් තරමට මහතය. මිතුරු යෝධයා ජීවත් වූයේ ගුහාවකය. ඒ ගුහාව පිහිටා තිබුණේ අපේ තවලම් නිවස අසලම යම් තැනක පොළොව අභ්‍යන්තරයේය. මිතුරු යෝධයා එළියට පැමිණියේ රාත්රීය කාලයේදී පමණි. ඔහුගේ නිවසද අපේ නිවස වැනිම තවලම් නිවසකි. එහි විශාල කර්මාන්ත ශාලාවක් තිබුණේය. ඒ කම්හලේදී ඔහු අරුම පුදුම මැජික් කුඩු වර්ග දහස් ගණනක් නිෂ්පාදනය කළේය.

සමහරක් දිනෙක මගේ තාත්තා මට කතන්දර කියා දුන්නේ තාලයකට පාද තබමින් තවලමේ ඒ මේ අත ගමන් කරමිනි. එසේ ඇවිදින අතරවාරයේ ඔහු සිය දෑස් සහ අතැඟිලි ඒ මේ අතට විහිදුවමින් ඔහු කතන්දර කීවේය. එහෙත් ඔහු වැඩිපුරම කළේ මගේ ඇඳ කෙළවරේ මා අසලින් වාඩි වී හිඳගෙන ඉතා මෘදු හඬකින් කතන්දර කීමය.

"මිතුරු යෝධයා එයාගේ මැජික් කුඩු හදන්නේ පුංචි ළමයි නින්දෙදී දකින හීන වලින්" තාත්තා කීවේය.

"ඒ කොහොමද තාත්තේ හීන වලින් කුඩු හදන්නේ"

"හීන කියන්නේ පුතේ මහ අමුතු ජාතියක්. රෑට හීන වලාකුළු වගේ අහසේ පාවෙලා නිදන් ඉන්න මිනිසුන් හොයාගෙන යනවා."

"ඔයා හීන එහෙම පාවෙලා යනවා දැකලා තියෙනවද?"

"මම තියා කවුරුවත් දැකලා නෑ"

"එහෙමනම් මිතුරු යෝධයා ඒ හීන අල්ලන්නේ කොහොමද?"

"අන්න ඒක තමයි පුතේ වැදගත්ම දේ. හීන අහසේ පියාඹන කොට මී මැස්සෝ අහසේ පියාඹන කොට වගේ ගුමු ගුමු සද්දයක් නැගෙනවා.ඒත් ඒ සද්දෙ නැගෙන්නෙ බොහොම හෙමින් නිසා අපිට ඒ සද්දෙ ඇහෙන්නෙ නෑ.ඒත් මිතුරු යෝධයාට ඒ සද්දෙ ඇහෙනවා. අපිට ඇහෙන්නෙ නැති පුංචිම පුංචි සද්ද පවා එයාට ඇහෙනවා."

තාත්තා කතන්දර කියන විට ඔහුගේ මුහුණේ තිබුණු පෙනුමට මම බොහෝ සෙයින් ආශා කළෙමි.ඔහු කතන්දර කියනා විට ඔහුගේ මුහුණ ඉතා පැහැපත් වූ අතර අවට සිදුවන කිසිදු දෙයක් පිළිබඳ හැඟීමක් එවිට ඔහුට තිබුනේ නැත.

"ඔයා දන්නවද?" තාත්තා මගෙන් ඇසුවේය. "මකුළුවෙක් මල් පෙත්තක ඇවිදින හඬ පවා මිතුරු යෝධයාට ඇහෙනවා. පොළොව දිගේ පේළියට ඇවිදින කූඹි මුහුණට මුහුණ තිය තියා කියන රහස් පවා මිතුරු යෝධයාට ඇහෙනවා. ගස් කපන අය පොරොවෙන් ගස් වලට කොටද්දී ඒ ගස් වේදනාවෙන් කෙඳිරිගාන හඬ පවා මිතුරු යෝධයාට ඇහෙනවා. අපට ඇහෙන්නැති ඒ වගේ සද්ද තව කොච්චරක් නම් මේ ලෝකේ තියෙනවද? ඒ සද්ද හැම එකක්ම මිතුරු යෝධයාට බොහොම හොඳට ඇහෙනවා."

"මිතුරු යෝධයා හීන අල්ලාගෙන මොකද කරන්නේ?"

"එයා ඒ හීන බෝතල් වලට දමලා තද කරලා මූඩි වහනවා. තාත්තා කීවේය. "එයාගේ ගුහාවේ හීන පුරවපු බෝතල් දහස් ගණනක් ගොඩ ගහලා තියෙනවා."

"එයා හොඳ හීනයි නපුරු හීනයි දෙකම අල්ලා ගන්නවද?" මම තාත්තාගෙන් ඇසුවෙමි.

"දෙජාතියම අල්ලනවා. ඒත් කුඩු හදන්න ගන්නේ හොඳ හීන විතරයි." තාත්තා කීවේය.

"එතකොට නරක හීන වලට මොකද කරන්නේ?"

"එයා ඒ හීන පුපුරවනවනවා."

මම මගේ තාත්තාට ආදරය කළ තරම වචනයෙන් විස්තර කරන්නට මට හැකියාව නැත. තාත්තා මගේ ඇඳ අසල වාඩි වී සිටිද්දී මම හෙමින් සීරුවේ ඔහුගේ අත ළඟට මගේ අත දිගු කරමි. එවිට ඔහු සිය දිගු ඇඟිලි වලින් මගේ අත්ල තරයේ අල්ලා ගනී.

"ඉතිං යෝධ මාමා එයා හදන හීන කුඩු වලට මොනව්ද කරන්නේ?" මම ඇසුවෙමි.

"නිස්කලංක රාත්‍රීන්වලදී" මගේ තාත්තා කතාවට මුලපිරුවේ එසේය. "එයා බොහොම හෙමිහිට ගම්වලට වැදිලා දරුවන් නිදා ඉන්නා ගෙවල් සොයාගෙන යනවා. එයා බොහොම උසයිනේ. ඒ නිසා තට්ටු දෙක තුනක් උස ගෙවල් වල ජනේල්වලින් වුණත් එබිලා බලන්න එයාට පුළුවන්. පුංචි ළමයෙක් නිදා ඉන්න කාමරයක් හමුවුණු ගමන් ඔන්න එයා එයාගේ පෙට්ටිය අරිනවා.

"පෙට්ටිය?" මම ප්‍රශ්න කළෙමි.

"මට කියන්න අමතක වුණානේ. මිතුරු යෝධයා එද්දි පෙට්ටියකුයි, දුම් බටයකුයි අරන් එන්නේ. ඒ දුම් බටය ලයිට් කණුවක් තරම් උසයි. අර පෙට්ටිය ඇතුලේ තමයි මැජික් කුඩු තියෙන්නෙ."

"ඊළඟට එයා පෙට්ටිය ඇරලා නියමිත කුඩු වර්ගය තෝරා ගන්නවා. ඒ කුඩු ටිකක් දුම් බටයට දමනවා.බටය කාමරයෙන් ඇතුළට දමලා පූපුහ් කියලා අර කුඩු ටික කාමරය ඇතුළට පිඹිනවා. කාමරය ඇතුලේ කුඩු විසිරිලා ළමයා හුස්ම ගත්දී ඒව ළමයගේ ඇඟට ඇතුළු වෙනවා.

"ඊට පස්සෙ"

"ඊට පස්සෙ ඒ ළමයාට හරි අපූරු ලස්සන සිහින පෙනෙන්නට පටන් ගන්නවා. මැජික් කුඩු හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ළමයා සිහිනයෙන් දකින දේ සැබවින්ම සිද්ද වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ළමයා ඉන්නේ ඇඳ උඩ නිදාගෙන නෙමෙයි. එයා හීනෙන් දකින හැම තැනම අවදියෙන්. මම කියන දේ ඔයාට තේරෙනවද? එයා දකින හීනය හීනයක් නෙමෙයි. හැබැහින්ම වෙන දෙයක් බවට පත් වෙනවා. හීනය සැබෑ ජීවිතය බවට පත් වෙනවා. දැන් රෑ වුණා. ඉතිරි හරිය හෙට කියන්නම්. සුබ රාත්රිතයක් මම නිදා ගන්නවා."

මට හාදුවක් දුන් තාත්තා කුඩා පැරෆින් ලාම්පුව නිවී යන තුරු එහි තිරය පහත් කරයි. අඳුරු කාමරය පුරා රතු පැහැති ආලෝකය පතුරුවමින් ඇවිලෙන ගිනි උඳුන අසලින් ඈඳි ගනී.

"තාත්තේ" මම තාත්තාට කතා කළෙමි.

"ඇයි පුතේ?"

"ඔයා මිතුරු යෝධයා දැකලා තියෙනවද?"

"එක වතාවක්. එකම එක වතාවක් මම එයාව දැකලා තියෙනවා." තාත්තා කීවේය.

"ඒ කොහෙදීද?"

"මම තවලම පිටිපස්සෙ වාඩිවෙලා හිටියා." තාත්තා කීවේය. "එදා රෑ බොහොම හොඳට හඳ පායලා තිබුණා. එහෙම ඉඳිත්දී මට ඉබේටම වාගේ උඩ බැලුණා. ඔන්න එතකොටම වාගේ යෝධ හෙවණැල්ලක් වගේ මිනිහෙක් කඳු මුදුන් දිගේ දුවගෙන ගියා මට පෙනුණා. එයා කඩිමුඩියේ දුවගෙන ගියා. එයාගේ ලෝගුව වළාකුලක් වගේ එයා පස්සෙන් දිගට දිගේ ඉගිලිලා ගියා. එයාගේ එක අතක ලොකු පෙට්ටිය. අනික් අතේ දුම් පයිප්පය. එයා තණ බිම අද්දර වල් රෝස යාය ළඟට ආවා. අඩියට දෙකට තණ බිම හරහා ගිහිං ඇසිපිය ගහන පමාවෙන් අතුරුදන් වුණා.

"ඉතිං ඔයාට බය හිතුනෙ නැද්ද?"

"අපෝ නැහැ! මම එයාව දැකගන්න ආසවෙනුයි හිටියේ" තාත්තා කීවේය. "මට පුංචි තැතිගැන්මක් දැනුනා, ඒත් බය හිතුණේ නෑ. දැන් ඉතින් නිදා ගන්න. ඔයාට සුබ රාත්‍රියක් වේවා!"

-[රෝල් ඩාල් ගේ "ඩැනී"]["තාත්තයි මමයි"]
සිත්තම- රුවන්මලී

රෝල් ඩාල්
පරිවර්තනය - අනුර කේ එදිරිසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails