අපි අසන දකින දෙයින් යම් තීරණවලට එළඹෙමු. එහෙත් අප අසන දකින දෙය, සෑම විටම ඇත්ත නොවේ. ඒ මත තීරණ ගැනීමේ දී, අප බොහෝ විට හාස්‍යයට ද ලක් වෙයි. දිනක් එක් විදේශිකයෙක් දේශාටනය සඳහා ලංකාවට පැමිණියේය. ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකි. ලංකාවේ ගම් නියම් ගම්වල ඇවිදීමට ඔහු බොහෝ ඇල්මක් දැක්වීය. දිනක් ඔහු දකුණු පළාතේ කුඹුරු ගොවිතැන් කරනු බැලීමට ගියේය. මී හරකුන් බානක කරෙහි-
වියගසක් ගැට ගසා ඇත. එහි බැඳ ඇති නගුලෙන් ඔවුහු කුඹුරු සී සාති. ගොවියා අත කෙවිටකි. ඔවුහු ඕසෙ නගමින්, අඬහැර පාමින්, ගොනුන් දක්කති. ඇසූ දෙයින් සුද්දා මවිතයට පත් විය.
"ජැක්... පීටර්..... මැක්"
සුද්දා අනුරාධපුරය නැරඹීමට ගියේය. එහි ගොවියෝ ද ගවයන්ට අඬහැර පාන්නේ එකම හඬිනි.
"ජැක්... පීටර්..... මැක්"
මේ තම රටෙහි වැදගත් මිනිසුන්ට භාවිතා කරන නම් තුනකි. තම රටෙහි මිනිසුන්ට භාවිතා කරන නම් වලින් ලංකාවෙහි ගොන්නුන්ට අමතන්නේ ඇයි දැයි ඔහුට පුදුමයකි. ඔහු පා තැබූ සෑම ප්‍රදේශයකම ගවයන් අමතන්නේ එසේය.
"ජැක්... පීටර්..... මැක්"
ඔහු උගත් ලේඛකයෙකි. තම රටට ගිය ඔහු, ලංකාව ගැන පොතක් ලීවේය. එහි ඔහු මෙසේ ලීවේය.
"ලංකාවේ මිනිස්සු ගවයන්ගෙන් කුඹුරු සී සාති. කෙවිටකින් පහර දෙමින් නම් කියා කෑ ගසති. එවිට ඔවුන් ගවයන් අමතන්නේ අප රටෙහි වැදගත් මිනිසුන්ගේ නම් කියමිනි. ජැක්... පීටර්..... මැක්"
අප ගොවියන් ගොවි භාෂාවෙන් ගවයන් දක්කන්නේ "ජහ්... පිට... මහ්" යනුවෙනි.
සුද්දා එය තේරුම් ගත්තේ වැරදි ආකාරයටය.
-ජැක් පීටර් මැක් (පිරුළු කතන්දර)| හේමචන්ද්‍ර සූරියආරච්චි| 2005
කෘතිය පිළිබඳ විමසීම්- 33 226 3644
හේමචන්ද්‍ර සූරියආරච්චි
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook