එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා; "දණ ගහපල්ලා! ආචාර කරපල්ලා!"

සුදුපාට ඇතෙකු එන හැටි ගල් වඩුවා දැක්කා. ඇතා පිට වාඩි වී හිටියා රජ කෙනෙක්. ගල් වඩුවා දණ ගසා රජතුමාට ආචාර කළා. ඔහු මෙහෙම සිතුවා.

"රජතුමාට මාව පෙනෙන්නෙ වත් නැහැ, එහෙනම්, මම නමස්කාර කරන්නේ ඇතාට වෙන්න ඕනේ. ඇතා බොහොම වැදගත් සතෙක්.ඇතාත් මට වඩා හොඳට ජීවත් වෙනවා. මටත් ඇතෙකු වෙන්නට ඇත්නම් කොතරම් හොඳද" කියලා ගල් වඩුවා හිතුවා. එහෙම හිතුවා විතරයි ගල් වඩුවා එකවරම ඇතකු වුණා.

ඇතා බවට පත්වුණු ගල් වඩුවාගේ පිට උඩ රජා වාඩිවෙලා තේ බොනවා. රජ්ජුරුවන්ගේ උණු තේ කෝප්පයෙන් උණු තේ ටිකක් ඇතාගේ පිටට වැටුණා. උගේ පිට රිදුණා. "මීට වැඩිය හොඳයි රජ කෙනෙකු වෙනවානම්" කියලා ගල්වඩු ඇතා සිතුවා. එහෙම සිතුවා විතරයි, ගල් වඩු ඇතා රජ කෙනෙකු බවට පත් වුණා.

ඔන්න දැන් ගල් වඩු රජතුමා සුදු ඇතා පිට නැගිලා යනවා. රජතුමා උණු තේ බීලා සතුටු වුණා. සතුට අසතුටට හැරුණා. බොහොම සැරට ඉඅර පායන්නට පටන් වුණා. රජතුමාට ඇස් අරින්නවත් බැහැ. කඳුළු ගලන්නට වුණා. ඉර අව්ව එතරම් සැරයි. " ඉර මටත් වඩා බල සම්පන්නයි. මා කැමතියි ඉර වෙන්ට" රජා සිතුවා.


සිතුවා විතරයි ගල් වඩු රජා එක පාරටම ඉර බවට පත් වුණා. එදා සිට මේ අලුත් ඉර පායන්නට පටන් ගත්තා. ඉර අව්ව නිසා මහ පොළොව ගිනි රත් වුණා. අහසේ වළාකුළු ඇති වෙලා, වැහි වළාවක් හැදුණා. මේ වැහි වලාකුල නිසා ඉර අව්ව මහ පොළොවට පායන්නෙ නැහැ. ඉර තරහ වෙලා මෙහෙම සිතුවා. " මා කැමතියි වැහි වලාකුලක් වෙන්ට!" සිතුවා විතරයි ගල් වඩු ඉර එක වරම වැහි වළාකුලක් වුණා. දැන් ඉතින් කුණාටුවට අසු වෙච්ච වැහි වළාව අහස හැම තැනම දුවනවා. " හරි වැඩක් නෙව, මාව හැම තැනම එළවන්නෙ කවුද? කුණාටුව තමයි! මා කැමතියි කුණාටුවක් වෙන්නට!"

සිතුවා විතරයි, ගල්වඩු වැහි වලාව කුණාටුවක් වෙලා ඉවරයි. කුණාටුව වේගයෙන් හමන්නට වුණා. ගස්, වැල්, ගෙවල්වල වහලවල් කැඩිලා බිම වැටුණා. බොහොම සැර කුණාටුවක්! මේ කුණාටුව ලොකු ගල් කන්දක හැප්පිලා බිඳුණා. "ගල් කන්ද මටත් වඩා බල සම්පන්නයි. මං කැමතියි ගල් කන්දක් වෙන්නට" එතකොටම වාගේ කුණාටුව ගල් කන්දක් වුණා.

කඳු මුදුන වලාකුළු වලටත් වඩා උසයි. කඳු පා මුල ඉන්න මිනිසුන් බොහොම පුංචියි. මහ විසාල කන්ද මිනිසුන් කරන වැඩ ගැන සැලකුවේ නැහැ. හයිය අත් දෙකක් ඇති මිනිහෙක් ලොකු ගල් කටුවක් අරගෙන එන හැටි ගල් කන්ද දැක්කේ නැහැ. මිනිහා ගල් කටුවෙන් කන්දට ඇන්නා.

"මිනිහා තමා අනිත් හැමදේටම වඩා බල සම්පන්න." ගල් කන්ද වේදනාවෙන් කෑගහන අතර සිතුවා. " මා කැමතියි මිනිහකු වෙන්නට!" ඔන එතකොට ගල් කන්ද එකවරම මිනිහකු වුණා. ගල්වඩු ගල් කන්ද නැවත ගල් වඩුවකු වෙලා ගල් කඩන්නට පටන් ගත්තා.

අසුන් පිට නැග ගත්තු රාජ සේවකයෝ කෑ ගහන්නට වුණා. "රජතුමා වඩිනවා. දණ ගහපියව්! නමස්කාර කරව්!" ඇතකු, රජකු, වැහිවලාවක්, කුණාටුවක්, ගල් කන්දක් බවට පත් වෙලා ආයෙමත් ගල්වඩුවකු වුණු මිනිහා මෙහෙම සිතුවා; "දණ ගහන්නේ නැහැ!" ඔහු දණ ගැසුවේ නැහැ. ඔහු දණ ගැස්සවීමට පුළුවන් බලවතෙක් ලෝකයේ නැහැ. මිනිහා යටත් වන්නේ පිටින් ඇති බලයක් නිසා නොවෙයි. තමාගේම බියසුළු, නිවට කම් හන්දා.

[තජික් කතාවක් ඇසුරින් පිළියෙල කරන ලද්දකි.]

ඇන්දේ| විනකූරොව් සහ ෂ්වාර්ට්ස්මාන්

ආර්. කුෂ්නේරෝවිච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| edit post
Reactions: 
Related Posts with Thumbnails