
එකම එක යාළුවෙක්වත් නැති නිසා නපුරු නරියට ගොඩක් පාළුයි. ‘මං ගොඩක් ලොකුයි ඒ මදිවට මට තියෙන්නෙත් භයානක පෙනුමක්.. ඒක නිසා වෙන්නැති මට කිසිම යාළුවෙක් නැත්තෙ.. ’ නරියා එයාටම කියා ගත්තා. ‘සමහරවිට ඒ මං නරක නිසා වෙන්නත් පුළුවන්.. ඔව්.. ගොඩක් නරක නිසා..... ’ නපුරු නරියා තනියම හිතුවා.
‘හරි මං දන්නවා.. මං නරක වැඩ අත්හරිනවා.. ඒකරලා කරුණාවන්ත නරියෙක් වෙනවා.. එතකොට මටත් ගොඩක් යාළුවෝ ලැබේවි.. ’ එහෙම හිතුව නපුරු නරියා ගමේ ටිකක් ඇවිදින්න පටන් ගත්තා.
"බුදු අම්මෝ.... මෙන්න නපුරු නරියා එනවෝ.." නරියව දැක්ක සුදු හංසිනී, හංස පැටව් හත්දෙනා එක්ක ගේ ඇතුළට දිව්වා.
"ඩාං...." ඊටපස්සෙ ඇහුණෙ හයියෙන් දොර වැහුණ සද්දෙ.
"හංසිනී.." නපුරු නරියා ආදරණීය කටහඬකින් කතා කළා. "දොර ටිකක් අරින්න පුළුවන්ද.. ? මම දැන් කරුණාවන්ත නරියෙක්.. මට පුළුවන්ද ඔයාගෙ ළමයි එක්ක සෙල්ලම් කරන්න.. ?"
ඒත් හංසිනී නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ.
"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙමත් මෙහාට කවදාවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගැහන්න ගත්ත හංස පැටව්, ජනේලය ළඟට ගිහින් නපුරු නරියට ඇස් වපර කරලා ඇද කරන්න පටන් ගත්තා.
නපුරු නරියා දැන් හොඳ නරියෙක් බව හංසයෝ අඳුන ගත්තෙ නැති නිසා නරියට දුක හිතුණා.

‘හරි මං දන්නවා.. කරුණාවන්ත වෙලා විතරක් මදි.. මම උදව් කරන්න පටන් ගන්නත් ඕනෑ.. එතකොට මටත් හම්බවේවි යාළුවෝ. ’ එහෙම හිතුව නපුරු නරියා ආයෙමත් ඇවිදින්න යන්න පටන් ගත්තා.
කිකිළි හාමිනේ ගමනක් යන්න ලක ලෑස්ති වෙලා මග බලාගෙන ඉන්නවා.
"කීයට එයිද මන්ද මේ උදව්කාරයා.."
කුකුළු පැටව් බලාගන්න එනවයි කීව උදව්කාරයා තාමත් නැති නිසා කිකිළි හාමිනේගේ හිත ටිකක් කලබලයි.
කුකුළු කූඩුව ළඟට ගිය නපුරු නරියා උගුර පෑදුවා.
"කිකිළි හාමිනේ මට පුළුවන් ඔයාගේ ළමයි ටික හොඳින් බලාගන්න.."
"නපුරු නරියා ඇවිල්ලෝ.. ළමයිනේ.. දුවපල්ලා.. දුවපල්ලා.. විගහට දුවපල්ලා.." හැමෝම ඉක්මණට දුවල ගිහින් දොර වහගත්තා..
"කිකිළි හාමිනේ.. මම දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක්.. කමක් නැද්ද මම අද කුකුළු පැටව් බලාගත්තට.. ?"
ඒත් කිකිළි හාමිනේ කීයටවත් දොර නම් අරින්න ගියේ නෑ.
"යනව යන්න නපුරු නරියා.. යනව යන්න.. ආයෙත් මේ පැත්ත පළාතටවත් එන්න එපා.." ගේ ඇතුළෙ ඉඳන් කෑ ගහන්න ගත්ත කුකුළු පැටව් ටිකත්, නරියට ඇද කරන්න පටන් ගත්තා.
නපුරු නරියා දැන් කරුණාවන්ත හැමෝටම උදව් කරන නරියෙක් බව කුකුළොත් තේරුම් ගත්තෙ නෑ. ඒ හින්ද නරියට ආයෙමත් ගොඩක් දුක හිතුණා.
ඉතින් නපුරු නරියා ආයෙමත් හිතන්න පටන් ගත්තා.
‘හරි මං දන්නවා. උදව් කරන කරුණාවන්ත නරියෙක් වෙලා මදි.. මං මොනව හරි හොඳ යහපත් වැඩක් කරන්නත් ඕනෙ.. එතකොට නම් මට කොහාම හරි යාළුවො ලැබේවි.. ’ නරියා හිතුවා.
ඉතින් හොඳ යහපත් දෙයක් කරන අදහසින් නපුරු නරියා ආයෙමත් ගමේ ගොඬේ ඇවිදින්න යන්න පටන් ගත්තා.
තාර හාමිනේ තාර කූඩුව ළඟ ඉඳගෙන කෑ ගහනවා නපුරු නරියා දැක්කා.
"පස්වැනියා.. පස්වැනියා.. කෝ.. කොහෙද මේ පස්වැනියා.."
"ඇයුබෝවන්! තාරාවි.. මොකද්ද ප‍්‍රශ්නෙ.. කමක් නැද්ද මං උදව් කරාට.. ?"
නපුරු නරියව දැක්ක තාරාවිට හොඳටම තරහ ගියා.
"නපුරු නරි තඩියා.." තාරාවි කේන්තියෙන් පුපුරමින් කෑ ගැහුවා. "කොහොම හරි ඔහේ මගේ පස්වැනි තාර බබාව කෑවා නේද.. ?" තාරාවි කූඩුව ඇතුළට ගිහින් හයියෙන් දොර වහගත්තා.
නපුරු නරියට තාරාවිගෙ වචන හිතාගන්නවත් බැරි වුණා. නරියා කූඩුවෙ දොරට තට්ටු කරන්න පටන් ගත්තා.
"තාරාවී.. මට ඇතුළට එන්න ඉඩදෙන්න.. මං කිසිම කෙනෙක්ව කෑවෙ නෑ.."
ඒත් තාරාවි එහෙම නෙමෙයි වැරදිලාවත් නම් දොර ඇරියෙ..
"යනව යන්න නපුරු නරියා.. ඈතටම යනව යන්න.. ආයෙත් කවදාවත් කොහෙට ගියත් මෙහාට නම් එන්න එපා.. " ඉතුරු තාර පැටව් හතරදෙනා කෑ ගහන ගමන් නපුරු නරියා දිහා කැත විදිහට බැලුවා.
"හා.. එහෙනම් මමයි පස්වැනියව කෑවෙ.. උගන්වන්නම්කො මං හොඳ පාඩමක්.. මීට කළින් මම නරකම නරක නරියෙක්." නපුරු නරියා තනියෙන් කියව කියව කැලෑවෙ එහාට මෙහාට ඇවිද්දා.
ටික වෙලාවකට පස්සෙ නරියට ඇහුණා කටහඬක්.
"ක්වෑක්.... ක්වෑක්.. අනේ! මට පාර වැරදිලා.." කටහඬ කියනවා ඇහුණා.
ගහක් පිටිපස්සෙ හිටිය නරියා එළියට මතු වුණා.
"මෙන්න නපුරු නරියා මාව කන්න යනවෝ.. අනේ මාව බේරගන්ඩෝ...." නරියව දැක්ක පස්වැනියා පුළුවන් තරම් හයියෙන් කෑගහන්න පටන් ගත්තා.
බයෙන් කෑ ගහන තාර පැටියා ගැන නපුරු නරියට දුක හිතුණා. කේන්ති යනව වෙනුවට හිත උණු වුණා. ඒත් ඒ බව නොපෙන්වා පස්වැනියට සැරෙන් කතා කළා.
"ඔය මෝඩ කෑගැහිල්ලයි ඇඬිල්ලයි නැවැත්තුවේ නැත්නම්, මම දැන් ඔයාව ඇත්තටම කනවා.. තේරුණාද.. ?"
පස්වැනියා නපුරු නරියා දිහා බැලුවා. ජිල්බෝල වගේ කඳුළු බෝල, තාරහොට දිගේ ගලන්න ගත්තා.
"මට අම්මා ළඟට යන්න ඕනෙ.. " පස්වැනියා අඬ අඬාම නරියට කීවා.
"හොඳයි.. දැන් එහෙනම් හොඳ තාර බබා වගේ නාඬා ඉන්නකෝ.. අපි දැන් යන්නෙ ඔයාගෙ අම්ම ළඟට තමයි.. "

නපුරු නරියා පස්වැනියව එයාගෙ ලොකු කලිසම් සාක්කුවේ දාගත්තා.
ආයෙමත් තාරාවිගේ කූඩුව ළඟට ගිය නරියා දොරට තට්ටු කළා.
"තාරාවී... තාරාවී... මේ බලන්නකෝ මට පස්වැනියව හම්බවුණා.. දැන්වත් ටිකක් දොර අරිනවද.... ?" ආදරණීය කටහඬකින් නපුරු නරියා තාරාවිට කීවා.
තාර කූඩුවේ දොර හිමින් සීරුවේ ටිකක් ඇරුණා.
"ඔය ඇත්තමද.. ?" දොරට මුවාවෙලා තාරාවී නපුරු නරියගෙන් ඇහුවා.
"සත්තම සත්තයි.. ඇත්තමයි මේ කියන්නේ.." නරියා උත්තර දුන්නා.
"එතකොට ඔයා එහෙනම් ඔයා පස්වැනියව කෑවෙ නෑ.. ! ?" තාරාවී ආයෙමත් ඇහුවා.
"පුංචිම පුංචි කෑල්ලක්වත් කෑවෙ නෑ.." නරියා උත්තර දුන්නා.
දොරෙන් එළියට අත දැම්ම තාරාවී ඉක්මණට පස්වැනියව ඇතුළට ඇදල ගත්තා.
"ඩාං....." ඊටපස්සෙ ඇහුණෙ දොර වැහෙන සද්දෙ.
නපුරු නරියා දුකින් තාරාවිගෙ කූඩුව ළඟින් යන්න ගියා. නපුරු නරියා හොඳ කරුණාවන්ත කෙනෙක් වුණා. යහපත් වැඩකුත් කළා. ඒත් තවමත් කවුරුත් කැමති නෑ එයාගෙ යාළුවෙක් වෙන්න. නපුරු නරියට ඇඬුනා. ලොකු කඳුළු බිංඳු දිග නහය දිගේ ගලන්න පටන් ගත්තා.
"මේ ඒක නෙමෙයි නපුරු නරියෝ.." කූඩුවේ දොර ඇරිය තාරාවි නපුරු නරියට කතා කළා.
තාරාවිගෙ කටහඬ ඇහුණ නරියා හිටිතැනම ගල් ගැහුණා.
"ඔයාට වෙලා තියෙනවනම් තේ එකක් බීලා යන්න ඉන්න පුළුවන්ද.."
"ඔව් පුළුවන්.. ඇත්තටම පුළුවන්.." නපුරු නරියා උත්තර දුන්නා.
තාරාවිගෙ ගෙදර ගතකරපු මොහාත බෙහෙවින් සතුටුදායක මොහොතක් වුණා. නපුරු නරියා තේ කෝප්ප තුනක් බීවා. විස්කෝතු එකොළහක්ම කෑවා. තාර පැටව් එක්ක හිතේ හැටියට සෙල්ලම් කළා.
"ස්තූතියි! තාරාවී...." ගෙදර යන්න වෙලාව ආවාම නපුරු නරියා හැමෝගෙන්ම සමුගත්තා.
"නෑ.. නෑ.. නපුරු නරියෝ මමයි ඔයාට ස්තූති කරන්න ඕනෑ.." තාරාවි කීවා. "ඔයා මට පස්වැනියව හොයල දුන්නා.. ඒ නිසා ඔයා වීරයෙක්.."
"තාරාවී.." නපුරු නරියා ලැජ්ජාවෙන් තාරාවිට කතා කළා. "ඔයාට පුළුවන්ද අද ඉඳලා මට ආදරණීය නරියා කියලා කතා කරන්න.."

තාරාවි හිනා වුණා. "එහෙම දෙයක් කරන්න ඕනෙ නෑ නරියෝ.." තාරාවි නරියව ආදරෙන් බදාගත්තා.
"ඔයා හැමදාම හිටිය නපුරු නරියමයි. හැබැයි අපේ නපුරු නරියා හරි කරුණාවන්තයි.. !"
[පින්තූර : ලීන් චැප්මෑන් | Lynne Chapman]
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔන්න එකෝමත් එක කාලෙක සහෝදරයෝ දෙදෙනෙක් ජීවත් වුණා. එක්කෙනෙක් බොහෝම දුප්පත්. අනිත් කෙනා බොහෝම පොහොසත්. මේ පොහොසත් සහෝදරයා ඔහුගේ අසල්වාසීන් හා බොහෝම මිතුරුයි. ඒත් තමන්ගේ සහෝදරයා සමග හොඳින් ඉන්ට ඔහු අකමැති වුණා. හරියටම ඔහුව අඳුනන්නෙ නැති කෙනෙකු ගානටයි ඔහු ජීවත් වුණේ. ඒ මොකද, දුප්පත් සහෝදරයා කිසියම් මොහොතක ඇවිත් ඔහුගේ ධනයෙන් කොටසක් ඉල්ලාවි යයි ඔහු බයවුණු හන්දා.
ඒත් දුප්පත් සහෝදරයා ඔහුගෙන් කිසිවක් ඉල්ලන්ට ගියේ නෑ. ඔහුට බොහෝම අමාරුකම් වලට මුහුණ දෙන්ට සිදුවුණත් කිසි වෙලාවක් ඔහු පොහොසත් සහෝදරයා ළඟට ගියේ නෑ.
ඔන්න එකදවසක් හැන්දෑවක දුප්පත් සහෝදරයාගේ බිරිඳ ඔහුව අමතලා මෙහෙම කිවුවා.
"අපි අද දවස ගෙවාගන්නෙ කොහොමද කියලා වත් මට හිතාගන්ට අමාරුයි. කෑමට ගන්ට කියලා කිසිම දෙයක් ගේ හරියේ ඇත්තේ නෑ. අයියා ළඟට ගියොත් මොකවත් ඉල්ලා ගන්ට බැරි වෙන එකක් නෑ. ඔහු ඊයෙත් ධාන්‍ය අරගෙන යනවා මම දැක්කා."

දුප්පත් සහෝදරයා තමන්ගේ පොහොසත් සහෝදරයා වෙතට යන්ට කොහෙත්ම කැමති වුණේ නෑ. ඒත් ඒ වෙලාවේ ඔවුන්ට උදව් කළ හැකි කිසිවෙක් හිටියේ නැති නිසා ඔහු පොහොසත් සහෝදරයා ළඟට ගිහින් මෙන්න මෙහෙම කිවුවා.
"මගේ ආදරණීය අයියේ, කෑමට ගත හැකි කිසිවක් ගේ හරියේ ඇත්තේ නෑ. නුඹට පුළුවන් නම් මට ධාන්‍ය ස්වල්පයක් ණයට දීපන්."
දුප්පත් සහෝදරයා වෙතට හරක් කුරයක් වීසි කළ පොහොසතා මෙහෙම කිවුවා.
"නුඹට හැකි නම් මෙන්න මේක ගිහින් හයිෂි රාස්සයට දීපන්, පලයන්." එහෙම කියලා ඔහු මල්ලීව එළවා ගත්තා.
"ඔහු මේ කුරය දුන්නේත් කැළේ රාස්සයාටයි. මා වෙනුවෙන් යමක් දෙන්ට තරම් ඔහු කාරුණික වුණේ නෑ. මෙහෙම නින්දා විඳිනවාට වඩා මේක අරන් රාස්සයා ළඟට යන එක හොඳයි." එහෙම කියලා දුප්පත් සහෝදරයා කැලෑවට යන්ට පිටත් වුණා.
රාස්සයා ළඟට යන පාර ඔහු දැන සිටියේ නෑ. මග ගෙවාගෙන යද්දි, ඔහුට හමුවුණා දර කපන්නන් කණ්ඩායමක්.
"නුඹ මේ කොහෙ යනවද?" දර කපන්නන් ඇසුවා.
"හයිෂි රාස්සයා ඉන්න තැනට, මෙන්න මේ හරක් කුරය දෙන්ට. කරුණාකරලා නුඹලාට හැකිද මට පාර කියාදෙන්ට?" මල්ලි ඉල්ලා සිටියා.
"ඔය ඉස්සරහට පෙනෙන පාර දිගේම නුඹ යා යුතුයි. හැබැයි කිසිම වෙලාවක ආපහු නොබලන්ට නුඹ මතක තබා ගනින්. රාස්සයා මුණගැහෙන්ට එතැනදි පුළුවනි. හරක් කුරයට රිදී කාසි දෙන්ට අහවි. එය ගන්ට එපා. ඊළඟට රත්තරන් කාසි දෙන්ට අහවි. ඒකත් ගන්ට එපා. ඒ වෙනුවට රාස්සයාගේ වංගෙඩිය ඉල්ලාපන්. වෙන මොකුත් ඉල්ලන්ට එපා." දර කපන්නන් කියා සිටියා.
දුප්පත් සහෝදරයා ඔවුන්ට ස්තුති කරලා යන්ට පිටත් වුණා.
ඔන්න ඔහොම බොහොම දුරක් ගෙවාගෙන දන්නා අඳුනන කෙනෙක් නැතිව ඇවිදගෙන ඇවිදගෙන යද්දි ඔහු දුටුවා කුඩා ගෙයක්. ඔහු ගෙට ඇතුලු වුණා. ඒ ගෙදර රාස්සයා ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ.
"මිනිස්සු මට එක එක විදියේ තෑගි බෝග කොයිතරම් ගෙනෙන්ට පොරොන්දු වෙලා ගියත්, තෑගි ගෙනෙන්නෙ බොහොම කලාතුරකින්. කියාපන්, නුඹ මට ගෙනාවේ මොනවාද?"
"හරක් කුරයක්"
හයිෂිට බොහොම සතුටු හිතුණා.
"අවුරුදු තිහකින් මං මොනම මස් වර්ගයක් වත් කාලා නෑ. ඔය හරක් කුරය ඉක්මනට මෙහාට දීපන්" රාස්සයා කිවුවා.
එසැණින් හරක් කුරය අතට ගත්තු රාස්සයා එය ගිල දැමුවා.
"නුඹ මේ හරක් කුරය තෑගි කලා. ඒ වෙනුවෙන් යමක් මම නුඹට දෙන්නට කැමතියි. මෙන්න මේ රිදී කාසි අහුර නුඹට මං තෑගි කරනවා."
"මට රිදී ඕනෑ නෑ" දුප්පත් මිනිහා කිවුවා.
"එහෙනං මේ රන් කාසි අරගනින්" රාස්සයා කිවුවා.
"මට රත්තරං ඕනෑ නෑ" දුප්පත් මිනිහා කීවා.
"නුඹට ඕනෑ මොනවද එහෙනං?"
"නුඹට ඒක කොහෙත්ම දෙන්ට බෑ. ඒ වෙනුවට ඕනෑ තරම් කාසි ගන්ට නුඹට පුළුවනි."
"එපා. මට වංගෙඩියයි ඕනෑ." දුප්පත් මිනිහා දිගින් දිගටම කියා සිටියා.
"හ්ම්. මං දැං හරක් කුරය කාලා ඉවරයි. ඒ නිසා නුඹට මේ වංගෙඩිය දෙනවා හැර මට කළ හැකි කිසිවක් නෑ. එහෙනම් ගනින්" අන්තිමේදි රාස්සයා දුප්පත් මිනිහාට කිවුවා.
"නුඹ මෙයින් වැඩ ගන්නා සැටි දන්නවාද?" රාස්සයා ඇහුවා.
"මං දන්නෙ කොහොමද? මට කියා දීපන්" දුප්පත් මිනිහා කිවුවා.

"මේක නිකම්ම නිකං වගෙඩියක් නොවෙයි. මේකට පුළුවන් නුඹ ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්ට. නුඹට ඕනෑ දේ කියල' ආදරණීය වංගෙඩිය අඹරන්න, අඹරන්න කියූ සැනින් නුඹට ඕනෑ දේ ලබා දේවි. නුඹට නවත්වන්ට ඕනෑ විට 'ඇඹරුවා දැන් ඇති' කියා කියන්ට ඕනෑ. එවිට එය නවතිවී. නුඹට පුළුවනි දැන් වංගෙඩියත් අරන් පිට වෙන්ට." රාස්සයා කිවුවා.
දුප්පත් මිනිහා හයිෂි රාස්සයට ස්තුති කරලා වංගෙඩ්යත් අරන් ගෙදර යන්ට පිටත් වුණා. ඔහු කැලේ මැද්දෙන් ඇවිදගෙන ඇවිදගෙන ගියා. එකපාරටම එක පාරටම අහස කළු වෙලා මහ වැස්සක් ඇද වැටෙන්ට පටන් ගත්තා. හුළඟ හෝ හඬින් හමාගෙන ගියා. ගස් වල අතු ඉති දුප්පත් මිනිහගේ මුහුණේ හැපෙන්ට පටන් ගත්තා. මුළු රෑම ඇවිදලා උදේ පාන්දර වෙද්දි ඔහු ගෙදරට ලඟා වුණා.
"මං හිතුවේ ආයේ කවදාවත් ඔහේගේ මූණ දකින එකක් නෑ කියලා. දවල් රෑ නොබලා ඔහේ කොහේ ගිහින් හිටියද?" ඔහුගේ බිරිඳ ප්‍රශ්න කළා.
"මං හිටියේ හයිෂි රාස්සයාගේ මාළිගාවේ. මේ බලාපල්ලා රාස්සයගෙන් මට ලැබුණේ මොනවද කියල?" දුප්පත් මිනිහා ඔහුගේ බිරිඳට කිවුවා.
එහෙම කියලා වංගෙඩිය මල්ලෙන් එළියට ගත්තා. අරගෙන මෙන්න මෙහෙම කිවුවා.
"ආදරණිය වංගෙඩිය අපට කන්ට රසම රස කෑම වර්ග ලබා දෙන්ට!"
ඔන්න එතකොටම වාගේ වංගෙඩිය වටේට කරකැවෙන්ට පටන් ගත්තා. එතකොට පිටි, සීනි, ධාන්‍ය, මස් වර්ග, මාළු වර්ග සහ කෙනෙක් කන්ට ආසාකරන බොහෝ රසවත් කෑම වර්ග වලින් මේසය පිරී යන්ට පටන් ගත්තා.
දුප්පත් සහෝදරයාගේ බිරිඳ ගෙදර තිබුණු සියළුම භාජන වලටත් මළු වලටත් ඒවා ඇති තරම් පුරවා ගත්තා.
ඊලඟට වංගෙඩිය ට හෙමින් ඇඟිල්ලේ තට්ටු කල දුප්පත් සහෝදරයා,
"දැන් ඇති. දැන් නවත්වන්න" කිවුවා. ඔන්න එතකොටම වංගෙඩිය එකපාරටම නිස්සද්ද වෙලා නැවතුනා.
ඔන්න එදා පටන් දුප්පත් සහෝදරයාට බොහොම යහපත් කාලයක් උදා වුණා. ඔවුන්ට කන්ට බොන්ට ඕනෑතරම් ආහාර පාන ලැබුණා. ඒ විතරක් නොවෙයි, අලංකාර ඇඳුම් ආයිත්තං සහ බොහෝ වටිනා පා වැසුම් පවා තිබුණා. කොටින්ම ඔවුන්ට නැහැයි කියලා කියන්ට කිසිම දෙයක් තිබුණේ නැති තරමට හැමදේම තිබුණා.
ඔන්න දවසක් දුප්පත් සහෝදරයා තමාගේ අස්සයින්ට කන්න දෙන්න ධාන්‍ය අඹරන්නට යයි වංගෙඩියෙන් ඉල්ලා සිටියා. වංගෙඩිය ධාන්‍ය ඇඹරුවා. ඔහුගේ අශ්වයෝ ඒවා කන්ට පටන් ගත්තා. ඒ අතරේ පොහොසත් සහෝදරයා ගේ අශ්වයින්ට වතුර පෙවීම සඳහා වැවට දක්කාගෙන යන්ට යයි යැයි අණ කොට සේවකයෙකු පිටත් කර හැරියා. දුප්පත් සහෝදරයාගේ ගෙදර පසු කර යමින් සිටින විට එක් වරම ඔහ්ගේ මිදුලේ නැවතුනු පොහොසත් සහෝදරයාගේ අශ්වයින් ධාන්‍ය කන්ට පටන් ගත්තා.
ඔන්න එතකොටම වාගේ දුප්පත් සහෝදරයාගේ මිදුලට ආපු පොහොසත් සහෝදරයා සේවකයාට මෙහෙම කිවුවා;
"වීසි කරපු රොඩු කනවා උන් නුඹට පෙනෙන්නේ නැති ද? වහාම අස්සයින් දක්කාපන්!"
සේවකයා අස්සයින් රැගෙන පිට වී ගියා.
"ඇත්තම කිවුවොත් ඒවා හොඳම වර්ගයේ ධාන්‍යයි. ඒවා අතුගාලා වීසි කරන රොඩු බොඩු නම් නෙමෙයි කොහෙත්ම. ඔබගේ සහෝදරයාට ඉස්තරම් වර්ගයේ ධාන්‍යත් අන් සියළු දේත් තියෙනවා." සේවකයා පොහොසත් සහෝදරයා ට කියා සිටියා.
පොහොසත් සහෝදරයාට ඒ ගැන සැකයක් පහළ වුණා.
"ඔහු මේ තරම් පොහොසත් වුණේ කොහොමදැයි සොයා බලන්ට ඕනෑ." එහෙම කියලා දුප්පත් සහෝදරයා වෙතට ගියා.
"මල්ලියේ , මල්ලියේ නුඹ මේ තරම් පොහොසත් වුණේ කොහොමද? මේ තරම් සම්පත් නුඹට ලැබුණේ කොහොමද?" ඔහු ඇහුවා.
දුප්පත් සහෝදරයා කිසිවක් පොහොසත් සහෝදරයාගෙන් වසන් කරන්ට ගියේ නෑ.
"හයිෂි රාස්සය නිසා" ඔහු උත්තර දුන්නා.
"මට පැහැදිලි වෙන්ට කියාපන්" වැඩිමහල් සහෝදරයා ඉල්ලා හිටියා.
"හයිෂි රාස්සයට දෙන්ටැයි කියා නුඹ මට හරක් කුරයක් දුන්නා මතකද? ඉතිං හැබෑවටම මං ඒ කුරය හයිෂි රාස්සයට ගිහින් දුන්නා. ඒ ගැන සතුටු වෙලා රාස්සයා මේ අරුම පුදුම වංගෙඩිය මට තෑගි කළා. මේ වංගෙඩියට හැකියි මා ඉල්ලන ඕනෑම දෙයක් මට ලබාදෙන්ට."
"අනේ මල්ලියේ, මට පෙන්නාපන් වංගෙඩිය" වැඩිමහල් සහෝදරයා බැගෑපත් වුණා.
"ඕන් බලාපන්" එහෙම කියලා තමන්ගේ වැඩිමල් සහෝදරායට සංග්‍රහ කරන්ට ඉස්තරම්ම වර්ගයේ කැම වර්ග දෙන්නැයි අරුම පුදුම වංගෙඩියෙන් ඉල්ලා සිටියා. වංගෙඩිය කැරකි කැරකි මේසය පිරී ඉතිරෙන තෙක් කෑම වර්ග පිළිස්සූ මස් වර්ග, කේක් වර්ග සහ වෙනත් කැවිලි වර්ග ලබා දුන්නා.
ඒ දුටු වැඩිමහල් සහෝදරයා පුදුමයට පත් වුණා.
"මේ වංගෙඩිය මට විකුණාපන් මල්ලියේ" ඔහු කියා සිටියා.
"ඒක කොහෙත්ම කරන්ට බෑ." බාල සහෝදරයා කිවුවා.
වැඩිමහල් සහෝදරයා එතැනින් නැවතුණේ නෑ.
"නුඹ ඉල්ලන ඕනෑම ගණනක් දෙන්ට මා සූදානම්."
"මෙය විකුණන්නේ නැහැ මං කොහෙත්ම."
ඔන්න ඒ පාර පොහොසත් සහෝදරයා කතාව මාරු කළා.
"නුඹ තරම් ගුණමකුවෙකු මේ තුන් ලෝකෙම නැහැ. හරක් කුරේ නුඹට දුන්නේ මා නොවෙද?"
"ඔව්, නුඹ තමයි."
"ඉතිං ඒකම තමයි මං කියන්නේ. නුඹ් මේක විකුණන්නේ නැත්තං නුඹට පුළුවනි ටික කාලෙකට වංගෙඩිය මට ණයට දෙන්ට."
ඉතින් දුප්පත් සහෝදරයා ඊට එකඟ වුණා.
"මේක වැඩකරන්නේ මන්තරයකින්" දුප්පත් සහෝදරයා කිවුවා. ඒත් එය කියා නිමකරන්ටන් පෙර පොහොසත් සහෝදරයා වංගෙඩියත් අරන් යන්ට ගියා.
පොහොසත් සහෝදරයා පහුවෙනිදා උදේම වංගෙඩියත් අරන් බෝට්ටුවක නැගිලා මහ මූදට ගියා.
"මං ලුණු වෙළඳාම් කරනවා." එහෙම හිතලා වංගෙඩියට මෙහෙම කිවුවා.
"ආදරණීය වංගෙඩිය, මේ ලෝකේ තියෙන ඉස්තරම්ම ලුණු මට ඕනෑ." ඔන්න එතකොටම වාගේ වංගෙඩියත් කැරකි කැරකි ලුනු හදන්ට පටන් ගත්තා. ඉතා පිරිසිදු පළිඟු කැට වගේ ලුණු වංගෙඩියෙන් ඉහිරෙන්ට පටන් ගත්තා.
ඉන් සතුටට පත් වුණු පොහොසත් සහෝදරයා ඉන් ලබන ලාභය කොපමණදැයි ගණන් බලන්ට පටන් ගත්තා. ලුණු හැදි හැදි බෝට්ටුව පිරෙන්ට ආසන්න වුණත් ඔහුට එය නවත්වන්ට ඕනෑ කමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔහු, "තව හදන්න, නොනවත්වා තව හදන්න" යැයි කිවුවා.

ලුණු වල බරින් බෝට්ටුව මහ මූදේ ගිලෙන්ට පටන් ගත්තා. පොහොසත් සහෝදරයාට ඒ ගැන හිතන්ට කාලයක් තිබුනේ නෑ. ඒ වෙනුවට ඔහු කීවේ, "හදන්න , තව හදන්න " යන්න පමණි.
බෝට්ටුව ගිලිලා හතර වටින් ජලය බෝට්ටුවට ඇතුලු වෙන්ට පටන් ගත්තා. ඔන්න එවිට පොහොසත් සහෝදරයා බියට පත් වුණා. "නවත්වන්න, දැන් නවත්වන්න" ඔහු මහ හයියෙන් කෑ ගසා වංගෙඩියට කිවුවා. ඒත් වංගෙඩිය නොනැවතීම ලුණු හැදුවා. ඔහු ආයෙත් "නවත්වන්න, නවත්වන්න" යි කෑ ගැහුවා. එහෙත් වංගෙඩිය නොනැවති ලුනු හැදුවා.
අන්තිමේදි කිසිවක් කළ නොහැකි තැන ඔහු වංගෙඩිය ඔසවා මූදට වීසි කරන්ට හැදුවා. එහෙත් මුළු බෝට්ටුවම ලුණු වලින් පිරී තිබුණු නිසා එසේ කරන්ට නොහැකි වුණා.
අවසානයේ, "අනේ මා බේරාගන්ට, අනේ මා බේරාගන්ට" යි කියමින් කෑ ගැසුවත් ඔහුව බේරා ගන්ට තරම් කිසිවෙකු අහල පහළ සිටියේ නෑ.
බෝට්ටුව පොහොසතාත් සමග මහ මූදේ ගැඹුරෙහි ගිලි ගියා.
අරුම පුදුම වංගෙඩියට කුමන් වෙන්නට ඇද්ද? මූද පතුලේ දී වුණත් වංගෙඩිය ලුනු හදන එක නැවැත්තුවේ නෑලු. තාමත් වංගෙඩියනොනවත්වාම ලුණු හදනවාලු. ඉතිං අන්න ඒ නිසාලු මූදේ වතුර ඔය තරම් ලුණු රහට අපට දැනෙන්නේ.
[කැරලියානු ජනකතාවකි. ]
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පහුගිය ග්‍රීස්ම නිවාඩුවට අපි ගමේ ඉන්න කාලේ මීෂ්කා ආවා අපිත් එක්ක නවතින්න. මං කොයිතරම් පාලුවෙන් උන්නද කියනවා නම් එයා ආපු එක ගැන මං හුඟාක් සතුටු වුණා. ඇත්තටම අම්මත් සතුටු වුණා ඒ ගැන.
"ඔයා ආ එක සතුටක්! දැන් ඔය දෙන්නට ඔය දෙන්න ඉන්නවනේ. හෙට උදේම මට ටවුමට යන්න වෙනවා. ආපහු එන්නෙ කොයි වෙලාවෙද කියන්න බෑ. ඔය දෙන්න හිතනවද ඔයගොල්ලන්ට තනියෙන් ඉන්න පුළුවන් කියල?" අම්ම ඇහුවා.
"හපොයි පුළුවනි. අපි පොඩි බබාලා ය?" මං කිව්වා.
"එහෙමනං උදේ කෑම හදා ගන්න වෙන්නෙ තනියම ඔන්න. කැඳ හදා ගන්න හැටි කවුද දන්නෙ???"
"මොකෝ මං නොදන්නේ. හරිම සුළු දෙයක් නෙ." මීෂ්කා පැනලා උත්තර දුන්නා.
"මීෂ්කා, ඔයාට ඇත්තටම විශ්වාසද ඔයා දන්නවා කියලා. කවද්ද ඔයා ඇත්තටම කැඳ ඉව්වේ?" මං ඇහුවා.
"අයියෝ, මං ඕනෑ තරම් දැකලා තියෙනවා අම්ම කැඳ උයන හැටි. ඔයා ඒක මට බාර දෙන්නකො. කීයටවත් මං ඔයාව බඩගින්නෙ තියන්නෙ නම් නෑ. ඔයා මෙච්චරකල් නොබීපු විදියෙ රසම රස කැඳ මං උයන්නම්" මීෂ්කා උත්තර දුන්නා.
උදේ තේ වලට පාන් ගෙඩියකුත් ජෑම් බෝතලයකුත් අපිට ලැබුණා. ඕට් ඇට තියෙන තැනත් අම්ම අපට පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි ඕට් කැඳ හදා ගන්න හැටිත් කියාදුන්නා. ඒත් මං ඒ ගැන ඒ හැටි වද වුණේ නෑ. මීෂ්කා ඒ ගැන හොඳට දන්නවා නම් මං ඒ හැටි වද වෙන්න ඕනෑ නෑ, මං හිතුවා.
අම්මා උදේම පිටත් වුණා. මාළු බාන්න ගඟට යන්න මීෂ්කත් මමත් හිතුවා. බිලිපිති සොයා ගත්තු අපි බිම හාරලා පණුවො කිහිප දෙනෙක් හොයාගත්තා.
"ඔහොම ඉන්න! දැන් අපි මාළු අල්ලන්න ගඟට ගියාම ඕට් කැඳ හදන්නෙ කවුද?"
"හපොයි, උය උයා කරදර වෙන්න ඕනෑ කාටද? ඒක මල කරදරයක්. තව පාන් ඕනෑ තරම් තියෙන්නේ. ඉතිං අපි ජෑමුයි පානුයි කමු. ආයෙත් අපිට බඩගිනි උනොත් කැඳ හදමු" මීෂ්කා කිවුවා.
ඉතිං ජෑම් තැවරූ පාන් ගොඩක් හදාගෙන අපි ගඟ පහළට ගියා. අපි ඇති තරම් ගඟ හරහා පීනුවා. ඇඟ වේලෙන තුරු වැල්ලෙ වැතිරිලා හිටියා, ඊට පස්සෙ ජෑම් තැවරූ පාන් හොඳහැටි කෑවා. අන්තිමේදි අපි මාලු බාන්ට පටන් ගත්තා. අපි හුඟ වෙලාවක් බලාගෙන හිටියත් එකම මාළුවෙක් වත් ඇම ගිලින්න ආවේ නෑ. අන්තිමේදි අපිට අල්ලා ගන්න පුළුවන් වුණේ පුංචි පුංචි මාළු දුසිමක් තරම විතරයි. එදා දවසෙන් වැඩි කොටසක් අපි ගඟ පහළට වෙලා ගත කළා. ඔන්න මහ දවල් වෙද්දි පුදුම විදියේ බඩගින්නක් දැනෙන්න පටන් ගත්තාම අපි ආපහු ගෙදර ගියා.
"එහෙනම් මීෂ්කා කියන්න, ඔයා පණ්ඩිතයනේ. අපි දැන් මොනවද උයන්නේ?" මං ඇහුවා.
"අපි කැඳ හදමු. ඒක තමයි ලේසිම වැඩේ" මීෂ්කා උත්තර දුන්නා.
"හරියට හරි"
අපි ලිප පත්තු කළා. මීෂ්කා මුට්ටියත්, ඕට් ඇටත් අරගෙන ආවා.
"මට නං දැන් හොඳටම බඩගිනියි. ඒ හින්ද ඔන්න ටිකක් වැඩියෙන් හදන්න වෙයි" මං මීෂ්කට කිවුවා.
මුට්ටියේ කට ළඟටම ඕට් ඇට පුරවපු මීෂ්කා මුට්ටිය පිරෙන තරමටම වතුර දැම්මා.
"වතුර වැඩි නැද්ද?" මං ඇහුවා.
"අපෝ නෑ. අම්මා හදන්නෙත් එහෙම තමයි. ඔයා ලිප ගැන බලාගන්න. කැඳ හදන එක මං බලාගන්නම්" මීෂ්කා උත්තර දුන්නා.
මං ලිපට ගින්දර දාන අතරතුරේ මීෂ්කා කැඳ හැදුවා. ඇත්තම කියනවා නම් එයා කළේ කැඳ හැලිය දිහා බලා ඉන්න එක. මොකද කැඳ හැලිය ඉබේ ඉවුනා.
වැඩි වෙලාවක් යන්න කලින් කළුවර වැටෙන්න පටන් ගත්තා. අපි ගිහින් ලාම්පු පත්තු කළා. කැඳ හැලිය ඉදෙමින් තිබුණා. නැඹිලිය එක පාරටම ඉස්සිලා මුට්ටියේ හතර වටින් කැඳ ඉහිරෙන්න පටන් ගන්නවා මං දැක්කා.
"මීෂ්කා, කැඳ එකට මොකද වෙලා තියෙන්නෙ?"
"ඇයි මොකක් වෙලාද?"
"මුට්ටියෙන් උතුරලා එනවා!"
ඊලඟට මීෂ්කා කළේ හැන්දක් අරන් කැඳ ටික ඇතුලට තල්ලු කළ එක. එයා තල්ලු කරන්න තල්ලු කරන්න ආයෙ ආයෙත් කැඳ උතුර උතුර උඩට ආවා.
"මං දන්නෑ මොකක් වෙලාද කියලා. සමහර විට කැඳ එක ඕනෑ තරමට ඉදිලා වෙන්නැති."
ඊට පස්සෙ මං කළේ හැන්දකින් කැඳ ටිකක් අරගෙන රස බැලු එක. තිරිඟු ඇට එහෙමම තදට හයියටයි තිබුණේ.
"මේ වතුර වලට මක් වුනාද?"
"මං කොහොමද දන්නේ. මහ හුඟක් වතුර දැම්ම නෙ. සමහරවිට මුට්ටිය හිල් වෙලා වෙන්න බැරිද?" මීෂ්කා කිවුවා. අපි මුට්ටිය හැම පැත්තම හරව හරවා බැලුවත් හිලක සලකුණක්වත් හොයාගන්ට බැරිවුණා.
"මං හිතන්නේ වාෂ්ප වෙලා වෙන්න ඕනෙ, අපි තව වතුර දමන්න ඕනෑ" එයා කිවුවා.
ඊට පස්සෙ මීෂ්කා මුට්ටියේ තිබුණු ඕට් ඇට වලින් කොටසක් පිඟානකට අයින් කළා. වතුර දමන්න ඕනෑ තරමට ඉඩ ගන්න එයාට ඕට් ඇට සෑහෙන තරමක් අයින් කරන්න සිද්ද වුණා. ඊට පස්සෙ අපි ආපහු මුට්ටිය උඳුන උඩින් ඉදෙන්න තැබුවා. ඔන්න ඒක ඉදිලා ඉදිලා ආයෙත් මුට්ටියේ හතර වටින් ඉහිරෙන්න පටන් ගත්තා.
"ඒයි, මේකට මක් වෙලාද? ඒක මුට්ටියෙන් එළියටම එන්නේ මොකද?" මීෂ්කා කෑගැහුවා. ඊට පස්සෙ තවත් ඕට් ඇට ටිකක් පිඟානකට අයින් කළ මීෂ්කා තව වතුර ටිකක් දැම්මා.
"අර බලන්න, ඔයා හිතුවෙ ඕනෑවටත් වඩා වතුර ඒකෙ තියෙනව කියලා නේ" මීෂ්කා කිවුවා. කැඳ මුට්ටියේ ඉදි ඉදී තිබුණා. ඔගොල්ලන්නට හිතාගන්න පුළුවන්ද, ඔන්න ආයේ ටික වෙලාවකින් මුට්ටියේ පියන තල්ලු කරගෙන ඕට් ඇට එළියට පනින්ට පටන් ගත්තා!
"ඔයා ඔනෑවටත් වඩා ඕට් ඇට දාල ද කොහෙද මේකට. ඒක තමයි හේතුව. ඒවා ඉදෙද්දි ලොකු වෙන නිසා මුට්ටියෙ ඉඩ මදි වෙනවා." මං කිවුවා.
"ඔවු, එහෙම වෙන්න පුළුවං. ඒක ඔයාගෙ වැරැද්ද. ඔයා කිවුවා ඔයාට හුඟාක් බඩගිනි නිසා හුඟක් උයන්න කියල. මතකද?"
"ඉතිං මං කොහොමද දන්නේ කොච්චරක් දාන්න ඕනෑද කියල. ඔයානේ හරියටම දන්නේ උයන්නෙ කොහොමද කියල."
"ඔවු. මං දන්නව තමයි. ඔයා මැද්දට පැන්නෙ නැත්තං මං මේක උයලත් ඉවරයි"
"හරි. එහෙනං ඔයා ඕනෑ විදියකට උයාගන්න. මං මොකුත් කියන්නේ නෑ ඔන්න."
මට කොයි තරම් තරහ ගියාද කිවුවොත් මං සද්ද නැතුවම පැත්තකට වෙලා හිටියා. මීෂ්කා තනියෙන් කැඳ ඉව්වා. ඕට් ඇට පිම්බිලා කැඳ උතුර උතුර එලියට ඒ හැම වෙලාවකම එයා කළේ හැන්දෙන් ඒවා ටික ටික පිඟන් වලට අයින් කරන එකයි තව තව වතුර දමන එකයි.
අන්තිමේදි මට ඉවසගෙන ඉන්න බැරි වුණා.
"ඔයා මේක හරියට කරන්න දන්නේ නෑ මීෂ්කා. හෙට උදේ වෙනකල් ම ඔයා කැඳ උයයි මෙහෙම ගියොත්..."
"හෙහ්.. ලොකු ලොකු හෝටල් වල මෙහෙම තමයි කැඳ උයන්නේ. ඇයි දන්නෙ නැද්ද. ඒවයේ රෑට කෑම හදලා තමයි උදේට දෙන්නෙ."
"ඒ හෝටල් වලනේ. ඒගොල්ලන්නට හදිසියෙක් කෑම උයන්න ඕනෑ වෙන්නෙ නෑ. මොකද ඒගොල්ලන්ට ඕනෑ තරම් කෑම වර්ග තියෙන හින්ද."
"අපිටත් කිසිම හදිස්සියක් නෑනේ ඉතින්"
"අපිට හදිසියක් නෑ? මං බඩගින්නෙ මැරෙන්නයි යන්නේ. දැන් අපි නිදා ගන්න යන වෙලාව. බලන්න කොයිතරම් රෑ වෙලාද කියලා."
"අයියෝ, ඔයාට ඕනෑ තරම් නිදාගන්න තව වෙලා තියෙනවා. මුට්ටියට තව වතුර වීදුරුවක් දාන අතරෙ මීෂ්කා කිවුවා.
ඔන්න එක පාරටම මට තේරුණා මීෂ්කා කරන වැඩේ වැරැද්ද මොකක්ද කියන එක.
"ඔහොම දිගටම් සැරින් සැරේ සීතල වතුර දමනකොට ඒක ඉදෙන්නේ නෑ මීෂ්කා."
"ඔයා හිතන්නේ වතුර නැතුව කැඳ උයන්න පුළුවන් කියලද?"
"නෑ. මං කියන්නෙ, මුට්ටියෙ ඕනවටත් වඩා ඕට් ඇට තියෙනවා තව."
ඉතිං මං මුට්ටියෙන් ඕට් ඇට බාගයක් අයින් කළා. ඊට පස්සෙ මීෂ්කට කිවුවා වතුර දාන්න කියල.
මීෂ්කා ජෝගුව අරගෙන බාල්දිය ලඟට ගියා.
"දෙයියනේ, වතුර ඉවරයි නේ!"
"දැන් අපි මොකද කරන්නේ. තිත්ත කළුවරයි එළියේ. ළිඳ තියෙන තැන හොයාගන්න අපිට බැරිවෙයි."
"බය වෙන්නෙපා, මං මිනිත්තුවෙන් අරං එන්නම් වතුර."
ගිණි කූරක් පත්තු කරගත්ත මීෂ්කා බාල්දියට ලණුවකුත් ගැට ගහගෙන ළිඳ ළඟට ගියා. ඔන්න ටික වෙලාවකින් එයා ආපහු ආවා.
"කෝ වතුර?" මං ඇහුවා.
"වතුර? ළීඳේ!"
"මෝඩයෙක් වෙන්නෙප මීෂ්කා. කෝ බාල්දිය??"
"බාල්දිය? ඒකත් ළීඳේ!"
"ළිඳේ?"
"හ්ම්"
"ඒ කියන්නේ ළිඳට වැට්ටුවද?"
"ඔව්"
"ඔයා නම් හරිම මෝඩයෙක් තමයි. මෙහෙම ගියොත් අපි බඩගින්නෙම මැරෙයි. දැං කොහොමද අපි වතුර ගන්නේ"
"අපි කේතලේ අරන් යමු"
මං කේතලේ ගත්තා. "ලණුව දෙනවා මෙහාට"
"මං ලඟ නෑ"
"එහෙනම් කොහෙද ඒක"
"එතන"
"එතන? කොතනද?"
"ලිඳේ"
"ඒ කියන්නේ ලණුවයි බාල්දියයි දෙකම ලිඳේ"
"හ්ම්.. ඔව්..."
තවත් ලණු පොටක් හැමතැනම හෙව්වත් ලණු කෑල්ලක් වත් අපට ලැබුණෙ නෑ.
"එහා ගෙදරින් ඉල්ලං එන්නම්..." මීෂ්කා කිව්වා.
"පිස්සු හැදිලද. වෙලාව බලනව හොඳට. දැන් හැමෝම නින්දට ගිහින්"
මට මැරෙන්න තරම් තිබහක් එක්වරම ඇති වුනා.
"හැම වෙලාවකම ඔහොම තමා. වතුර නැති වෙලාවටමයි ඔයාට තිබහ එන්නෙත්. කාන්තාරෙ යන මිනිස්සුන්ට නිතරම තිබහ දැනෙන්නෙ අන්න ඒ හන්දා". ඔන්න මීෂ්කා කියවන්ට පටන්ගත්තා.
"කාන්තාර ගැන දැන් ඇති වැඩේ මොකද්ද? පුළුවං නම් ලණු කෑල්ලක් හොයන් එන්න..."
"කොහෙන් හොයන්නද? මං හැමතැනකම බැලුවා නෙ. බ්ලී පිත්තට ගැට ගහල තියෙන තංගුස් පොට කොහොම වෙයිද? "
"හයිය ඇති වෙයිද?"
"මං හිතන්නෙ!"
"හයිය මදිනම්?"
"හයිය මදිනං කැඩෙයි ඉතිං..."
බිලී පිත්තට අමුණා තිබූ තංගුස් පොට ලිහා ගත් අපි ඒක කේතලයට ගැට ගහගෙන ළිඳ පහළට ඇවිදගෙන ගියා.
ඒක හරියටම වයලීනක තතක් වගේ තදට ඇදිලා තිබුණා.
"ඔන්න බලන්න, ඒක කැඩෙන්නයි යන්නෙ..." මං කිව්වා.
"ටිකක් පරිස්සමෙන් ඉස්සුවොත් කැඩෙන එකක් නෑ..." මීෂ්කා උත්තර දුන්නා.
මට එය ඉහළට ඔසවන්නට හැකි තරම් පරෙස්සමෙන් එසෙව්වත් කේතලය වතුරට වැටී නොපෙනී ගියා.
"ඔවු. කැඩුණා තමයි. අපි වතුර ගන්නෙ කොහොමද දැන්"
"සමොවාරය ගෙනාවොත්..." මීෂ්කා යෝජනා කළා.
"හපොයි, ඕනෙ නෑ, සමෝවාරයත් ළිඳට දාන්න තමයි වෙන්නෙ. ලණු කෑල්ලක් වත් නෑ නෙ."
"හරි එහෙම නැත්තං මුට්ටිය ගනිමු."
"අපිට වීසි කරන්න තරම් මුට්ටි නෑ"
'එහෙනං තඹලේරුව ගෙනෙමු'
'ඔයාට ඕනේ රෑ එළිවෙනකල්ම මෙතන ඉඳන් වතුර පුරව පුරව ඉන්නද මීෂ්කා? '
'එහෙනං අපි මොනාද කරන්නේ දැං. කැඳ උයන්නත් ඕනේ...'
'ඒ හැමෙකටම වඩා මට මැරෙන්න තරම් තිබහයි. '
'හරි. අපි ඇලුමිනියම් කෝප්පය ගනිමු. ඒක තඹලේරුවට වඩා කොහොමත් ටිකක් ලොකුනෙ..'
අපි ආපහු ගෙදර ගියා. කෝප්පය තංගුස් පොටෙන් ගැට ගහගෙන ආයෙත් ළිඳට ආවා. බඩ පැලෙනකල් අපි වතුර බිව්වට පස්සෙ මීෂ්කා මෙහෙම කිවුවා.
'ඕක තමයි කොහෙ වෙන්නෙත්. අපිට හොඳහැටි තිබහ වුණාම අපි හිතන්නේ අපිට මූද වුණත් බීලා ඉවරකරන්ට පුළුවන් කියලා. ඔන්න බොන්න පටන් ගත්තට පස්සෙ එක වතුර කෝප්පයක් වත් බීලා ඉවර කරන්ට බෑ. ඒක එහෙම වෙන්නේ මිනිස්සු කොහොමත් සොබාවිකවකම කෑදර හන්දා'
'ඔය කතාව දැං නවත්තලා අර මුට්ටිය මෙහාට ගෙනාවොත් හොඳයි..' මං මීෂ්කාට කිවුවා. 'අපිට එක සැරේම මුට්ටිය පුරවගන්න පුළුවන්, නැත්තං ඉතින් දහ දොළොස් වතාවක් වත් උඩටයි පහළටයි යන්නයි වෙන්නෙ...'
මුට්ටිය අරන් ආපු මීෂ්කා ඒක ලිං ගැට්ට උඩ තැබුවා. මගේ වැලමිට වැදිලා ඒක ළිඳට නොවැටී බේරුණේ අනූනවයෙන්.
"මෝඩයා! මුට්ටිය ගෙනල්ලා හරියටම මගේ වැලමිට අස්සෙන් තිබ්බේ මොන එහෙකටද? පුළුවන් තරම් මෙතනින් ඈතට වෙලා හිටියොත් හොඳයි. නැත්තං මේකත් ඔයා ළිඳට අතෑරලා තමයි නවතින්නෙ."
මීෂ්කා මුට්ටියත් තියාගෙන ඈතට වෙලා හිටියා. මං මුට්ටියට වතුර පිරෙවුවා. ඊට පස්සේ අපි ගෙදර ගියා.
අපි ගෙදර ගිහින් ආයෙත් කැඳ උයන්න පටන් ගත්තා. ඒ වෙනකොටත් කැඳ එක හොඳටම නිවිලා සීතල වෙලයි තිබුණේ. ආයෙත් වතුර දාල අපි කැඳ මූට්ටිය උඳුන උඩිත් තැබුවා. ඔන්න සෑහෙන වෙලාවකට පස්සේ කැඳ හොඳහැටි ඉදිලා උකුවෙලා "ප්ලොප්... ප්ලොප්.. ප්ලොප්" කියලා උතුරන්ට පටන් ගත්තා.
"දැන් හරි ඔන්න, තව ටික වෙලාවකින් රසම රසම කැඳ කෝප්පෙක රහ බලන්ට පුළුවනි." මීෂ්කා කිවුවා.
මං හැන්දට ටිකක් අරන් රස බැලුවා.
ඒකෙන් ආවේ මහ සවුත්තු රසක්! ඒකේ තිබුණේ පිච්චුණු කර රහක්. ඒ විතරක් නෙමෙයි, අපිට ලුණු දමන්නටත් අමතක වෙලා තිබුණා. ඒක රස බලපු මීෂ්කත් කැඳ ටික කටින් එළියට වීසිකලා.
"හපොයි, මේක කනවට වඩා හොඳයි බඩගින්නෙ මැරෙන එක." මීෂ්කා කිවුවා.
"මේක කෑවොත් නම් එහෙම කොහොමත් මැරෙනවා තමයි." මං කිවුවා.
"දැන් අපි මොකද කරන්නේ?"
"මං දන්නෙ නෑ."
"අනේ මෝඩයෝ! අපිට මාළු ටික එහෙම පිටින්ම අමතක වුණා නේ"
"මේ මහ රෑ මාළු උය උයා කරදර වෙන්න බෑ. දැන් එළිවෙන්නත් ළඟයි."
"අපි මාළු තම්බන්නෙ නෑ. මාලු බදිමු. ඔන්න බලන්න ඒක මිනිත්තුවෙන් ඉවර කරන්න පුළුවන් වැඩක්." මීෂ්කා කිවුවා.
"හරි, හැබැයි අර කැඳ හැදුවා වගේ සෑහෙන්න වෙලා යන වැඩක් නම් එහෙම මං එන්නේ නෑ ඔන්න."
"ඔන්න බලන්නකො, විනාඩි පහෙන් කෑම ලෑස්තියි" මීෂ්කා උත්තර දුන්නා.
මාළු සුද්ද කරලා මීෂ්කා ඒවා බදින්න තාච්චියට දැම්මා. තාච්චිය කොයිතරම් රත්වෙලා තිබ්බාද කිවුවොත් දාපු සැනින් මාලු ඔක්කොම අඩිය ඇල්ලුවා. මීෂ්කා ඒවා ගලවාගන්ට ගිහින් මහා යුද්ධයක් කළා.
"මොන මෝඩයාද බටර් නැතුව මාළු බදින්නේ?" මං කෑගැහුවා මීෂ්කට.
එළවලු තෙල් බෝතලයක් ගත්ත මීෂ්කා ඒක තාච්චියට වත් කළා. වත්කරලා ඒක ඉක්මනින් බැදෙන්න කියලා ගින්දර වැඩියෙන් දැල්වෙන උඳුන උඩිත් තැබුවා. හොඳටෝම රත් වෙච්ච තෙල් පුපුරන්නට පටන් ගත්තා. ඒ තෙල් ඉහිරිලා ඒකට ගින්දර ඇවිලුණා. මීෂ්කා තාච්චිය උඳුනෙන් බෑවා. වතුර දමලා නිවන්නට බැලුවත් වතුර බිංදුවක් වත් ගේ හරියේ තිබුණේ නෑ. අන්තිමේදි ඔක්කොම පිච්චිලා ඉවර වුනා. කාමරෙම දුමෙන් පිරිලා තිබුණා. ඉතුරු වෙලා තිබුණු මාළු ඔක්කොම ගල් අඟුරු වගෙයි හරියටම.
"හ්ම්.. දැන් අපි බදින්නෙ මොනවද?" මීෂ්ක ඇහුවා.
"මොන බැදිල්ලක් වත් නෑ. උයනවා කොහොම වෙතත් ඔයා හදන්නේ මේ ගෙට ගිනි තියන්නයි මීෂ්කා. ඔයා මේ එකදවසට ඇති වෙන්න කෑම හදලයි තියෙන්නෙ දැන්!"
"ඒත් අපි කන්නේ මොනවද?"
අපි අමුවෙන් එක එක දේවල් කෑවා. ඒවායෙ කිසිම රහක් තිබුණේ නෑ. ඉස්සෙල්ලම කෑවේ අමුවෙන් ලූණු ගෙඩියක්. ඒක මහ තිත්තම තිත්ත රහයි! ඊලඟට එළවලු තෙල්. ඒකෙන් අපි ලෙඩ වුණා වගෙයි හරියටම කිවුවොත්. අන්තිමේදි හම්බ වුණේ ජෑම් බෝතලේ. ඒක හිස් කරලා අපි නිදා ගන්න ගියා. ඒ වෙනකොටත් එළිවෙන්න හුඟක් ළං වෙලයි තිබුණේ.
උදේ ඇහැරෙන කොට අපි දෙන්නා හිටියේ බඩගිනිකාර වෘකයෝ දෙන්නෙක් වගෙයි. මීෂ්කාට ඕනෑ වුණේ ආයෙමත් කැඳ හදන්න. එයා කැඳ හදන්න ලෑස්ති වෙද්දිම මං කෑ ගැහුවා.
"ඔයාට ලැජ්ජා නැද්ද මීෂ්කා? මං යනවා නතාෂා නැන්දගේ ගෙදරට, ගිහින් එයාට කියලා කැඳ හදාගෙන බොනවා..." මං කිවුවා.
අපි නතාෂා නැන්දගේ ගෙදර ගියා. ගිහින් වෙච්චි හැමදේම එයාට කිවුවා. එයා අපිට කැඳ හදලා දෙන්න එකඟ වුණා හැබැයි අපි එයාගේ වත්තේ වල් ගලවලා දෙනවා කියන පොරොන්දුව පිට. එයාට අපි පවු කියලා හිතෙන්න ඇති. එයා අපිට කැඳ හදන අතරේ කිරිත් ගෝවත් දැමූ රස කෑමක් අපිට ලැබුණා. අපි නවත්තන්නේ නැතුව කාගෙන කාගෙන ගියා එක හුස්මට. නතාෂා නැන්දගේ පුංචි පුතා වොව්කා ඇස් උඩ තියාගෙන අපි කන හැටි බලන් හිටියා.
අන්තිමේදි අපිට කාලා කාලා හොඳටෝම ඇති වුණා. නතාෂා නැන්දා අපිට ලණුවකුත්, කොක්කකුත් දුන්නා. ඒක ළිඳට දමලා කේතලෙත් බාල්දියත් ගොඩ ගත්තා.ඒවා පෙනුනේ හරියටම බොහෝ කාලෙකට පස්සේ ළිඳේ තිබිලා ඒවා ගොඩ ගත්තා වගෙයි. හොඳ වෙලාවට මොකවත් නැතිවෙලා තිබුණේ නෑ. ඊටපස්සේ මමයි, මීෂ්කයි පුංචි වොව්කයි එකතු වෙලා නතාෂා නැන්දගේ වත්තේ වල් ගලවලා පිරිසිදු කළා.
"හපොයි, මේ වල් ගලවන එකත් මහ වැඩක්ද? ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේ. හරිම ලේසියි. කොහොම වුණත් කැඳ උයන එකට වඩා හරිම ලේසි වැඩක් මේක." මීෂ්කා කිවුවා.
නිකොලායි නෝසව්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

බිත්තරෙන් එළියට ආපු දවස්වල ඉඳලම පැඞී ගොඩක් ආසාවෙන් හිටියෙ ඉස්කෝලෙ යන්න. පැඞීයි එයාගෙ යාළුවො දෙන්නා පීප් සහ ක්‍රෝස්, එයාලට වඩා වැඩිමහළු තාරාවෝ ඉස්කෝලෙට යන විදිහ හැමදාම බලන් ඉන්නෙත් හරිම ආසාවෙන්. ඉතින් පැඞීටත් ඕනැ කොහොමහරි ඉක්මණට ලොකු වෙන්න. එයාටම කියල ඉස්කෝලෙ ගෙනියන්න මල්ලක් අයිති කරගන්න. ඒ දවස් එනකල් පැඞී බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව.
දවසක් පැඞී එයාගෙ අම්මට විස්කෝතු වගයක් හදන්න උදව් කරපු දවසෙ, පැඞීට හාදුවක් දුන්න අම්මා පැඞීට සුබ ආරංචියක් කීවා.
"පැඞී දැන් ඔයා ලොකු ළමයෙක්.. ඒක නිසා හෙට ඉඳලා ඔයා ඉස්කෝලෙ යනවා.."
ඒ වචන ඇහුණ පැඞීට ගොඩක් ආඩම්බර හිතුණා.

"එතකොට මටත් එහෙනම් ලස්සන මල්ලක් හම්බවෙනවද අම්මා? ඇත්තටම ලස්සන, ලස්සනම ලස්සන ගොඩක් ලස්සන මල්ලක්...."
"නැතුව.. ඇත්තටම ලස්සන පොත්මල්ලක් ඔයාටත් හම්බවෙනවා.." අම්මා උත්තර දුන්නා.
එදා රෑ අම්මගෙ සිනිඳු පිහාටු තුරුල්ලෙ නිදාගන්න ගිය පැඞී, ඉස්සෙල්ලාම ඉස්කෝලෙ යන දවස කොහොම වෙයිද කියලා දිගින් දිගටම හිතන්න පටන් ගත්තා. ආසාවටද බයටද මන්ද පැඞීගේ හිත ‘ඩග් ඩග්’ ගාලා ගැහෙන්න පටන් ගත්තා.
‘ගොඩක් ලොකු තාරාවෙක් වුණාම මට ඉස්කෝලෙ යන්න පුළුවන්. ’ ඉස්කෝලෙ යන දවස එනකල් නොඉවසිල්ලෙන් හිටිය පැඞීට, අම්මට තව තවත් තුරුළු වෙද්දි හිතුණා.
‘සිඟිති පිහාටු ඉස්කෝලෙ’ ට යන හැම තාර පැටියෙක්ටම අද ටිකක් කලබල දවසක්. පැඞීගේ අලුත් මල්ල අත්තටු වල එල්ලන ගමන් අම්මා කීවා.

"පැඞී.. අද ඔයා ඉස්සෙල්ලාම ඉස්කෝලෙට යන දවස.. ඒ කියන්නෙ අද ඔයා ජීවිතේ ගොඩක් ලොකු අඩියක්, ඉස්සරහට තියන්න යන්නෙ.."
ඒත් ලොකු අඩියක් තියා පොඩි අඩියක්වත් තියාගන්න බැරුව පැඞී, හිටිය තැනම ගල් ගැහුණා වගේ බිම බලාගෙන ඉන්නවා.
"බයවෙන්න කිසිම දෙයක් නෑ.. අද දවස දන්නෙම නැතුව ඉක්මණින් ගෙවිල යයි.." එගොඩට ගොඩවෙන්න වතුර උඩින් යන්න දාලා තිබුණ ගල් උඩින් යද්දි, පැඞීව හිමින් සීරුවෙ ටිකක් ඉස්සරහට තල්ලු කරන ගමන් අම්මා කීවා.
ඉස්කෝලෙට ගිය පැඞී ගහක අත්තක එයාගෙ අලුත් මල්ල එල්ලනකොට හොඳට හුරු පුරුදු දෙයක් දැක්කා.
ඒ තමයි අම්මගෙ පිහාටුවක්.. සුදු අම්මගේ සුදුම සුදු සිනිඳු පිහාටුවක්.
අම්මා එයාගෙ පිහාටුවක් හිතා මතාම පැඞීගෙ මල්ලට දැම්මෙ, අම්මා හැමදාම ඉන්නෙ පැඞී ළඟම බව පෙන්නන්න.
පිහාටුව දැක්ක පැඞීට එදා දවස ගත කරන්න ඕනෙ දිරිය ලැබුණා. තවත් තාර පැටියෙක් ඉඳගෙන හිටිය, ලොකු ඕලු කොළයක් උඩට ගිය පැඞී එතැන වාඩිවුණා.

"ලස්සන පිහාටුවක්.." පැඞීගෙ අතේ තිබුණ සුදු පිහාටුව දැක්ක ඒ තාර පැටියා පැඞීට කීවා.
එක එක වර්ගයේ පුංචි පුංචි වැඩවල යෙදිල හිටිය නිසා, පැඞී දන්නෙම නැතුව උදේ වරුව ගෙවිල ගියා.
පුංචි කුරුමිණියන්ගෙ වෙනස්කම් හොයන්න තමයි පැඞීටයි යාළුවන්ටයි ඉස්සෙල්ලාම ලැබුණෙ. ඊට පස්සෙ තිබුණෙ දළඹුවෝ ගණන් කරන්න. ගුරුතුමිය අත්තටු වලින් අත්පුඩියක් ගහල හැමෝටම දවල්ට කන්න කතා කරද්දි, කට්ටියම හිටියෙ ඕලු කොළයෙන් ඕලු කොළයක් උඩට පනින්න පුරුදු වෙමින්.

පැඞී හැමදාම දවල්ට කෑවෙ අම්මා එක්ක. ඒත් දැන් අම්මා ළඟ නැති නිසා පැඞීට ටිකක් විතර දුක හිතුණා.
කෑම එළියට ගන්න පොත්මල්ල ඇරපු පැඞී දැක්කා අම්මා, රසම රස පාන්පෙති වගේම තව විස්කෝතු හතරකුත් දාලා තියෙනවා. එකක් පැඞීට, තව එකක් පීප්ට, තවත් එකක් ක්‍රෝස්ට සහ අනෙක් විස්කෝතුව පැඞීගෙ අලුත්ම යාළුවාට.
දවල් කෑමෙන් පස්සෙ හැමෝටම තිබුණෙ ටිකක් නිදාගන්න. පැඞී ආයෙමත් මල්ල ඇතුළ බැලුවා අම්මා බැරි වෙලාවක්වත් පැඞීගේ ආසම පොරවන රෙද්ද දාලද කියලා. හොඳ වෙලාවට අම්මා ඒකත් ඇතුළට දාලා තිබුණා.

නින්දෙන් පස්සෙ හැම තාරාවෙක්ටම කරන්න තිබුණෙ තම තමන්ගෙ අම්මට හරි තාත්තට හරි මොනව හරි හදන්න.
කකුල් අඩි සලකුණු තියල ඇඳපු චිත‍්‍රයක්. එහෙමත් නැත්නම් පුංචි ඬේසි මල් වලින් හදපු මල් මාලයක්. නැත්නම් හැඩ වැඩ දාලා සරසපු කෝටුවක්.
ගෙදර යන වෙලාව ආවම පැඞී බොහොම පරිස්සමින් අම්මා වෙනුවෙන් සරසපු කෝටුව එයාගේ මල්ලෙ දාගත්තා. ඊටපස්සෙ ගල් උඩින් පැනලා ගොඩක් සන්තෝසෙන් ගෙදර දිව්වා. ගෙදරට ළං වෙනකොට පැඞී දැක්කා එයාව ආදරෙන් බදාගන්න අම්මා මග බලාගෙන ඉන්න විදිහ.
එදා රෑ නිදාගන්න ගිය පැඞී ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස ගතකරපු හැටි ගැන හිතුවා. පැඞීගේ හිත එතකොටත් ‘ඩග් ඩග් - ඩග් ඩග්’ ගාලා ගැහෙන්න පටන්ගත්තා. හැබැයි ඒ හෙට ආයෙත් ඉස්කෝලෙට යන්න තියෙන නොඉවසිල්ලට මිසක්, බයට නම් නෙවෙයි.
පින්තූර: ලේන් මාර්ලෝ
ඇම්බර් ස්ටුවර්ට්
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මැඩියො ඔක්කොම විනෝද වෙමින් පොකුණෙ පීනනවා. ඔක්කොම කීවට ඉතින් ඔක්කොම නම් නෙමෙයි. එකම එක මැඩියෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එයාගෙ නම කොබුස්. කොබුස් එයාගෙ යාළුවන්ට වඩා ගොඩක් වෙනස්. විනෝද වෙන්න පුළුවන් උපරිමයෙන් විනෝද වෙමින් යාළු මැඩියො සෙල්ලම් කරත්, කොබුස් කිසිම ගාණක් නෑ වගේ පැත්තකට වෙලා ඉන්නවා.
"කොබුස් ඔයත් එන්න.. ඇවිත් වතුරට පනින්න.... මේ වතුර හරිම සනීපයි.."
යාළුවෝ කොච්චර අඬගැහුවත් කොබුස් ඇහුණෙ නෑ වගේ ඉන්නවා.
‘ඔයාලට ඕනෙ නම් ඔයාලා පීනගන්න.. මට පීනන්න ඕනෙ නෑ. ’ කොබුස් තනියම හිතනවා.
"හරි ඉතින් ඔයාට එපා නම් අපිට මොකෝ.. කිසිම කතාවක් නැති කොබුස්ව රිස්සුවේ නැති යාළුවෙක් දෙන්නෙක් එහෙම කියාගෙන පීනගෙන අහකට යනවා."
කොබුස් ඒත් සද්දයක් බද්දයක් නැතුව තණකොළ බිස්සට වෙලා බලාගත්ත අත බලාගෙන ඉන්නවා.

"බයගුල්ලා බයගුල්ලා
කොබුස් කොබුස් බයගුල්ලා"
එතකොට යාළුවො කොබුස්ට කෑගගහා විහිළු කරනවා.
‘මම බය නෑ.. ’ කොබුස්ට එහෙම කියන්න ඕනෑ වුණත් යාළුවෝ ඒ වෙනකොටත් ගොඩක් දුර පීනලා. ‘මම කිසිම දේකට බය නෑ.. වතුරට විතරයි ටිකක් බය.. ’ එහෙම හිතන කොබුස් ඊළඟට බලාගෙන් ඉන්නෙ වතුර දිහාව.
කොබුස් දන්නවා එයා එයාගේ යාළු මැඩියන් වගේ නෙමෙයි කියලා. යාළුවෝ ආසයි හැමතිස්සෙම පීනන්න. ඒත් කොබුස් ඒ අයට වඩා අරුම පුදුම මැඩියෙක්. කොබුස් ඩිංගිත්තක්වත් කැමති නෑ පීනන්න.
පොකුණෙ වතුර හරිම අපිරිසිදුයි. ඒ විතරක් නෙමෙයි මඩ වලින් පිරිලා. මැරුණ ගස්වල ගඳත් හරි හරියට හමනවා. මඩ වතුර හරිම සීතලත් එක්ක. ඉතින් කොබුස්ට පීනන්න ටිකක්වත් හිතෙන්නෙ නෑ. කොටින්ම වතුර පෙන්නන්න බෑ.
අනෙක් මැඩියන් විහිළු තහළු කරමින් අනවශ්‍ය සෙල්ලම් කරනවා. එක මැඩියෙක්ගෙ ඔළුව තව දෙතුන් දෙනෙක් එකතුවෙලා වතුරෙ ඔබනවා. ඒ ඔබන ගමන් තව මැඩියෙක්, ඔළුව එබිල තියෙන මැඩියගෙ කකුල් වලින් අල්ලන් ඉන්නවා. එහෙමත් නැත්නම් කරට උඩින් පනිනවා. ඒක නිසා දියබුං සෙල්ලම් කරමින් පීනන්න කොබුස් කැමති නෑ. කොටින්ම පීනනවා කියන වචනෙ අහන්නවත් කොබුස් කැමති නෑ. වතුරෙ නොගිලී ඉන්න කකුල් හොලවනව ඇරෙන්න පීනනව කියන වචනෙට නම් කොබුස්ව ළං කරන්නත් බෑ.
පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න තමයි කොබුස් ගොඩක්ම කැමති. ඒ ඉන්න ගමන් මැස්සෙක් දෙන්නෙක් අල්ලගෙන කන්නත් කොබුස් අමතක කරන්නෙ නෑ හැබැයි.

ඔන්න එකපාරටම වහින්න පටන්ගත්තා. හැංඟෙන්න පුළුවන් කොළයක් හොයන්න කොබුස් ඉක්මණට වටපිට බලනවා. තෙමෙන්න තියෙන අකමැත්ත නිසා, වැහි වතුරටත් කොබුස් ඒ හැටි කැමැත්තක් නෑ.
’ටික් ටික්’
වැහි බිංඳු කොබුස්ගෙ කොළ කුඩයට වැටෙනවා.
"සනීපයි නේද වැස්ස.. ?"
කටහඬ කාගෙද බලන්න කුතුහලයෙන් උඩ බැලුව කොබුස්ගෙ ඇහැ උඩට ලොකුම ලොකු වතුර බිංඳුවක් වැටුණා.
පිහාටු ගස ගසා අත්තක් උඩ හිටියෙ වයසක වැහිලිහිණියෙක්. වැහිලිහිණියා කොබුස්ට ඇහැක් ගැහුවා.
"මම ඇත්ත කියන්නෙ ළමයා.. මෙහෙම වැස්සෙ ඉන්න මේ ළමයා වාසනා කරල තියෙනවා.."
කොබුස්ට ඒ වචන රිස්සුවේ නෑ. කොබුස් වැහිලිහිණියා දිහා බැලුවෙ, ‘ඔහේ මාව විහිළුවට ගත්තදැයි.. ’ අහන්න වගේ.
හැම හේමන්තයකදීම වැහිලිහිණියා අනෙක් වැහිලිහිණියන් සමග දිගම දිග නිවාඩුවකට දකුණට පියාසර කරනවා. සීත සිසිරයත් එහෙම ගත කරන වැහිලිහිණියා වසන්ත කාලයේදි ආපහු එනවා.
"ආයෙමත් මෙහාට ආවට මට සතුටුයි. කොච්චර දුර පියාඹගෙනත් එන්න කියලද...." එහෙම කීව වැහිලිහිණියා මූණට වතුර වැටෙන්න, මූණ අහස දිහාට දික් කරා. "හරිම සනීපයි මේ වතුර.... හරිම සනීපයි"
"මම නම් වතුරට බයයි.." කොබුස් කීවා.
"වතුරට බය වෙන්න කොහෙත්ම ඕනෙ නෑ.." වැහිලිහිණියා උත්තර දුන්නා. "අනික ඔයා ගෙම්බෙක් නේද? නැත්නම් මට වැරදිලා ද...."
"ගෙම්බෙක් නම් තමයි ඉතින්.." කොබුස්, වචනයෙන් වචනය ඇද ඇද උත්තර දුන්නා. කොබුස්ට හිතා ගන්න බෑ ඇයි වැහිලිහිණියා මේ තරම් වතුරට කැමති කියලා.

"අපේ රටේ ඉර පායනව පායනව පායනව ඉවරයක්ම නෑ.." වැහිලිහිණියා දිග කතාවකට මුල පිරුවා. "හැමතිස්සෙම පායන ඉරක් එක්ක ජීවත් වෙන එක එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි.. කියල නිම කරන්න බැරි තරම් රස්නෙයි එතකොට. ඊටත් හැම තැනම රස්නෙට වේලිලා.. එහෙමත් වෙලාවකට තමයි අපට හෙවණක් ලැබෙන්නෙ.. ආසාවටවත් කොහෙවත් කොළ පාටක් පේන්න නෑ.. සමහරක් වෙලාවට වතුර ඇබිත්තක් හොයන්න මුළු දවසම මට පියාඹන්න වෙනවා.. ඒ ගැන හිතනකොටත් මට නම් කලන්තෙට වගේ.... දැක්ක නේද වෙනස.. ?"
වැහිලිහිණියාගේ වචන කොබුස්ට චිත‍්‍රයක් වගේ මැවෙන්න පටන් ගත්තා. හැමතැනම වේලිච්ච වැලි. ගස්කොළන් තියා එක කොළයක් පේනතෙක් මානයක නෑ. වතුර බිංඳුවක් නෑ. රස්නෙ, ඉවසන්න බැරිතරමට රස්නෙ. කොබුස්ටත් රස්නෙ දැනෙන්න පටන්ගත්තා.
"ඒ රටේ කී දෙනෙක් හැමදේම තියෙන මේ ගෙඹිලන්තයේ, නවතින්න එන්න ආසාවෙන් ඉන්නවද කියල ඔයා දන්නවද.. ?" වැහිලිහිණියා කොබුස්ගෙන් ඇහුවා.
"ඔච්චරටම රස්නෙ නම් ඉතින්, එහෙම හිතෙන එක අහන්නත් දෙයක්ද...." කොබුස් උත්තර දුන්නා.
වැස්ස නතර වුණා. වළාකුළු අස්සෙ හැංඟිලා හිටිය ඉර ආයෙත් එළියට ආවා. වැහිලිහිණියාගේ කතාව ඇහුව වෙලේ කොබුස්ට දැණුන රස්නෙ තවමත් එහෙම්මමයි. ඒ හන්ද කොබුස් ඇඟේ වතුර ගෑවෙන්නෙ නැති විදිහට පොකුණට නැමිලා වතුර බොන්න පටන් ගත්තා. වැහිලිහිණියාගේ කතාව ඇහුව වෙලේ ඉඳන්, කොබුස්ට වතුරට තිබ්බ බය නම් දැන් ටිකක් විතර මග ඇරිලා. කොබුස්ට පොකුණට බැහැල හොඳට පීනන්න හිතයි. ඒත් තවම බය චුට්ටත් විතර ඉතුරු වෙලා තියෙන නිසා, හිත අදි මදි කරනව.
කොබුස් තව එක අඩියක් පොකුණට ළං වුණා.

"අන්න හරි.. අන්න හරි.... බලන්න තියෙන වතුර ගොඩ.. වතුරට බැහැල හිතේ හැටියට දියබුං සෙල්ලම් කරන්න.." කීව වැහිලිහිණියා, කොබුස් හිතුවෙවත් නැති වෙලාවක කොබුස්ව පොකුණට තල්ලු කළා.
සමබරතාව ගිලිහුණ කොබුස් තණකොළගොල්ලෙන් ලිස්සලා ගිහින් පොකුණට වැටුණා. පුංචි පුංචි ජලජ පැලෑටි ගොඩක් තිබුණ බොර වතුරෙ ගිලෙන්නෙ නැතුව ඉන්න කොබුස්, එයා දන්න සියලුම සටන් ක‍්‍රම දැම්මා. ඒත් කොබුස්ගෙ ඔළුව වතුර උඩට මතුවෙනවා. ආයෙත් යට යනවා. ආයෙත් උඩට එනවා. ආයෙත් යට යනවා. කොබුස් බොහොම අමාරුවෙන් වතුරට පාත්වෙලා තිබුණ පන්ගසක අත්තක් අල්ල ගත්තා. උගුරෙ හිරවෙලා තිබුණ වතුර බොහොම අමාරුවෙන් පිට කරල කහින්න පටන්ගත්තා.
වැහිලිහිණියා පැත්තක ඉඳල කොබුස්ව නරඹනවා. "මට ඔයා ගැන ඊරිසියයි ළමයො.. ඔයාට වගේම මටත් පීනන්න පුළුවන් වුණා නම් කියල හිතෙනවා.. ඒත් ඉතින් මම තාරාවෙක්යැ.."

පන්ගසේ අත්ත අල්ලන් ඉන්න ගමන්ම, කොබුස් පිටිපස්සෙ කකුල් හොලව හොලව තාමත් දිය යටට යන්නෙ නැතිව ඉන්න උත්සහ කරනවා. හැබැයි අත්ත අත ඇරියත් දැන්නම් කොබුස්ට ටිකක් විතර වතුරෙ නොගිලී ඉන්න පුළුවන්.. පිටිපස්සෙ කකුල් වගේම ඉස්සරහ කකුල් දෙකත් හොලවන්න ගත්තම කොබුස්ට පුළුවන් ටික ටික ඉස්සරහට පීනන්නත්.
"කොහොමද වතුර.. ?" හිමින් සීරුවෙ ඉස්සරහට පීනන කොබුස්ගෙන් වැහිලිහිණියා ඇහුවා.
"හරිම සනීපයි.." පීනන ගමන්ම කොබුස් උත්තර දුන්නා.
"මං හිතුව.. මං හිතුව.." කොබුස් වතුරෙ විනෝද වෙන හැටි ආසාවෙන් නරඹමින් වැහිලිහිණිය උත්තර දුන්නා.
[පින්තූර: Mario Boon]
පීතර් ෆන් අවුද්හඋස්දන්
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|