බිත්තරෙන් එළියට ආපු දවස්වල ඉඳලම පැඞී ගොඩක් ආසාවෙන් හිටියෙ ඉස්කෝලෙ යන්න. පැඞීයි එයාගෙ යාළුවො දෙන්නා පීප් සහ ක්‍රෝස්, එයාලට වඩා වැඩිමහළු තාරාවෝ ඉස්කෝලෙට යන විදිහ හැමදාම බලන් ඉන්නෙත් හරිම ආසාවෙන්. ඉතින් පැඞීටත් ඕනැ කොහොමහරි ඉක්මණට ලොකු වෙන්න. එයාටම කියල ඉස්කෝලෙ ගෙනියන්න මල්ලක් අයිති කරගන්න. ඒ දවස් එනකල් පැඞී බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව.

දවසක් පැඞී එයාගෙ අම්මට විස්කෝතු වගයක් හදන්න උදව් කරපු දවසෙ, පැඞීට හාදුවක් දුන්න අම්මා පැඞීට සුබ ආරංචියක් කීවා.

"පැඞී දැන් ඔයා ලොකු ළමයෙක්.. ඒක නිසා හෙට ඉඳලා ඔයා ඉස්කෝලෙ යනවා.."

ඒ වචන ඇහුණ පැඞීට ගොඩක් ආඩම්බර හිතුණා.


"එතකොට මටත් එහෙනම් ලස්සන මල්ලක් හම්බවෙනවද අම්මා? ඇත්තටම ලස්සන, ලස්සනම ලස්සන ගොඩක් ලස්සන මල්ලක්...."

"නැතුව.. ඇත්තටම ලස්සන පොත්මල්ලක් ඔයාටත් හම්බවෙනවා.." අම්මා උත්තර දුන්නා.

එදා රෑ අම්මගෙ සිනිඳු පිහාටු තුරුල්ලෙ නිදාගන්න ගිය පැඞී, ඉස්සෙල්ලාම ඉස්කෝලෙ යන දවස කොහොම වෙයිද කියලා දිගින් දිගටම හිතන්න පටන් ගත්තා. ආසාවටද බයටද මන්ද පැඞීගේ හිත ‘ඩග් ඩග්’ ගාලා ගැහෙන්න පටන් ගත්තා.

‘ගොඩක් ලොකු තාරාවෙක් වුණාම මට ඉස්කෝලෙ යන්න පුළුවන්. ’ ඉස්කෝලෙ යන දවස එනකල් නොඉවසිල්ලෙන් හිටිය පැඞීට, අම්මට තව තවත් තුරුළු වෙද්දි හිතුණා.

‘සිඟිති පිහාටු ඉස්කෝලෙ’ ට යන හැම තාර පැටියෙක්ටම අද ටිකක් කලබල දවසක්. පැඞීගේ අලුත් මල්ල අත්තටු වල එල්ලන ගමන් අම්මා කීවා.


"පැඞී.. අද ඔයා ඉස්සෙල්ලාම ඉස්කෝලෙට යන දවස.. ඒ කියන්නෙ අද ඔයා ජීවිතේ ගොඩක් ලොකු අඩියක්, ඉස්සරහට තියන්න යන්නෙ.."

ඒත් ලොකු අඩියක් තියා පොඩි අඩියක්වත් තියාගන්න බැරුව පැඞී, හිටිය තැනම ගල් ගැහුණා වගේ බිම බලාගෙන ඉන්නවා.

"බයවෙන්න කිසිම දෙයක් නෑ.. අද දවස දන්නෙම නැතුව ඉක්මණින් ගෙවිල යයි.." එගොඩට ගොඩවෙන්න වතුර උඩින් යන්න දාලා තිබුණ ගල් උඩින් යද්දි, පැඞීව හිමින් සීරුවෙ ටිකක් ඉස්සරහට තල්ලු කරන ගමන් අම්මා කීවා.

ඉස්කෝලෙට ගිය පැඞී ගහක අත්තක එයාගෙ අලුත් මල්ල එල්ලනකොට හොඳට හුරු පුරුදු දෙයක් දැක්කා.

ඒ තමයි අම්මගෙ පිහාටුවක්.. සුදු අම්මගේ සුදුම සුදු සිනිඳු පිහාටුවක්.

අම්මා එයාගෙ පිහාටුවක් හිතා මතාම පැඞීගෙ මල්ලට දැම්මෙ, අම්මා හැමදාම ඉන්නෙ පැඞී ළඟම බව පෙන්නන්න.

පිහාටුව දැක්ක පැඞීට එදා දවස ගත කරන්න ඕනෙ දිරිය ලැබුණා. තවත් තාර පැටියෙක් ඉඳගෙන හිටිය, ලොකු ඕලු කොළයක් උඩට ගිය පැඞී එතැන වාඩිවුණා.


"ලස්සන පිහාටුවක්.." පැඞීගෙ අතේ තිබුණ සුදු පිහාටුව දැක්ක ඒ තාර පැටියා පැඞීට කීවා.

එක එක වර්ගයේ පුංචි පුංචි වැඩවල යෙදිල හිටිය නිසා, පැඞී දන්නෙම නැතුව උදේ වරුව ගෙවිල ගියා.

පුංචි කුරුමිණියන්ගෙ වෙනස්කම් හොයන්න තමයි පැඞීටයි යාළුවන්ටයි ඉස්සෙල්ලාම ලැබුණෙ. ඊට පස්සෙ තිබුණෙ දළඹුවෝ ගණන් කරන්න. ගුරුතුමිය අත්තටු වලින් අත්පුඩියක් ගහල හැමෝටම දවල්ට කන්න කතා කරද්දි, කට්ටියම හිටියෙ ඕලු කොළයෙන් ඕලු කොළයක් උඩට පනින්න පුරුදු වෙමින්.


පැඞී හැමදාම දවල්ට කෑවෙ අම්මා එක්ක. ඒත් දැන් අම්මා ළඟ නැති නිසා පැඞීට ටිකක් විතර දුක හිතුණා.

කෑම එළියට ගන්න පොත්මල්ල ඇරපු පැඞී දැක්කා අම්මා, රසම රස පාන්පෙති වගේම තව විස්කෝතු හතරකුත් දාලා තියෙනවා. එකක් පැඞීට, තව එකක් පීප්ට, තවත් එකක් ක්‍රෝස්ට සහ අනෙක් විස්කෝතුව පැඞීගෙ අලුත්ම යාළුවාට.

දවල් කෑමෙන් පස්සෙ හැමෝටම තිබුණෙ ටිකක් නිදාගන්න. පැඞී ආයෙමත් මල්ල ඇතුළ බැලුවා අම්මා බැරි වෙලාවක්වත් පැඞීගේ ආසම පොරවන රෙද්ද දාලද කියලා. හොඳ වෙලාවට අම්මා ඒකත් ඇතුළට දාලා තිබුණා.


නින්දෙන් පස්සෙ හැම තාරාවෙක්ටම කරන්න තිබුණෙ තම තමන්ගෙ අම්මට හරි තාත්තට හරි මොනව හරි හදන්න.

කකුල් අඩි සලකුණු තියල ඇඳපු චිත‍්‍රයක්. එහෙමත් නැත්නම් පුංචි ඬේසි මල් වලින් හදපු මල් මාලයක්. නැත්නම් හැඩ වැඩ දාලා සරසපු කෝටුවක්.

ගෙදර යන වෙලාව ආවම පැඞී බොහොම පරිස්සමින් අම්මා වෙනුවෙන් සරසපු කෝටුව එයාගේ මල්ලෙ දාගත්තා. ඊටපස්සෙ ගල් උඩින් පැනලා ගොඩක් සන්තෝසෙන් ගෙදර දිව්වා. ගෙදරට ළං වෙනකොට පැඞී දැක්කා එයාව ආදරෙන් බදාගන්න අම්මා මග බලාගෙන ඉන්න විදිහ.

එදා රෑ නිදාගන්න ගිය පැඞී ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස ගතකරපු හැටි ගැන හිතුවා. පැඞීගේ හිත එතකොටත් ‘ඩග් ඩග් - ඩග් ඩග්’ ගාලා ගැහෙන්න පටන්ගත්තා. හැබැයි ඒ හෙට ආයෙත් ඉස්කෝලෙට යන්න තියෙන නොඉවසිල්ලට මිසක්, බයට නම් නෙවෙයි.

පින්තූර: ලේන් මාර්ලෝ

ඇම්බර් ස්ටුවර්ට්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails