මැඩියො ඔක්කොම විනෝද වෙමින් පොකුණෙ පීනනවා. ඔක්කොම කීවට ඉතින් ඔක්කොම නම් නෙමෙයි. එකම එක මැඩියෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එයාගෙ නම කොබුස්. කොබුස් එයාගෙ යාළුවන්ට වඩා ගොඩක් වෙනස්. විනෝද වෙන්න පුළුවන් උපරිමයෙන් විනෝද වෙමින් යාළු මැඩියො සෙල්ලම් කරත්, කොබුස් කිසිම ගාණක් නෑ වගේ පැත්තකට වෙලා ඉන්නවා.
"කොබුස් ඔයත් එන්න.. ඇවිත් වතුරට පනින්න.... මේ වතුර හරිම සනීපයි.."
යාළුවෝ කොච්චර අඬගැහුවත් කොබුස් ඇහුණෙ නෑ වගේ ඉන්නවා.
‘ඔයාලට ඕනෙ නම් ඔයාලා පීනගන්න.. මට පීනන්න ඕනෙ නෑ. ’ කොබුස් තනියම හිතනවා.
"හරි ඉතින් ඔයාට එපා නම් අපිට මොකෝ.. කිසිම කතාවක් නැති කොබුස්ව රිස්සුවේ නැති යාළුවෙක් දෙන්නෙක් එහෙම කියාගෙන පීනගෙන අහකට යනවා."
කොබුස් ඒත් සද්දයක් බද්දයක් නැතුව තණකොළ බිස්සට වෙලා බලාගත්ත අත බලාගෙන ඉන්නවා.
"බයගුල්ලා බයගුල්ලා
කොබුස් කොබුස් බයගුල්ලා"
එතකොට යාළුවො කොබුස්ට කෑගගහා විහිළු කරනවා.
‘මම බය නෑ.. ’ කොබුස්ට එහෙම කියන්න ඕනෑ වුණත් යාළුවෝ ඒ වෙනකොටත් ගොඩක් දුර පීනලා. ‘මම කිසිම දේකට බය නෑ.. වතුරට විතරයි ටිකක් බය.. ’ එහෙම හිතන කොබුස් ඊළඟට බලාගෙන් ඉන්නෙ වතුර දිහාව.
කොබුස් දන්නවා එයා එයාගේ යාළු මැඩියන් වගේ නෙමෙයි කියලා. යාළුවෝ ආසයි හැමතිස්සෙම පීනන්න. ඒත් කොබුස් ඒ අයට වඩා අරුම පුදුම මැඩියෙක්. කොබුස් ඩිංගිත්තක්වත් කැමති නෑ පීනන්න.
පොකුණෙ වතුර හරිම අපිරිසිදුයි. ඒ විතරක් නෙමෙයි මඩ වලින් පිරිලා. මැරුණ ගස්වල ගඳත් හරි හරියට හමනවා. මඩ වතුර හරිම සීතලත් එක්ක. ඉතින් කොබුස්ට පීනන්න ටිකක්වත් හිතෙන්නෙ නෑ. කොටින්ම වතුර පෙන්නන්න බෑ.
අනෙක් මැඩියන් විහිළු තහළු කරමින් අනවශ්‍ය සෙල්ලම් කරනවා. එක මැඩියෙක්ගෙ ඔළුව තව දෙතුන් දෙනෙක් එකතුවෙලා වතුරෙ ඔබනවා. ඒ ඔබන ගමන් තව මැඩියෙක්, ඔළුව එබිල තියෙන මැඩියගෙ කකුල් වලින් අල්ලන් ඉන්නවා. එහෙමත් නැත්නම් කරට උඩින් පනිනවා. ඒක නිසා දියබුං සෙල්ලම් කරමින් පීනන්න කොබුස් කැමති නෑ. කොටින්ම පීනනවා කියන වචනෙ අහන්නවත් කොබුස් කැමති නෑ. වතුරෙ නොගිලී ඉන්න කකුල් හොලවනව ඇරෙන්න පීනනව කියන වචනෙට නම් කොබුස්ව ළං කරන්නත් බෑ.
පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න තමයි කොබුස් ගොඩක්ම කැමති. ඒ ඉන්න ගමන් මැස්සෙක් දෙන්නෙක් අල්ලගෙන කන්නත් කොබුස් අමතක කරන්නෙ නෑ හැබැයි.
ඔන්න එකපාරටම වහින්න පටන්ගත්තා. හැංඟෙන්න පුළුවන් කොළයක් හොයන්න කොබුස් ඉක්මණට වටපිට බලනවා. තෙමෙන්න තියෙන අකමැත්ත නිසා, වැහි වතුරටත් කොබුස් ඒ හැටි කැමැත්තක් නෑ.
’ටික් ටික්’
වැහි බිංඳු කොබුස්ගෙ කොළ කුඩයට වැටෙනවා.
"සනීපයි නේද වැස්ස.. ?"
කටහඬ කාගෙද බලන්න කුතුහලයෙන් උඩ බැලුව කොබුස්ගෙ ඇහැ උඩට ලොකුම ලොකු වතුර බිංඳුවක් වැටුණා.
පිහාටු ගස ගසා අත්තක් උඩ හිටියෙ වයසක වැහිලිහිණියෙක්. වැහිලිහිණියා කොබුස්ට ඇහැක් ගැහුවා.
"මම ඇත්ත කියන්නෙ ළමයා.. මෙහෙම වැස්සෙ ඉන්න මේ ළමයා වාසනා කරල තියෙනවා.."
කොබුස්ට ඒ වචන රිස්සුවේ නෑ. කොබුස් වැහිලිහිණියා දිහා බැලුවෙ, ‘ඔහේ මාව විහිළුවට ගත්තදැයි.. ’ අහන්න වගේ.
හැම හේමන්තයකදීම වැහිලිහිණියා අනෙක් වැහිලිහිණියන් සමග දිගම දිග නිවාඩුවකට දකුණට පියාසර කරනවා. සීත සිසිරයත් එහෙම ගත කරන වැහිලිහිණියා වසන්ත කාලයේදි ආපහු එනවා.
"ආයෙමත් මෙහාට ආවට මට සතුටුයි. කොච්චර දුර පියාඹගෙනත් එන්න කියලද...." එහෙම කීව වැහිලිහිණියා මූණට වතුර වැටෙන්න, මූණ අහස දිහාට දික් කරා. "හරිම සනීපයි මේ වතුර.... හරිම සනීපයි"
"මම නම් වතුරට බයයි.." කොබුස් කීවා.
"වතුරට බය වෙන්න කොහෙත්ම ඕනෙ නෑ.." වැහිලිහිණියා උත්තර දුන්නා. "අනික ඔයා ගෙම්බෙක් නේද? නැත්නම් මට වැරදිලා ද...."
"ගෙම්බෙක් නම් තමයි ඉතින්.." කොබුස්, වචනයෙන් වචනය ඇද ඇද උත්තර දුන්නා. කොබුස්ට හිතා ගන්න බෑ ඇයි වැහිලිහිණියා මේ තරම් වතුරට කැමති කියලා.
"අපේ රටේ ඉර පායනව පායනව පායනව ඉවරයක්ම නෑ.." වැහිලිහිණියා දිග කතාවකට මුල පිරුවා. "හැමතිස්සෙම පායන ඉරක් එක්ක ජීවත් වෙන එක එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි.. කියල නිම කරන්න බැරි තරම් රස්නෙයි එතකොට. ඊටත් හැම තැනම රස්නෙට වේලිලා.. එහෙමත් වෙලාවකට තමයි අපට හෙවණක් ලැබෙන්නෙ.. ආසාවටවත් කොහෙවත් කොළ පාටක් පේන්න නෑ.. සමහරක් වෙලාවට වතුර ඇබිත්තක් හොයන්න මුළු දවසම මට පියාඹන්න වෙනවා.. ඒ ගැන හිතනකොටත් මට නම් කලන්තෙට වගේ.... දැක්ක නේද වෙනස.. ?"
වැහිලිහිණියාගේ වචන කොබුස්ට චිත‍්‍රයක් වගේ මැවෙන්න පටන් ගත්තා. හැමතැනම වේලිච්ච වැලි. ගස්කොළන් තියා එක කොළයක් පේනතෙක් මානයක නෑ. වතුර බිංඳුවක් නෑ. රස්නෙ, ඉවසන්න බැරිතරමට රස්නෙ. කොබුස්ටත් රස්නෙ දැනෙන්න පටන්ගත්තා.
"ඒ රටේ කී දෙනෙක් හැමදේම තියෙන මේ ගෙඹිලන්තයේ, නවතින්න එන්න ආසාවෙන් ඉන්නවද කියල ඔයා දන්නවද.. ?" වැහිලිහිණියා කොබුස්ගෙන් ඇහුවා.
"ඔච්චරටම රස්නෙ නම් ඉතින්, එහෙම හිතෙන එක අහන්නත් දෙයක්ද...." කොබුස් උත්තර දුන්නා.
වැස්ස නතර වුණා. වළාකුළු අස්සෙ හැංඟිලා හිටිය ඉර ආයෙත් එළියට ආවා. වැහිලිහිණියාගේ කතාව ඇහුව වෙලේ කොබුස්ට දැණුන රස්නෙ තවමත් එහෙම්මමයි. ඒ හන්ද කොබුස් ඇඟේ වතුර ගෑවෙන්නෙ නැති විදිහට පොකුණට නැමිලා වතුර බොන්න පටන් ගත්තා. වැහිලිහිණියාගේ කතාව ඇහුව වෙලේ ඉඳන්, කොබුස්ට වතුරට තිබ්බ බය නම් දැන් ටිකක් විතර මග ඇරිලා. කොබුස්ට පොකුණට බැහැල හොඳට පීනන්න හිතයි. ඒත් තවම බය චුට්ටත් විතර ඉතුරු වෙලා තියෙන නිසා, හිත අදි මදි කරනව.
කොබුස් තව එක අඩියක් පොකුණට ළං වුණා.
"අන්න හරි.. අන්න හරි.... බලන්න තියෙන වතුර ගොඩ.. වතුරට බැහැල හිතේ හැටියට දියබුං සෙල්ලම් කරන්න.." කීව වැහිලිහිණියා, කොබුස් හිතුවෙවත් නැති වෙලාවක කොබුස්ව පොකුණට තල්ලු කළා.
සමබරතාව ගිලිහුණ කොබුස් තණකොළගොල්ලෙන් ලිස්සලා ගිහින් පොකුණට වැටුණා. පුංචි පුංචි ජලජ පැලෑටි ගොඩක් තිබුණ බොර වතුරෙ ගිලෙන්නෙ නැතුව ඉන්න කොබුස්, එයා දන්න සියලුම සටන් ක‍්‍රම දැම්මා. ඒත් කොබුස්ගෙ ඔළුව වතුර උඩට මතුවෙනවා. ආයෙත් යට යනවා. ආයෙත් උඩට එනවා. ආයෙත් යට යනවා. කොබුස් බොහොම අමාරුවෙන් වතුරට පාත්වෙලා තිබුණ පන්ගසක අත්තක් අල්ල ගත්තා. උගුරෙ හිරවෙලා තිබුණ වතුර බොහොම අමාරුවෙන් පිට කරල කහින්න පටන්ගත්තා.
වැහිලිහිණියා පැත්තක ඉඳල කොබුස්ව නරඹනවා. "මට ඔයා ගැන ඊරිසියයි ළමයො.. ඔයාට වගේම මටත් පීනන්න පුළුවන් වුණා නම් කියල හිතෙනවා.. ඒත් ඉතින් මම තාරාවෙක්යැ.."
පන්ගසේ අත්ත අල්ලන් ඉන්න ගමන්ම, කොබුස් පිටිපස්සෙ කකුල් හොලව හොලව තාමත් දිය යටට යන්නෙ නැතිව ඉන්න උත්සහ කරනවා. හැබැයි අත්ත අත ඇරියත් දැන්නම් කොබුස්ට ටිකක් විතර වතුරෙ නොගිලී ඉන්න පුළුවන්.. පිටිපස්සෙ කකුල් වගේම ඉස්සරහ කකුල් දෙකත් හොලවන්න ගත්තම කොබුස්ට පුළුවන් ටික ටික ඉස්සරහට පීනන්නත්.
"කොහොමද වතුර.. ?" හිමින් සීරුවෙ ඉස්සරහට පීනන කොබුස්ගෙන් වැහිලිහිණියා ඇහුවා.
"හරිම සනීපයි.." පීනන ගමන්ම කොබුස් උත්තර දුන්නා.
"මං හිතුව.. මං හිතුව.." කොබුස් වතුරෙ විනෝද වෙන හැටි ආසාවෙන් නරඹමින් වැහිලිහිණිය උත්තර දුන්නා.
[පින්තූර: Mario Boon]
පීතර් ෆන් අවුද්හඋස්දන්
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook