පුංචලාගේ ගෙදර පිළිකන්නෙ තියෙනවා සරුවට වැවිච්ච පේර ගහක්. ඒ තරම්ම වයස නැති උනත් ගහ බොහොම අපූරුවට අතු විහිදිලා සෑහෙන උසට වැවිලයි තිබුණෙ. ඒ විතරක් නම් මදැයි, වාරෙටත් අවාරෙටත් ගහ පිරෙන්න මලුත් ගෙඩිත් තියෙන මේ පේර ගහේ ගෙඩි රසයෙනුත් ඉහළයි. හැබැයි දන්න දවසෙ ඉඳන් හොඳම පේර වල රස වැඩියෙන්ම බැලුවෙ නම් පුංචම තමයි.
අහල පහල කාටත් දෙන්න ඕනෑ වුනත් කවදාවත් හොඳ ගෙඩියක් ගහෙ ඉතිරිවෙන්නෙ නෑ කියලා තාත්තා හැමදාමත් අමනාපෙන් උන්නෙ. මොකද හැම ගෙඩියක්ම හීනියට කොනිති ගහල වගෙ ලකුණු.
"මේ සත්තු එක්ක බෑ... හැම ගෙඩියම නාස්ති කරනවා"
ඉතින් මේ වාරෙ තාත්තා අපූරු යෝජනාවක් ගෙනාවා. ඒ තමයි තරමක් ලොකු වෙච්චි ගෙඩි පොලිතීන් උරයකින් වහමු කියන එක.
"පුතේ, පරිස්සමෙන් නැගලා ආං අර අත්තෙ ගෙඩියත් වහලා දන්න ඕනෑ .ගෙඩි දහයක් පහළොවක් විතර ඉතුරු කලාම ඇති. " තාත්තා කිවුවා.
"ඒ මොකටද?" පුංචා ඇහුවා.
"ගස් වල ගෙඩි හැදෙන්නෙ අපිට විතරක් කන්න නෙමෙයි. කුරුල්ලන්ටයි, ලේනුන්ටයිත් එක්ක"
" හොඳයි තාත්තේ" පුංචා කිවුවා.
ඔන්න ඉතින් පුංචා තාත්තත් එක්ක එකතු වෙල පේර ගෙඩි සෑහෙන ගනනක් වැහුවා.
දවස් ගෙවිලා ගියා.
පුදුමයකට වගේ ඒ වතාවෙත් පොලිතින් උරය ඉතුරු වෙන්න පේර ගෙඩි අතුරුදන් වෙලා තිබුනා. ඒ විතරක් නම් මදැයි ඉතිරි පේර ගෙඩි ආයෙත් කොනිති ගහලා.
"හ්ම්ම්..." බැරෑරුම් විදියට කියූ තාත්තා පුංචා දිහා බලල යන්න ගියා.
දවසක් තාත්තා වෙනදාට වඩා කලින් ගෙදර ආවා. ගෙට ගොඩ වුණා විතරයි මෙන්න "දඩස්" ගාලා සද්දයක් ඇහුණා ගෙයි පිළිකන්නෙන්. ඒත් එක්කම මොකද්දෝ බර දෙයක් පේර ගහ උඩට වැටුණා වගේ ගහ හෙලවෙන්න පටන් ගත්තා.
තාත්තත් අම්මත් දුවගෙන ආවා පිළිකන්නට. ආතයි, අත්තම්මයි ත් දුවගෙන ආවා පිළිකන්නට. දැක්ක දෙයින් හැමෝම පුදුම වුණා.
" පුංචා..?" අම්මා පුදුමයෙන් කිව්වා.
අනේ, මෙන්න පුංචා ඉන්නව පේර අත්තක එල්ලිලා, ඔලුවෙන් හිටගෙන. කලිසම ඇමිණිලා ගහේ අත්තක. තාත්තගෙ සද්දෙන් කලබල වෙච්චි පුංචා ගහෙන් බිමට පනිනකොට තමයි මේ අකරතැබ්බය වෙලා තියෙන්නෙ.
ඒ විතරක් නම් මදැයි, ඔලුවෙන් හිටවිලා ඉන්න පුංචගේ සාක්කුවෙන් "දඩ බඩස් - දඩ බඩස්" ගාලා පේර ගෙඩි එක එක බිමට වැටුණා.
"හොරා අහුවුණා එහෙනම්...ඈහ්?" අම්මා කිවුවා.
“ඔයගොල්ලො කවුරුත් නොදැන උන්නට මං හිතුවා, මේ වැඩේ කරන්නෙ සතෙක් නං නෙමෙයි කියලා. ලමයෙක්ගෙ නියපොතු පාරවල් තමයි හැම ගෙඩියකම තිබුණේ.“ තාත්තා කාට කාටත් ඇහෙන්න කිවුවා.
"ඒත් ඉතිං හැම පේර ගෙඩියක්ම කොනිති ගහන්නෙ අහවල් වුවමනාවකටද?" අත්තම්මා ඇහුවා.
"ගෙ.. ගෙ.. ගෙඩිය පැහිලද කියල බලන්නයි ආතම්මෙ.." පුංචා අමාරුවෙන් ඒ ටික කියා ගත්තා.
"හා.. හා.. හා.. නියමයි! අන්තිමේදි පේර ගහම හොරාව අල්ලලා දුන්නා එහෙනම් ඈහ්..!" ආතා හැමෝටම ඇහෙන්න හයියෙන් කිවුවා.
"මදැයි දැං ඉතිං වෙච්ච හරිය..වැරැද්දට හොඳ දඬුවම කුත් ලැබිලා තියෙන්නෙ?" තාත්තා කිවුවා.
එහෙම කියලා හැමෝම බඩ අල්ලාගෙන හිනාවෙද්දි අමාරුවෙන් වුණත් ඉතිං පුංචටත් හිනා නොවී ඉන්න බැරිවුණා.
සිත්තම- රුවන්මලී
ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook