ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි. ලිලෝ අවුරුදු පහක් වයසැති පුංචි ගෑනු ළමයෙක්. එයා ජීවත්වෙන්නෙ හවායි දූපතේ එයාගේ අක්කත් එක්ක. හදිසි අනතුරකින් දෙමාපියන් මියගියාම පුංචි ලිලෝව බලාගන්නෙ එයාගෙ අක්කා. පුංචි ලිලෝ හුඟක් ආදරෙයි සත්තුන්ට.

ඒ අතරෙ වෙනත් ලෝකයක ඉන්න සත්වයෙක් තමයි "එක්ස්පෙරිමෙන්ට් 626"කියන්නෙ. එයා ජාන තාක්ෂණයෙන් බිහිකල බුද්ධිමත්ම ඒත් නපුරු විනාශකාරි කෙනෙක්. ඉතින් දඬුවමක් විදියට එයාව ඒ ග්‍රහලෝකයෙන් වෙනත් ග්‍රහලෝකයකට පිටමං කරනවා. ඒ වෙලාවෙදි "එක්ස්පෙරිමෙන්ට් 626" ගමන් කල යානය අනතුරකට ලක් වෙනවා. ඒ නිසා "එක්ස්පෙරිමෙන්ට් 626" වැරදීමකින්-

-පෘථිවියේ හවායි දූපතට ගොඩ බහිනවා. පුංචි බලු පැටියෙකුට සමාන රූපයක් තියෙන හින්දා තවත් අත් වැරැද්දකින් "එක්ස්පෙරිමෙන්ට් 626" සුරතල් සතුන් ඇති දැඩි කරන ස්ථානයකට ගෙන යනවා.

ඔන්න ඒ වෙලාවෙදි තමයි සුරතල් බලු පැටියෙකු සොයමින් සිටින ලිලෝට "එක්ස්පෙරිමෙන්ට් 626" දකින්න ලැබෙන්නේ. ඉතින් ලිලෝ තමන්ගේ හුරතලා විදියට තෝරගන්නෙ "එක්ස්පෙරිමෙන්ට් 626". ඇය ඔහුට දෙන නම තමයි " ස්ටිච්". ඔන්න එදා ඉඳලා "ලිලෝ" සහ " ස්ටිච්" අතර ගොඩ නැගෙන අපූරු යාළුකම සහ ඔවුන්ගේ මිත්‍රත්වයේ අපූරු සිදුවීම ගැන කියැවෙන අපූරු කාටූන් චිත්‍රපටක් මේ.




විනාශකාරි බුද්ධියක් තියෙන "ස්ටිච්" අපූරු යහපත් හිතක් තියෙන කෙනෙක් බවට පත් වෙන්නෙ "පුංචි ලිලෝ" ගේ අසීමිත ආදරය නිසා. අන්තිමේදී ස්ටිච් අනුන් ගැන හිතන බොහොම යහපත් කෙනෙකු බවට පත් වෙනවා. අපූරු ගීත ගණනාව කින් රස ගැන්වී තිබෙන මේ කාටූන් චිත්‍රපටය නරඹන පුංචි ඔයාලට හොඳ හැටි හිනාවෙන්නත් අවස්ථාව ලැබෙනවා.

පුබුදු ගයාන් වර්ණකුලසූරිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails