එකෝමත් එක රටක කුහුඹියෙක් හිටියා. එයාගෙ නම දැනගන්න ඔය ළමයි කැමති ඇති නේද? එයාගේ යාළුවෝ එයාට කතා කලේ කොහොමද, දූලා, පුත්තු, දයාබර මහළු අම්මා, බිරිඳ එයාට අඬගැහුවේ කොහොමද කියලා දැනගන්ට කැමති ඇති නේද? මේ ලෝකයේ කුහුඹි මහ ගොඩක් ඉන්නවා. ඒ ගොල්ලන්ගෙ නම් ලක්ස ගණනක් මම දන්නවා. ඉල්යා, ස්තෙපාන්, ඉවාන් වගේ නම් ඇති කුහුඹි ඉන්නවා. නිකොලායි,ඇලෙක්සැන්දර්, කෝර්නෙයි...හැමනමක්ම මතක තියා ගන්ට බැහැ. අපේ වීර කුහුඹියාගේ නම සිමියොන්, අන්ද්රේයි, මත්වේයි නොවෙයි. නිකම්ම නිකම් කුහුඹි රාළ.

හිමිදිරි පාන්දර කුහුඹියෝ හුඹහ ඇතුලේ සැපට නිදි. කුහුඹි රාළ නිදිමතේ කල්පනා කළා:"අපේ හුඹහ ඇතුලේ පවුල් විස්සක් ඉන්නවා. සඳුදා නිකොලායි ගේ පවුල කැලෑවේ ඉඳලා සොස්නා ගහක ඉඳිකටු වගේ හීන් කොළ ගෙනාවා. අඟහරුවාදා දෙවැනි තට්ටුවේ පදිංචි පවුල ලී කුඩු ගෙනාවා. බදාදා යෙර්මලායිට කැලෑවට යාමට නියම කරලා තිබුනා. බ්‍රහස්පතින්දා සිමියොන් දියමැස්සෙකුගේ පිහාටුවක් ගෙනල්ලා ජනේල වීදුරුව හැටියට සවි කළා. සිකුරාදා මහ වැස්ස නොතකා යෙව්ගේනි ලී කෑලි තුක් හොයා ගත්තා. අද සෙනසුරාදා අපේ වාරයයි. මට නැගිටින්කොහෙත්ම හිතක් නැහැ." කුහුඹි රාළ නැගිටලා පවුලේ අනිත් උදවියට කතා කලා:"නැගිටපල්ලා! මූණ හෝදපල්ලා! කැලෑවට ගිහිල්ලා කෑම හොයාගෙන එන්ට ලෑස්තිවෙයල්ල!."


කුහුඹි රාළයි, බිරිඳයි, දූලයි, පුතාලයි, කැළෑවට ගිහිල්ලා හවස් වනතුරු කෑම සෙව්වා. කුහුඹි රාළ නත්තල් ගහක හීන් කොළ හයක් හොයා ගත්තා. ඒවා හරියට ඉඳිකටු වගේ බොහොම සිහින්, බොහොම තියුණුයි. කුහුඹි හාමිනේ නත්තල් ගහේ හීන් කොල තුනක් අරගත්තා. කුහුඹි පුතාලා දිය පාරක් ළඟ තිබිලා කෝටු දෙක බැගින් හොයා ගත්තා. කුහුඹි දූලා නත්තල් ගහේ පොතු හොයා ගත්තා. පොඩි පුතා පුංචි දළුවක නැට්ටක් ඇදගෙන තාත්තා පසු පසින් ගියා. පුංචි දුව මල් රේණුවක් හොයා ගත්තා. ඔන්න ඉතින් කුහුඹි පවුල ගෙදර යන්නට පිටත් වුණා. තණකොළ වැවිලා තියෙන අඩිපාර දිගේ, බැද්ද හරහා, කැලව හරහා ගිහිල්ලා, ගිහිල්ලා ගිහිල්ලා, හුඹහ ලඟට ආවා. නමුත් හුඹහ නැහැ.

කුහුඹු රාළ පුදුම වුණා. "හරි පුදුමයක්.. අපේ අඩවිය, අපේ පෙදෙස... අපේ රතු පොපි මල්.. ඒ වුණාට තට්ටු කීපයක් උස අපේ ගෙය පෙනෙන්නට වත් නැහැ. අපෙ ගෙය බොහොම ලොකුයි. එහි පවුල් විස්සක් පදිංචි වෙලා හිටියා. අපේ ගෙට මොනවා වුණාද!"ආයෙමත් ඔහු මෙහෙම කිව්වා. "අපි මේ ඉඳිකටු වගේ හීන් කොළ ගෙනාවේ ඒවා කණු වගේ හිටවලා තවත් තට්ටුවක් හදා ගන්ටයි..."කුහුඹි රාළ බොහොම දුක් වෙලා හීන් කොළ හය බිම දැම්මා. ඒවා බොහොම අපූරුයි. ඉඳිකටු වගේ හීන්. කුහුඹි හාමිනේ සුදුමැලි වුණා. එයා ගෙනා කොළ තුනත් බිම දැම්මා. පුතාලටත් බොහොම මහන්සියි. ඒගොල්ල ගෙනාපු ලී කෑලිවලින් දෙක බැගින් අතරමගදී විසි කලා. දූලාත් බොහොම දුක් වෙලා, මහන්සිය හන්දා එක ගුලියකට රොක් වුණා. ඒ ගොල්ල ගෙනා පොතු බිම වැටුණා. කුහුඹි පවුල දුක් වෙලා ඉන්න කොට එතැනට ආවා මදුරුවෙක්. එයා රුං රුං ගාලා මෙහෙම කිව්වා:

"ඒයි කුහුඹි රාළ, නුඹ මෙතැනට වෙලා මොනව කරනවද? දවස තිස්සෙම කැලෑවට වැදිලා නුඹ වැඩ කළා. නුඹ නුඹේ ළමයින්ටවත් සෙල්ලම් කරන්න ඉඩ දුන්නේ නැහැ. උන්ගේ දුර්වල පුංචි අත් වලට නුඹ උල් කටු වගේ කොළ පැටෙව්වා. නුඹේ හාමිනේ දිහා බලපන්. ඈ පොල් පරාල වගේ ලොකු නත්තල් කොළ තුනක්ම උස්සාගෙන ආවා. ඒ හන්දා ඈ බොහොම කෙට්ටු වෙලා. නුඹේ පුංචි පුතා පහ විසාල නැට්ටක් ඇදගෙන ආවා. නුඹේ දූ පොඩිත්ත බොහොම බර ඇති මල් රේණු ගොඩක්ම උස්සාගෙන ආවා. නුඹයි, නුඹේ පවුලයි හති දම දමා වැඩ කරන කොට නුඹලාගේ ගෙදර අනිත් කට්ටිය වෙනින් ගේකට ගියා, නුඹලාට ඒ ගැන දැන්නුවේ නෑ."

මදුරුවා බොරු කියන්ට උපන් පුතෙක්. එයා කට ඇරියොත් කියන්නේ බොරු. මදුරුවා ඔය තරම් බොරු කිව්වේ කුහුඹි හුඹහේ වාසය කරන්නන් විසින් කුහුඹියාට එවපු ලිපිය සහිත ඔසීන කොළය උගේ පියාපතක් අස්සේ හංගා ගෙනයි.

කැලෑවට ගිය කුහුඹි රාළට දෙන්ට කියලා කුහුඹියෝ අලුත් ගෙදර ලිපිනය ඔසීන කොළයක ලියලා මදුරුවාට දුන්නා. ඌ බොරු කාරයෙක් විතරක් නොවෙයි, කපටියෙක්, ඒ වගේම නපුරෙක්. ඉතින් මේ නපුරු මදුරුවා බොරු කියලා, බොහොම සතුටු වෙලා ලිපිනය නොදී යන්ට ගියා.

දැන් ඉතින් කුහුඹි පවුල තනි වෙලා! යාළුවොත් නැහැ, අසල් වැසියොත් නැහැ! ගෙදර කට්ටිය ආ ගිය අතක් හොයා ගන්නවත් නැහැ...කුහුඹි පවුල තනි වෙලා! මේ වගේ දුකක් විඳින්ට කුහුඹි රාළට කවදාවත් සිදු වෙලා නැහැ! කුහුඹි රාළ බොහොම කඩිසරයි. හැම තිස්සෙම වැඩ කල හන්දා එයාට දුවෙන්නට වත් වෙලාවක් තිබුණේ නැහැ. කුහුඹි රාළ හැමදාම ඉර පායන්නටත් ඉස්සෙල්ලා නැගිටිනවා.දුවලා පැනලා කෑම හොයාගන්නවා. ගෙදරට ඕන බඩු ගේනවා.වැඩ කරන හැටි ළමයින්ට කියාදෙනවා... ඉතින් ඔය විදියට වැඩ කරනකොට දුක් වෙන්ට වේලාවක් නැහැ නොවේද?

දැන් කුහුඹි රාළට හූල්ලන්ට වත් වේලාවක් ලැබුණේ නැහැ. එයාගේ පොඩි දුව අඬන්ට පටන් ගත්තා. ඉක්මනින් රෑ වේවි.පවුලට නවාතැනක් හොයා ගන්ට ඕන කියලා ඔහු කල්පනා කළා. කුහුඹි රාළ හාමිනේගේ උරහිසට තට්ටු කරල මෙහෙම කිව්වා: "හාමිනේ, බය වෙන්න එපා. ඕන දේකට මම ලෑස්තියි. තමාගේ පවුලට නවාතැනක් හොයලා දෙන්ට බැරි කුහුඹියෙක් ලෝකෙ කවදාවත් හිටියේ නැහැ! පුංචි එවුන්ට කතන්දර කියනකොට වුණත් කුහුඹි අදහිරිය වෙන හැටි, දුක් වෙන හැටි කියන්නේ නැහැ!"

කුහුඹි රාළ නවාතැනක් හොයන්ට ගියා. හැම ගස් කොටයකටම, පුංචි පැලවල කඳකටම නැගලා සුදුසු තැනක් හොයලා බැලුවා. උණුහුම ඇති, සිනිඳි තැනක් හොයා ගන්ට ඔහුට බැරිවුණා. ඔහු ආපහු පොළව යටට ගියා. හැම තැනම වැස්සට තෙමිලා. තෙතමනය. පොලව තදයි. සීතලයි. ඔන්න හිටි හැටියේම ඔහුට පෙනුණා වටකුරු ටින් බඳුනක්.

ඒක වටේට ලේබලයක් අලවා තිබුනා. කුහුඹි රාළ සතුටු වුණා. "යස ගෙයක් නේද, වහළ ලෝහ වලින් හදලා, දොර ලස්සනයි, මගේ ළමයින්ට මීට වඩා හොඳ ගෙයක් හොයාගන්ට බැහැ!" ඔහු පවුල අඬගහගෙනවිත් ටින් බඳුන ඇතුළේ පදිංචි වුණා. කුහුඹි පවුල රෑ එහි ගත කලා. උදේ ඉර එළිය වැටුණා විතරයි, ටින් බඳුන දිලිසෙන්නට වුණා. කුහුඹි රාළ මෙහෙම කල්පනා කළා: "අපේ ටින් ගෙදර බිත්ති ඉර එළිය හන්දා මේ තරම් ලස්සනට දිලිසෙනවා නම්, මීට වඩා හොඳ ගෙයක් කවදාවත් හොයා ගන්ට බැහැ. මම මේ ගෙය අතහැරලා යන්නේ නැහැ!"

කුහුඹි රාළගේ අලුත් ගෙය ලඟ කන්ද උඩ බීවරයෝ වේල්ලක් හදලා දිය පාර වෙනත් අතකට හරවලා. දැන් ඉතින් ඒ දියපාර කුහුඹි රාළ පදිංචි වෙලා ඉන්න අළුත් තණ පිටියට ගලන්නට යන බව කියන්ට කිසි කෙනෙක් හිටියේ නැහැ. කුහුඹි රාළ අළුත් ගේ නිසා සතුටු වුනාට හැබෑටම ඔහු වහාම එතනින් පැන දුවලා පණ බේරගන්ට ඕන කියලා, ඔහුට කියන්ට කවුරුත් එතන හිටියේ නෑ. ඔහුගේ පරණ යාළුවන් ඔහු එනතුරු ඉන්නේ නැතුව ඉක්මනින්ම ඔහු අතහැරලා ගියේ බීවරයෝ වේල්ලක් හදාපු හන්දා. මේ අනතුර කුහුඹි රාළ දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ. ඔහු ගේ අළුත් ගේ නිසා ඔහු බොහොම සතුටු වුණා. එම ගෙදර හැමදාම පදිංචි වීමට ඔහු තීරණය කළා. පරණ මකුළු දැලක් හොයාගෙන ඒක දොර රෙද්ද හැටියට දැම්මා. මකුළු දැලේ පිනි බිංදු ඉර එළියට දිලිසෙනවා.බොහොම සිනිඳු හනස්සක් සොයාගෙන ඒක අළුත් ගෙදරට ගෙනල්ලා සීත කාලෙට නිදාගන්ට උණුහුම් මෙට්ට හදාගත්තා. රෑට ගේ ඇතුළේ එළිය හිටින්ට කණාමැදිරියෙකු අල්ලාගෙන ආවා. අලුත් ගෙට ඕන කරන බඩු මුට්ටු ඔක්කොම තියනවා. කුහුඹිරාළ කල්පනා කළා ගෙට ගෙවැදීමේ උත්සවයක් පවත්වන්නට. ඉතින් දැන්වීමක් ලියල ටින් බඳුනේ ඇලෙව්වා:


හවස හය වෙනකොට දිය මැස්සෝ, ඉපියෝ, කාවෝ සාදයට ආවා. ඒ ගොල්ල බොහොම හොඳ උදවිය.

කැලෑවේ හිටිය සත්තු පුදුම වුණා: " දිය මැස්සොයි, කාවොයි, කොහෙ ගිහිල්ලද?" උන් ඇහුවා. "දිලිසෙන ටින් ගෙදර සාදයට ඒගොල්ල ගියා. අන්න ඒ ගොල්ල සින්දු කියන හැටි ඇහෙනවා." මයිනෙක් සතුන්ට පිළිතුරු දුන්නා.

හැමදෙනාටම සෑහෙන්න ඉඩ තිබුණා. තේ වතුර සහ සීනි පාන් සෑහෙන්ට තිබුණා.

අලුත් ගෙදර අයිතිකාරයා අමුත්තන්ට කෑම බීම වලින් සංග්‍රහ කළා. කුහුඹි රාළ ගේ ලොකු පුතා එළියට ගිහිල්ලා ටිකක් ඇවිදින්ට කල්පනා කරලා දොර ළඟට ගියා විතරයි ඔහු ගල් ගැහුණා. ඔහු බය වෙලා කෑ ගැහුවා: "අම්මේ, තාත්තේ! අපි සාදය පවත්වන අතර මහ ගංවතුරක් ගලලා. අපිව වට වෙලා! මහා විපතක්!"

"ගං වතුර ගලලා, පණ බේරා ගනිල්ලා!""කියලා දිය මැස්සොයි, කාවොයි ඉගිලිලා යන්ට ගියා. රසැතී කෑම බීම එහෙමම තියලා උන් පියාඹා ගියා.අපේ කුහුඹි රාළ පොඩ්ඩක් වත් බය වුණේ නැහැ. බයවෙන්ට දුක්වෙන්ට කරුණක් නැහැ. අලුත් ටින් ගෙය පාවෙනවා. හාමිනෙයි, දූලයි, පුතාලයි ගේ ඇතුළේ හොඳින් ඉන්නවා.

කුහුඹි රාළට දුක්වෙන්ට වෙලාවක් නැහැ. ඉර එළිය වැටුණු හැටියෙම කුහුඹි රාළ දිග කෝටුවක් හිටවලා රුවලක් ඒකට සවි කළා.ඔක්කෝටම ගෙදර උඩ තට්ටුවට අඬ ගහලා ගං ඉවුර දිහා හොඳින් බලන්ට නියම කළා. කෑම හොයා ගන්නට, හමුවෙන වෙනත් කුහුඹියන් සමග කතා කරලා තොරතුරු දැනගන්ට කුහුඹිරාළ වැඩ කළා.ගං ඉවුරට ලං වෙලා තමාගේ නිවාස-නැව නවත්වන්ට ඕන කඹ හොයා ගත්තා. නිවාස නැව නවත්තලා පවුලට ඕන කරන කෑම හොයාගෙන පටවා ගත්තා. කුහුඹි හමුවුණාම ගඟ දිගේ යාමට තමාගේ නිවාස-නැවට නගින්ට කියලා උන්ගෙන් ඉල්ලා හිටියා.

පුංචි ළමයි ගඟ දිහා හොඳට ඕනකමින් බලන විට, වටකුරු ටින් බඳුනක් පාවෙන හැටිදැකලා තියෙනවද? හීන් හඬින් කුහුඹි සින්දු කියන හැටි අහලා තියනවද? කුහුඹි රාළ මේ වගේ සින්දුවක් කියන හැටි ඇහුණ ළමයි ඉන්නවා:

පුත්තු මගේ වීරයෝ
වැඩට හරිම සූරයෝ
මගෙ දූවරු ලස්සනයි
වැඩට බොහොම කඩිසරයි
කුඹ හිටවා රුවල් ඇදලා
අපි යනවා නැව් නැගලා
එළව දමන දුක් කරදර
මමයි වීර කුහුඹි රාළ.


චිත්‍ර - ගෙනාදි පව්ලීෂින්
අනුවාදය - දැදිගම වී. රුද්‍රිගූ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails