ඔන්න එකෝමත් එක කාලෙක මහල්ලෙකුයි මැහැල්ලකුයි ජීවත් වුණා. ඒ දෙන්නට හිටියා මාෂා කියලා පුංචි මිනිබිරියක්.

ඉතින් දවසක් දා පුංචි මාෂාට කැලයට යන්න වුනා බිම්මල් එකතු කරන්න.

"කැලේට ගියාට නම් කමක් නෑ දුවේ. ඒත් අතරමං නොවී පරිස්සමෙන් එන්න ඕනෑ" යි කියලා මහල්ලයි මැහැල්ලයි පුංචි මාෂාට කිව්වා.

පුංචි මාෂා බිම්මල් එකතු කරමින් කැලේ ඇතුලට ගියා. ඇවිදගෙන ඇවිදගෙන යද්දි ඔන්න එයාට තේරුනා පාර මතක නැති විත්තිය. එයා පාර හොයාගෙන ඇවිදගෙන යනකොට දැක්කා ඈතින් තියෙනවා ලී වලින් හදාපු ගෙයක්. උදව්වක් ඉල්ල ගන්නට හිතලා පුංචි මාෂා ගෙදරට ඇතුළුවුණා.ඒත් ගෙදර කවුරුවත්ම පෙනෙන්න හිටියේ නෑ.

"කවුරු හරි මේ ගෙදර ඉන්නම ඕනෑ" කියලා මාෂා හිතනකොටම වාගේ මහ විසාල වලහෙක් ඈ ඉදිරියේ පෙනී සිටියා . දවසේ වැඩ ඉවර කරලා හැන්දෑවේ ගෙදර ආපු වලහට පුංචි මාෂාව දැකලා බොහොම සතුටු හිතුනා.

"දැන් නුඹ මෙහෙ ඉන්ට ඕනෑ"

"මගේ උඳුනට දර දමන්ට ඕනෑ"

" මට කැඳ හදා දෙන්ට ඕනෑ"

"ඒ විතරක් නෙමෙයි, ඒ හදාපු කැඳ මට පොවන්ට ඕනෑත් නුඹමයි"

"මං නුඹට ආපසු යන්ට දෙන්නෙ නෑ කවදාවත්" කියලා වලහා මාෂාට කියා සිටියා.

ඉතින් එදා ඉඳලා මාෂා වලහා ගේ ගෙදර ඉඳන් වැඩ සියල්ල කරන්නට පටන් ගත්තා.

වලහා උදේට කැලේට යනවා කෑම හොයන්ට. ඌ යන්ට කලින් මාෂාට මෙහෙම කියනවා:

"නුඹ කොහේවත් නොගිහින් මා එනතුරු ඉන්ට ඕනෑ. බැරිවෙලාවත් පැනලා යන්ට හැදුවොත් මා නුඹව අල්ලා ගෙනවිත් කා දමනවා!"

ඔන්න ඉතින් වලහා ගෙන් ගැලවිලා පැනලා යන විදියක් ගැන පුංචි මාෂා කල්පනා කරන්නට වුණා.හතර වටේටම මහ කැලෑව. ගෙදරයට යන පාර දන්නෙත් නෑ. ඒ නිසා පුංචි මාෂාට හුඟක් කල්පනා කරන්නට වුනා උපායක් සොයාගන්ට.

ඔන්න දවසක් දා ඇය ලොකු කේක් ගෙඩියක් පිළිස්සුවා.

"මට මගේ ආච්චියි සීයයි බලන්න යන්ට ඕනෑ. මං මේ රසම රස කේක් ගෙඩිය හැදුවෙ ඒ ගොල්ලන්ට.ඒ නිසා මට දවසක නිවාඩුවන් දෙන්න."

වලහා ගෙදර ආවාම මාෂා වලහාට කිව්වා.

"නෑ. නුඹ යන්ට ඔනෑ නෑ. මං ගෙනියන්නම් කේක් ගෙඩිය" වලහා කිව්වා.

"හරි එහෙනම් නුඹට මේ කූඩය අරින්ට තහනම්. කේක් ගෙඩිය කන්ටත් බෑ ඔන්න.කැලේ තියෙන උසම හග මුදුනට වෙලා මං බලනව නුඹ මොකද කරන්නෙ කියලා"

වලහා එකඟ වුණා කේක් කූඩයත් අරන් ආච්චියි සීයයි බලන්න යන්ට.

මාෂා කූඩයට කේක් ගෙඩි අහුරන අතරෙ වලහාට කතා කරලා කිව්වා,

"එළියේ වහිනවාද කියා බලාපන්" කියලා.

වලහා එලියට ගියා. පුංචි මාෂා කූඩය ඇතුලට රිංගලා හැංගුණා.

ඒ බව නොදන්න වලහා කූඩය කරේ තියාගෙන යන්ට ගියා.

කැලේ ඇතුලේ ඇවිදලා ඇවිදලා වලහට දැන් බොහොම මහන්සියි.

"කේක් කෑල්ලක් කාල ටිකක් විවේක ගන්න ඕනෑ" වලහා කිව්වා.

"මට නුඹව පෙනෙනවා. ඔතැනින් ඉඳගන්ටත් එපා, කේක් කන්ටත් එපා, ආච්චිටට්යි සීයටටයි ගෙනිහින් දෙන්ටයි නුඹ පොරොන්දු වුණේ." ඔන්න එතකොටම කූඩය ඇතුලේ ඉඳන් පුංචි මාෂා කෑගැහුවා.

වලහා ගස් උඩ බැලුවා. මාෂා කොහේ හරි ඉඳන් බලාගෙන ඇතියි කියා සිතූ වලහා ගම්මානයට ඇවිදගෙන ගියා.

"හනිකට දොර ඇරපල්ලා, මාෂා හදාපු කේක් ගෙඩියක් ගෙනාවා,දොර ඇරපල්ලා" යි කියලා ගම ගෙදරට ගිහින් වලහා කෑ ගැහුවා.

එකපාරටම සද්දෙන් කලබල වුණු ගමගෙදර බල්ලා වලහා දැකලා උගේ පස්සෙන් පන්නන්ට වුණා. බයවුණු වලහා කූඩය අතහැර කැලේට පැනලා දිව්වා.

ගාලගෝට්ටිය මොකද්දැයි බලන්ට එළියට දුවගෙන ආපු මහල්ලයි මැහැල්ලයි මිදුලේ වැටිලා තිබුණු කූඩය දැක්ක. කූඩය ඇරපු ගමන්ම පුංචි මාෂා කූඩයෙන් එළියට ආවා.

මහල්ලයි මැහැල්ලයි ආදරෙන් පුංචි මාෂාව තුරුලු කරගත්තා.

"ඔයා නම් හැබෑටම නුවණක්කාර කෙල්ලෙක්!" ආච්චියි සීයයි ඇයට කිව්ව.

"මාෂා ඇන්ඩ් ද බෙයාර්" හි පරිවර්තනයකි.
රුසියානු ජනකතාවක් ඇසුරිනි
පරිවර්තනය : ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails