කොස් ගහේ කොළ හැලිලා. මිදුල පුරා ම හැඩි වෙලා. උදේටත් අතු ගානවා. හවසටත් අතු ගානවා. ඒත් මිදුල හැඩි වෙනවා.

මිදුල හැඩිවෙලා තියනව දකින්න ලන්දු කැමති නැහැ. ලන්දු ඉදල අරගෙන මිදුල අතුගෑවා.

නිවිති වැලට, කරවිල වැලට, මිරිස් පාත්තියට වතුර දැම්මා.

පුංචි ළමයෙක් වුණාට ලන්දු හුඟක් වැඩ කරනවා, හරිම කඩිසරයි. මී මැස්සෙක් වගේ කඩිසරයි.

'දැන් හොඳට ම හවස්වෙලා. තව ම මල් පාත්තියට වතුර දාන්න බැරි වුණානෙ' ලන්දුට මතක් වුණා.

පුංචි ලන්දු පුංචි කළෙන් දිය ඇදලා මල් පාත්තියට දැම්මා.


පාට පාට සමනළයො පාට පාට මල් මුදුනේ වාඩිවෙලා.

'සමනළයො රෑට නිදාගන්නේ මගේ මල් පාත්තියෙ වෙන්න ඇති' ලන්දුට හිතුණා.

'ටාං... ටාං... ටාං...!'

ගල් මෝලේ ටකය වදින හඬ ලන්දුට ඇසුණා. වැඩට ගිය තාත්තා දැන් ගෙදර එන වෙලාව. ලන්දු ඒදණ්ඩ උඩට දුවලා ගියා, ඈත බැලූවා.

'මොකද තාත්තා තවමත් නැත්තෙ. කඩමණ්ඩියට ගියා ද දන්නෙ නැහැ. රෑට බතට හාල් මිරිස් තුනපහ ගේන්න' ලන්දුට හිතුණා. ලන්දු ඒදණ්ඩ උඩ වාඩි වුණා.

ඇලේ වතුරපාර ඒදණ්ඩ යටින් ගලාගෙන යනවා. ඇල කණ්ඩියෙ බෝවිටියා මල් පිපිලා හරි ම ලස්සනයි. බෝවිටියා ගෙඩි කන කුරුලූ පැටව් කියනවා සින්දු. දෙපා වතුරට දැම්මා ලන්දු.

පුංචි පුංචි මාලූ පැටව්, හරි ලස්සන මාලූ පැටව් දෙපා වටේ කැරකිකැරකි පීනනවා.

මාලූ පැටියෙකුට වත් හිංසාවක් කරන්නෙ නැහැ ලන්දු. තමන්ට වගේ ම අනුන්ටත් රිදෙන බව ඈ දන්නවා.

තාත්තා ළඟට ම ඇවිත් කතා කරන තුරු ලන්දු දැක්කෙ නැහැ.

''මං තාත්තා එනකන් බලා හිටියා.''

''මං කඩමණ්ඩියට ගියා දුව.''

තාත්තයි දුවයි ගෙදර ගියා. ''කළු ගල් කඩලා ඇඟ රිදෙනවා. හරි ම මහන්සියි'' තාත්තා කිව්වා. සීනි ටිකක් එක්කලා කහට කෝප්පයක් ලන්දු තාත්තට දුන්නා.

''රෑට බතට මොනවද හොඳ?'' තාත්තා ඇසුවා.

''කරවල හොදි උයලා පොල් සම්බෝල හදමු'' ලන්දු කිව්වා.

''අන්න හොඳයි!'' තාත්තා කිව්වා.

දැන් තාත්තයි දුවයි රෑට බත් උයන්නයි කල්පනාව.

ලන්දුගෙ අම්මා හිටියෙ නැහැ, තාත්තා විතරයි හිටියෙ. ලන්දු කුඩා කලෙදිම අම්මා නැති වුණා. තාත්තා දුව හදාවඩාගන්න හරියට දුක් වින්දා. චූටි ලන්දුවත් වඩාගෙන තාත්තා ගල් මෝලේ වැඩට ගියා. ගල් මෝල වත්තේ නා ගහක් තිබුණා. නා ගහ යට හරි හෙවණයි. නා ගහේ අත්තක එල්ලු තොටිල්ලේ ලන්දු නිදියනවා. තාත්තා ගල් කඩන ගමන් නැළවිලි ගී කිව්වා:

අතට වළලූ දෙන්ට නැතේ
පයට ගිගිරි දෙන්ට නැතේ
ඉණට හවඩි දෙන්ට නැතේ
දැනට නිදාගන්ට දුවේ

අතට කැකුළු මල් පන්දු
ඉණට පිපුණු මල් පන්දු
පයට වැටෙන පිනි බින්දු
නාඬන් හොඳ දුව ලන්දු

අම්මා කෙනෙක් වගේ තාත්තා ලන්දුව හැදුවෙ එහෙමයි. දැන් ලන්දුගෙ වයස අවුරුදු හතයි. ලන්දු පාසල් යනවා.

පාසලට අඳින්න ලන්දුට තිබුණෙ එක ම එක ගවුම යි. ඒකත් තැනින් තැන ඉරිලා. එක ම එක ගවුම වුණත් ලන්දු ඒක පිරිසිදුවට ඇන්දා.

''හැම මැස්මකට ම වඩා වටිනා මැස්ම මොකක් ද?'' ගුරුතුමිය ලන්දුගෙන් ඇහුවා.

''වටිනා මැස්ම පිරිමැස්ම'' ලන්දු උත්තර දුන්නා. ''බොහොම හොඳයි!'' ගුරුතුමිය සතුටින් කීවා.

ලන්දු තාත්තා දෙන සත පහ දහය කැටයකට එකතු කළා - ඇඳුම් ගන්න.

දවසක් දා ලන්දුගේ ගවුම වැටේ පැටලිලා ඉරුණා. ලන්දුට හරියට දුක හිතුණා. තාත්තා නූල් පොටකුයි ඉඳිකටුවකුයි අරන් ගවුම මැහුවා.

''අඬන්න එපා දුවේ... නැතිබැරිකම හිතට අරන් හොඳට ඉගෙනගන්න'' තාත්තා කිව්වා.

ලන්දු ආශාවෙන් පාසල් යනවා, ආශාවෙන් අකුරු කියවනවා, ආශාවෙන් අකුරු ලියනවා, මහන්සිවෙලා ඉගෙනගන්නවා. ඒ නිසා ලන්දුට තාත්තා ආදරෙයි. ගුරුවරුන් ආදරෙයි. කවුරුත් ආදරෙයි. දෙමව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට කීකරුවෙලා හැදෙන ළමයින්ට හැමෝම ආදරෙයි.

ලන්දු ලස්සන වුණේ ඇඳුමෙන් කැඩුමෙන් නො වෙයි, හොඳ ගතිගුණවලින්.

''කොච්චර ලස්සනට ඇන්දත් ගතිගුණ හොඳ නැති ළමයි සුවඳ නැති මල් වගෙයි!'' ගුරුතුමී දවසක් කිව්ව වචන ලන්දු නිතර ම මතක් කළා.


කතාව සහ සිතුවම කොල්වින් සෙට්ටිනායක මාමා.
පුංචි කාලයේ කියවූ කතාවක් පොඩිත්තන්ට එවන්නේ පියදසුන් මාමා.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails