රටකජු මාමා හොඳ හිත ඇත්තෙකි
ලස්සන ලස්සන සින්දු කියන්නෙකි
රටකජු කරත්තෙ සතුට පුරවලා
පුංචි හැමෝටම දෙනවා බෙදලා

බාච්චු ඇඳුමකි ඇඳලා එන්නෙ
ඊට කමක් නෑ මොකදෑ වෙන්නේ
තොප්පිය අග යස පිහාටුවක් ඇත
රටකජු මාමට හොඳම හිතක් ඇත

රටකජු කරත්තෙ සතුට පුරවලා
පාරේ දිගටම අරගෙන යනවා
සතුටු සිනාවකි මුවේ ඉතිරෙනා
සතුටු සිනාවකි ඇසේ බැබලෙනා

"උණු උණු රටකජු හරි රස රටකජු"
රටකජු මාමා බෙරිහන් දෙන්නේ
"කැමති කැමති අය හනිකට එන්නේ
රසම රටකජුයි මං විකුණන්නේ"

පාර පුරා ළමයින් දුව එන්නේ
සතුටින් අත් පුඩි හඞ නැග එන්නේ
දූවිලි අල්ලේ කාසි ගණන් කොට
රටකජු ගොටුවක් ඉල්ලා ගන්නේ

"බොහොම ඉස්තුතියි රටකජු මාමේ
රට කජු ගොටුවක් ඔතලා දෙන්නේ"

ඩොරති වයිට්ෆීල්ඩ් ලියූ "කැරිබියන් සුළඟ" කවි පොතෙනි.
පරිවර්තනය ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails