කූඹිච්චි උන්නෙ පිණි කැට වලින් බරවුනු ඊතණ පඳුරක් යට. සීතලම සීතල හෙවණක.තණපත් අගින් බේරිලා ඔන්න වැටෙන්න මෙන්න වැටෙන්න කියලා එල්ලීගෙන ඉන්න පිණි බිඳිත්තක් එක පාරටම"හී...හී..හී" ගාලා හිනාවෙන්ට පටන් ගත්තා. පුදුමයි. එයා ආයෙත් බැලුවා.

" ඇයි හිනාවුනේ?" කූඹිච්චි ඇහුවා පිනි බිංදුවෙන්. එකපාරටම කටහඩින් කලබල වුණු පිනි බිඳිත්ත තණ පත අගින් නැමිලා වට පිට බැලුව. එතකොට එයා දැක්ක කඩදාසියකුයි පෑනකුයි අතින් ගත්ත කූඹිච්චිව.

"අර, පේනවද ඉර එලිය? ඉරටු වගේ ඉර කිරණ එක එක එව එවා හෙමින් කිති කවනව මාව.. මේ බලන්න .. ..ආයෙත් .. ..හී..හී..හී... "

ඉර දිහාට ඇඟිල්ල දික්කරගෙන ඔන්න පිනි බිඳිත්ත ආයෙත් හිනාවෙන්ට පටන් ගත්ත. එතකොට කූඹිච්චි දැක්කා, උදා ඉර එළියේ දිලිහෙන පිනි බින්දු සතුටින් හිනාවෙන හැටි.

කූඹිච්චි හිතුවා ඒ ගැන කවියක් ලියන්න.

ඉර ඇවිදින් අහස උඩින්
කිරන එවයි එහෙන් මෙහෙන්
කිති කව කව හොරෙන් හොරෙන්

තණ ගොල්ලෙ නිදා ඉන්න
පිණි පොඩිත්තො ඇහැරවන්න

ලියලා ඉවරවුණු ගමන්ම කූඹිච්චි මහ හයියෙන් කෑ ගහලා කවිය කියෙවුවා, පිනි පොඩිත්තට ඇහෙන්න. ඒත් කවිය අහන්න පිනි පොඩිත්තා එතන හිටියේ නැ.

"මං මේක වෙන කාට හරි කියනවා." කූඹිච්චි එහෙම කියලා යන්ට ගියා.

යන අතරමග එක පාරටම අහස කළු කරලා වහින්ට පටන් ගත්තා. හැංගෙන්ට තැනක් හොය හොයා දුවද්දි එයා දැක්කා මහ විසාල බිම් මලක්. ඉතිං කූඹිච්චි දුවලා දුවලා ගිහින් බිම්මල යට නතර වුණා. වැස්ස පායනතුරු.

ඔන්න කූඹිච්චි උඩ බැලුවා. එතකොට එයා දැක්කෙ බිම්මල මිට බදා ගන්න වත් බැරි තරම් මහත මහා විසාල කුඩයක් බව. කුඩේ යටින් හීනියට පීත්ත පටි ඇලෙවුවා වගෙයි හරියට ඒකෙ තියෙන තැලි. ඒ විතරක් ද ඒ තැලි අස්සෙන් ඉඳහිට එබෙන දඟකාර කුරුමිණි පැංචලාත් දැක්කා. ඔන්න එතකොට කූඹ්ච්චිට හිතුනා බිම්මල ගැන කවියක් ලියන්න. ඉතින් එයා මෙහෙම ලිවුවා.

රතු කුඩ රෙද්දට
බිංදු සුදට ඉස
මහ වරුසාවට
කුඩයකි ඉහලූ

රැළි රැළි පහලට
එල්ලා හැඩකොට
කුඩ මිට මහතට
කුඩයකි ඉහලූ

හිරි පොද වැස්සට
නොතෙමී ඉන්නට
කුරුමිණි පැංච
සෙල්ලම් කරන්ට

වියළී ගිය කොල
පරඩැල් අතරින්
ඉහලට ඉහලූ
කුඩයයි බිම්මල

කූඹිච්චි කවිය ලියලා අහවර කරලා කුරුමිණි පැංචලාට කතා කලා එයාගෙ කවිය අහන්ට එන්නැයි කියල.

"අපොයි කවුද කවි අහන්නෙ, කිසි වැඩකට නැති දෙයක්. සෙල්ලම් කරනවා තරම් විනෝදයක් කොයින්ද?" තැලි අතරින් ඔළුව දැමාපූ කුරුමිණි පැංචෙක් කිවුවා. අනිත් කුරුමිණි පැංචලා මහ හයියෙන් හිනා වුනා, හරියටම ඒක අනුමත කලා වගේ.

කූඹිච්චිට දුක හිතුනා. එයාට කොච්චර දුක හිතුනද කියනවා නම් කවි කොලය හංගාගෙන මහ වැස්සෙ තෙමි තෙමීම යන්ට ගියා.

ඔන්න කූඹිච්චි කල්පනා කරමින් ඇවිදගෙන ඇවිදගෙන යනවා. එතකොටම ඇහුණෙ ගුමු ගුමුවක්.එයා වටපිට බැලුවා.ඔන්න එයා දැක්ක පැණි පිරුණු මල් ගොමුවක් සහ මල් පැණි එකතු කරන මී මැසි රංචුවක්.ඒක දුටු ගමන් කූඹිච්චිගේ දුක කොහෙන් ගියාද මංදා, එයා ආයෙත් පැන්සල අතට ගත්තා කවියක් ලියන්ට.
මල් ගොමු හරි හැඩ
හුළඟෙ නටන රඟ
මී මැසි කඩිසර
කඩි මුඩියේ වැඩ

සුවඳ ටිකෙන් ටික
හුළඟට පා කර
තව තව එන්නට
පාර කියන හැඩ

මලින් මලට පැන
මී මැසි කඩිසර
පැණි මළු එක එක
ගෙන පුරවන හැඩ

පුරවා එක වර
ගෙනයන්නැති හැඩ
ගොස් යළි යළි එන
මී මැසි කඩිසර

ඔන්න එතකොටම කූඹිච්චි දැක්කා හැකරැළි හාමිනේ බඩු මළු පොදි ගොඩක් අරන් යන හැටි.

"නැන්දෙ, නැන්දෙ, ඩිංගක් ඔහොම ඉන්න. මං අපූරු කවියක් ලිවුවා මල් ගැන. ඒක අහනවද?"

"අනේ පුංචි කූඹිච්චියේ උඹට පෙනෙන්නෙ නැතිද, මං මේ බඩු පොදි කරගහගෙන යන්නෙ බොහොම අමාරුවෙන් බව. කවි අහන්ට තියා ඩිංගක් නවතින්ට වත් මට වෙලාවක් නෑ." යි හැකරැලි හාමිනේ කිවුවා.

ඔන්න කූඹිච්චිට ආයෙත් දුක හිතුනා.

"කමක් නෑ, මං ලියූ කවි අහන්න කවුරු නැතත් ගෙදර තාත්තයි, අම්මයි, අයියලයි ඉන්නේ" එහෙම හිතලා කූඹිච්චි ගෙදර ගියා.

කූඹි ගෙදර හැමෝම වැඩ. අම්මත් වැඩ. තාත්තාත් වැඩ. අයියලාත් වැඩ.

කූඹිච්චි තාත්තා ලඟට ගියා.

"තාත්තෙ, තාත්තෙ, මේ අහන්න, මං කවියක් ලිවුවා!" කූඹිච්චි කිවුවා.

"වෙලාවක් නෑ පොඩිත්තියේ" තාත්තා කිවුවා.

දුකෙන් මූන ඇදකරගෙන කූඹිච්චි අයියලා ලඟට ගියා.

" අයියේ, අයියේ, මං කවියක් ලිවුවා. එක වතාවක් වත් ඒක අහනවද?"

"කරදර නොකර යනවා අහකට. අපිට ඔයිට වඩා වැඩ තියෙනවා කරන්ට" අයියලා කූඹිච්චිව එලවා ගත්තා.

ඊලඟට පුංචි කූඹිච්චි අම්මා ලඟට ගිහින් මෙහෙම කිවුවා.

"අම්මේ, මං කවියක් ලිවුවා. අම්මා කැමතිද ඒක අහන්න?"

"මොන කවිද ළමයෝ. හැමදේටම කලින් මේ වැඩ අහවර කරදමන්ට ඕනෑ."

"අනේ, අම්මේ" ඒ පාර කූඹිච්චි බැගෑපත් වුණා.

"ඔන්න ඕක පැත්තකට දමලා මෙහාට ඇවිත් මට ඩිංගක් උදවු වෙන්න. පස්සෙ පුළුවනි කවි කියන්ට" අම්මා එහෙම කියල දිගටම වැඩ කරන්ට පටන් ගත්තා.

ඇස් දෙකේ කඳුළු පුරෝගෙනම ලියූ කවි කරදාසිය සාකුවේ දමා ගත්තු කූඹිච්චි අම්මට උදවු වෙන්ට පටන් ගත්තා.

දවස් ගෙවුණා.කවුරු මොනවා කිවුවත් කූඹිච්චි කවි ලියන එක නම් නතර කළේ නෑ. එයා උදේ පාන්දරම අවදි වෙලා හැම තැනම ඇවිදින්ට ගියා. ලස්සන ලස්සන දේ දකින්න එයාට පුලුවන් වුනා. ලස්සන දෙවල් බලලා එයා නිකං හිටියේ නෑ. ඒ හැම දේ ගැනම කවි ලීවා. ආයෙ ගෙදර ඇවිත් අම්මට තාත්තට උ දවු කලා වැඩ කරන්ටත්.

ඔන්න දවස් ගණනක් එක දිගට වහින්ට පටන් ගත්තා. වැහැලා වැහැලා පහළ ගඟ උතුරලා පිටාර ගැලුවා. කූඹි පවුලත්, කුරුමිණි පවුලත්, හැකරැළි පවුලේ උදවියත්, තවත් අනෙත් සතුනුත් ගං වතුරෙන් බේරෙන්න විසාල ගස් මුදුනකට ගිහින් පදිංචි වුණා.

එගොල්ලො බේරුණා තමයි. ඒත් ඒ ගොල්ලො උන්නු වටපිටාවේ තිබුණු හැමදේම ගං වතුරත් එක්කම නැති වෙලා තිබුනා. තණ ගොල්ලත්, මල් ගොමුවත් මිය ගිහින්.වැඩ කරන්ට විදියක් නැ. ගෙවල් දොරවල් නැති වෙලා. යන්තමින් කෑම බීම ඩිංගක් විතරයි ඉතිරි වෙලා තිබු ණේ. ඒ නිසා හැමෝම උන්නේ කියලා නිමකරන්න බැරි තරම් දුකෙන්.

කූඹිච්චිට බලන් ඉන්ට බැරි වුණා ඒගොල්ලො දුකෙන් ඉන්න හැටි. හීන් සැරේ තමන්ගේ සාක්කුවෙන් කවි කරදාසි එළියට ගත්තු කූඹිච්චි ලියූ කවි එක එක හැමෝටම ඇහෙන්ට ගායනා කරන්න පටන් ගත්තා. ඒ කවි වල තිබුණේ ලස්සන විතරයි. ලස්සන දේවල් විතරමයි. කවි අහද්දි කාටත් නොදැනීම දුක ටිකෙන් ටික නැති වෙලා ගියා. හැමෝගෙම හිත් සතුටෙන් පිරෙන්ට පටන් ගත්තා. ආයෙත් වැඩ කරන්ට වීරිය ඇති වුණා. කාංසිය නිවිලා ගියා.

මේ තරම් ලස්සන තැන් ඇත්තටම තියේ දැයි හැමෝම ඇහුවා.

අම්මයි තාත්තයි කූඹිච්චිව ආදරෙන් තුරුළු කරගත්තා.

ඉතිං එදා ඉඳන් පුංචි කූඹිච්චිගේ කවි අහලා කාංසිය නිවා ගන්ට හැමදාම හවසට අහල පහළ හැමෝම එකතු වෙනවා කූඹි ගෙදරට.

****************
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails