කවියා සහ නපුරු රජ්ජුරුවෝ


එකමත් එක කාලෙක බොහොම අපූරු කවියෙක් හිටියා....ඔහු කවි ලිව්වෙ ගං ඉවුරක වාඩිවෙලා....මේ කවියාගේ කවි අහන හැමෝම විස්මයට පත් වෙලා

“ඕං බලමුකෝ......හරිම අපූරුයි නෙව” කියලා ඔළුව වනනවා.......ඉර හඳ ගැන අහස ගැන සුරංගනාවියො ගැන ආදරය ගැන වෛරය ගැන දුක ගැන , ලෝකයේ තියෙන හැම දෙයක් ගැනම ඔහු කවි ලියුවා.


ඒ කවි කියවද්දි හැම කෙනාගෙම හි‍ෙත් නිදාගෙන හිටිය සුරංගනාවි‍ෙයා අවදි වෙලා ගී ගයන්න පටන් ගත්තා. තම තමන්ගෙ දේවල් ගැන විතරක් හිත හිත දුක් වෙවී හිටිය මිනිස්සු ඇස් ඇරලා වට පිට බැලුවා.අනිත් අයගෙ සතුට දුක තමන්ගෙ වගේ දැනුණා. හැම කෙනාටම ලෝකය බොහොම ලස්සනට පෙනුණා. තාත්තලා රෑ කාලවල පුංචි ළමයින්ව උකුළෙ තියාගෙන තාරකා ගැන කතන්දර කිව්වා. ඒ කතන්දර ඇසුණ තාරකා හිනාවෙන විට විසිරුණ දූවිලි පිණි බිංදු වෙලා පහළට වැටිලා ළමයින්ගෙ ඇස් පිහාටු වල තැවරුණා. අම්මලා සිනිඳු මල් පෙති උඩ නිදි කරලා දරුවන්ගෙ කම්මුල් ඉඹින කොට හඳ රැස් රත්තරන් පාට සළුවක් වෙලා ඒගොල්ලන්ව පෙරෙව්වා.

මිනිස්සු මෙහෙම සතුටින් ජීවත් වෙනකොට මේ ආරංචිය කුරුල්ලන්ගෙන් මී මැස්සන්ගෙන් හංසයින්ගෙන් කටින් කටට ගිහින් රටේ රජ්ජුරුවන්ට දැනගන්න ලැබුණා. මේ රජ්ජුරුවො බොහොම නපුරුයි....මෝඩයි.... රජ්ජුරුවන්ගෙ බිසව බොහොම ලස්සනයි. බිසව නපුරු රජ්ජුරුවන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා රජ්ජුරුවො බිසවගෙ හිත දිනා ගන්න නොයෙකුත් දේවල් කළා.

රජ්ජුරුවන්ට රට පාලනය කරන්න නුවණ කියලා දෙන්නේ ගෙම්බියක්.... ඒ ගෙම්බිය ගැන රට වැසියෝ තබා බිසවවත් දැනගෙන හිටියෙ නෑ. මේ ගෙම්බියගෙ ඇඟ හැමතැනම දිය සෙවල බැඳිලා..අඳුරු වෙලා...ඇය තුන් පාරක් හයියෙන් හුස්ම ගත්තම කාමරයක් තරම් විශාල වෙනවා. හත් පාරක් හයියෙන් හුස්ම ගත්තම ගෙයක් තරම් විශාල වෙනවා. දහතුන් පාරක් හයියෙන් හුස්ම ගත්තම කන්දක් තරම් විශාල වෙනවා....

රජ්ජුරුවෝ නුවණ අහද්දි ගෙම්බිය හැමදාම තුන් පාරක් හයියෙන් හුස්ම අරන් කාමරයක් තරම් විශාල වෙලා නුවණ කියනවා. අනෙක් වෙලාවට තුන් වේලටම හරකෙක් ගිලලා රා පීප්පයක් බීලා නිදා ගන්නවා.

කවියා ගැන ආරංචි වුණ රජ්ජුරුවන්ට කවි අහන්න ආසාවක් ඇති වුණා. ඔහු වහාම අණ කළා සෙබළුන්ට ගිහින් මේ කවියාව අරගෙන එන්න කියලා. ඔන්න ඉතිං සෙබළු ගිහිල්ලා ඔහුව රජු ඉදිරියට ගෙනාවා. රජ මාළිගාවට ගෙනාපු කවියා දැන් කවියා රජ අණ පරිදි කවි කියනවා. කවි කියන්න පටන් ගත්තා විතරයි මාළිගාවේ වීණා ඉබේ වැයෙන්න පටන් ගත්තා. අහසේ වලාකුළු මාළිගාවේ කවුළු ළඟට පාවෙලා ආවා... රජ මාළිගාව හැඩ කළ රනින් වැඩ දැමූ පර්සියන් තිර රෙදි තාලයට නැළවුණා. ඇමතිවරු පුදුම වෙලා කටවල් ඇරගෙන බලාගෙන හිටියා....ඒගොල්ලෝ පැළඳගෙන හිටිය මුතු මැණික් ආභරණ දිළිසෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අරුම පුදුම දෙයක් වුණා. කවි වලින් වශී වුණ රජ බිසව ඉන්නෙ රාජ සභාවෙ බව අමතක වෙලා බොහොම ලස්සණට නටන්න පටන් ගත්තා.

මේක දැකපු රජ්ජුරුවෝ පියවි සිහියට ඇවිත් වහාම කවි කීම නවත්තන්න අණ දීලා කවියාව රජ මාළිගාවෙ නවත්ත ගත්තා.

එදා පටන් රජ්ජුරුවන්ට නින්ද යන්නෙ නෑ. ඔහුට කවි වලට බොහොම හිත ගිහින්. බිසවගෙ හිත ගන්න අපූරු වැඩක්. ඒත් ඉතිං මොනවා කරන්නද? රජ්ජුරුවන්ට කවි ලියන්න බැහැ නොවැ.....රජා කණගාටු වෙලා ගෙම්බිය ළඟට ගියා.

“රජා, මොකද නුඹ කණගාටුවෙන් ? “ගෙම්බිය ගොරහැඩි කටහඬින් ඇහුවා.

“කණගාටු නොවී කොහොමද? මුළු රටත් බිසවත් අර කවියාගේ කවි වලට වශී වෙලා....මටත් ආසයි ඒ වගේ කවි ලියන්න...කොතරම් උත්සහ කළත් බැහැ නෙව....”

“හා.... ඒකද නුඹ වද වෙන්නේ? ඕක බොහොම සුළු දෙයක් නොවැ.....” ගෙම්බිය තුන් පාරක් හයියෙන් හුස්ම අරන් කාමරයක් තරම් විසාල වෙලා මෙහෙම කීවා...
“කවියා මේ තාක් ලියපු කවි රජ වාසල මහ පොතේ ලියන්න කියාපන්....ඊට පස්සෙ නුඹ අනිත් අය ඉදිරිපිට ඒවා කියවපන්..එතකොට බිසවත් රට වැසියොත් නුඹට වශී වේවි .”

රජ්ජුරුවෝ සැනසිලා කවියාගේ කවි රජ වාසල පොතේ ලියන්න කියලා අණ කළා... කවියා රජ අණ පිළිපැදලා රෑ සීයක් දවල් සීයක් මහන්සි වෙලා ජීවිත කාලෙම ලියපු කවි ඒ මහ පොතේ ලිව්වා.

රජ්ජුරුවෝ සතුටු වෙලා කවියාට මෙහෙම කිව්වා.

“බොහොම අගෙයි, දැන් නුඹ විවේක ගනින්....මම මේ කවි කියලා බිසවගේ ආදරය ලබන්නම්...”
කවියා යටහත් පහත්ව රජ්ජුරුවන්ට මෙහෙම කියනවා...

“ අවසර රජතුමනි, ඔබතුමා මේ කවි කියවද්දි අඳින්න ඕනේ සාමාන්‍ය මිනිහෙකු අඳින ඇඳුම්....රාජ වස්ත්‍රාභරණ වලින් සැරසිලා කිව්‍වොත් අමිහිරි ගොර ගොර හඬක් තමා පිට වෙන්නේ......එතකොට අහන් ඉන්න අය බියපත් වේවි.....”

රජා කෝප වුණා....

“නුඹේ කාරිය දැන් අහවරයි.....මට උපදෙස් දෙන්ට එනවද?”

නපුරු රජා කවියාව හිරගෙට දාලා විලංගු දැම්මා....

ඔන්න ඉතිං රජා බොහොම ලස්සන රාජ වස්ත්‍රාභරණ වලින් සැරසිලා ඇමති මණ්ඩලය, නගරයේ සෙනග, බිසව හැමෝම කැඳවලා ආඩම්බරයෙන් සිංහාසනයේ වාඩි වෙල‍ා තමන් ලිව්වා වගේ කවි කියවන්න පටන් ගත්තා.

රජු කට ඇරියා විතරයි මහ ගොර බිරම් රකුසෙකුගේ හඬක් නික්මෙන්න පටන් ගත්තා.... ඒ හඬ කොතරම් භයංකරද කියනවානම් රජ බිසව සිහි නැතිව වැටුණා.....ඇමතිලා, මිනිස්සු බයේ පැනලා දිව්වා....

ඉතිං මොනවා කරන්නද? රජා මුලින් කෝප වෙලා පස්සේ කණගාටු වෙලා ගෙම්බිය ළඟට ගියා.....
 “මොකද නුඹ ආයෙත් කණගාටුවෙන්?” ගෙම්බිය ඇහුවා...

“කණගාටු නොවී කොහොමද? කවි කියන්න පටන් ගත්තා විතරයි බිසව සිහි නැතිව වැටුණා.....ඇමතිලා බයේ පැනලා දිව්වා....”

මේක අහපු ගෙම්බිය කවදාවත් නොකළ දෙයක් කළා. ඇය හත් පාරක් හුස්ම අරන් ගෙයක් තරම් විසාල උනා....ඊට පස්සේ මෙහෙම කිව්වා....

“නුඹ කවියාට කියාපන් ලෝකේ මෙතෙක් කවුරුවත් ලියලා නැති ලස්සනම කවිය ලියන්න කියලා....ඊට පස්සේ ඒක නුඹ ලිව්වා වගේ ගයපන්..එතකොට මුළු ලෝකයම නුඹට වශී වේවි...”

ඔන්න ඉතිං රජා ගෙම්බියට හිස නවලා කවියා විලංගු දමා ඉන්න කුටියට ගියා. ඒ කුටිය බොහොම අඳුරුයි.....මුස්පේන්තුයි....ඒක ඇතුළේ ලොකු මීයො දුවනවා....බස්සො බය හිතෙන විදිහට නාද කරනවා.... කවියා හාමතේ, අසරණව දිගා වෙලා ඉන්නවා.....

රජතුමාව දුටු කවියා අමාරුවෙන් ඔළුව ඉස්සුවා....

නපුරු රජා එතකොට මෙහෙම කියනවා....

“නුඹට මෙතැනින් නිදහස් වෙන්න ඕනෑ නම් මා අණ කරන දේ කරපන්.... නුඹ ලියාපන් ලෝකේ මෙතෙක් කවුරුවත් ලියලා නැති ලස්සනම කවිය ......”

කවියා බොහොම බය වෙලා උත්තර දෙනවා....

“අනේ රජතුමනි, එහෙම කවියක් ගැන මම අහලා නෑ....”

“නුඹ මාව රවටන්න හදනවද? දින තුනක් ඇතුළත කවිය නොලිව්වොත් මම නුඹේ හිස ගසා දමන්න අණ කරනවා.....” රජා මෙහෙම කියලා යන්න ගියා..

කවියා බොහොම දුකෙන් සුසුම් හෙළනවා...මේ විදිහට එළි වෙලා රෑ වෙලා , එළි වෙලා රෑ වෙලා අන්තිම දවසට රෑ වුණා.... කවියා තවම රජු ඉල්ලූ කොහෙවත් නැති කවිය ලියලා නෑ....ඔහු එහෙම කවියක් දන්නෙ නෑ...ඔහු වේදනාවෙන් වැළපුණා.....අන්ධකාර කුටිය තුළ ඔහුගෙ කඳුළු දිළිසුණා....ඒ කඳුළු පොළොවට වැටිලා පොළොව කඳුලින් සීතල වෙලා සිර කුටියෙ බිත්ති වෙව්ලුවා....

ඔන්න එතකොටම අන්ධකාරය ආලෝකය බවට හැරුණා... සිර කුටියෙ බිත්ති සුදුම සුදු පාට වුණා.... කවියා බැඳ දමා තිබූ විලංගු ඉබේම ගැලවිලා වැටුණා... සිර කුටියෙ බිත්තියක අපූරු කවුළුවක් මැවුණා. ඒ කවුළුවෙන් තමයි අර සුදුම සුදු එළිය ගලා ගෙන ආවෙ... ඒ කවුළුව මත කවියා මෙතෙක් සිහිනයෙන් විතරක් දුටු , ඔහුගෙ හැම කවියටම ගඟ ළඟදි රිද්මය දුන්න පුංචි කිරිල්ලිය බබළමින් හිටියා....ඇගේ ඇස් වලින් ආදරය උල්පතකින් වගේ ගලා හැළුණා... කිරිල්ලිය හෙම්න් සැරේ පියාඹලා ඇවිත් කවියාගේ උරහිස මත වහලා රහසක් කිව්වා...ඒ කටහඬ කිරිල්ලියකගෙ නෙවෙයි...මිනිහෙකුගෙත් නෙවෙයි....සුරංගනාවියන්ට විතරයි එහෙම කටහඬක් තියෙන්න පුළුවන්.....


කිරිල්ලිය කියූ දේ අහගෙන හිටිය කවියාගෙ ඇස් සතුටින් දිළිසුණා....

ඔන්න ඉන් පසුව සියල්ල නිහඬ වුණා... කවුළුවත් ආලෝකයත් කිරිල්ලියත් අතුරුදහන් වුණා...කවියා නින්දට වැටුණා....
පහුවදාට ඉර පහන් වුණාම නපුරු රජා සිර කුටියට ආවා.

“කෝ නුඹ ලියූ කවිය? “ රජා ගර්ජනා කළා.

ඔන්න එතකොට කවියා කියනවා, “රජතුමනි ඒක මෙහෙම කියන්න බෑ

“කියන්න බෑ? නොකිව්වොත් මම නුඹේ හිස ගසා දමනවා....” නපුරු රජා කෝපයෙන් කෑ ගැසුවා...

“මාව නගරයේ උසම තැනට අරගෙන යන්න...එතැනදි තමයි කවිය කියන්න පුළුවන්...”

රජාට කේන්තියි...නමුත් මොනවා කරන්නද? කොහොම වුණත් කවිය අහගන්න ඕනේ. ඒ නිසා අණ දුන්නා කවියාවත් තමන්වත් නගරයේ උසම කඳු මුදුනට අරන් යන්න. ඒ කඳු මුදුන නිතරම මීදුමින් වැහිලා....වලාකුළු නැවතිලා ගිමන් හරින්නේ මේ කඳු මුදුනේ තමයි....

දැන් කවියාත් රජතුමාත් තනිවම කඳු මුදුනේ...... රජතුමා හරි බරි ගැහුණා කවිය අහන්න. කඳු මුදුන සීතලම සීතලයි. කවියා නැගිට්ටා. ඔහුට පහතින් මුළු නගරයම පිණි රැඳුණු මකුළු දැලක් එලපු ලස්සන චිත්‍රයක් වගේ පෙනුණා... කවියා කවිය කියන්න මුව විවර කළා විතරයි ඔහු දිහා බලපු රජු වෙව්ලන්න පටන් ගත්තා. කවියාගේ මුහුණ ප්‍රභාමත් වෙලා...හරියට ඉර පායලා වගේ. ඔහුව සුදු පාට ආලෝකයකින් වැහිලා. ඔන්න ඔහු කවිය මුමුණනවා. ඒත් හරිම පුදුමයක්....ඒ කවියෙ වචන රජුට තේරෙන්නේ නෑ.

ඒ කවිය කාගෙවත් කණට ඇහුණෙ නෑ. ඒ වචන කාටවත් තේරුණේ නෑ. ඒත් මුළු ලෝකෙටම දැනුනා. ඉර රශ්මිය සිසිල් වුණා... මල් වල පාට වැඩි වුණා. සුළඟ ඒ පාට අරගෙන අහසේ දේදුන්නක් ඇන්දා. මුහුදු පතුලේ මුතු බෙල්ලෝ දිග හැරිලා මුතු ඇට වෙරළට ආවා. වලාකුළු හිනාවුණා....හිනා වෙද්දි වැටුණු පිණි බිංදු පුංච් දරුවන්ගේ මුහුණු මත වැට්ලා දිළිසුණා. එතකොට දරුවන්ගෙ මුහුණුවල පිපුණු හිනාව දැකලා සමණල්ලු නැටුවා.

කවියා නිහඬව කන්දෙන් බැස ආවා. රජ්ජුරුවෝ මොනවත් හිතා ගන්න බැරුව මාළිගාවට ගියා. රජාට පුදුමයි. ඔහුට කවිය මතකයි... වචන මතක නැහැ. රජා ගෙම්බිය ළඟට ගියා. නපුරු රජා කවියාව මරන්න නුවණ ඉල්ලුවා. මේ තාක් ගෙම්බියගේ නුවණ වැරදිලා තිබුණේ නෑ. ඒත් මේ පාර වැරදුණ නිසා ගෙම්බිය හිටියේ කේන්තියෙන්. ගෙම්බිය තුන් පාරක් , හත් පාරක් , දහතුන් පාරක් හයියෙන් හුස්ම අරන් මාළිගාව තරමට විසාල වුණා. එතකොට බිත්ති පුපුරලා කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. මේක දැකපු අය මාළිගාවෙන් එළියට දුවලා බේරුණා. නපුරු රජාත් ගෙම්බියත් රන් රිදියෙන් හදපු මාළිගාවට යට වෙලා මැරුණා. ඔන්න ඔය විදිහට මිනිස්සු නපුරු රජාගෙන් නිදහස් වුණා.
මිනිස්සු බොහොම සතුටු වෙලා කවියාට මෙහෙම කිව්වා.

“නුඹ තමයි නුවණක්කාරයා...නුඹ රජකම බාර ගනින්.”

කවියා ඒකට අකමැති වෙලා නිහතමානීව ඔළුව වනලා සුපුරුදු ගං ඉවුරට ගියා කවි ලියන්න. ඒ ගං ඉවුරෙදි ඔහුට ඔහුගෙ සුන්දර මනාලිය හමුවුණා. ඇය බොහොම මිහිරට ගී ගැයුවා. ඒ ගීතවල තාලය ඉස්සරම ඉස්සර ඒ ඉවුරෙන් ඇසුණ කිරිල්ලියගේ නාදයට සමාන බවයි මිනිස්සු කීවේ. තවමත් කවියා ඒ ගං ඉවුරේ ඉඳගෙන පෙරටත් වඩා ලස්සන කවි ලියනවා. ඔහුගේ ආදරිය ඔහු ළඟට වී ඒවා ගයනවා. ඒවා ඇහෙන තාරකා බිමට ඇවිත් මහ පොළොව සිප ගන්නවා..... එතකොට අහස පොළොව ආදරයෙන් පිරෙනවා.........

 
ලිව්වේ :වසිලිස්සා
චිත්‍ර ඇන්දේ : නම නොකියූ සුරංගනාවියක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails