පුංචි වාන්යා ඉරිදා උදේම දහම් පාසල් ගිහින් ගෙදර එමින් හිටියේ එයාගේ අම්මත් එක්ක.හරියටම පුංචි වාන්යලාගේ ගෙදරට හැරෙන තැන පාරේ වංගුවේ තියෙනව බෝක්කුව ක්. බෝක්කුව අයිනේ තිබුණා දම් පාට මල් පිරිච්ච බලු නගුට මල් පඳුරක්. එක පාරටම එතැනින් මතුවුනු පුංචි සතෙක් පාර හරහා වැනි වැනී දුවනවා පුංචි වාන්යා දැක්කා. ඒත් එක්කම වගේ වේගයෙන් ආපු මෝටර් බයිසිකලයක් සද්දෙන් තිරිංග තද කලා.

"දෙයියනේ, පූස් පැටියෙක්" පුංචි වාන්යාට කියවුණා. පොත් මිටිය අම්මට දුන්නු වාන්යා දුවලා ගිහින් ඌව වඩා ගත්තා.සුදුම සුදු පාට පුංචිම පුංචි පූසි පැටියෙක්. ඌට තවම හරියට ඇවිදින්න වත් බැහැ. මල් පඳුරෙන් වැටුණු පිනි වලින් හොඳටෝම තෙමිලා.ඒ විතරක්නම් මදැයි, ඌ උන්නේ හොඳටෝම බයවෙලා.

"බලන්න අම්මේ තාම ඇස් අරලත් නැහැ වගේ හරියට. කවුරුහරි පාරට ගෙනත් දාලා ගිහින්. අපි මෙයාව ගෙදර ගෙනියමු" වාන්යා අම්මට කිව්වා.

"තියන්න තියන්න ඌව බිමින්. ගෙදරට ගේනව එහෙම නෙමෙයි ඔන්න" අම්මා පුංචි වාන්යාට තරවටු කලා.

"පව් අම්මේ" වාන්යා බැගෑපත් වුණා.

"පූසාව බිමින් තියලා එන්නයි කිවුවේ" අම්මා තරහින් යන්න ගියා.

පූසි පැටියාව හෙමින් බිමින් තිබ්බ වාන්යා අම්මගේ පස්සෙන් ගියා.

වාන්යා හිටියෙ දුකෙන්. පූසි පැටියාට බඩගිනි ඇති හොඳටෝම. වාන්යා කෑම කන අතරේ හිතුවා. අම්ම නැතුව අඬනවා ඇති. පාඩම් කරන අතරෙ හිතුවා.අනේ ඌ ට නිදාගන්නවත් තැනක් නෑ.වාහනයකට හැප්පුනොත්. ඔන්න පුංචි වාන්යාගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ඇස් දෙකට කඳුළු පිරුණා. ඊළඟට කළේ පාඩම් පොත පැත්තකින් තියලා හෙමින්ම ගිහින් අම්මගේ කාමරේට එබුන එක. අම්මා හොඳටම නිදි. වාන්යා කුරුල්ලෙක් වගේ ඉගිල්ලුණා අත්තම්මා ලඟට.

"අත්තමෙ, අත්තම්මෙ මට බඩගිනියි.කිරි ටිකක් හදලා දෙනවද?"

"කාලා අත ගත්තා විතරයි නෙ මගෙ පුතේ. හා හරි මං හදලා දෙන්නං කො." අත්තම්මා කිවුවා.

ඊළඟට වාන්යා කළේ කුරුල්ලෙක් වගේ ආයෙත් වේගයෙන් පියාඹගෙන ඉස්ටෝරු කාමරයට ගිය එකයි. එතනින් පරණ කාඩ්බෝඩ් පෙට්ටියකුයි රෙදි කෑල්ලකුයි වාන්යා ට හම්බ වුණා.

සද්දෙ නෑහෙන්න හෙමින් දොර ඇරගත්තු වාන්යා ආයෙත් කුරුල්ලෙක් වගේ පියාඹගෙන ගියා ගෙදර පාරට හැරෙන තැන වංගුවේ බෝක්කුව ලඟට. ඒත් පූසි පැටියා පෙනෙන්න නෑ.

පාරෙත් නෑ. මල් පඳුර යටත් නෑ. එතකොටම වාගේ බෝක්කුව යටින් ඇහුණා "ඤාව්...ඤාව්" කියන හඞක්. වේන්යා බෝක්කුව ඇතුලට එබිලා බැලුවා. මෙන්න පූසි පැටියා ඉන්නවා වාන්යා දිහා බලාගෙන.

හෙමින් සීරුවේ පූසි පැටියාව අරගෙන වාන්යා ඌට කිරි බොන්න දුන්නා. ඊළඟට ගෙනා කාඩ්බෝඩ් පෙට්ටියට රෙදි කෑල්ල අතුරලා උණුසුමට ගුලි කරල පූසි පැටියාව පෙට්ට්ය ඇතුලෙන් තිබ්බා. ඊලඟට පෙට්ටිය බෝක්කුව යටින් තියලා වාන්යා ගියා. ඒත් ඩිංගක් දුර යද්දි ආයෙත් එයාට හිතුනා,

" අද රෑට වැස්සොත් ...ගහගෙන යයි වතුර පාරට"

ආයෙත් දුවගෙන ආපු පුංචි වාන්යා එතැන තිබුණු තරමක් ලොකු කලුගලක් බෝක්කුව යටින් තියලා පූසි පැටියා දැමු පෙට්ටිය ඒක උඩින් තිබ්බා.

"දැන් ඔයාට පරිස්සමින් ඉන්න පුළුවන් පැටියෝ. මං හෙට ඔයාව බලන්න එනතුරු පරිස්සමින් ඉන්න ඕනෙ"

එහෙම කියලා වාන්යා ආයෙත් කුරුල්ලෙක් වගේ පියාඹගෙන ගෙදර ගියා.

"කවුදෝ මන්දා පූස් පැටියට ඉන්න පෙට්ටියකුයි රෙදි කෑල්ලකුයි ගෙනත් තියලා" පහුවෙනිදා රෑ කෑම කන අතර තුරේ අම්මා තාත්තාට කියනවා වාන්යා ට ඇහුණා.

"පව්, ඌත් පොඩි දරුවෙක් වගෙ තමයි ඉතිං. කවුරු උනත් කරල තියෙන්නෙ හොඳ වැඩක්." තාත්තා කිව්වා.

පුංචි වාන්යා සද්ද නැතුව හිටියා, හරියටම එයා මොකුත් දන්නෙ නැති ගානට.

" ඔයා නම් පුළුං බෝලයක්" ඔන්න ඉතිං දවසක් වාන්යා පූසි පැටියාව සුරතල් කරමින් කිව්වා.

පූසි පැටියත් ඒකට කැමැත්තෙන් වාගේ "ඤාව්..ඤාව්" කිව්වා. ඉතිං එදා ඉඳලා වාන්යා එයාට නම තිබ්බා "චූටි පුළුං" කියලා.

කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. චූටි පුළුං ට වාන්යා ත් වාන්යා ට චූටි පුළුනුත් නැතුව බෑ. ඒ දෙන්නා හරිම යාළුයි. වාන්යා උදේට කිරිත් විස්කෝතුත් අරගෙන එනව පුළුංට. චූටි පුළුං ඉන්නවා මග බලාගෙන පුරු පුරු ගගා පුංචි වාන්යා ගේ කකුල් දෙක වටේ කැරකි කැරකි ආදරේ කරන්න. වාන්යා ඉස්කෝලෙ ගිහින් එනතුරු සෙල්ලම් කරන්න.

කාලය ගෙවී ගෙන ගෙවී ගෙන ගියා.

වෙනදා වගේම පාසල් ඇරිලා වාන්යා දුවගෙන ආවේ පුළුංව බලන්න. සෙල්ලම් කරන්න. එයාගේ හොඳම යාළුවගේ උපන්දිනෙට ලැබුනු කේක් කෑල්ලෙනුත් බාගයක් අරගෙන.

ඒත් පුළුං පෙනෙන්න හිටියේ නෑ.

"චූටි පුළුං එන්න, මං ආවා" වාන්යා පුළුංට කතා කලා. ඒත් පුළුංගෙන් කිසිම සද්දයක් නෑ. පාරෙත් නෑ. මල්පඳුර යටත් නෑ. බෝක්කුව ඇතුලෙත් නෑ.

"චූටි පුළුං......චූටි පුළුං" වේන්යා ආයෙත් කතා කලා.

"පුතේ කාවද ඔය හැටි හොයන්නෙ?" උඩහ ගෙදර ලොකු සීයා වාන්යා ගෙන් ඇහුවා.

"පූසි පැටියව සීයේ... එයා උදේ උන්න මෙතන. දැන් නෑ නෙ.. කොහෙ ගිහිං ද මංදා"

" සුදු පූසෙක් නම් පහල පාර අයිනෙ වාහනෙක හැපිල මැරිලා උන්න" ලොකු සීයා කිවුවා.

වාන්යා ගෙ අතින් ගිලිහිලා කේක් කෑල්ල බිම වැටුණා. ඇස් දෙක කඳුළු වලින් පිරුණා. පුංචි වාන්යා ගෙදර දුවලා ගියා.

" අම්මේ, අම්මේ පුළුං නැති වෙලා" වාන්යා හොඳටෝම ඇඩුවා. අඞලා අඞලා කන්නෙත් නැතුවම නින්දට ගියා.

අම්මට දුක හිතුනා හුඟක්.

"මේ දරුවා මේ පූස් පැටියට මේ හැටි ආදරෙ කරන බවක් මං දැනං හිටියේ නෑ"

" ඔයා නොදන්නවට මං දැනං උන්නා දෙන්නගේ යාලුකම කොච්චරද කියලා" අත්තම්මා කිවුවා.

පහු වෙනිදා උදේ වාන්යා ට ඉස්කෝලෙ යන්න බෑ කියලා එයා ඇඩුව ආයෙත්.

"මං පුතාට වෙන පූස් පැටියෙක් ගෙනත් දෙන්නම් කො" බැරිම තැන තාත්තා පුංචි වාන්යා ට පොරොන්දු වුණා.

"ඒත් එයා පුළුන් වගේ වෙන එකක් නෑ. " වාන්යා එහෙම හිතුවා..

හැමතැනක් ම පාළුයි. බෝක්කුවත්. මල් පඳුරත්. පාරත්. පුංචි වාන්යා ගේ ඇස් වලට කඳුලු පිරුණා. බෝක්කුව පහු කරද්දි කොච්චර දුක හිතුනද කියනවා නම් එයා බෝක්කුව ලඟ දණ ගහ ගෙන අත් දෙකෙන් මූණ වහගෙන හොඳටෝම ඇඩුවා.

"අනේ, පුළුං ආයෙත් එන්න"

එකපාරටම ඈතින් ඇහුණා "ඤාව්...ඤාව්" හඞක්. වාන්යා ඔලුව උස්සලා බැලුවා.

"චූටි පුළුං" පුංචි වාන්යා සතුටින් කෑ ගැහුවා.

පුළුං ආයෙත් ඇවිත්. හරියට හීනයක් වගේ.

පුළුනුත් වෙනදා වගේම දුවගෙන ආව. ඒත් හෙමින්. කකුලක් ඇද ඇද. පුළුංට තුවාල වෙලා.

පුළුං ලඟට දුවගෙන ගිය වාන්යා ඌව අරගෙන ආදරෙන් තුරුළු කර ගත්තා. පුළුනුත් පුරු පුරු ගාමින් පුංචි වාන්යා ට තව තවත් තුරුලු වුණා.

ලිව්වේ - රුවන්මලී නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails