පරණ ගෙදරක බිම් ගෙයක් ඇතුලේ කවුරුත් නැති පාළු තැනක ජීවත් වුනා මකුළුවෙක්. එයාගේ නම තමයි "වියනරාළ". බිම් ගෙයි අඳුරු මුල්ලක තමයි එයාගේ දැල වියලා තිබුනේ. එයා උන්නෙ හැමෝම අත් ඇරල දාපු වටපිටාව බොහොම අපිරිසිදු තැනක උනත් වියන රාළ බොහොම පිරිසිදු කෙනෙක්.හැම උදේකම එයා නැගිටලා ඉස්සෙල්ලම කරන්නෙ දැලට යොදලා තියෙන ගැට එකින් එක ආයෙත් තද කරන එක.ඊළඟට කරන්නෙ හිස මුදු නේ ඉඳලා කොණ්ඩය පනාවකින් කෙලින් කරලා පීරා ගන්න එක. ඊටත් පස්සෙ ඇති තරම් ගල් අඟුරු ගොඩකට පැනලා හොඳහැටි නාගන්න වියන රාළ කරන්නෙ එයාගෙ ඇඟ ලස්සනට කලුවට තියා ගන්න එක. වියන රාළ උන්නෙ තනියෙන් උනත් එයාගේ ජීවිතෙ කිසිම කරදරයක් නැතිව සාමයෙන් සතුටින් ගෙවුණා.
අඳුරු බිම්ගෙයි පුංචි කවුළුව ඇතුළෙන් රිංගා ගත්තු ආගන්තුක සුළං රැළක් ඉඳහිට හමාගෙන ගියා. සුළං රැල ආවේ මකුළු දැල නටව නටවා. ඒකේ තියෙන හීනි නූල් එක එක සොලවමින්.වෙලාවකට හුළඟේ නටන මකුළු දැල මිහිරි සංගීත භාණ්ඩයක් වගෙ.දැලේ හීන් කෙඳිති එක එක නාද වෙන්නෙ හරියටම සිල්ක් නූල් වගෙ.මේ එක නැටුමක් වත්, සංගීතයක් වත්, සෙල්ලමක් වත් වියනරාළට නම් කිසිම වැඩක් ඇති දේවල් වුණෙ නැ. හුළඟ හමනවට වත් ඒකෙන් දැල නැටවෙනවාටවත් වියන රාළ නම් පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ. මොකද හුළඟ හැම වෙලාවෙම කරන්නෙ එයාගේ දැලේ ගැට එක එක බුරුල් කරන එකයි.

ඔන්න හුළං හමද්දිම වියනරාළට එතකොට තරහ යනවා. එතකොට වියනරාළ එහාට පනිනවා. මෙහාට පනිනවා. එයාගේ පුංචි ඇඟිලා දික්කර කර තරවටු කරනවා. නන්නාඳුනන හුළඟටකට ඇවිත් එයා යස අපූරුවට වියපු ලස්සනම ලස්සන දැලේ ගැට එක එක බුරුල් කරලා යන්න ඉඩ දෙන්න වියන රාළට කොහෙත්ම බෑ.ඉතිං එයා බොහොම අමාරුවෙන් තරහින් බලාගෙන ඉන්නේ හුළඟ විගහින් නවතින තුරු. එයාගෙ දැලේ බුරුල් වුණු ගැට එක එක ආයෙත් තද කරන්න.
මේ කේන්තිකාර වියනරාළ හුඟාරියක් සතුටට පත් වෙන දෙයක් තියෙනවා නම්, ඒ තමයි පාර වැරදුණු ගෙමැස්සො හරි පුංචි පහේ පියාපත් තියෙන කුරුමිණියො හරි එයාගේ දැලේ පැටලිලා ඉන්න එක.ඊට පස්සෙ එයා උන්ව හෙමින් හෙමින් නූල් වලින් ඔතලා ඔතලා තමයි කෑමට ගන්නේ.ඉතිං ඊලඟට රසවත් කෑම වේලකින් පස්සෙ වියනරාළ ආයෙත් කරන්නෙ එයාගේ දැල හදන එක. බුරුල් වුනු ගැට තද කරන එක.කැඩුණු නූල් එක එක ආයෙත් අමුණන එක.
ඔන්න එක වැහි දවසක, දවාලක වියන රාළට හිතුනා බිම්ගෙය ඇතුලෙ පොඩි සවාරියක් යන්ට. සවාරියක් යන්ට කිව්වෙ පොඩි පහේ ගමනක් යන්ට.ගල් අඟුරු කන්ද උඩින් ඇවිදගෙන ගිය වියන රාල එතනම තියෙන පරණ බාල්දියක් උඩට ගොඩ වුණා. එතනින් ලී වලින් හදාපු පුංචි පෙට්ටගමක් උඩට බඩ ගෑවා.බාගෙට ඇරිලා තිබුනු පෙට්ටියෙ පියන ඉහල පහල ගියේ හරියට වියන රාලට "එන්න..එන්න" කියලා අඞගහනවා වගෙයි.පෙට්ටිය ඇතුලට බඩ ගාගෙන යද්දිම වියන රාළට තේරුණා මේකෙන් පස්සෙ එයා මුහුණ දෙන්න යන්න හැම දෙයකින්ම වියන රාළගේ ජීවිතේ වෙනස් වෙන්ටයි යන්නෙ කියලා.

ඉතිං ඔන්න ඒ වගේම, පෙට්ටිය ඇතුලෙදි වියන රාළට හමුවුණා අපූරු දේවල් ගොඩක්. එක එක තරමේ ඉඳිකටු, පාට පාට නූල් රෝද, මහනකොට ඇඟිලි වල ඉඳිකටු ඇනෙනවට පළඳින දිදාල, එතකොට ලී වලින් හදාපු ගොතන කටු. ඒ විතරක් ද, පරණ වෙලා මලකඩ කාපු කතුරු පොඩියකුත් නුල් වලින් ගොතපු රේන්ද පොඩියකුත් හමුවුණා.
මේ අරුම පුදුම දේවල් දැකලා වියන රාළ පුදුමෙන් පුදුමෙට පත් වුණා.ඒ හැම දේ ගැනම වියන රාළට ආසාවක් ඇති වුනා. ආසාව කොච්චරද කියනවා නම් ඒවා කරදර ඇති කරයිද නැද්ද කියලා හිතන එකයි ඒවයින් පරිස්සම් වෙන විදියයි වියන රාළට එහෙම පිටින්ම අමතක වෙලා ගියා. මේ අරුම පුදුම දේවල් දැන ගැනීමෙ ආසාවෙන්ම වියන රාල කළේ පෙට්ටියේ එහාට පැන පැන මෙහාට පැන පැන හැම අස්සකම මුල්ලකම ඇවිද ඇවිද ඒ වායේ හැඩ බලපු එකයි.


ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ගිහින් වියන රාල ඊලඟට අඩිය තිබ්බේ හිතාගන්න වත් බැරිතරම් අපිරිසිදු, පාට පාට අප්පිරියා හිතෙන මොකක්දෝ දෙයක් උඩට. ලිස්සාගෙන ගිය වියන රාළ හරියටම ඇදගෙන වැටුනේ ඒක උඩට.ඒක හරියටම උගුලක් වගේ. වියන රාල එයාගේ අත් කකුල් එහාට මෙහාට හරව හරවා ගැලවෙන්න හදන්න හදන්න ඒ නූල් එක එක පණ තියෙනවා වාගේ ඇවිත් වියන රාළගේ ඇඟ වටේට එතීගෙන එතීගෙන ගියා. බය වෙච්ච වියන රාල ඇස් දෙක පියා ගත්තා. එතකොට එයාට හිතුනේ අඳුරු බිම්ගේ ඇතුලෙ ඉන්න රාස්සයෙක් එක්ක එයා රන්ඩු කරනවා වගේ.වියනරාළ දඟලන්න දඟලන්න තව තවත් ඒකෙ පැටළුනා.හරියටම වියනරාලට දනුනේ එයාගේ දැලෙ පැටළුනු ගෙමැස්සෙකුට වගේ එයාටත් කිසිම විදියකින් බේරිල්ලක් නැහැයි කියලා.

"අනේ, මට උදව්කරන්න කවුරුත් නැද්දෝ?" වියනරාළ කෑගැහුවා. වියන රාළගේ කෑගැහිල්ල අඳුරු බිම් ගේ ඇතුලෙ හැම තැනකම පැතිරිලා ගියා. කවුරු උදව් කරන්නද අසරණ වියනරාළට? එකපාරටම හයියෙන් හුළඟක් පෙට්ටිය ලඟින් හමාගෙන ගියා.අපෙ ඇහැට වත් නොපෙනෙන හුලඟේ ශක්තිමත් අත් වලින් නූල් රාස්සයව හොලවලා හොලවලා ගලවලා බිම දැම්මා.හුස්ම ගන්නවත් බැරි තරමට බෙල්ල ලඟට හිර වෙලා තිබුණු නූල් එක එක හැම පැත්තටම විසිරිලා ගියා.නූල් කෑලි දෙකක් විතරක් වියනරාළගේ ඔලුවෙයි ඇඟෙයි ඉතිරි වෙලා තිබුනා. හරි පුදුමයි! දැන් නම් ඒවා පෙනෙන්නේ රාස්සයෙක් වගේ නෙමෙයි. ලස්සනම ලස්සන සැරසිල්ලක් විදියට.අන්තිමේදි වියනරාළ බේරුණා. වියන රාළට හිනා වෙවී හුළං රැල පෙට්ටිය ඇතුලෙ ඉඳන් ආයෙත් එළියට හමාගෙන ගියා.

"හුඟක් ස්තුතියි මගෙ යාලුවේ!" වියන රාළ හුළඟට කෑ ගහලා කිව්වා.
ආයෙත් සැරයක් වියන රාළ විතරක් තනි වුනා. එයා පුදුමයෙන් වට පිට බැලුවා.හැම පාටකම හැම තරමකම නූල් එයාව වට කරගෙන උන්නෙ.අක්වක් ඇති රතු පාටින්ද, රැළි තියෙන කොලපාටින්ද,බිංදු ඉහුනු කහ පාටින්ද, තනි අළු පාටින්ද, ඇඹරුම් අති නිල් පාටින්ද නූල් එතන තිබුනා.වියනරාල රාස්සයෙක් කියලා රැවටුණේ නූල් රොදකට.එයාගේ හිතට පුංචි පහේ සතුටක් ඇති වුණා. ඊලඟට වියනරාළ කලේ ඔක්කොම නූල් ටික එකතු කරගෙන එකින් එක එයාගේ පුංචි අත් වලින් වියන්න පටන් ගත්ත එකයි.
වැඩි වෙලාවක් යන්නටත් කලින් ඉතිරි වුණු පාට පාට නූල් කෑලි වලින් සැරසූ ලස්සනම ලස්සන දැලක් වියාගන්ට වියනරාළට හැකිවුණා. අඳුරු අළු පාට පාළු බිම්ගේ ඒ දැලේ තිබුණු පාට පාටින් පිරිලා ගියා. ඉතිං අදටත් වියනරාළ ඒ බිම්ගේ ඇතුලේ ඉඳගෙන එයාගේ අපූරු පාට පාට දැලේ එල්ලීගෙන එයාගේ යාළුවාව පිලිගන්නා හැටි අපිට බලන්න පුළුවනි.

ලියා ඇන්දේ - මැනුවෙලා මැස්ටෘකො
"ඔත්තො ද ස්පයිඩර්" නම් ක්‍රොඒෂියානු ළමාකතාවක් ඇසුරිනි.
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails