ඔන්න එකෝමත් එක කාලෙක ගොවි හාමිනේ කෙනෙක් හිටියා. දවසක් දා ඇය ඇපල් ගසකින් ඇපල් කඩමින් ඉන්නා අතරතුරේ, අතින් ගිලිහුණු ඇපල් ගෙඩියක් බිම තිබුණු පුංචි වලකට වැටුණා. ඈ ඒක ගන්න කොච්චර උත්සහ කලත් පලක් වුණේ නැහැ.

උදවු ඉල්ලාගන්ට කෙනෙක් අහල පහල ඉන්නවාදැයි ඈ විපරම් කරමින් ඉන්නා අතරතුර, ළඟ තිබූ ගහක වහලා උන්නු කුරුල්ලෙක් දුටුවා. ඉතිං ඈ කුරුල්ලා ට කතා කරලා මෙහෙම කිවුවා.

”කුරුල්ලෝ, කුරුල්ලෝ, හෙමින් බිමට පියාඹලා ඇවිත් මේ වලට වැටුණු ඇපල් ගෙඩිය මට අහුලා දියන්!” . එතකොට කුරුල්ලා කිවුවා ”ට්වීට්, ට්වීට්, ට්වීට් - මට බෑ ” කියලා.

බලන්න ඌ කොච්චර නරක කුරුල්ලෙක්ද කියලා. ඉතින් ගොවි හාමිනේ කිවුවා ” උඹ නම් හරිම නරක කුරුල්ලෙක්!” ය කියලා.

ඊළඟට ඈ දැක්කා පූසෙක්. ඉතිං එයා පූසාට කතා කරලා මෙහෙම කිවුවා.

”බළල් හාමි, බළල් හාමි, විගහට ඇවිදින් කුරුල්ලා අල්ලා ගන්ට පැනපන්. ඌ බිමට එනතුරු, මේ වලෙන් මට ඇපල් ගෙඩිය හොයා දෙනතුරු”

ඔන්න පූසා කියාපි, ”ඤාව්, ඤාව්, ඤාව් - මට බෑ” කියලා. එයත් මහ නරක පූසෙක් කියල පෙනෙනවා නේද?

”උඹ නම් හරිම නරක පූසෙක්”. ගොවි හාමිනේ් කිවුවා.
ඔන්න ඊලඟට, ඈට මුණගැහුණා බල්ලෙක්. ඉතිං එයා බල්ලා ලඟට ගිහින් මෙහෙම කිය කියා පිංසෙණ්ඩු වුණා.

” අනේ බලූ රාළේ , බලූ රාළේ, මේ බලල් හාමිව පන්නා දමාපන්, බලල් හාමි ඇවිත් කුරුල්ලා අල්ලා ගන්නා තුරු, කුරුල්ලා බිමට ඇවිදින් මට ඇපල් ගෙඩිය අහුලා දෙන තුරු” ”

එතකොට බලූහාමි ” බුහ්, බුහ්, බුහ්- මට බෑ” කියලා කිවුවා. දැක්කද, ඌත් හරිම නරක බලූ හාමි කෙනෙක්.

ඉතින් ගොවි හාමිනේ කිවුවා, ” දෙයියනේ, කොයි තරම් නරක බලූහාමි කෙනෙක්ද?” කියලා.

ඔන්න ඉතිං දැන් ඈ ආයෙත් සැරයක් වට පිට බලමින් ඉන්නා අතරෙ දැක්ක පුංචි මී මැස්සෙක් පියඹාගෙන යනවා. ඈ මී මැස්සාට කතා කරලා,

”මී මැසි රාළේ, මී මැසි රාළේ විගහට ඇවිදින් බලූරාලට ඇනපන්, බලූ රාළ බලල් හාමි පස්සේ පන්නන තුරු, බලල් හාමි කුරුල්ලා අල්ලාගන්ට පනින තුරු, කුරුල්ලා බිමට ඇවිදින් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ඒත් මී මැස්සා කිවුවා ” ගුමු, ගුමු, ගුමු - මට බෑ” කියලා. පෙනෙනව නේ, එයත් හරිම නරක මී මැස්සෙක් කියලා.

”උඹත් හරිම නරක මී මැස්සෙක් තමයි” ගොවි හාමිනේ කිවුවා.
ඔන්න ඊළඟට ඈ වටපිට බලන කොටම දැක්කා මී මැසි පාලකයෙක්ව. ඉතින් ඈ මී මැසි පාලකයා ලඟට ගිහින් මෙන්න මෙහෙම කිවුවා.

” අනේ හොඳ මී මැසි පාලකයෝ ඔය මී මැස්සාට කියන්ට බලූ රාලට අනින්ට කියලා. බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නනතුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

” මට බෑ” ඔන්න මී මැසි පාලකයා කියාපි.

”දෙයියනේ, මොන තරම් නරක මී මැසි පාලකයෙක්ද?” ගොවි හාමිනේ් කිවුවා.

ඔන්න දැන් ඈ ආයෙත් වටපිට බලනවා. මේ වතාවෙ ඈ දැක්කෙ බිම වැටිලා තිබුණු ලණුවක්. ඈ ලණුවට කතා කරල මෙන්න මෙහෙම කිවුවා.

” ලණුවේ, ලණුවේ, බලූ රාලට අනින්න කියල මී මැස්සට කියන තුරු විගහට ඇවිදින් මේ මී මැසි පාලකයාව බැඳදමාපන්, බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නනතුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ඒත් ලණුව කිසිම දෙයක් ඇහුනෙ නැති විදියටම ඔහේ වැතිරිලා හිටියා.

”කොයිතරම් නම් නරක ලණුවක්ද මේ?” ගොවි හාමිනේ ආයෙත් කිවුවා.

එම් කියලා ආයෙත් එහෙ මෙහෙ බැලූවා. ඔන්න ඒ පාර ඈතින් පෙනුනා ගින්දර ගොඩක්. ඈ ගින්දරට කතා කරලා මෙහෙම කිවුවා.

” අනේ, ගිනි මැලයෝ, ගිනි මැලයෝ, විගහින් ඇවිත් මේ ලණුව පුච්චලා දමන්න ඕනෑ. ලණුව ඇවිත් මී මැසි පාලකයා බැඳ දමන තුරු, මී මැසි රාල බලූ රාලට අනින තුරු, බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නනතුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ගිණි මැලය මොකවත් නොකියා නිහඩවම හිටියා. හරියට එයාට මොකුත්ම ඇහුණෙ නැති ගානට. එයා ලණුව පුච්චන්න ගියෙත් නෑ.

”අයියෝ දෙයියනේ! මොනතරම් නරක ගිනි මැලයෙක්ද මේ!” ගොවි හාමිනේ් කිවුවා.

එහෙම කියලා ආයෙත් වට පිට බැලූවා. ඔන්න එතකොට ඈ දැක්කා පුංචි වතුර කඩිත්තක්.

”වතුර කඩිත්තේ, වතුර කඩිත්තේ විගහට ඇවිදින් වතුර ඉහලා මේ ගින්දර නිවාදාපන්, ගින්දර ඇවිදින් ලණුව පුච්චන තුරු, ලණුව ඇවිදින් මී මැසි පාලකයා බැඳ දමන තුරු, මී මැස්සා බලූ රාලට අනින්න කියන තුරු, බලූ රාල බලල හාමි පස්සෙ පන්නනතුරු, බලල් හාමි කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ඔන්න ඉතින් පුරුදු විදියටම වතුර කඩිත්තත් කිසිම දෙයක් ඇහුණේ නැති ගානට හිටියා.

” දෙයියනේ! කොයිතරම් නරක වතුර කඩිත්තක්ද?” ගොවි හාමිනේ් කිවුවා.

ආයෙත් ඈ වට පිට බලද්දි දැක්කා එළදෙනක්.

ඉතිං ඈ හීන් සීරුවේ එලදෙන ලඟට කිට්ටු කරලා මෙහෙම කිවුවා.

”කිරි අම්මේ, කිරි අම්මේ, විගහට ඇවිදින් මේ වතුර කඩිත්තෙ වතුර සේරම බොන්න, වතුර කඩිත්ත ගිනි මැලය නිවාදමන නැති තුරු, ගින්දර ඇවිත් ලණුව පුච්චා දමන තුරු, ලණුව මී මැසි පාලකයා බැඳ දමන තුරු, මී මැසි පාලකයා මී මැස්සාට අනින්න කියන තුරු, බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නන තුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනින තුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙන තුරු”

ඒත් එළදෙන කිවුවේ, ” උම්බෑ, උම්බෑ, උම්බෑ - මට බෑ” කියලා.

ඉතිං ඔන්න ආයෙත් ගොවි හාමිනේකිවුවා ” මොන තරම් නරක එළදෙනක් ද මේ!” කියලා.

එහෙම කියලා ආයෙත් වට පිට බලද්දි ඔන්න එයා දැක්කා කුරුල්ලව ආයෙත්. ඉතිං කුරුල්ලාට කතා කරලා එයා අයෙත් මෙහෙම කියන්ට වුණා.

” කුරුළු හාමියේ ඩිංගක් පහළට ඇවිදින් මේ එළදෙනගේ පිටට කොටාපන්”

” හරි, මං ඇවිත් කොටන්නම්. එ්ක මට සුළු දෙයක්. හැබැයි ඔහේට අර ඇපල් ගෙඩිය මං අහුලා දේවි කියල නම් හිතන්නෙපා” ඔන්න එතකොටම කුරුල්ලා කියාපි.

ඩිංගක් දඟකාර කුරුළු හාමි ඇවිත් එළදෙනට කොටන්ට පටන්ගත්තා. එතකොටම වාගේ එළදෙන දිය කඩිත්තෙන් වතුර බොන්ට පටන් ගත්තා. ඊලගට දිය කඩිත්තේ වතුර ගිනි මැලය නිවන්ට පටන් ගත්තා. ගිනි මැලය ලණුව පුච්චා දමන්ට ගියා. ලණුව ගිහින් මී මැසි පාලකයාව බැඳ දමන්ට පටන් ගත්තා. මී මැසි පාලකයා බලූ රාලට අනින්ටය කියලා මී මැස්සට කිවුවා. මී මැස්සා බලූ රාලට අනින්ට පටන් ගත්තා. බලූ රාල බලල් හාමි එලවන්ට පටන් ගත්තා. බළල් හාමි එළදෙනට කොටමින් උන්න කුරුල්ලා අල්ලාගන්ට පැන්නා.

අන්තිමේදී, මහ විසාල හුළඟක් ඇපල් ගෙඩිය හැංගුණු වලට උඩින් බිම දිගේ හමාගෙන ගියා. ඒ හුළඟ සැඟවුණු ඇපල් ගෙඩිය ගොවි හාමිනේ් ට ආයෙත් ගෙනවිත් දුන්නා.

ඉතිං එදා ඉඳලා ඒ හැමෝම සතුටින් සමාදානයෙන් ජීවත් වුණා.

ඉද්රීස් ෂා ගේ සුෆී කතාන්තරයකි
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails