කවුද අපේ අමුත්තා

සඳමල්ගෙ හිත් පොඞ්ඩ අම්මයි තාත්තයි ගැන ආදරෙන් පිරිල පිරිල පිටාර ගලන ගාණට ඇවිත්.

එතකොට හොඳටම රෑ බෝවෙලා. මෙච්චර රෑ වෙලත් කළුවරක් දැක්කෙ නැත්තෙ හඳ, එළිය හින්දා. මෙච්චර සෙල්ලම් කරලත් දාඩියක් දැම්මෙ නැත්තෙ හඳ, සිසිල හින්දා.

හඳ එළිය ගලල හැම තැන ම. ගෙයි වහළෙට. මිදුලෙ සුදු වැල්ලට. වත්තෙ උඳුපියලිය ගොල්ලට. පෙනෙන හැම තුරු මුදුන් නිල්ලට.

අම්ම ගේ වටේ කැරකෙනව.

‘සඳමල් පුතේ සඳමල් ’ කිය කියා. සඳ එළියට අම්මගෙ ඇස් දිළිහෙනවා. ඇස් වල කඳුළු දිළිහෙනවා.

හඳ එළියට ගුරු පාර පේන්නෙ, ගලන්නෙ නැති ගඟක් වගේ. තාත්ත ගුරු පාර දිගේ කඩිනම් පියවරින් පියනගනවා.
‘ පුතේ . . සඳමල් . . පුතේ ’ කියකිය වට පිට බල බලා.

තාත්තගෙ පිට මත්තට හඳ එළිය වැටිලා. පිට දිගේ බේරෙන දාඩිය සඳ දිය වෙලා, බිංදු බිංදු බිම වැටෙනවා.

සඳමල්ට හරි දුකයි. නොසෑහෙන්න දුකයි. දුක ම දුකයි.

එයා කෑ ගැහුවා.

‘ අම්මේ මං මෙහේ ’

‘ තාත්තේ මං මෙහේ ’ ඒත් ඒ සිඟති කටහඬ කඳු මුදුනෙ වැදිලා හැරිලා ආව. කොහේට ද?

හඳ ට.

සඳමල් හිටියේ හඳේ.

බැට් පිත්ත තිබ්බ තැන හොයා ගන්න බෑ. ඇඳ යට, කාමරේ දොර මුල්ලෙ, අල්මාරිය අයිනෙ, මේ හැම තැනම හෙව්වා. බැට් පිත්ත නෑ.

හැන්දෑවට කරදර කරන කළුවර ගලන් හැලෙන්න පටන් අරන්. සඳමල් කහපාට ටෙනිස් බෝලෙත් අරන් මිදුලට බැස්ස. මිදුලෙ සුදු වැල්ලෙ සෙල්ලම් කළා. තට්ට තනියම.

බෝලෙන් ගෙයි බිත්තියට ගැහුවා. බෝලෙ බිත්තියෙ වැදිල හැරිල එනකොට ඊයක් වගේ. සඳමල් දෙපැත්තට පැන පැන බෝලෙ ඇල්ලූවා. ඉඳහිට බෝලෙ බිම වැටුණා. ඉඳහිට එයත් බිම වැටුණා. ආයෙත් වතාවක දණ ඇනුනා. දණිස්ස රතුපාට වෙන්න හීරුනා. සඳමල් කුරුම්බැට්ටියක් ගලක උරච්චි කරල උරච්චි කරලා ඒක දණිස්සෙ අතුල්ලගත්තා.

චුට්ටක් දැවිල්ලයි.

සඳමල් අත කරකවල, කරකවල කුරුම්බැට්ටිය අතහැරියා. ඒක පාවෙලා ගිහිල්ල වැට අද්දර අඹ ගහේ, අඹ පොකුරක හැප්පුනා. නටුව කඩාගත්ත අඹයකුයි, පාවෙලා ආපු කුරුම්බැට්ටියයි, දෙක ම එක පාර ‘ඩොග්’ ගාලා බිම වැටුණා. අඹ පොකුර පැද්දිලා පැද්දිලා පැද්දිලා නතර වුණා.

සඳමල් අඩියට දෙකට ගහ යටට දිව්වා. වැටුණු අඹය ගැටයක්.

‘ අඹ ගැට කන්න එපා. බඬේ අමාරුව හැදෙයි. ’ අම්ම එහෙම කියනව එයාට එකපාරට මතක් වුණා. අඹ ගැටය එතන ම බිම අතහැරල එයා සුදු වැල්ලට පල්ලම් බැස්සා.

‘ නින්ද නේන කන්ද ’ ඉහත්තාවෙ හඳ නැවතිල ගිමන් අරිනවා. කඳු මුදුනින් ගලන් හැලෙන හඳ එළිය කඳු බඳේ අතු පාරවල් දිගේ රූටගෙන ඇවිත් පහත්තාවෙ බෝවිටි පඳුරු අතරේ දිය වෙලා යනවා. දම්පාට මල් පෙති මතට කිරි පාට වැටුණ ම එන්නෙ, බලන්න ලස්සන පාටක්. අමුතු ම ලස්සනක්.

සඳමල් හඳ දිහා බලාගෙන ගිමන් ඇරිය. හයියෙන් හති ඇරිය. එකපාරට ම මුළු ඇෙඟ් ම හයිය අරගෙන අතට ගත්ත සඳමල් වේගෙන් බෝලෙ උඩ ගැහුවා. බෝලෙත් අත්තටු ලැබුණ වගේ සන්තෝශෙන් තිතේ නැග්ග. මෙන්න බොලේ බෝලෙ පාවෙලා, පාවෙලා ඈතට යනවා.

සඳමල් බෝලෙ පස්සෙ දුවන්න ගත්ත. බෝලෙ යන්නේ නින්ද නේන කන්ද දිහාවට.

‘ කොහොම හරි ඒක අල්ලනවා’ කියලා හිත හිත සඳමල් එළිය පිරුණ අතුරු පාරක කන්ද දිගේ උඩට දිව්ව.

සඳමල් කන්ද උඩට එන්න ඔන්න මෙන්න තියෙද්දි බෝලෙ වැටුණ කන්ද උඩට. වැටුණ වේගෙන් ම බම්ප් වුණා. බම්ප් වෙලා පාවුණා. පාවෙලා ගිහින් වැටුණෙ කොහෙටද කියල දන්නව ද?

හඳට.

ඔය වෙලේ හා පැටව් හිටියෙ බට්ට පැන පැන. සිංදු කිය කිය.

‘චුට්ට චුට්ට
කිට්ටු කරල
තට්ටු කරනවා . . .
ඔට්ටු තියල
බට්ට පැනලා
ඔට්ටු දිනනවා ’

මෙන්න එතකොට බිම දිගේ රෝල් වෙවී ආපු බෝලයක් බට්ට පනින කොට්ටක් මැද්දෑවෙ ඉද්ද ගැහුවා.

‘ බෝලයක් ’

හැමෝට ම කෑගැහුණා. ඉහ වහා ගිය සතුටට. හැමෝට ම බෝලෙ පෙනුනෙ දිව්‍ය ලෝකෙන් වැටුණ මැණිකක් වගේ. බට්ට පැනිල්ල පැත්තකට දාලා කට්ටිය බෝල ගැහිල්ලට ලෑස්ති වුණා. ඒත් එක්ක ම ඇහිච්ච අත්පුඩි සද්දෙට පහළ බලද්දි පොඩි ළමයෙක් කන්ද මුදුනෙ ඉඳන් අත වනනවා.

‘ මේ . . . . මං සඳමල් . . . ඔය බෝලෙ මගේ ’

හා පැටව් කවදත් හරි හොඳයි. ඒ ගොල්ලො කිසිදාක කාටවත් අයිති දේකට අයිතිය කියන්න හිතන්නෙවත් නෑ.

‘ ඔන්න එහෙනම් බෝලෙ දානව අල්ල ගන්න ’ කියල බෝලෙ අතේ තිබුණ හා පැටියා කිව්වා.

සඳමල් ‘ එපා, එපා ’ කියලා කෑ ගැහුවා.

හා පැටව් මූණට මූණ බලා ගත්තා. බෝලෙ එයාගෙ නම්, ඇයි එයා දාන්න එපා කියන්නේ ’ ඒගොල්ලන්ට එහෙම හිතුනා.

‘ ඇයි සඳමල් ඔයා බෝලෙ එපා කියන්නේ ’ එක හා පැංචෙක් ඇහුවා.

බෝලෙ එපා කියන්නෙ, මට සෙල්ලම් කරන්න ඕන හින්දා ’ සඳමල් උත්තර දුන්නා.

‘ සෙල්ලම් කරන්න ඕන හින්දා තමයි අපි ඔයාට බෝලෙ දෙන්න හදන්නේ ’ හා පැංචෙක් එහෙම කිව්වා.

බෝලෙ තිබුණට වැඩක් නෑ. මට සෙල්ලම් කරන්න කවුරුත් නෑ ’ සඳමල් දුක බේරෙන කටහඬින් පිංසේණ්ඩු වුණා. ‘ ඕගොල්ලො බෝලෙ තියා ගන්න. මාවත් සෙල්ලම් කරන්න අරගන්න ’

හා පැටව් හඳේ ගැට්ටට ම ආවා. එක්කෙනා එක්කෙනා අතින් අත පටලෝගත්තා. අයිනෙම හිටපු එක්කෙනා කන්ද දිහාවට නැමිල සඳමල්ට අත දුන්න. එයා අතේ එල්ලූනා. කට්ටිය කඹ අදින්නා වගේ සඳමල්ව හඳ උඩට ඇදල ගත්ත. ඇද්ද පාරට කට්ටිය ම එක පොදියට බිම වැටුණා. හැමෝට ම හිනා. හිනා වෙවී ම දනිපනි ගාල නැගිට්ට හා පැටව් සඳමල්ව මැදි කරගෙන අත්පුඩි ගගහ නටන්න ගත්තා.

අත්පුඩි පුඩි පුවත්තා
අත්පොළසන් දෙවත්තා
කවුද අපේ අමුත්තා
බෝලෙ ගෙනා පොඩිත්තා

හා පොඞ්ඩන්ගෙ සුන්දර පිළිගැනීමෙන් සඳමල් ගේ හිත විකසිත වුණා. එයත් දන්නෙ නෑ එයාගෙ කකුල් දෙක නැටවෙනවා. දැන් යාළුවො ටික වටේට නටනවා, සඳමල් මැද නටනවා. සඳමල් නට නට ම සිංදුවක් කියන්න පටන් ගත්තා.

හා හා හරි යාලූ
හා පොඩි පොඩි යාලූ
දොමි තරිකිට තක්ක දොදොම්
යසට නටනවාලූ

කන් පොඩි නැලවේලූ
අත්පොඩි සෙලවේලූ
අත් පුඩි පුඩි තක්ක දොදොම්
නැට්ට නටනවාලූ

නටල නටල යාලූ
නැටිලි ඉවරවේලූ
ඊට පස්සෙ තක්ක දොදොම්
බෝලෙ ගහනවාලූ

කට්ටිය නට නට ම හඳ මැද්දට ගියා බෝල ගහන්න. ඒත් බැට් පිත්තක් නෑ. පිත්ත ගෙනාව නම්, කියල සඳමල් ට හිතුනා. මිදුලෙ බැට් ගහද්දි හයියෙන් පාරක් ගැහුවොත් එක්කො බෝලෙ වැටට උඩින් ඉගිල්ලිලා ගිහින් කැළෑ වදිනවා, නැත්නම් වහළෙ උඩින් බම්ප් වෙවී ගිහිල්ලා පිළිකන්නෙ හැංගෙනවා, එහෙමත් නැත්නම් උඩ ගිහින් ගහක ?ඳෙනවා. හඳේ එහෙමද? හතරෙ සීමාවක් නෑ ඕන තරම් දුර ගහතෑකි. ඒත් කෝ බැට් පිත්තක්.

‘ අපි පිට්ටු කඩමු ’ උඩ පැන පැන හිටපු හා පැටික්කෙක් යෝජනා කළා.

‘ ඉතින් ටින් කෝ? ’ හඳේ ටින් කඩන්නෙ කොහොමද කියන ප‍්‍රශ්නෙ සඳමල් ගෙ හිතට ආපු හින්දා එයා යාළුවන්ගෙන් එහෙම ඇහුවා.

‘ ‘ ආහ්’ මෙහේ ඕනතරම් ටින් තියෙනවා. එක එක ජාති ඒවා. එක එක තරම් ඒවා ’ හා පැට්ටෙක් කිව්වා හිනාවෙවී.

‘ ඒ කොහොමද? ’ සඳමල්ගෙන් ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න. ‘ ඒ කොහෙන්ද? ’ ඇස් උඩ තියන්, නළල ?ැලි කරන් එයා ඇහුවා.

යාළුවො කට්ටිය හඳට ටින් එන හැටි නාට්ටියක් බවට පත් කළා. කට්ටිය චරිත බෙදා ගත්ත. දෙන්නෙක් දුවල දුවල ගිහින් එක එක ජාති, එක එක තරමේ ටින් අහුර අහුර අරගෙන ආයෙ ම දුවල එතෙන්ට ම ආවා.

හා පැටව් නාට්ටිය රඟ දක්වන කොට එක හා පැටියෙක් සඳමල් ලඟ හිටගෙන කතාව ලිහිල් කළා කට පාඩමින් වගේ. යාළුවො එයාට කිව්වේ වනපොත කියලා.

‘ ඔන්න හිටි ගමන් ලොකුම ලොකු උසම උස පිට්ටු බම්බු වගේ අහස් යාත‍්‍රා හඳට එනවා. ඒවයි එන්නෙ එක එක තාලෙ මාමල, නැන්දලා. ඒ අය ඇවිත්, ලොකු පාට පාට කුඩ ඉහළලා බිම හිටෝනවා. පාට පාට පැදුරු අරන් කුඩ යට එළනවා. සමහරු පැදුරු උඩ ඉඳගෙන, සමහරු නිදාගෙන, සමහරු මුනින් අතට පෙරලිලා වරු ගණන් පොත් කියෝනවා. ටින්වල දාපු එක එක කෑම ජාති, බිම ජාති ගෙනත් කනව, බොනව. යනකොට පැදුරු කුඩ අකුලගෙන යනවා. හිස් ටින් නම් දාපු දාපු තැන්වල. ’

’ හපෝ ලොකු ඈයො එහෙම කරන එක හොඳ නෑ. අපේ අම්මා නම් කියන්නෙ හිස් ටින්, බෙලෙක්ක වළක් කපලා වළලන්න නැත්නම් ටින් වල වතුර පිරිල මදුරුවෝ බෝ වෙනවා. මදුරුවෝ බෝ වුණා ම පොඩි ඈයින්ට ‘ඩෙංගු’ හැදෙන්න පුළුවන්. ආයිත් කවුරුහරි මෙහේ ආවොත් ඕගොල්ල කියන්න, ටින් බෙලෙක්ක අරගෙන ම යන්න කියලා. සඳමල් කියාගෙන කියාගෙන ගියා. ‘වනපොත’ ඇහුවෙ එකම ප‍්‍රශ්නයයි.

’ මොනා ද ඩෙංගු කියන්නෙ ’ ඒ ප‍්‍රශ්නෙ අහද්දි පැටව් රොත්තම එතන්ට රොක් වුණා.

’ හරිම නරක ලෙඩක්. මුලින් උණ ගැනෙනව. පස්සෙ ඇඳට වැටෙනව. එතනින් ඉස්පිරිතාලෙට. ඒ හින්දා හොඳ ම දේ ඉන්න තැන සුද්දෙට තියා ගන්න එක ’ සඳමල් පණ්ඩිතයෙක් වගේ යාළුවන් ට කියා දුන්න. හැබැයි කියපු සේරම ඇත්ත. අත්ත ම ඇත්ත. හැමෝම නොකර සද්ද කන දාගෙන හිටියෙ. වනපොතාගෙ කන් ඉස්සිල, කටත් ඇරිලා.

’ මොකද කටේ පිට්ටුද ’ යාළුවෙකුට කිට්ටු කරලා, පිටට තට්ටු කරලා සඳමල් ඇහුවා. පිට්ටු කඩන්නැද්ද?’
හැමෝම වටවුණා පිල් බෙදෙන්න. පිට්ටු කඩන්න දෙපිලක් ඕන.

‘ අපි උච්චි උච්චි - තෝල් තෝල් කරමු ’ කිව්වේ පිට්ටුවා. එයා ටින් කැඩිල්ල ට දක්ෂයා. ඒත් නම වැටිල තිබුණේ ඒ හින්ද නෙවෙයි. බෝලෙ වගේ පිම්බිලා හිටපු හින්දා. කකුල් දෙකත් පුළුන්, පුළුන්. එයා කැමැත්තෙන් ම එක පිලක නායකයා වුණා. අනිත් පිලේ නායකයා විදිහට කට්ටිය ම ‘තුන්පිම්මා’ ව යෝජනා කළා. තුන් පිම්මා දුර පනින්න හැබෑම දක්ෂයා. එයා දුර පනින්නේ අමුතුම රිද්මයකට.

සඳමල් උච්චි - තොල් දැම්මෙ ‘කරනමා’ත් එක්ක. එයා තමයි මිතුරු හවුලෙ බල්ටි කරුවා. එයාට තිබුණෙ හිනාවෙනකොට ලේනෙක් වගේ පේන හීන් දත් දෙකක්.

මම මහපට, ඔයා දබර. එයා හීනි දත් දෙකෙන් හීනියට හිනාවෙවී ඇඟිලි දෙකක නම් යෝජනා කළා. සඳමල් ඒක ස්ථිර කළා. දෙන්න එක්ක නායකයො දෙන්න ඉස්සරහට ගියා.

‘උච්චි උච්චි ’ කිව්වෙ කරනමා.

නායකයෝ ‘තෝල් තෝල් ’ කිව්වා

‘මහපට ද? දබර ද?’

‘ දබර’ කියල කියවුණේ නායකයෝ දෙන්නටම එකටමයි.

සඳමල්, කොයි පැත්තට එන්නද කියල හිත හිත දෙන්න දිහා ම බැලූවා.

‘ඉස්සෙල්ලම දබර කිව්වෙ මං ’ පිට්ටුවා කිව්වා.

‘නෑ මමයි කිව්වේ’ තුන් පිම්මා කිව්වා.

දෙන්නා හැප්පෙන්න පටන් ගත්ත, වනපොතා ඇවිත් ප‍්‍රශ්නෙ මැද හිටගන්න තුරු.
ඕගොල්ලො දබර ඇඟිල්ලක් අල්ලන් දබර කරන එක වැරදියි. අපි කට්ටිය පිල් දෙකකට බෙදෙන්නෙ සෙල්ලම් කරන්න මිසක් දබර කරගන්න නෙවෙයි.

තප්පරෙන් දෙකෙන් ප‍්‍රශ්නෙට උත්තරේ ලැබුණා. ඔන්න ඉතින් ටින් කැඩිල්ල පටන් ගත්ත. සඳමල් වැටුණෙ තුන්පිම්මගෙ පැත්තට. ලොකුම ටින් එක බිමටත් චූටිම ටින් එක මුදුනටත් හිටින්න පිට්ටුවා හිටෙව්වා. කැඩුවෙ සඳමල්. කඩපු පිලේ කට්ටිය සී සී කඩ දිව්වා. පිට්ටුවාගෙ ඵිලේ කට්ටිය අතින් අතට බෝලෙ පාස් කර කර අනිත් පිලේ කට්ටිය දවා ගන්න දත මැද්දා.

බෝලෙ ඈතට යනකොට කොහෙන් හරි මතුවෙන කෙනෙක් ටින් එකක් හිටවල දානව. ඊළඟට ඒ ටින් එක උඩ තව එකක්. සමහර විට ඔක්කොම ටින් හිටෝල ඉතුරු වෙච්ච චූටි ටින් එක උඩ තියේද්දි ආයෙත් සේරෝම ටින් කඩන් වැටෙනවා. ටින් කැඩිල්ල හරිම විනෝදයි. පෙළක් වෙලාවට බෝලෙ අතේ තියෙන කෙනෙක් කුරුමානම ටක්කෙට ම අල්ලල බෝලෙ එවනවා ටින් හිටෝන යාළුවෙකුගෙ පිට මැද්දට කිස් කන්න.

ටින් කැඩිල්ල මේ විදිහට විනෝදයෙන් ගලා යද්දි ලැබුණ පුංචි විරාමයකයි සඳමල් ට පල්ලෙහා බැලූණේ. දන්නෙ ම නැතිව වෙලාව ගිහින්. හොදටෝ ම ? බෝවෙලා. අම්මයි තාත්තයි සඳමල් ව හැම තැනම හොයනවා.

‘පුතේ . . . සඳමල් . . . පුතේ ’ කිය කිය

‘සඳමල් පුතේ සඳමල්’ කිය කිය

හා යාළුවො සඳමල්ව වටකරගත්තා. ‘ඇයි මොකද්ද ප‍්‍රශ්නෙ?’

‘අම්මයි, තාත්තයි හොඳටම බයවෙලා. අර . . මාව හොයනව. මං දැන් යන්න ඕන.’

සඳමල්ගෙ හිත් පොඞ්ඩ අම්මයි, තාත්තයි ගැන ආදරෙන් පොඞ්ඩ පොඞ්ඩ පිරිල, පිරිල පිටාර ගලන ගාණට ඇවිත්.

‘ඔයා ඉක්මණට ම ගෙදර යන්න. අම්මල, තාත්තලා ගෙ හිත් රිද්දන්න හොඳ නෑ. ආයිත් එනකොට කියල එන්න. දැන් ඉක්මණට ගෙදර යන්න ’ වනපොතා හැඟුම්බරව කියමින්, බිම ඇණ තියාගෙන උන්නු සඳමල් ගෙ හිස අතගෑවා. සඳමල් ගෙ ඇස් දෙක අගිස්සෙන් දිය සීරාවක් වගේ ගලන් හැලෙමින් තිබුණෙ කඳුළු.

‘ඉතින් මං යා ගන්නෙ කොහොමද?’ සඳමල් එහෙම කිව්වෙ ඇයි කියල දන්නවද? නින්ද නේන කන්ද මුදුනෙ නැවතිලා ගිමන් අරිමින් හිටපු හඳ දැන් අහසෙ මුදුන් වෙලා.

‘හරි හරි, ඔයා බය නැතුව ඉන්න. අපි ඔයාව කන්ද උඩට ඇරලන්නම්.’ අම්මයි, තාත්තයි වෙනුවෙන් කතා කරපු වනපොතා ම උත්තර දුන්නා. එයා අත්පුඩි ගහල හඳ ළඟ පාවෙවී උන්නු වළාකුළකට කතා කළා. වළාකුළක් පාවෙලා ඇවිත් හඳ ගැට්ටෙ ගෑවි ගෑවි නතර වුණා. හා යාළුවන්ගෙන් නියෝජිතයො කිහිප දෙනෙක් වළාකුළ ලඟට ගිහින් මොහොතක් මුණු මුණු ගෑවා. ඊට පස්සෙ සඳමල්ට කතා කළා ලඟට. ලඟට ආපු සඳමල්ව උස්සල ගත්ත යාළුවො කට්ටිය, වළාකුළ මැද්දෑවෙ ඉන්දෙව්වා. එතන හරිම සනීපයි, පැද්දෙන පුළුන් තොටිල්ලක් වගේ. සීතලයි, අයිස් වගේ.

පාවෙලා ගිය වළාකුළ කන්ද ඉහත්තාවෙ නතර වුණා විතරයි සඳමල් කන්ද උඩට පැන ගත්තා. හඳ එළිය ගලන අතුපාරක් දිගේ වේගෙන් පල්ලම් බැස්ස සඳමල් කෙලින් ම දිව්වෙ ගෙදෙට්ට. සඳමල් දුවගෙන එනව දැකපු අම්මයි, තාත්තයි ඉදිරියට ගිහිල්ලා සඳමල්ව වැළඳගෙන ආදරෙන් සිප ගත්තා.

සඳමල් හිමින් සැරේ හඳ දිහා බැලූවා. යාළුවො කට්ටිය පේලියට හිටගෙන සඳමල්ට අත වනනවා. සඳමලූත් අත් දෙකම උස්සලා යාළුවන්ට ආදරේ තරම පෙන්නුවා. සඳමල් හඳට අතවනනවා දැකපු අම්මයි තාත්තයි, හඳ පැත්තට දෑස් යා කළා. ඒ දෙන්නා ඒ මොහොතෙ තමයි ඇත්තට ම දැක්කෙ හඳ මඬලෙ හා පැටව් ඉන්න බව.


මංජුල වෙඩිවර්ධන

-2005- මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails