බෑ කියල බෑ ජොසපින්!

ජොසපින් කියන්නෙ පුංචි පෙන්ග්වින් කෙනෙක්. එයා උන්නෙ ග්‍රීස්ම කාලෙදී උනත් හැම වෙලාවෙම හිම සහ අයිස් වලින් පිරුණු පෙදෙසක. එයා විතරක් නෙමෙයි තවත් හුඟක් පෙන්ග්වින්ලා එතන ජීවත් වුනා. ඒවුනත් ජොසපින් එයාගෙ කාලයෙන් වැඩි කොටසක් ගතකලේ අනිත් සතුන් එක්ක. මොකද ඒගොල්ලො හුඟක් සෙල්ලම් දැනගෙන උන්නා පෙන්ග්වින්ලාට වඩා. ජොසපින්ගේ යාලූවෝ වුණු හිම හාවුන් එයාට කියලා දුන්නා අයිස් මත ලිස්සා යන්නෙ කොහොමද කියලා. ඒක කොච්චර ලේසි සෙල්ලමක්ද කියලා ජොසපින්ට හිතුණා.
සමහර වෙලාවට තරෙඟට හුඟක් වේගයෙන් හිම උඩින් ලිස්සගෙන ගිහින් අයිස් කුට්ටියකින් පහළට රූටල වතුරට වැටෙන එක පුදුම විනෝද ජනක වැඩක්!

ඒවගේම පුංචි ජොසපින්ගේ යාළුවන්ට හැම දෙයක්ම වාගේ පුළුවන්. ඒහින්දා ජොසපින් කිසිම වෙලාවක බය වුණේ නැහැ ඒසෙල්ලම් ඉගෙන ගන්ට. ඒවා පුරුදු පුහුණු වෙන්ට. ඒහින්දා එයා හැම දේම බොහොම විගහින් ඉගෙන ගත්තා. ඒවිතරක් නෙමෙයි එයාගේ යාළුවෝ හැමෝම කැමති හැම ක්‍රීඩාවක්ම වගේ කරන්නට එයාට පුළුවන් උනා.

බැඞ්මින්ටන් වුනත්...

බොක්සිං වුනත්....

අයිස් උඩ දිවීම වුනත්...

එයා හැම වෙලාවෙම යාළුවෝ එක්ක හුඟක් සතුටින් කල් ගත කලා.

ජොසපින් දියමත බොහොම පහසුවෙන් ලිස්සා යන ක්‍රීඩාව කරද්දී හැම පෙන්ග්වින් කෙනෙකුම වාගෙ බලාගෙන උන්නා. එයාගේ පෙන්ග්වින් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන උන්නා. ඒගොල්ලො බොහොම දුකෙන් ඒඅයගේ ඔළු ගෙඩි සොලවමින් බලාගෙන උන්නා. ඒගොල්ලන්ට ඕන වුනෙ ජොසපින් අනිත් හැම පෙන්ග්වින් කෙනෙකුම වාගෙ වෙනවට.

ඔන්න එක දවසක් පෙන්ග්වින්ලාට අදහාගන්න බැරි තරමේ දෙයක් ඒගොල්ලො දැක්කා. ඒතමයි ඈත අහසේ ඉහළින් පියාසර කරන ලොකු මුහුදු ලිහිණි දෙන්නෙක් සමග ජොසපින්!

"දැන් නම් හොඳටෝම ඇති! එයා ඕනෑවටත් වඩා දේවල් දැන් ඉගෙන ගෙන තියෙනවා"

"එයා දැන් ඉස්කෝලේ යන්න ඕනෑ, අනිත් හැම පෙන්ග්වින් කෙනෙකුම ඉගෙන ගන්නා දේවල් ඉගෙන ගන්ට" ජොසපින්ගේ තාත්තා කිවුවා.

"තවත් නම් මට මේකට ඉඩදෙන්න බැහැ" පෙන්ග්වින් අම්මා කිවුවා.

එදා හැන්දෑවේ ජොසපින්ගේ අම්මයි තාත්තයි ඇයට කතා කලා.

”අපි දන්නවා ඔයා එක සෙල්ලම් කරන්න ආස බව. ඔයා ඒවාට හුඟක් දක්ෂ බවත්. ඈගේ අම්මා කිවුවා.

” ඒවගේම ඔයා ඉගෙන ගන්න ඕනෙ කරන තවත් දේවල් තියෙනව. ”

"හෙට ඉඳන් අපි ඔයාව පෙන්ග්විනෝවා ගුරුතුමී ගේ ඉස්කෝලෙට යවනවා. එයා තමයි මේ පළාතෙම ඉන්න හොඳම පෙන්ග්වින් නැටුම් ගුරුවරිය" ජොසපින්ගේ තාත්තා කිවුවා.

"අනේ තාත්තේ , මට ඉස්කෝලේ යන්න ඕනෑ නෑ. මට නැටුම් ඉගෙනගන්න ඕනැත් නෑ" ජොසපින් කිවුවා.

"ඔයා ඉස්කෝලේ යනවා. එ්ක එහෙම තමයි! " තාත්තා එහෙම කියලා යන්ට ගියා.

ඊළඟ දවසෙ උදේ ,

පෙන්ග්විනෝවා ගුරුතුමී බොහොම සතුටු වුණා ජොසපින්ව එයා ගෙ ඉස්කෝලෙට බඳවාගන්ට. එයා හිතුවා ජොසපින් දක්ෂ නැටුම් ශිල්පිනියක් වෙයි කියලා. " ඒවෙනුවෙන් මහන්සි වී වැඩකරන්ට ඕනෑ" යි ඈ ජොසපින්ට කිවුවා.

"වැඩ! " ඔන්න ජොසපින් හිතන්ට පටන්ගත්තා. "අපෝ , ඒක ඒතරම් විනෝදයක් නැති දෙයක් වෙන්ට ඕනෑ මං හිතන්නෙ"

"අද අපි ඉගෙන ගන්ට යන්නෙ සමනළුන්ගේ නැටුම" පෙන්ග්විනෝවා ගුරුතුමී කිවුවා.

"දැන් ඕගොල්ලො හිතාගන්ට ඕනෑ තමන් මලින් මලට ඉගිලෙන පුංචි කහ සමණලයෙක් ය කියල"

ජොසපින් එයාගේ බැලේ සපත්තු අඳිමින් බොහෝ වේලාවක් ගතකලා හිතන්ට. සමනළුන් මලින් මලට පියඹන්නෙ කොහොමද කියලා.

අවසානයේ ඈ පන්තියට එකතුවුනා.

ඒත් එයා ගත්තු හැම උත්සහයක්ම වාගේ අසාර්ථක වුණා.

ඉස්කෝලෙන් පස්සෙ ජොසපින් කලේ එයාගේ බැලේ සපත්තු කුට්ටම දමාගෙනම හිම උඩින් ගෙදර ගිය එක. එයාට දුක හිතුණා.

"මොන තරම් මෝඩ වැඩක් ද? සමණළයෙක් වගේ හිතාගන්න එක! "

ඊළඟ දවසේ තිබුණේ තාරාවුන්ගේ නැටුමක්.

තාරාවුන්ගේ නැටුම වත් හොඳින් ඉගෙන ගන්ට ජොසපින්ට බැරි වුණා.

"තාරාවුන්ගේ නැටුම සමනළුන්ගේ නැටුමත් වඩා හුඟක් අමාරුයි. මට කරන්න බැරි දේවල් ම කරන්න වෙන එක මොන තරම් නරක දෙයක්ද" ජොසපින් ගෙදරට ගාට ගාටා ඇවිදින අතරේ එහෙම හිතුවා.

ඊලඟ දවසේ ජොසපින් හුඟක් උත්සහ කලා හුළෙඟ් නටන මලක් වෙන්ට. ඒත් ඈට දැනුනේ එයා හරියට මැළවුණු වල් පැළෑටියක් වගේ කියලා.

පන්තිය ඉවරවෙනකල් වත් එයාට එතන ඉන්න බැරි වුණා. එයා එම මොහොතේම එතැනින් පැනලා දිව්වා. ජොසපින්ට ඕනෑ වුනේ තනියෙන් ඉන්න.

"මට කවදාවත් හොඳින් ඉගෙන ගන්න බැහැ ඉස්කෝලෙදි. මං කිසිදෙයක් දන්නෙ නැති කෙනෙක්! " ඇය හිතුවා. ඇය හඩන්නට පටන්ගත්තා. ලොකු කදුළු කැට දෙකක් ඇවිදින් ඇගේ හොට අසලින් පහලට රූටල ගියා. "මං මගේ අම්මටයි තාත්තටයි මොනවද කියන්නෙ ? මගේ යාළුවන්ට ? ඒගොල්ලො මට හිනාවෙයි මං කොයිතරම් නරකද කියල දැනගත්තම! " ඇය දිගින් දිගටම අඩන්ට පටන් ගත්තා.

"නෑ! අපි එහෙම කරන්නෙ නැහැ" එකපාරටම කොහෙන්ද මන්දා මූදු සිංහයගෙ කටහඩ මතුවුණා. ඒඑක්කම ජොසපින්ගේ යාළුවෝ හැමෝම ඇවිත් එයාව වටකරගත්තා.

"ඔයා හැම වෙලාවෙම ඔයාට පුළුවන් හැම විදියකින්ම හුඟක් උත්සහ කරනව ඉගෙන ගන්න. ඊට එහා දෙයක් වෙන කාටවත් කියන්න බැහැ. මූදු සිංහයා කියා සිටියා.

"අළුත් දේවල් ඉගෙන ගන්න කල් ගතවෙනවා" හිම වලහා කිවුවා.

"ඒක හින්දා කිසිම දෙයක් අතහරින්න එපා ජොසපින්" හිම හාවෙක් කිවුවා.

"ඔයාට පුළුවන්. ඔවු! ඔයාට එ්ක ඉගෙනගන්න පුළුවන්" හැමෝම එක්ව එකහඩින් කිවුවා
.
ජොසපින්ට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ ඒගැන. ඒත් එයා යාළුවෝ කී දේවල් වලට ස්තුති කලා. ඒවගේම එයාගෙ හිතට පුංචි සහැල්ලූවක් දැනුණා.

ඊළඟ දවසේ පන්තියේදී "අද අපි හිම හාවුන්ගේ නැටුම් ඉගෙන ගන්නයි යන්නේ" කියලා පෙන්ග්විනෝවා ගුරුතුමී කිවුවා. ගුරුතුමී සංගීතය වාදනය කරවද්දි පුංචි පෙන්ග්වින් ළමෝ එක පෙළට හිටගත්තා.

"එක දෙක තුන... එක දෙක තුන...හා ඔන්න දැන් හැමෝම පටන් ගන්න නටන්න" පෙන්ග්විනෝවා ගුරුතුමී කිවුවා.

ඒ එක්කම ජොසපින් එයාගෙ යාළු හිම හාවුන් ගැන හිතන්ට පටන් ගත්තා. "ඔවු! මං දන්නවා හිම හාවුන්ගේ නැටුම්. මං දන්නවා හිම හාවෙක් වෙන්න" ජොසපින් කිවුවා. ඊට පස්සෙ එයා තමයි පන්තියේ උන්නු හොඳම හිම හාවා වුණේ!

පන්තියේ උන්නු හැම පුංචි පෙන්ග්වින් කෙනෙක්ම ජොසපින් ගේ පිටිපස්සෙන් එයා නටන විදියට නටන්ට පටන්ගත්තා. පෙන්ග්විනෝවා ගුරුතුමී කොච්චර සතුටට පත් වුණාද කියනවා නම් එයාත් පුංචි පෙන්ග්වින් ළමෝ පසු පසින් හිම හාවුන්ගේ නැටුමට එක් වුණා. සංගීත වාදනය නැවතුණු වහාම පුංචි පෙන්ග්වින් යාළුවෝ ජොසපින්ගේ නැටුම හුඟක් අගය කළා. "නැටුම් වලින් අමාරුම නැටුම තමයි හිම හාවුන්ගේ නැටුම. " ඒක හොඳට කරන්ට පුළුවන් නම් අනිත් ඒව ඉගෙන් ගන්ට ඉතාම ලෙහෙසියි" පෙන්ග්වින් යාළුවෝ එයාට කිවුවා. "ඔයා හැබෑම දක්ෂයෙක් ජොසපින්.හැමදාටම එහෙම වෙන්ට ඕනෑ" යි පෙන්ග්විනෝවා ගුරුතුමී සිනාසෙමින් කියා සිටියා.

ඉස්කෝලෙන් පස්සෙ හැම පෙන්ග්වින් යාළුවෙකුට ඕනෙ වුණා ජොසපින් එක්ක ඇවිදින්න යන්න. ජොසපින් ඒහැමෝම එක්ක ගියා එයාගෙ යාළුවෝ මුණගැහෙන්න. "දැන් ඔයාලා හැමෝටම අළුත් දෙයක් ඉගෙන ගන්න වෙලාව ඇවිත්. මුලින්ම ඒක හුඟක් අමාරු දෙයක් වෙන්ට පුළුවනි.ඒත් අපි උත්සහ කළොත් ඒක පසුවට හුඟක් ලෙහෙසි වෙනවා. ඒවගේම හුඟක් විනෝදය ගෙනනෙ දෙයක් වෙනවා! " ජොසපින් එයාගේ ඉස්සර සෙල්ලම් කරපු යාළුවන්ට කිවුවා.

ඊළඟට ජොසපින් සහ එයාගෙ පුංචි පෙන්ග්වින් යාළුවෝ එකතු වෙලා "පෙන්ග්වින් නැටුම"කරන්නෙ කොහොමද කියල යාළුවන්ට කියා දුන්නා. හැම සතෙකුම වාගේ නැටුම් ශිල්පියෙක් වෙන්න ආසා කළා. ඒත් මූදු සිංහයා ඇරෙන්න. මොකද එයා නටන්න අඳින පුංචි කෙටි සායට කොහෙත්ම කැමති වුණේ නැති හන්ද.

ලියා ඇන්දේ - හාන්ස් විල්හෙම්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails