ඔන්න එක පුංචි ගෑණු ළමයෙක් හිටියා, නගරයේ අහස සිඹින මැදුරක.

එයාගෙ වයස අවුරුදු දහයයි, ත් එයා ජීවත් වුණේ තනියෙන්. ඇයව බලාගන්නට කිසිම කිසිම කෙනෙක් ඈ ළඟ හිටියේ නෑ. ඒ හැමෝටම ඒ ගොල්ලන්ගෙ දරුවෝ හිටියා. ඇගේසැබෑ දෙමාපියන් වගේ ඈට ආදරය කරන්න කිසිකෙනෙකුට පුලූවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒ අය හිතුවේ ඈ එගොල්ලන්ගෙ කෙනෙකු නොවේය කියලා.

ඈ කිසිදවසක අනෙක් ළමයින් හා සෙල්ලම් කළේ නෑ. මොකද ඈ ඒ ළමයින් හා යාළුවෙන්න අකමැති වුණ නිසා. ඈ අයත් වුණේ නිහඩ, ලෝකයෙන් වැසුණු, තනිවුණු ඈටම විතරයි. කෙනෙකු ඈ ආදරෙන් තුරුළු කරගත්තේ නම් හෝ එවැනි ආදරයක උණුසුමක් හෝ ඈට ලැබී තිබුණේ නම් මේ කතාන්තරය බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණා. ඒත් ඒක කවමදාකවත් එහෙම වෙල තිබුණේ නැහැ. ඒ නිසා ඈ චිතරට ඉ අඳින්ට පටන් ගත්තා, නිල්ම නිල්පාට නිල් අහස වගේ. දුක්බර කතන්දර කියවන්ට පටන් ගත්තා. අනෙක් වෙලාවට කවුළුවෙන් එළියේ තියෙන් දේ දිහා බලන්ට පටන් ගත්තා. කෙනෙකු ඈට බොහොම හොද වචනයෙන් කතා කළත් එ්වා ඈට කවදාවත් ඇහුණේ නෑ. මොකද ඒවෙනකොට බොහොම පරක්කු වැඩියි. ඒ වන විටත් ඈ විශාල පවුරක් ඈ වටා ගොඩනගා ගෙනයි තිබුණේ. ඈ උන්නු අහස් මැදුර වඩ වඩාත් උස් කුළුණක් බවට පත් වුණා. ඒ හින්දා කාටවත් ඈ අසලට යන්න ඉඩක් ලැබුණේ නැ. එදා ඉඳළා ඈ ජීවත් වුණේ ඇගේම ලෝකයක.

කුළුණ මුදුනේ තිබුණා කවුළුවක්. ඈ මුළු දවස පුරාම කලේ කවුළුව අද්දරට වෙලා වළාකුළු වලින් පිරුණු නිල් අහස දිහා බලාගෙන ඉන්න එක. බොහෝ කාලෙකට ඉස්සර ඈට කවුදෝ කියලා තිබුණා ඇගේ අම්මා ඉන්නෙ වළාකුළු අතර බව. ඉතිං ඈ කළේ අහසේ පාවෙන හැම වළාකුලකම අම්මාගෙ හැඩරුව හොයන එක.

හැම දවසකම නිල් කුරුල්ලෝ සියගණනින් ඈ උන්නු කුළුණ වටේ පියාසර කරන්ට පටන් ගත්තා.
අහසේ නිතර නිතර පියාසර කරන කුරුල්ලෝ ඈ හා මිතුරු වුණා. ඒ හින්දා උන් කිසිම බියක් නැතිව ඈ අසලට එන්ට පටන් ගත්තා. පැය ගණන් උන් හා කතා කරන්නට ඇයට හැකිවුනා. දැන් ඈ තවදුරත් තනි වුණු ගෑනු ළමයෙක් නෙමෙයි. ඇගේ පුංචි අත් වලින් අල්ලන්ට හැකි, ඈ සතුටින් උන්නු දවස් ගැන කතා කරන්නට හැකි පුංචි යාළුවෝ පිරිසක් ඈට ලැබී තිබුණා.

ගෙවුණු දවස් වල මතකයන් සිහිවන යමක් හැම දවසකම ඈට මුණ ගැසුණා.

එක එක විදියේ සතුන් වළාකුළු අතරේ ජීවත්වෙන බව බොහෝම ඉක්මනට ඈ සොයාගත්තා. ඔන්න එක දවසක් වළාකුළු අතරින් මතු වුණේ ගොළුබෙල්ලෙක්. ඌ උගේ ගෙදර පිට උඩ තියාගෙන ඇවිදිනවා. ඒ ගෙදර ජීවත් වුණේ ඌ විතරමයි. විටින් විට වළාකුළු ඇගේ ගේ ඇතුළෙන් පවා පාවී යන්ට පටන් ගත්තා. එයන් සතුටට පත් වුණු පුංචි ගෑණු ළමයා උඩ පැන පැන අහසේ යන ගොළුබෙල්ලාට අත වනන්ට පටන් ගත්තා.

ඇයට මතක් වුණා ඇය අම්මත් එක්ක එකතු වෙලා ගොළුබෙල්ලන් බේරාගත්තු හැටි. ගෙපිල මත තැන තැන ඇවිදින ගොළුබෙල්ලන් තණ බිස්ස මත තැබූ හැටි.

ඔන්න ගොළුබෙල්ලා නොපෙනී ගියාට පස්සේ එක පාරටම මතුවුණේ මීයෙක්.

”ආහ්, මොන තරම් අමුතු මීයෙක් ද” පුංචි ගෑණු ළමයා එයාටම හෙමින් මුමුණා ගත්තා. මේ නම් ඉන්නේ සුරංගනා කතාවල එන විදියේ මීයෙක් ම තමයි. ඈ හිතුවා. මොකද ඒ වෙද්දි ඈ සුරංගනා කතන්දර බොහොමයක් දැන ගෙන හිටියේ. ඒ ඈ නින්දට යන්නට කලින් හැමදාම අම්මා ඈට පුංචි සුරංගනා කතාවක් කියා දෙන්ට පුරුදු වෙලා උන්න නිසා.

එක දවසක් වළාකුළු යි අහසේ එහෙ මෙහෙ පියාඹන නිල් කුරුල්ලොයි අතරින් එකපාරටම මතු වුණෙ අලියෙක්. ඌ මහ විසාල අළුපාට එකෙක්. මෙන්න ඌ බරට බර අඩි තිය තියා අහසේ හැම තැනම ඇවිදිනවා. පුංචි ගෑණු ළමයට ආසා හිතුණා. මොකද, ඉස්සර අම්මා එයාව සත්තු වත්තට එක්කගෙන ගිහින් එහේ උන්නු අලි පැංචලාට කවන්ට පුරුදු වෙලා තිබුණු හන්දා. සමහර විට මේ ඉන්නෙ උන්ගෙන් එකෙකු වෙන්ට ඕනෑ. ඈ හිතුවා.

තවත් දවසක, අහස පීරාගෙන තද හුළඟක් හමාගෙන ගියා. අහස අළු පාට වුණා. නිල් පාට වළාකුළු හැම පැත්තටම බොහොම විගහින් පාවීගෙන ගියා. ඔන්න එක පාරටම මතුවුණේ හාවෙක්. හමාගෙන ගිය හුළඟ නිල්ම නිල්පාට ඔරලෝසුවක් හාවාට ගෙනවිත් දුන්නා. ඉතිං ඔන්න දැන් හාවාට පුලූවනි වෙලාව කියන්ට. ඒක ඈට බොහොම පුරුදු දෙයක්. මොකද දන්නවද? ඒ හාවා උන්නෙ ” ඇලිස් සහ පුදුම ලන්තය” කියන කතාවෙ. අම්මා හැමවිටම එම කතාන්දරය ඈට ඇහෙන්ට කියවන්ට පුරුදු වෙලා උන්නා. ඔව්, මේ ඉන්නේ ඒ හාවාම තමයි. ඈ හිතුවා.

ඊළඟට ඈට මතක් වුණා, ඉස්සරෝම දවසක අම්ම එක්ක ගිහින් ඉදිබුවන්ට සලාද කොළ කැවු හැටි. ඔන්න එතකොටම වාගේ වළාකුළු අතරින් මතු වුණේ ඉදිබුවෙක්. උගේ දිගම දිග කකුල් කටුවට යටින් පහලට නෙරලා තිබුනා. ඒවෙනකොට අහසේ වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ, සිනිඳු පුංචි වළාකුළු ඇරෙන්න. ඉතිං, ඌට බොහොම නිදහසේ අහස පුරාම ඇවිද යන්ට හැකි වුණා. පුංචි ගෑණු ළමයා ඉදිබුවාගෙන් ඇහුවා ”කොහෙද ගියේ?” කියලා. ඉතිං ඉදිබුවත් ඩිංගක්වත් බයවුණේ නෑ. මොකද ඌ දැනං උන්න ඈ බොහොම කාරුණික කෙනෙක් බව. ඈ ඉන්නෙ තනියෙන් බව.

”මං හොයන්නෙ ඉස්සර දවසක මට කවන්ට පුරුදු වෙලා උන්නු බොහොම කාරුණික ගැහැණු කෙනෙක්ව. ඈ හැම විටම මට රසවත් කෑම දුන්නා. ආරංචියේ හැටියට දැන් ඈ ඉන්නෙ වළාකුළු අතර කොහෙදෝ තැනකලූ. මං මේ ඈව හොයනවා”. ඔන්න ඉතිං ඉදිබුවත් කිසිම බයක් නැතුව උත්තර දුන්න.

ඔන්න ඊළග දවසේ ආවේ නිල් කුරුල්ලෙක්. ඌ හරිම අමුතුයි. හරියටම ඌ වළාකුළු වලින් හැදුවා වාගෙයි. ඉතිං පුංචි ගෑණු ළමයා නිල් කුරුල්ලාගෙනුත් ඇහුවා, ඇගේ අම්මව දන්නවද කියලා.

”මං දිව්යා ලෝකෙන් ආ කුරුල්ලෙක්. බොහොම කාලෙකට ඉස්සර මං මේ මහ පොළොවේ ජීවත් ව උන් කාලේ මගේ පියාපතක් තුවාල වුණා. ඒ නිසා මට පියඹන්ට බැරි වුණා. එක් කාරුණික ගැහැණියක් ආදරෙන් මාව අහුලාගෙන, කන්ට බොන්ට දීලා බොහොම හොඳින් මාව රැක බලා ගත්තා, පියාපත සුව වෙන තුරු. මට මතකයි ඈ එක්ක පුංචි ගෑණු ළමයෙකුත් උන්න. අනිත් කුරුල්ලෝ කියූ විදියට නම් ඈ දැන් ඉන්නෙ දිව්ය ලෝකෙලූ. මං මේ ඇයව හොයනව. ඈ කල උදවුවට ස්තුති කරන්න.” කුරුල්ලා ඈට කියා සිටියා.

”ඔබ ඔය කියන්නෙ මගේ අම්ම ගැන. මට කොහෙන්ද එයාව හොයා ගන්න පුළුවන් ?” පුංචි ගෑණු ළමයා ඇහුවා. ඒත් කුරුල්ලා එතන හිටියේ නැහැ. ඌ වළාකුළු අතර නොපෙනී ගිහින්.
අම්මා හොයාගන්නෙ කොහොමද කියලා ඈ බොහොම කණස්සල්ලෙන් හිත හිතා ඉන්නකොටම ඔන්න, තවත් කුරුල්ලෙක් මතුවුණා. ඌත් හරිම අමුතු කුරුල්ලෙක්. උගේ පපුව මැද්දෙ දොරටුවක් තිබුණා.

” කවුද ඔබ?” පුංචි ගෑණු ළමයා ඇහුවා.

”බොහොම කාලෙකට ඉස්සර මං කළු කුරුල්ලෙක්. එක උදේක කූඩුවෙන් බිමට වැටිලා ආයෙත් යන්න බැරිවයි මං උන්නෙ. මං හිතුවේ ආයෙ කවදාවත්ම මගේ අම්මව මට දකින්ට බැරිවෙයි කියලා. ඒත් එක පාරටම ගෑණු කෙනෙක් ආවා මං උන්නු තැනට, පුංචි ගෑණු ළමයෙක් එක්ක. ඒගොල්ලො මාව බොහොම ආදරෙන් කරුණාවෙන් අහුලාගෙන උණුසුම් දෑත් වලට මැදි කරගත්තා. ඊට පස්සෙ මං උන්නු කූඩුව හොයලා මාව ආයෙත් මගේ අම්මා ලඟින් තැබුවා. මං අද ආවේ නැතිවුණු පුංචි ගෑණු ළමයව ආයෙත් එයාගෙ අම්ම ළඟට ගෙනියන්න. මේ දොරින් ඇතුළු වෙලා පඩි පේළිය දිගේ අහසට එන්න. බොහෝ කලකට ඉස්සර ඔබට ඔබට නැතිවුණු ආදරය සහ උණුසුම ඔබට ආයෙත් ලැබේවි” කළු කුරුල්ලා බොහොම හෙමින් කියා සිටියා.

පුංචි ගෑණු ළමයා දොරෙන් අතුළු වෙලා පඩි පෙළ නගින්ට පටන් ගත්තා. එදායින් පස්සෙ කිසිම කෙනෙක් ඈව දැක්කෙ නැහැ. නිල් අහසේ නිතර පියාසර කරන කුරුල්ලෝ කියන හැටියට නම් දැන් ඈ ඉන්නෙ වළාකුළු අතරෙ, ඇගේ අම්මත් එක්ක.


නිල් අහස - අන්ද්රියා පෙත්ර්ලික් හුසෙයිනොවික්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails