බොහෝ කාලෙකට ඉස්සර උතුරු දිශාවෙහි තිබුණු ඈත ප්‍රදේශයක, එලින්ඩා උපත ලැබුවේ පුංචිම පුංචි කුරුළු බිත්තරයකින්. ඇගේ කෙස් වැටිය සිසිරයේ ඝන කළුවර රාත්‍රියක් වගේ. ඇගේ ඇස් ග්‍රීස්ම කාලයේ දිදුලන දහවලක් වගේ. ඈ කොච්චර කාරුණිකද කියනවා නම් හැමෝම ඇයට හුඟක් ආදරේ කලා.

එලින්ඩාගේ කාර්යය වුණේ සංචාරක කුරුල්ලන්ට මග කියාදෙන එක. හිම පියලි වැටෙන සීත කාලය ගැන අනතුරු අඟවමින් ඈ උණුසුම් බිම් පෙදෙස් සොයා යන කුරුල්ලන්ට අහසේ පාරවල් සලකුණු කලා. වසන්ත කාලය ඇවිත් කුරුල්ලෝ ආයෙත් තමන්ගේ බිම් පෙදෙස් වලට පැමිණිය යුතු කාලය ආවම උන්ට පාර කියා දුන්නෙත් එලින්ඩා.

එලින්ඩා මේ හැම කුරුළු රෑනක්ම වගේ බලාගත්තේ බොහොම ආදරෙන් , හරියට අම්මා කෙනෙක් වගේ. දවසින් දවස එලින්ඩාගේ කියා නිම කල නොහැකි ලස්සනත් ඇගේ කාරුණික බවත් ගැන ආරංචි බොහොම වේගයෙන් හැම තැනම පැතිරුණා. මේ නිසා, ඇය විවාහ වන වයසට පත් වුණාම ලෝකයේ නන් දෙසින් ඇයගේ අත ගන්නට කුමාරවරු ඈ සොයාගෙන පැමිණියා. ඒත් ඈ ඒ හැමෝම ආපසු හරවා යැවුවා.

එක රාත්‍රියක උතුරු තරුව ඈට කතා කරන්ට පැමිණියා. ඔහු පැමිණියේ පළිඟු අස්සයෙක් බැඳපු පළිඟු වලින්ම තනාපු හිමයානයකින්. ඔහු එලින්ඩා ඉදිරියට පැමිණිලා පලමුව ඈට හිස නමා ආචාර කලා. ඉන්පසු මෙහෙම කිවුවා.

‘ එලින්ඩා, කරුණාකරලා ඔබ මාව විවාහයට තෝරාගන්න. ඔබට ඉතාම හොඳ ස්වාමියකු වීමට මට පුළුවනි. ඒ වගේම ඔනෑම මොහොතක ඔබට මා සිටින්නේ කොහිදැයි ඔබට ලෙහෙසියෙන්ම හොයාගන්න පුළුවනි’

‘උතුරු තරුව තියෙන්නෙ හුඟක් දුරින්. ඒ වගේම ඒක කොයි මොහොතකවත් ගමන් කරන්නෙ නෑ. මොහු හා විවාහ වුණොත් මටත් වෙන්නෙ හැමදාම එතැනම ඉන්නයි’ එලින්ඩා හිතුවා.

‘ආදරණීය උතුරු තරුව, මට ඔබ හා විවාහ විය නොහැකියි’ එලින්ඩා උතුරු තරුව අමතා කියා සිටියා.

ඊළගට ආවේ හඳ. රිදී අසුන් සිව් දෙනෙක් බැඳි මංගල රථයකින් ඔහු හෙමින් අහසේ ඉඳලා පොළොවට ඉගිලී ආවා.


‘එලින්ඩා, කරුණාකරලා මා හා විවාහවෙන්න. මට පුළුවනි ඉතාම ආදරණීය ස්වාමියෙකු වෙන්ට. ඒ වගේම හැම රාත්‍රියකම මා එක්ක අළුත් අළුත් තැන් වල ඇවිදින්න යන්ට ඔබට පුළුවනි’ හද එලින්ඩා අමතා කියා සිටියා.

‘හඳ නම් ගමන් කරනවා තමයි. ඒත් හැමදාම යන්නෙ එකම පටු පාරක’ එලින්ඩා හිතුවා.

‘ආදරණීය හඳ, මට ඔබ හා විවාහ විය නොහැකියි’ එලින්ඩා කියා සිටියා.

ඔන්න ඊළඟට ඉර. රන් අසුන් දොළොසක් බැඳි තනි රනින් නිමකල රථයකින් ඉර අහසේ සිට පහළට පැමිණියා.

‘එලින්ඩා, ඔබ මා හා විවාහ විය යුතුයි. මා හා එක්ව දහවල ආලෝකමත් කරන්ට ඔබට පුළුවනි. හුළඟ උණුසුම් කරන්ටත්, සීත කාලය, වසන්ත කාලය, ග්‍රීස්ම කාලය සහ සරත් කාලය ඇති කරන්නට ඒවා නැති කර දමන්ටත් අපිට පුළුවනි’ ඉර එලින්ඩාට කියා සිටියා.

‘ඉර එළිය බොහොම සැරයි. එයාගේ බලවත් දීප්තියෙන් මට හැමවිටම සැඟවී සිටින්නයි වෙන්නෙ. ඔහුගේ සෙවණැල්ලේ පමණයි මට ජීවත් වෙන්ට හැකිවෙන්නෙ. එහෙම වුනොත් මගේ ආලෝකය ලෝකයට දෙන්ට කොහෙත්ම පුළුවන් කමක් මට ලැබෙන්නෙ නැහැ. ’ එලින්ඩා හිතුවා.

ඉතිං එලින්ඩා ඉර අමතලා, ‘ආදරණීය ඉර, මට ඔබ හා විවාහ විය නොහැකියි’ යි කිවුවා.

ඔන්න, මැදියම් රාත්‍රිය එලඹෙත්ම, මුළු ආකාසයම දීප්තිමත් ආලෝකයකින් වැසී යන්නට වුණා. දීප්තිමත් දේදුණු වර්ණයෙන් යුතු අසුන් සියයක් බැඳි දිදුලන කාල වර්ණ රථයක් අහසේ ඉඳලා පහළට ආවා හෙමින්. රථය පදවාගෙන ආවේ බොරේලිස් කුමාරයා. එයා තමයි උතුරු දිශාවේ ආලෝකයට අධිපතියා වුණේ.

‘එලින්ඩා, කරුණාකරලා මා හා විවාහ වෙන්න. ඔබට එක තැනක රැඳෙන්න ඕනෑ නෑ. ඔනෑම තැනකට යන්ටත් එන්ටත් ඔබට පුළුවනි. එක පුංචි පටු පාරක් විතරක් තෝරා ගන්ට ඕනේ වෙන්නෙත් නෑ. ඔබට පුළුවනි මුළු ආකාසේ පුරාම ඇවිදින්ට. මගේ ආලෝකය ඩිංගක්වත් සැර නැහැ. බොහොම මුදු සුවදායක එකක්’

‘ඔවු, මං කැමතියි ඔබ හා විවාහවෙන්න’ එලින්ඩා කියා සිටියා.

‘බොහොම ඉක්මනින් දවස උදාවෙන්නයි යන්නෙ. මං ආපසු යන්න ඕනෑ. අපේ විවාහෝත්සවයට සූදානම් වෙන්න. රාත්‍රිය උදාවත් සමඟම මම යලිත් එන්නම්’

අවසානයේ එසේ කියමින්ම බොරේලිස් කුමාරයා හිමිදිරියේ නොපෙනී ගියා.

ඔන්න ඉතිං දැන් එලින්ඩා එයාගේ මංගල වේලය නිමවන්ට පටන්ගත්තා. කුරුල්ලන්ගේ උදවු ඇතිව, එයා දිදුලන පිණි බිංදුවලින් දීප්තිය සොයා ගත්තා. බත් කූරෝ උන්ගේ පියාපත් වලින් වේලය සරසන්ට මුතු පැහැය ලබා දුන්නා. මකුළුවන් බොහෝම සුපරීක්ෂාකාරිව ඇයට මායාකාරි නූල් වියා දුන්නා. ඉන්පස්සේ ඈ කලේ රන්වන් වියන යන්තරයක් ලග ඉඳගෙන ඉතා සියුමැලි, තුනී වේලයක් වියන්ට පටන් ගත්තු එක.

රාත්‍රිය එළඹෙත්ම බොරේලිස් කුමාරයා ආයෙත් එලින්ඩා සොයාගෙන පැමිණෙන්ට සූදානම් වුණා. ඒත් ඔහුගේ රටට අරක්ගත් එක් එක් ආත්ම, ඔහුගෙ ලෝකයේ මිනිසුන් වෙනුවෙන් ඔහු නැවතිය යුතුයයි කියමින්, ඔහු එලින්ඩා වෙත යන ගමන අවහිර කළා.

බොරේලිස් කුමාරයා ඈ බලන්ට නොපැමිණියත්, එලින්ඩා දිගටම ඇගේ වේලය වියාගෙන වියාගෙන ගියා. වියන කාමරයත් ගමත් සම්පූර්ණයෙන්ම වේලයෙන් වැසී ගියා. ඔය අතරේ, දින සති මාස ගණන් ගෙවී යද්දි වේලය දිගින් දිගටම තව දුරටත් දිගු වෙන්ට පටන්ගත්තා. අවසානයේ වියූ වේලය මහපොළොව කෙළවරේ ගැටුණු මොහොතේ තමයි ඈ ඇගේ ඇඟිලි තුඩු වලට විවේකයක් ලබා දුන්නේ. බොරේලිස් කුමාරයා යළි නො එන බව ඈ විශ්වාස කල මොහොතේ පටන් ඈ වැළපෙන්ට පටන් ගත්තා, ඇගේ කඳුළු වලින් මේ මහ පොළොව මත තිබූ සියළු ගංගා, වැව්, පොකුණු පිරී යන තුරු.

අඩලා අඩලා, ඇති වනතුරු අඩලා එලින්ඩා ඇගේ හිස ඔසොවලා බැලූවා. එතකොට එයා දැක්කා කුරුල්ලෝ සියළු දෙනාම බොහොම කණගාටුවෙන් ඈ දිහා බලාගෙන ඉන්න හැටි. ඇයගේ ඉල්ලීම අනුව කුරුල්ලෝ සියල්ලෝම එක්වෙලා එලින්ඩා ඈත පෙනෙන ආකාසය තෙක් අරන් ගියා. තරු කැට අහුරකින් ඔටුන්නක් හදලා එයින් ඇගේ හිස සැරසුවා.

ඈ දැන් හරියටම ආකාසයට අධිපති දෙවඟන වගෙයි. ආයෙත් පුරුදු විදියටම ඈ කුරුළු රෑන් වලට උදව්කරමින් උන්ට පාර කියාදෙන්ට පටන් ගත්තා. උතුරු තරුව හැමදාමත් සමීප මිතුරෙක් වුණා. හඳ මසකට වරක් ඈ බලන්ට එන්ට පොරොන්දු වුණා. ඉර එයාගේ උණුසුම් කිරණ සහ සුබ පැතුම් ඈ වෙනුවෙන් හැම දිනකම එවන්ට අමතක කලේ නැහැ.

කාලෙන් කාලෙට, ගැඹුරු සීත කාලයන් වලදී එලින්ඩා හා බොරේලිස් කුමාරයා එක්ව රඟන හැටි බලාගන්ට පුලූවන් වුණා. ත් ඔවුන් කවදාවත් විවාහ වුණේ නෑ. එලින්ඩා ගේ වේලය අහසේ එක් කොනක සිට එහි අනෙක් කොන තෙක් විහිදිලා තියෙන හැටි ඕනෑම පැහැදිලි රාත්‍රි යකදී අපිට අදත් දකින්ට පුළුවන්. ඒකට කිවුවේ ”කිරි සයුර” කියලා.

එස්තෝනියානු ජන කතාවක් ඇසුරිනි.

කතාව - ලින් මොරෝනි
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails