බෝලන්ඞ් කියන්නෙ පුංචි ඩයිනෝසරයෙක්. එයා ජීවත්වුණේ එයාගෙ අම්මයි තාත්තයි එක්ක මහ විසාල කැලේක. බෝලන්ඞ් උන්නු අහල පහල හැම තැනකම පුංචි ඩයිනෝසර ළමෝ හිටියා. ඒ හැමෝම බෝලන්ඞ් ගේ හුඟක් හොඳ යාළුවෝ- ඒත් එක්කෙනෙක් හැර.
එයාගේ නම ටිරෝන්. එහෙමත් නැතිනම් ” නපුරු ටිරෝන්”. එහෙමයි හැමෝම එයාට කතා කළේ.
එයත් ඇත්තටම පුංචි ඩයිනෝසරයෙක්. ඒ වුනත් එයා අනිත් හැමෝටම වඩා විසාලයි. ශක්තිමත්.
ඕගොල්ලො කවදාවත් දැකලා නැහැ ඒ වගේ හිරිහැර කාරෙයෙක්ව නම්.
ඒ කියන්නෙ එයා තමයි ලෝකෙ උන්නු නපුරුම නපුරු හිරිහැර කාරයා!
ටිරෝන් හැමවෙලාවෙම බෝලන්ඞ් ට හිරිහැර කළා. එයාට ගැහුවා. වද දුන්නා. ඔච්චම් කළා. බෝලන්ඞ් ගේ කෑම උදුරාගෙන කෑවා.
ඒ හින්දා බෝලන්ඞ් හැමවෙලාවෙම ටිරෝන්ව මග ඇරල ඉන්න උත්සහ කළා. ඒත් ඒකෙන් කිසි වැඩක් උනේ නැහැ. මොකද බෝලන්ඞ් යන එන හැම තැනකම වාගෙ ටිරෝන් හිටියා බෝලන්ඞ් එනතුරු මග බලාගෙන.
එක රැයක් ගෙවිලා ඊළඟ රැය උදාවෙන තුරුත් බෝලන්ඞ් ට නිදාගන්න බැරි වුනා. මොකද එයා කල්පනා කලා හුඟක් ටිරෝන්ගෙන් ගැලවෙන විදියක් ගැන. ඒත් පෙනුනු හැටියට ඒකෙන් කිසිම වැඩක් වුණේ නෑ. අන්තිමේදී බෝලන්ඞ් ගේ යාළුවෝ එයාට උදවු කරන්න උත්සහ කළා.
” ඔයා ටිරෝන්ව ඔයාගෙ යාළුවෙක් කරගන්න” ටෙරී කිවුවා බෝලන්ඞ් ට.
”හැමවෙලාවෙම කෙනෙකුට කරදර කරන කෙනෙක් හිරිහැර කරන කෙනෙක් කොහොමද යාළුවෙක් කරගන්නෙ?”
”ඔයා එයාට තෑග්ගක් දෙන්න. එයාට පෙන්නන්න ඔයා එයා ගැන සැලකිලිමත් කියලා.” ටෙරී කිවුවා.
”ටිරෝන්ට තෑග්ගක්?”
”හොඳයි, අඩු තරමින් උත්සහ කරල බලන එකත් වටින දෙයක් නෙ” අන්තිමේදී බෝලන්ඞ් එකඟවුනා.
එදා දහවලේ බෝලන්ඞ් ගියා ටිරෝන්ව හොයන්න.
”මේක ඔයාට. අද හුඟක් රස්නෙ දවසක් නෙ. ඉතිං මං හිතුවා ඔයා අයිස්ක්‍රීම් කන්න කැමති වෙයි කියලා” බෝලන්ඞ් මිතුරු හඩින් කියා සිටියා.
ටිරෝන් මොහොතක් බලාගෙන හිටියා බෝලන්ඞ්ගෙ දිහා. ඊට පස්සෙ බොහොම බියකරු විදියට හිනා වුණා.
”මට? අයිස්ක්‍රීම්? කොච්චර හොඳයිද!”
එහෙම කියල එකපාරටම අයිස් පලම උදුරා ගත්තු ටිරෝන් එ්ක අනිත් පැත්ත හරවලා බෝලන්ඞ්ගේ ඔලූවට ගැහුවා.
”හා...හා...හා!” ඊට පස්සෙ ටිරෝන් හිනා වෙවී යන්න ගියා.
බෝලන්ඞ් ට ඇහුණා හුඟ වේලාවක් යන තුරුත් ටිරෝන්ගේ හිනාව මහ කැළෑව මැද්දෙන්.
ඊළඟ දවසේ බෝලන්ඞ් හැම දෙයක්ම කිවුවා එයාගේ යාළුවා ස්ටෙලාට.
”ඔයා මේක ගනං ගන්නවා වැඩියි” ස්ටෙලා කිවුවා.
” එයා ඔයාට හිරිහැර කරන්න හදද්දි ඩිංගක්වත් ඒ ගැන කලබල නොවී ඉන්න. කිසි ගානකට ගන්නෙ නැතිව. එතකොට හිරිහැර කාරයට තේරෙයි කරදර කරන එක තේරුමක් නැති වැඩක් බව. ඒක තමයි කරන්න තියෙන හොඳම වැඬේ.”
”හුඟාක් බය වුණු වෙලාවට සැහැල්ලූවෙන් ඉන්න එක ඒ තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. හරි, ඒත් මං උත්සහකරන්නම්” බෝලන්ඞ් කිවුවා.
ඔන්න ටිරෝන් මුණ ගැහුනු ඊළඟ වතාවෙ බෝලන්ඞ් සැහැල්ලූවෙන් කිසි ගනනකට නැතුව එයාගෙ පාඩුවේ හිටියා.
”ආ..කොහොමද කටුසු ඔලූවෝ!, කෝ මගේ කෑම එක?”. බෝලන්ඞ් අහලින් යද්දි ටිරෝන් කෑගැහුවා.
බෝලන්ඞ් කිසිම ගනනකට නැතුව, බය වෙලා දුවන්නෙ නැතුව හෙමින් හෙමින් යන්න ගියා.
”මං හිතන්නෙ ඒක කන්න දැං වෙලාව හරි වගේ”. එහෙම කියල බෝලන්ඞ් වෙතට කඩා පැන්න ටිරෝන් කලේ බෝලන්ඞ්ගේ අතේ තිබුණු පාන් පෙති ටික දෙන තුරු බෝලන්ඞ් ගේ නැට්ට පාගාගෙන හිටි එක.
බෝලන්ඞ් හිටියෙ හුඟක් අමාරුවෙන් එයාගෙ කඳුළු හංගගෙන. ඒත් එයාට හුඟාක් රිදුනා.
ටිරෝන් බෝලන්ඞ් ට කළ දේ දැන ගත්තාම බෝලන්ඞ් ගේ යාළුවන්ට හුඟක් තරහ ගියා.
”පෙරලා සටන් කරන්න වෙලාව ඇවිත්!” ස්ටීගෝ කිවුවා.
”ටිරෝන් ඔයාට ඇති තරම් හිරිහැර කරලා තියෙනවා. එයා ඉස්සරහ ට ගිහින් ඔයත් ඩයිනෝසරයෙක් කියලා එයාට පෙන්වන්න කාලෙ හරි දැං. ඔයාට පුළුවන් දිනන්න, එයත් එක්ක සටන් කරල. මොකද එයාට තියෙන්නෙ මහ විසාල කටක් විතරයි!”
ඒ වෙද්දි බෝලන්ඞ්ටත් බොහොම තරහ ගිහින් හිටියේ. ”ඔයා කියන දේ හරි. සටන් කරලා හරි මේ විකාර හිරිහැර කිරීම සදහටම ඉවර කරල දමන්න ඕනෑ”. බෝලන්ඞ් කිවුවා.
”හොඳයි, එහෙනම් අපි දැන්මම යමු!”
යාළුවෝ හතර දෙනා ටිරෝන් හොයන්න පිටත් වුනා.
”මේ අහනවා නපුරෝ, මේ හිරිහැර කිරිල්ල දැන් හොඳටෝම ඇති වෙලා තියෙන්නෙ. පුළුවන් නම් එනව මාත් එක්ක සටන් කරන්න!” ටිරෝන් ඉදිරියේ හිටගත්ත බෝලන්ඞ් කිවුවා.
ටිරෝන් එක පාරක් බෝලන්ඞ් දිහා බලාගෙන ඉඳලා මෝඩ විදියට විරිත්තලා, ”ආ එහෙමද? සටන් කරන්නද ඕනෑ?” කියලා ඇහුවා.
ඒක බොහොම කෙටි දබරයක් විතරයි. පුංචි බෝලන්ඞ් ට එයාගෙ මහ විසාල සතුරා ව පරද්දන්න ඉඩක් ලැබුණේ නෑ.
”මට සමාවෙන්න. ඒක එච්චර හොඳ අදහසක් නෙමෙයි. මට්ටු කරන්න බැරි හිරිහැර කාරයින්ව අතෑරලා දාන එක තමයි හොඳම දේ. ඔයා කැමති උනත් අකමැති උනත් ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනෑ”, අන්තිමේදී ස්ටීගො කිවුවා.
ඒත් බෝලන්ඞ් ඒකට කැමති වුණේ නැහැ ඩිංගක්වත්.
”ඔය වගේ හිරිහැර කාර නපුරන්ව මට්ටු කරන මොකක් හරි විදියක් තියෙන්න ඕනෑ” බෝලන්ඞ් හිතුවා.
හඳ අහසට ඇවිත් අහස පුංචි නිල්පාට තරුවලින් වැහිලා යන තුරුත් බෝලන්ඞ් කල්පනා කරමින් හිටියෙ. ඒත්, එකපාරටම ලොකු හිනාවක් බෝලන්ඞ්ගේ තොල් වල ඇඳිලා ගියා.
” ඔව්, ඒක තමයි කරන්න ඕනෑ”, බෝලන්ඞ් තමාටම හෙමින් මුමුණාගත්තා.
ඊට පස්සෙ එයාගේ උණුසුම් පොරෝනාව ඇතුලේ ගුලි වෙලා හොඳට නිදන්න පටන් ගත්තා.
ඊළඟ දවසේ උදේ පුරුදු විදියටම පාන්පෙතිත් අරන් බෝලන්ඞ් මහ කැළෑව දෙසට ගියා. ඔන්න වැඩි දුරක් යන්නටත් කලින් ටිරෝන් ආවා බෝලන්ඞ් ඉස්සරහට.
”අහා...මට තවත් කෑමක් වගේ?, මේක නම් රසම රස දෙයක් වෙන්ට ඕනෑ”
ගොරවමින් බියකරු හඩින් එහෙම කියන අතර තුරේ බෝලන්ඞ් වෙත පැන්න ටිරෝන් පාන්පෙති උදුරා ගෙන එක කටට ගිල දැමුවා.
බෝලන්ඞ් හැකි තරම් ඉක්මනින් එතනින් යන්ට ගියා.
ඒත් එක්කම එකපාරටම එයාට ඇහුණා බියකරු කෑගැහිල්ලක්.
”ආ ....ආ.... ආ.... ආහ්...අම්මෝ..”. ඒ තමයි ටිරෝන්. එයාගෙ කටින් ගින්දර පිටවෙමින් තිබුණේ.
”අනේ, මාව බේරගන්න, මාව පිච්ච්චෙනවෝ, මාව මැරෙන්න යනවෝ, මට වහ කැවිලෝ”
”අයියෝ...මට උදව් කරන්ඩෝ”
”විකාර” බෝලන්ඞ් හිනාවෙවී කිවුවා.
”ඒක පාන් පෙත්තක් විතරයි. මං දන්නෙ නෑ නෙ ඔයා මේ තරම් සැරට කෑම කන්න බැරි කෙනෙක් විත්තිය. මං නම් හුඟක් කැමතියි රතුම රතු මිරිස් හොඳහැටි අතුරපු පාන් පෙති කන්න. අපොයි ! හිතාගන්නත් බෑ ඔයාට මේව කන්න බෑ කියන එක නම්”.
ටිරෝන් ට අඩන්නයි කෑගහන්නයි ඉඩ ඇරලා එහෙම කියූ බෝලන්ඞ් ආපහු හැරිලා යන්න ගියා.
එදා ඉඳලා ටිරෝන් කලේ හැකි හැම වෙලාවකම බෝලන්ඞ්ගෙන් ඈත් වෙලා හිටපු එක.
ඉන්පස්සෙ හැමදාමත් බෝලන්ඞ් එයාගෙ යාළුවෝ එක්ක ඒ මහ කැලෑවේ සතුටින් සෙල්ලම් කලා. ඒ වගේම එයාට ආයෙ කවදාවත් නිදා ගන්න බැරි විදියේ කරදරකාරි රාත්‍රින් එකක් වත් ආවේ නැහැ.
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන