එකෝමත් එක රටක මී පැටවු දෙන්නෙක් හිටියා. එකෙකුගේ නම කැරකෙන පැංචා. අනිකාගේ නම පෙරළෙන පැංචා. තවත් එක හඩලන රාල කෙනෙකුත් හිටියා. හඩලන රාළ උදේ පාන්දර නැගිටලා කොක්කො ...කෝ..කෝ... කියලා හඩලනවා. වැඩ කරන්ට පටන් ගන්නවා. කැරකෙන පැංචයි, පෙරළෙන පැංචයි උදී හිටන් රෑ වෙනතුරු සිංදු කියනවා, නටනවා, කැරකෙනවා, පෙරළෙනවා.
දවසක් දා හඩලන රාළ මිදුල අතු ගෑවා. එතකොට එයාට ලොකු වී කරලක් හම්බ වුණා.
"කැරකෙන පැංචෝ, පෙරළෙන පැංචෝ, මෙහෙ වරෙල්ලා. මෙන්න බලාපල්ලා මට වී කරලක් හම්බ වුණා."
මී පැටවු දෙන්නා දුවගෙන ඇවිල්ලා මෙහෙම කියනවා.
"වී ටික සුද්ද කරලා ගන්ට ඕනෑ."
"වී කොටන්නේ කවුද?" හඩලන රා ල ඇහුවා.
"මම නොවෙයි." කැරකෙන පැංචා කිව්වා.
"මම නොවෙයි." පෙරළෙන පැංචා කිව්වා.
"හොඳයි, මම වී ටික සුද්ද කරන්නම්." කියලා හඩලන රාළ වී සුද්ද කළා.
මී පැටවු දෙන්නා සෙල්ලම් කළා.
වී සුද්ද කරලා හඩලන රාළ මෙහෙම කියනවා.
"කැරකෙන පැංචෝ, පෙරළෙන පැංචෝ, මම කොච්චර කැකුළු හාල් එකතු කළාද කියල බලාපල්ලා!"
"මී පැටවු දෙන්නා ඇවිත් එක හඩින් මෙහෙම කියනවා;
"දැන් ඉතින් කැකුළු හාල් ටික මෝලට දීලා හාල් පිටි කරගන්ට ඕනෑ!"
"වී මෝලට හාල් ටික ගෙනියන්නෙ කවුද?" හඩලන රාළ ඇහුවා.
"මම නොවෙයි." කැරකෙන පැංචා කිව්වා.
"මම නොවෙයි." පෙරළෙන පැංචා කිව්වා.
"හොඳයි, මම ගෙනියන්නම්." හඩලන රාළ හාල් මිටිය කරේ තියා ගත්තා.
මෝලට ගෙනියලා කැකුළු හාල් ටික පිටි කරගත්තා.
මී පැටවු දෙන්නා සෙල්ලම් කළා. එකෙකුගේ පිටට උඩින් අනිකා පනිනවා. හිනා වෙනවා. සතුටු වෙනවා.
හඩලන රාළ පිටි මිටිය කර ගහගෙන ගෙදර ඇවිත් මී පැටවුන්ට කතා කළා.
"කැරකෙන පැංචෝ, පෙරළෙන පැංචෝ, මම පිටි ගෙනාවා."
"අපේ කුකුළා හරි හපනා, අපේ කුකුළා හරි හපනා, දැන් ඉතින් පිටි අනලා රොටි පුච්චන්න ඔනෑ!"
"පිටි අනන්නෙ කවුද?" හඩලන රාල ඇහුවා.
"මම නොවෙයි." කැරකෙන පැංචා කිව්වා.
"මම නොවෙයි." පෙරළෙන පැංචා කිව්වා.
හඩලන රාළ කල්පනා කරලා, කල්පනා කරලා මෙහෙම කිව්වා.
"මට තමා පිටි අනන්ටත් සිද්ද වෙලා තියෙන්නෙ."
හඩලන රාළ පිටි ඇනුවා. දර කඩාගෙන ඇවිත්, ලිපට දර දාලා, ලිප පත්තු කළා. රොටි හදලා පෝරණුවට දැම්මා.
මී පැටවු දෙන්නත් නිකම් හිටියේ නෑ. සිංදු කිව්වා. නැටුවා. උඩ පැන්නා.
රොටි රන්වන් පාටයි. පුසුඹයි. හඩලන රාළ රොටි ගෙනල්ලා මේසය උඩ තැබුවා. මී පැටවු දෙන්නා එක පාරටම මේසේ උඩට ආවා. අඩගහන තුරු හිටියේ නැහැ.
"අනේ මට නම් බොහොම බඩගිනියි. කැරකෙන පැංචා කිව්වා.
"අනේ මටත් බොහොම බඩගිනියි." පෙරළෙන පැංචා කිව්වා.
මී පැටවු දෙන්නා රොටි ලැබෙන තුරු බලාගෙන ඉන්නවා.
හඩලන රාළ උන්ට මෙහෙම කිව්වා.
"පොඩ්ඩ්කට නැවතියල්ලා! වී කරල ඇහින්දේ කවුද?"
"අපේ කුකුළා!" මී පැටවු දෙන්නා උඩ පැනලා කිවුවා.
"වී සුද්ද කළේ කවුද?"
"අපේ කුකුළා!" මී පැටවු දෙන්නා ආයෙමත් උඩ පැන්නා.
"හාල් ටික මෝලට ගෙනිච්චෙ කවුද?"
"අපේ කුකුළා, අපේ හඩලන රළ." මී පැටවු දෙදෙනා කිව්වා. හැබැයි ඊ ගොල්ල දැන් නම් පිළිතුරු දෙන්නේ බොහොම හෙමින්.
කුකුළා ආයෙමත් අහනවා,
"පිටි ඇනුවේ කවුද? දර කැඩුවේ කවුද? ලිප පත්තු කළේ කවුද? රොටි පිච්චුවෙ කවුද?"
මී පැටවු දෙන්නා බොහොම හෙමින් පිළිතුරු දුන්නා.
"අපේ කුකුළා. අපේ හඩලන රාළ!" ඒ ගොල්ලන්ට වෙන කියන්ට දෙයක් නැහැ.
මී පැටවු දෙන්නා හෙමිහිට මේසයෙන් බිමට බැස්සා. හඩලන රාළ ඒ ගොල්ලන්ව නවත්තන්න ගියේ නැහැ.
ඒ වගේ කම්මැලියන්ට, වැඩ නොකර පිනට කෑම ඉල්ලන අයට රොටි දෙන්නෙ නැහැ!
රුසියන් ජනකතාවක් ඇසුරිනි. අනුවාදය - දැදිගම වී. රුද්රිගූ