
සත්ව විද්‍යාත්මකව Misumena vatia ලෙස හැඳින්වෙන මේ සුවිශේෂි මකුළු විශේෂය කකුළු මකුළු පවුලෙ සාමාජිකයෙක්. ඇත්තටම මේගොල්ලන්ගෙ ඉදිරි පාද යුගල කකුළුවෙකුගේ මෙන් ඉදිරියට නැඹුරු වූ ස්වරූපයක් ගන්නවා. ඒවගේම කකුළුවෙකු මෙන් පසුපසටත්, පැත්තෙන් පැත්තට පාර්ශ්වීය ලෙසත් චලනය වීමේ හැකියාව තිබෙනවා. වේශාන්තරණය මකුළු ලෝකය තුල දුලබ සිදුවීමක්. ඒත් මේ Misumena vatia අයත් මකුලුවන් සුවිශේෂි වන්නේ ඔවුන්ට වේශාන්තරණය වීමේ ඇති හැකියාව නිසයි. උතුරු අමෙරිකාවේ සුලබ මකුළු විශේෂයක් වෙන මොවුන් හඳුන් වන්නේ ගෝල්ඩන්රොඩ් මකුළුවන් ලෙසයි. ඒ ඔවුන් වැඩියෙන්ම ගැවසෙන්නේ ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයේ නිසයි.
මේ කකුළු මකුළු විශේෂය ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කරගන්නේ නෑ. ඔවුන් ප්‍රසිද්ධ සැඟවී සිට පහරදෙන දඩයක්කරුවන් ලෙසයි. ඒ කියන්නේ Misumena vatia විශේෂයේ මකුළුවන් ඉන්නා පෘෂ්ඨයට සමීප වර්ණයකින් සිරුර පවත්වා ගැනීමක් එහෙම නැතිනම් වේශාන්තරයක් සිදුකිරීමෙන් තමයි මෙය සිදු කරන්නේ. වේශාන්තරණය මකුළුවන් අතර දුලබ දෙයක් වුණත් Misumena vatia ට මේ හැකියාව තියෙනවා.
මේ මකුළුවන් ගේ පිරිමි සතුන් ප්‍රමාණයෙන් මි. මී.5ක් තරම් වන නමුත් ගැහැණු සතුන් මි. මී.10ක් පමණ වෙනවා. ශරීර වර්ණය ලා කහ පැහැයක් හෝ සුදු පැහැයක් ගන්නේ ඔවුන් දඩයන් කරන්නට යොදා ගන්නා පෘෂ්ඨය අනුවයි. ඩේසි සහ සූරියකාන්ත මල් වල සිටින නොමේරූ ගැහැණු සතුන්ට තමාගේ ශරීර වර්ණය තමා කැමති පරිදි වෙනස් කරගැනීමෙ හැකියාව තිබෙනනවා. මේරු ගැහැනු මකුළුවෙකුට ශරීර වර්ණය වෙනස් කරගැනීමට වර්ණක බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එම කාර්යය සඳහා දීර්ඝ වේලාවක් ගතවෙනවා. ඒ නිසා ඔවුන් වැඩිපුර තොරා ගන්නේ තද කහ පැහැති ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයයි.
කයිනුරෙනීන් සහ 3-හයිඩ්රොක්සිකයිනුරෙනීන් නම් කහ පැහැති වර්ණක සහිත දියරයක් ශරීරයේ බාහිර සෛල ස්ථරයට නිකුත් කිරීමෙන් තමයි ඔවුන් පාට වෙනස් කරන්නේ. ඉන්පසු ශ්වේත වර්ණය මූලික කරගෙන එම කහ වර්ණය පහල ස්ථරයන් වෙත පරිවහනය කරනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල සුදු පැහැ ගැන්වීමෙන් අනතුරුව එය බාහිරයට පෙනෙන්නට පටන් ගන්නවා. මෙම මකුළුවන් දීර්ඝ වේලාවක් සුදු පැහැති පෘෂ්ඨයක රැඳි සිටින්නේ නම් කහ වර්ණක ශරීරයෙන් දිගින් දිගටම බහිස්‍රාවය කරනවා. එමගින් ශරීරය කහ පැහැවීම දිගු වේලාවකට ප්‍රමාද කරනවා. සාමාන්‍යයෙන් පැහැය සුදු වර්ණයයේ සිට කහ වර්ණය දක්වා වෙනස් වීමට දින 10-25 ත් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම යථා තත්වයට පත් වෙන්න ගත් වෙන්නෙ දින 6ක් වගේ කාලයක්.
නීල්යා කාරියවසම්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියො අවදි වෙනවා. උන් කෑම හොයන්නට කොළ අතරින් පතර එහෙට මෙහෙට යනවා. එහෙමත් නැතිනම් සෙල්ලම් කරනවා.
ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වී, හෙල්ලෙන්නෙවත් නැතුව නින්ද ගියා සේ ඉන්නවා. ඒත් ළං වෙලා හොඳ හැටි බැලුවොතින් නම් පෙනෙයි, පුංචි ඇස් ඇරිලා තියෙන ආකාරය. මිතුරු කුරුමිණියෝ සන්තෝසෙන් ඉපිලෙමින් හැංඟිමුත්තො කරනායුරු බලන් ඉන්නාකාරය.
"අයියෝ! මට එක ලපයක් තියෙන නිසා මෙයාලා විහිළු කරනවා...." කුරුමිණියෝ රංචුවක් එකතුවෙලා කණපිට හරවපු ඒ කුරුමිණියා, බොහොම අමාරුවෙන් කෙලින් වෙන ගමන් දුකෙන් කියන්නට වුණා.
"එක ලපයා අවාසනා.. එක ලපයා අවාසනා
හා.. හා.... හී.. හී..... හූ.. හූ...."
කුරුමිණි රංචුව එක ලපයක් තියෙන කුරුමිණියාට ඇහෙන්න හයියෙන් කවට ගීත කියන්න පටන් ගත්තා. ළඟට එන ලප හයක් තියෙන කුරුමිණියෙක් එක ලපයාව වේගයෙන් තල්ලු කරන්නෙ, කකුල් උඩට විහිදෙන ලෙස බිමට වැටෙන්නයි.
ආයෙමත් කෙලින් වෙන එක ලපයා පුංචි අත්තටු විහිදගෙන, විහිළු තහළු කරන කුරුමිණියන්ගෙන් ඈතට පියාඹනවා.

එක ලපයාට ඕනෑ වුණේ කුරුමිණි රජ්ජුරුවන් ගාවට යන්නයි. ගිහින් අනෙක් කුරුමිණියන්ට ලප කීපයක් තියෙද්දි, තමන්ට විතරක් එක ලපයක් තියෙන්නෙ ඇයි කියල අහන්නයි. අත්තටු තෙහෙට්ටුවට පත්වුණ නිසා එක ලපයා බිමට ඇවිත් වැහුවා. කුහුල් සිතින් අවට වට පිටාව නරඹන්නට වූ එක ලපයා දුටුවේ දිග ගැඩවිල් පණුවෙක්.
"ඔයා දන්නවද එක ලපයක් තියෙන තවත් කවුරු හරි?" කුරුමිණියා පණුවගෙන් ඇහුවා.
"මට එක ලපයක්වත් නෑ..."යි කීව පණුවා, ලස්සනට ඇකිලුණා."බොරුනම් බලන්නකෝ...."යි කීව ඌ, පස් ඇතුලේ අතුරුදහන් වෙන විදිහ එක ලපයා පුදුමයෙන් බලන් සිටියා.
ටිකෙන් ටික ඉදිරියට ඇදුණ කුරුමිණියා ඊළඟට දුටුවේ සුදුපාට බෝලයක් උස්සගෙන යන කූඹියෙක්ව.
"අනේ! ඔය සුදු ලපය මට දෙනවද?"එක ලපයා කූඹියාගෙන් ඇහුවා.

"අනේ.. පුංචි යාළුවේ, මේ කූඹි බිත්තරයක්නේ...."යි කියා සිනාසුණ කූඹියා, කඩිසරව ඉස්සරහට ගියා.
නොනැවතී ඉදිරියට ඇදුණ එක ලපයාට රෝස සුවඳ දැනෙන්නට වුණා.
‘ඔය සුවඳ එන්නෙ රෝස මාළිගාවෙන් වෙන්න ඕනෑ.... ’එක ලපයාට සිතුණා.
ලස්සනම ලස්සන රතුරෝස මලක් උඩයි වයසක රජතුමා ජීවත් වුණේ.. ගොඩක් ලප තිබුණ මේ රජතුමා හොඳට දන්නවා, මල්පැල වලට සාත්තු සප්පායම් කරනායුරු. රජතුමාගේ සේවක කුරුමිණියෝ ඒ සඳහා රජතුමාට උදව් පදව් කරනවා.
කොහොමහරි කටු වලින් පිරුණ ශක්තිමත් රෝසගහ ළඟට එක ලපයා සේන්දු වුණා. විශාල රෝසකටු අතරින් පරිස්සමට එක ලපයා ගහ මුදුණට නගින්නට වුණා. අතර මගදි තවත් කුරුමිණියො රාශියක් එක ලපයාට හමුවුණා. උන් එක ලපයා දිහා පුදුමයෙන් බැලුවා.
සෑහෙන වෙලාවකට පසු, සුවඳ හමන රතුරෝස මල ළඟට එක ලපයා පැමිණියා.
රජතුමා ඉදිරියට පැමිණි එක ලපයා ගරු සරුව නැමී: "රජතුමනි.... ඔබතුමා දන්නවද මට විතරක් ඇයි එක ලපයක් තියෙන්නෙ කියලා.... ?" යි ඇසුවා.
"එක ලපයක්? ඒක කොයි තරම් පුදුමයක්ද! ?" රජතුමා සන්තෝසෙන් උදම් වැනුවා."ඔයා විතරයි මුළු කුරුමිණි ලන්තයේම ඉන්න එක ලපයක් තියෙන කුරුමිණියා...." යි කීව රජතුමා, රෝස පඳුරේ සියලුම කුරුමිණියන්ට පෙනෙන්නට එක ලපයාව උඩට ඉස්සුවා.
එක ලපයාව දුටු කුරුමිණි සේවකයෝ තාලෙට ගයන්නට වුණා.
"එක ලපයක් එක ලපයක්
හරිම හැඩයි හරි පුදුමයි
එක ලපයා වාසනා
එක ලපයා වාසනා"

රජතුමා සහ එක ලපයා උන් තැනට කුරුමිණියෝ ඉක්මණින් පියාඹගෙනද, තවත් සමහරෙක් කඩිසරව ඇවිදගෙනද එන්න පටන් ගත්තා. එක ලපයා ඉදිරියේ බාගෙට නැමුණු ඒ කුරුමිණියෝ කකුලක් දී එක ලපයාට සුබ පතන්නට වූණා.
"එක ලපයක් තියෙන රතු කුරුමිණියෙක්.... හරි පුදුමයි...."උන් එකිනෙකාට මුමුණන්නට වුණා.
"එක ලපයා.... කොච්චර ලස්සන නමක්ද.. ?"
විහිළු තහළු කරමින් එක ලපයාව කොන් කරපු කුරුමිණි රංචුවටත් මේ පුවත ඉක්මණින් ආරංචි වුණා. රජතුමාගේ මාළිගාවේ සැඳෑ සාදයට ඒ කුරුමිණි රංචුවට ද ආරාධනා ලැබුණත්, ලැජ්ජාව නිසා උන් මාළිගාවට ගියේ නෑ. ලැජ්ජාව කොච්චරද කියනවනම් ඒ කුරුමිණි රංචුව මුළු දවස තිස්සෙම ඇවිද්දෙ රෝස කොළයක් යට හැංඟිලායි.

මාළිගාවේ සියලුම කුරුමිණියෝ ගී ගය ගයා රවුමට නැටුවා. එක ලපයාත් ගොඩක් සන්තෝසෙන් සහ ආඩම්බරෙන් අනෙකුත් කුරුමිණියන් හා නටන්නට ගයන්නට වූණා. ඒ විතරක් නෙමෙයි එක ලපයාව රජතුමාගේ සේවක කුරුමිණි හවුලටත් බඳව ගත්තා. රජතුමාට සේවය කිරීම ගරු නම්බුවක් විදිහටයි, කුරුමිණි ලන්තයේ හැමෝම සැලකුවේ.
එදා ඉඳන් රතුරෝස මාළිගාව තවත් දිලිසි දිලිසි සුවඳ හමන්නට රෝසපෙති සුද්ද පවිත‍්‍ර කරන අනෙක් සේවක කුරුමිණියන්ට, එක ලපයාත් උදව් කරනවා.
[සිතුවම්- ගෙර්දා වෙස්ටරින්ක්]
එවලින් ෆන් දොර්ත්
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

එක්තරා ගමක එක් ගොවියෙක් වාසය කළා. ඔහු ඉතා දිළිඳු යි. ඔහුට ඕනැ වුනා දුප්පත්කමෙන් මිදී ධනවත් බලවත් පුද්ගලයෙකු වී රූමත් කුමරියක් විවාහ කරගෙන සැපෙන් ජීවත් වෙන්න. නමුත් ඔහු ගත කළේ ඉතා දිළිඳු ජීවිතයක්. මේ ගැන ඔහු සිටියේ බලවත් කලකිරීමෙන්.
දිනක් ගොවියා කුඹුරු වැඩ කරමින් ඉන්න විටදි ඔහුගේ උදැල්ලේ තලය කැඩී ගියා.
ඔහු එය අලුත්වැඩියා කර ගැනීමට උත්සාහ කළත් බැරිවුනා. ඔහු ඉතා දුකින් කැඩුනු උදැල්ල ද රැගෙන ගෙදර ආවා. "මෙච්චර කල් මට පිහිට වුනේ මගේ මේ උදැල්ල. දැන් ඒකත් කැඩිලා. අලුත් උදැල්ලක් ගන්න මට සල්ලිත් නෑ. අනේ මං වගේ අසරණයෙක්." ඔහු ඉතා දුකින් කල්පනා කරන්නට වුනා. හදිසියේම ඔහු ඉදිරියේ ඉතා රූමත් දිව්‍යාංගනාවක් පහළ වුනා. ඇය ඔහුට මෙසේ පැවසුවා. "ඔබ ඉතා දුකින් සිටිනබව මට පේනවා. ඔබට කුමක්ද ඕනෑ? ඔබට ඕනෑ දෙය පවසන්න. නමුත් මතක තබා ගන්න. ඔබට ඉල්ලීමට හැකි එක ම එක දෙයක් පමණි. හොඳින් කල්පනාකර ඉල්ලන්න."
ගොවියාට මෙය අදහාගත නොහැකි පුදුමයක් වුණා. ඔහු ඉතා කලබලෙන් ඔහුට අවශ්‍යදෙය කල්පනා කරන්නට වුණා. "මට මට.. ඔනේ ඉතා වටිනා මැණිකක්.. එවිට මට එය විකුණා පෝසත් වෙන්න පුලුවන්".. ගොවියා කල්පනා කළා. "ඒත් එතකොට මිනිස්සු ඇහුවොත් කොහෙන්ද මැණික කියලා.. මං මොකද කියන්නෙ.. මිනිස්සු මං කියන දෙය විශ්වාස කරයිද? එතකොට මං බොරු කාරයෙක් වෙනවා. නෑ නෑ මැණික් එපා. මට දෙන්න රන් කාසි පිරවූ පෙට්ටියක්. ඒත් …ඒත් ඒ වගේ රන්කාසි පෙට්ටියක් තියන්න මගේ ගෙදර ආරක්ෂාව මදි. නෑ නෑ රන්කාසි පෙට්ටියත් එපා. මට දෙන්න හොඳ ලස්සන ලොකු ගෙයක්. ඒත්.. එතකොට මිනිස්සු බලාවි කොහෙන්ද එකපාරට ම මෙච්චර ලොකු ගෙයක් කියලා. මේ ගැන නඩුකාරයට ආරංචි වුනොත්... අන්න හරි. මාව නඩුකාරය කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත්… ඒත් මං නඩු අහන්න දන්නෙ නෑ නෙ. මිනිස්සු මං ගැන අධිරාජ්‍යයාට පැමිණිළි කළොත්. ආහා.. එහෙනම් මාව අධිරාජ්‍යයා බවට පත් කරන්න. එතකොට හරි නේ. ආ.. ඒත් පොඩ්ඩක් ඉන්න. මං රාජ්‍ය පාලනය ගැන මුකුත්ම දන්නේ නෑ නෙ. මං කොහොමද රට පාලනය කරන්නෙ. එතකොට අනිත් රටවල් වල සතුරො මගේ රට අල්ලගනීවි. අනේ අනේ.. එහෙම වුණොත්... බෑ බෑ ඒක හරියන්නෙත් නෑ. අනේ මං මොනවද දිව්‍යාංගනාවගෙන් ඉල්ලන්නෙ.. ගොවියා කල්පනා කළා.
"ඔබට තීරණයක් ගන්න බැරි ද? හොඳයි මං ඔබට උදව්වක් කරන්නම්. බලන්න ඔබේ ම දෑත් දෙස. ඒවා ඔබට තීරණයක් ගැනීමට උදව් කරයි." දිව්‍යාංගනාව පැවසුවා.
ගොවියා සිය දෑත් දෙස විමසිල්ලෙන් බැලුවා. ඒවා ඉතා ශක්තිමත් බව ඔහුට පෙනුණා. කරගැට මතුවී ගොරෝසු වී තිබෙන සිය දෙ අත්ල එකිනෙක පිරිමදිමින් ඔහු කල්පනා කළා. "මං කවුද? ගොවියෙක්. මං දන්නෙ ගොවිකම. එහෙනම් මම දියුණුවෙන්න ඕනෑ ගොවිකමෙන්ම යි. ඔහු සිය කැඩුනු උදැල්ල දෙස බැලුවා. මට දැන් වැඩියෙන් ම ඕනෙ කරලා තියෙන්නෙ මගෙ උදැල්ල හදා ගන්න."
ගොවියාට තේරුණා ඔහු නිවැරදි තීරණය ගත් බව. ඔහු ඉතා යටහත්පහත්ව දිව්‍යාංගනාවට මෙසේ පැවසුවා. "අනේ දිව්‍යාංගනාව මගේ මේ කැඩුනු උදැල්ල යළි හදා ගන්න පුලුවන්නම් මට ඒඇති."
දිව්‍යාංගනාව මෙසේ කීවා. "ඔබ ඉතා බුද්ධිමත්. ඔබ ඔබට ඕනෑ නිවරදි දෙය තෝරාගත්තා. ඔබේ උදැල්ල යථා තත්වයට පත්වේවි. ධෛර්යයෙන් කටයුතු කරන්න. වාසනාව ඔබ වෙත ඉක්මනින් ඒවි." එසේ පැවසූ දිව්‍යාංගනාව අතුරුදහන් වූණා.
පසුදා උදේ ගොවියා අවදිවී බලන කළ ගොවියාගේ කැඩුනු උදැල්ල යළි සවි වී තිබුණා. ගොවියා එයත් රැගෙන කුඹුරට ගොස් ඉතා ධෛර්යයෙන් වෙහෙස වී වැඩ කළා. නොබෝ දිනකින් ම ඔහුගේ වගාවන් සරුසාර වුණා. ඔහු සිය අස්වැන්න විකුණා විශාල මුදලක් උපයා ගත්තා. වසර ගණනාවක් මෙලෙස වෙහෙස වී කටයුතු කිරීමෙන් ඔහු එම ප්‍රදේශයේ සිටිනා විශාලම ධනවතා බවට පත්වුණා. ඔහු ඉතා රූමත් කුමරියක්ද විවාහ කරගෙන ඉතා සැපසේ ජීවත් වුණා.
අනුෂ්ක තිලකරත්න
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔන්න එකමත් එක නගරයක දුප්පත් බක්කරේ කෙනෙක් හිටියා. ඔහු බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක්. ඒත් ඔහු හදන පාන් බනිස් කන්න ඒ නගරයේ මිනිස්සු කැමති නෑ. ඒ නිසා වෙළඳාම අඩුයි. දුප්පත් බක්කරේ බොහොම කණගාටුවෙන් තමයි දවස් ගත කළේ. ඔහු ගෙදර ගිහින් සුසුම් හෙලන කොට බක්කරේගේ හොඳ බිරිඳ මෙහෙම කියනවා.
"ඔයා කණගාටු වෙන්න එපා. අපිට හොඳ කලක් යාවි."
කොහොම හොඳ කලක් යන්න ද? බක්කරේ කල්පනා කරනවා. මිනිස්සු බක්කරේ හදන-
දේවල් ගන්නෙ නෑ. නගරයේ දුප්පත් ම මිනිස්සු විතරක් වෙන කන්න දෙයක් නැති නිසා ද කොහෙ ද ඔහුගෙ පාන් බනිස් ගත්තා. ඉතිං ඔහුට ජීවත් වෙන්න ලැබුණෙ සුළු මුදලයි. බක්කරේ වෙන රස්සාවක් දන්නෙත් නෑ. මෙහෙම කල්පනා කර කර ඔහු නිදා ගන්නවා.
තවත් දවසක් උදා වුණා. බක්කරේ සුපුරුදු පරිදි පාන් බනිස් හදන්න පටන් ගත්තා. මෙහෙම හදද්දි එක පිටි ගුලියක් වැරදිලා සීනි ගෝනියට වැටුණා. බක්කරේ ඒ පිටි ගුලිය ආපහු අරගෙන අනෙක් පිටි ගුලි එක්කම පෝරණුවට දමලා බනිස් හැදුවා. ඔන්න ටික වෙලාවකින් බනිස් ටිකක් හැදුණා. හැබැයි ඔක්කොම බනිස් ගෙඩි දුඹරු පාටට තියෙන කොට එක බනිස් ගෙඩියක් විතරක් තියෙනවා රන්වන් පාට වෙලා. ලස්සන වෙලා..... ඒ තමයි අර සීනි ගෝනියට වැටුණු බනිස් ගෙඩිය. හවස් වෙනකොට මිනිස්සු ටික දෙනෙක් ඇවිත් හදපු බනිස් ගත්තා. ඒත් බක්කරේ ඒ බනිස් ගෙඩිය වික්කෙ නෑ. ඔහු ඒක තියා ගත්තා ළමයින්ට ගිහින් දෙන්න.
අඳුර වැටීගෙන ආවා. උපයපු මුදල රෑට කෑමටත් මදි. ළමයි බඩගින්නෙ අඬනවා ඇති. බක්කරේ සුසුම් හෙළුවා. එකපාරට ම සද්දයක් ඇහිලා බක්කරේ ඔළුව උස්සලා බලන කොට වැරහැලි ඇඳ ගත්ත හිඟන්නෙක් දොර ළඟ හිටගෙන ඉන්නවා.
"මොනවද නුඹට ඕනෙ?" බක්කරේ ඇහුවා.
"මට බඩගිනියි. හොඳ මනුස්‍සයෝ මට කන්න දෙයක් දීපන්" හිඟන්නා බැගෑපත් වුණා.
"අපොයි! මම හදන්නෙ බනිස් පාන් ටිකයි නෙව. මට ලොකු ආදායමක් නැති එකේ මම නුඹට මොනවා දෙන්න ද?"
"අනේ මට බඩගිනියි. මොනව හරි දෙන්න. නැත්නම් මේ සීතලේ බඩගින්නෙ මාව මැරිල යාවි." හිඟන්නා වෙව්ල වෙව්ල කිව්වා.
වටපිට බලපු බක්කරේ රන්වන් පාට බනිස් ගෙඩිය දැක්කා.
"හරි. නුඹ මේක ගනින්. මා ළඟ වෙන මොකවත් ම නෑ. මොනව කරන්න ද..." බක්කරේ බනිස් ගෙඩිය හිඟන්නට දුන්නා.
"හොඳ මනුස්සයෝ, නුඹට බොහොම ස්තූතියි" හිඟන්නා ස්තූතිකරලා බනිස් ගෙඩිය අරන් යන්න ගියා.
බනිස් ගෙඩිය අරගෙන අගු පිළක ඉඳ ගත්ත හිඟන්නා ඒක කන්න පටන් ගත්තා. හරිම පුදුමයක්! හිඟන්නා කොච්චර කෑවත් බනිස් ගෙඩිය ඉවර වෙන්නෙ නෑ. ඒ විතරක් ද? බනිස් ගෙඩිය හරිම රසයි. ඒ රස වෙන කිසිම බනිස් ගෙඩියක නෑ... කේක් වලත් නෑ. චොකලට් වලත් නෑ.
"මේ මොන පුදුමයක් ද?" හිඟන්නා කිව්වා.
"පුදුම වෙන්න එපා." එක පාරටම බනිස් ගෙඩිය කතා කරා. හිඟන්නා හොඳට ම බය වුණා.
"නුඹ මොන ජාතියෙ බනිස් ගෙඩියක් ද? අර බක්කරේ මායාකාරයෙක් වෙන්න ඕනෙ මේ වගේ බනිස් හදන්න" හිඟන්නා බයේ කෑ ගැහැව්වා.
"නුඹ බය වෙන්න එපා. මාව ආපහු බක්කරේ ළඟට අරන් පලයන්. ඔහු නුඹට හැමදාම කන්න දෙයි." බනිස් ගෙඩිය උපදෙස් දුන්නා.
බයවෙලා හිටපු හිඟන්නා බනිස් ගෙඩිය අරගෙන බක්කරේගෙ ගෙදරට දිව්වා. බක්කරේ පුදුම වෙලා හිඟන්නගෙ විස්තරේ අහගෙන හිටියා. හිඟන්නා ගියාට පස්සෙ කාමරේට ගිහින් බනිස් ගෙඩියට කතා කරා.
"නුඹට ඇත්තටම කතා කරන්න පුළුවන් ද?"
"කතා කරන්න විතරක් නොවයි. මට පුළුවන් නුඹව පෝසතෙක් කරන්න. මම නුඹට කියලා දෙන්නම් රසට පාන් බනිස් කෑම ජාති හදන හැටි. නුඹ රසට කෑම හදන කොට මුළු නගරයෙ ම මිනිස්සු පෝළිමේ ඉඳියි නුඹෙන් කෑම ගන්න." බනිස් ගෙඩිය කිව්වා.
"ඒත්.. ඇයි නුඹ මට උදව් කරන්නෙ?" බක්කරේ අදහගන්න බැරුව ඇහුවා.
"මම තමා ජිවිත කාලෙට ම නුඹ හදපු රස ම ලස්සන ම බනිස් ගෙඩිය. එහෙම වෙලත් නුඹ මාව ළමයින්ට නොදී පාරෙ ඉන්න හිඟන්නෙකුට දෙන්න තරම් කරුණාවන්ත වුණා. ඒ නිසයි නුඹට මේ වාසනාව ලැබෙන්නෙ. අපි දේවල් රැස් කරන තරමට නෙවෙයි අපිට යහපත උදා වෙන්නෙ, අපි ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න තරමට යි. "
බක්කරේට තේරුණා. පහුවදා ඉඳන් බක්කරේ බනිස් ගෙඩිය කියන විදිහට පාන් බනිස් හදන්න පටන් ගත්තා. ඒ කෑම වල රස කොයි තරම් ද කියනවා නම් වෙන නගර වල පවා ඔහුගෙ කෑම වල රස ගැන කතා වුණා. බක්කරේ පෝසතෙක් වුණා. දරුවෝ දීග දුන්නා. අර දුප්පත් හිඟන්නට හැමදාම කන්න දුන්නා. ඒ නිසා හිඟන්නා ආයිත් හිඟා කෑවෙ නෑ. ඒ වගේ ම දුප්පත් අයට උදව් කළා.
ඒත් බනිස් ගෙඩිය තමයි ඔහුගෙ හොඳ ම මිතුරා වුණේ. බක්කරේ තමන්ගෙ පවුලෙ අය ත් බනිස් ගෙඩිය ත් සමග බොහොම කල් සතුටින් ජීවත් වුණා.
වසිලිස්සා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

There was once a boy who always screamed, ‘Boo’!
And when he was a baby the first word he said was, ‘Boo’!
Yet when he was a five year old he still loved to say, ‘Boo’!
The family got milk no more, for the by sacred the milkman by saying, ‘Boo’!
The naughty boy hid behind the door and gave his aunt a stroke by saying, ‘Boo’!
He chased kitty up the tree by saying that annoying word, ‘Boo’!
He scared the hens so they would lay eggs no more by saying no more, ‘Boo’!
His uncle’s horses scattered because the boy said that word, ‘Boo’!
Now Ms. Tilly had been scared out of her life enough by that word, ‘Boo’!
So she hid behind the class room door and when he came, she screamed, ‘Boo’!
She scared him so much by saying, ‘Boo’!
That he fell on the spot never to say, ‘Boo’ again!
Mashenka Fernando [Grade 5P]
මශෙන්කා ප්‍රනාන්දු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|