සත්ව විද්‍යාත්මකව Misumena vatia ලෙස හැඳින්වෙන මේ සුවිශේෂි මකුළු විශේෂය කකුළු මකුළු පවුලෙ සාමාජිකයෙක්. ඇත්තටම මේගොල්ලන්ගෙ ඉදිරි පාද යුගල කකුළුවෙකුගේ මෙන් ඉදිරියට නැඹුරු වූ ස්වරූපයක් ගන්නවා. ඒවගේම කකුළුවෙකු මෙන් පසුපසටත්, පැත්තෙන් පැත්තට පාර්ශ්වීය ලෙසත් චලනය වීමේ හැකියාව තිබෙනවා. වේශාන්තරණය මකුළු ලෝකය තුල දුලබ සිදුවීමක්. ඒත් මේ Misumena vatia අයත් මකුලුවන් සුවිශේෂි වන්නේ ඔවුන්ට වේශාන්තරණය වීමේ ඇති හැකියාව නිසයි. උතුරු අමෙරිකාවේ සුලබ මකුළු විශේෂයක් වෙන මොවුන් හඳුන් වන්නේ ගෝල්ඩන්රොඩ් මකුළුවන් ලෙසයි. ඒ ඔවුන් වැඩියෙන්ම ගැවසෙන්නේ ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයේ නිසයි.

මේ කකුළු මකුළු විශේෂය ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කරගන්නේ නෑ. ඔවුන් ප්‍රසිද්ධ සැඟවී සිට පහරදෙන දඩයක්කරුවන් ලෙසයි. ඒ කියන්නේ Misumena vatia විශේෂයේ මකුළුවන් ඉන්නා පෘෂ්ඨයට සමීප වර්ණයකින් සිරුර පවත්වා ගැනීමක් එහෙම නැතිනම් වේශාන්තරයක් සිදුකිරීමෙන් තමයි මෙය සිදු කරන්නේ. වේශාන්තරණය මකුළුවන් අතර දුලබ දෙයක් වුණත් Misumena vatia ට මේ හැකියාව තියෙනවා.

මේ මකුළුවන් ගේ පිරිමි සතුන් ප්‍රමාණයෙන් මි. මී.5ක් තරම් වන නමුත් ගැහැණු සතුන් මි. මී.10ක් පමණ වෙනවා. ශරීර වර්ණය ලා කහ පැහැයක් හෝ සුදු පැහැයක් ගන්නේ ඔවුන් දඩයන් කරන්නට යොදා ගන්නා පෘෂ්ඨය අනුවයි. ඩේසි සහ සූරියකාන්ත මල් වල සිටින නොමේරූ ගැහැණු සතුන්ට තමාගේ ශරීර වර්ණය තමා කැමති පරිදි වෙනස් කරගැනීමෙ හැකියාව තිබෙනනවා. මේරු ගැහැනු මකුළුවෙකුට ශරීර වර්ණය වෙනස් කරගැනීමට වර්ණක බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එම කාර්යය සඳහා දීර්ඝ වේලාවක් ගතවෙනවා. ඒ නිසා ඔවුන් වැඩිපුර තොරා ගන්නේ තද කහ පැහැති ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයයි.

කයිනුරෙනීන් සහ 3-හයිඩ්රොක්සිකයිනුරෙනීන් නම් කහ පැහැති වර්ණක සහිත දියරයක් ශරීරයේ බාහිර සෛල ස්ථරයට නිකුත් කිරීමෙන් තමයි ඔවුන් පාට වෙනස් කරන්නේ. ඉන්පසු ශ්වේත වර්ණය මූලික කරගෙන එම කහ වර්ණය පහල ස්ථරයන් වෙත පරිවහනය කරනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල සුදු පැහැ ගැන්වීමෙන් අනතුරුව එය බාහිරයට පෙනෙන්නට පටන් ගන්නවා. මෙම මකුළුවන් දීර්ඝ වේලාවක් සුදු පැහැති පෘෂ්ඨයක රැඳි සිටින්නේ නම් කහ වර්ණක ශරීරයෙන් දිගින් දිගටම බහිස්‍රාවය කරනවා. එමගින් ශරීරය කහ පැහැවීම දිගු වේලාවකට ප්‍රමාද කරනවා. සාමාන්‍යයෙන් පැහැය සුදු වර්ණයයේ සිට කහ වර්ණය දක්වා වෙනස් වීමට දින 10-25 ත් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම යථා තත්වයට පත් වෙන්න ගත් වෙන්නෙ දින 6ක් වගේ කාලයක්.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails