එක්තරා ගමක එක් ගොවියෙක් වාසය කළා. ඔහු ඉතා දිළිඳු යි. ඔහුට ඕනැ වුනා දුප්පත්කමෙන් මිදී ධනවත් බලවත් පුද්ගලයෙකු වී රූමත් කුමරියක් විවාහ කරගෙන සැපෙන් ජීවත් වෙන්න. නමුත් ඔහු ගත කළේ ඉතා දිළිඳු ජීවිතයක්. මේ ගැන ඔහු සිටියේ බලවත් කලකිරීමෙන්.

දිනක් ගොවියා කුඹුරු වැඩ කරමින් ඉන්න විටදි ඔහුගේ උදැල්ලේ තලය කැඩී ගියා.

ඔහු එය අලුත්වැඩියා කර ගැනීමට උත්සාහ කළත් බැරිවුනා. ඔහු ඉතා දුකින් කැඩුනු උදැල්ල ද රැගෙන ගෙදර ආවා. "මෙච්චර කල් මට පිහිට වුනේ මගේ මේ උදැල්ල. දැන් ඒකත් කැඩිලා. අලුත් උදැල්ලක් ගන්න මට සල්ලිත් නෑ. අනේ මං වගේ අසරණයෙක්." ඔහු ඉතා දුකින් කල්පනා කරන්නට වුනා. හදිසියේම ඔහු ඉදිරියේ ඉතා රූමත් දිව්‍යාංගනාවක් පහළ වුනා. ඇය ඔහුට මෙසේ පැවසුවා. "ඔබ ඉතා දුකින් සිටිනබව මට පේනවා. ඔබට කුමක්ද ඕනෑ? ඔබට ඕනෑ දෙය පවසන්න. නමුත් මතක තබා ගන්න. ඔබට ඉල්ලීමට හැකි එක ම එක දෙයක් පමණි. හොඳින් කල්පනාකර ඉල්ලන්න."

ගොවියාට මෙය අදහාගත නොහැකි පුදුමයක් වුණා. ඔහු ඉතා කලබලෙන් ඔහුට අවශ්‍යදෙය කල්පනා කරන්නට වුණා. "මට මට.. ඔනේ ඉතා වටිනා මැණිකක්.. එවිට මට එය විකුණා පෝසත් වෙන්න පුලුවන්".. ගොවියා කල්පනා කළා. "ඒත් එතකොට මිනිස්සු ඇහුවොත් කොහෙන්ද මැණික කියලා.. මං මොකද කියන්නෙ.. මිනිස්සු මං කියන දෙය විශ්වාස කරයිද? එතකොට මං බොරු කාරයෙක් වෙනවා. නෑ නෑ මැණික් එපා. මට දෙන්න රන් කාසි පිරවූ පෙට්ටියක්. ඒත් …ඒත් ඒ වගේ රන්කාසි පෙට්ටියක් තියන්න මගේ ගෙදර ආරක්ෂාව මදි. නෑ නෑ රන්කාසි පෙට්ටියත් එපා. මට දෙන්න හොඳ ලස්සන ලොකු ගෙයක්. ඒත්.. එතකොට මිනිස්සු බලාවි කොහෙන්ද එකපාරට ම මෙච්චර ලොකු ගෙයක් කියලා. මේ ගැන නඩුකාරයට ආරංචි වුනොත්... අන්න හරි. මාව නඩුකාරය කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත්… ඒත් මං නඩු අහන්න දන්නෙ නෑ නෙ. මිනිස්සු මං ගැන අධිරාජ්‍යයාට පැමිණිළි කළොත්. ආහා.. එහෙනම් මාව අධිරාජ්‍යයා බවට පත් කරන්න. එතකොට හරි නේ. ආ.. ඒත් පොඩ්ඩක් ඉන්න. මං රාජ්‍ය පාලනය ගැන මුකුත්ම දන්නේ නෑ නෙ. මං කොහොමද රට පාලනය කරන්නෙ. එතකොට අනිත් රටවල් වල සතුරො මගේ රට අල්ලගනීවි. අනේ අනේ.. එහෙම වුණොත්... බෑ බෑ ඒක හරියන්නෙත් නෑ. අනේ මං මොනවද දිව්‍යාංගනාවගෙන් ඉල්ලන්නෙ.. ගොවියා කල්පනා කළා.

"ඔබට තීරණයක් ගන්න බැරි ද? හොඳයි මං ඔබට උදව්වක් කරන්නම්. බලන්න ඔබේ ම දෑත් දෙස. ඒවා ඔබට තීරණයක් ගැනීමට උදව් කරයි." දිව්‍යාංගනාව පැවසුවා.

ගොවියා සිය දෑත් දෙස විමසිල්ලෙන් බැලුවා. ඒවා ඉතා ශක්තිමත් බව ඔහුට පෙනුණා. කරගැට මතුවී ගොරෝසු වී තිබෙන සිය දෙ අත්ල එකිනෙක පිරිමදිමින් ඔහු කල්පනා කළා. "මං කවුද? ගොවියෙක්. මං දන්නෙ ගොවිකම. එහෙනම් මම දියුණුවෙන්න ඕනෑ ගොවිකමෙන්ම යි. ඔහු සිය කැඩුනු උදැල්ල දෙස බැලුවා. මට දැන් වැඩියෙන් ම ඕනෙ කරලා තියෙන්නෙ මගෙ උදැල්ල හදා ගන්න."

ගොවියාට තේරුණා ඔහු නිවැරදි තීරණය ගත් බව. ඔහු ඉතා යටහත්පහත්ව දිව්‍යාංගනාවට මෙසේ පැවසුවා. "අනේ දිව්‍යාංගනාව මගේ මේ කැඩුනු උදැල්ල යළි හදා ගන්න පුලුවන්නම් මට ඒඇති."

දිව්‍යාංගනාව මෙසේ කීවා. "ඔබ ඉතා බුද්ධිමත්. ඔබ ඔබට ඕනෑ නිවරදි දෙය තෝරාගත්තා. ඔබේ උදැල්ල යථා තත්වයට පත්වේවි. ධෛර්යයෙන් කටයුතු කරන්න. වාසනාව ඔබ වෙත ඉක්මනින් ඒවි." එසේ පැවසූ දිව්‍යාංගනාව අතුරුදහන් වූණා.

පසුදා උදේ ගොවියා අවදිවී බලන කළ ගොවියාගේ කැඩුනු උදැල්ල යළි සවි වී තිබුණා. ගොවියා එයත් රැගෙන කුඹුරට ගොස් ඉතා ධෛර්යයෙන් වෙහෙස වී වැඩ කළා. නොබෝ දිනකින් ම ඔහුගේ වගාවන් සරුසාර වුණා. ඔහු සිය අස්වැන්න විකුණා විශාල මුදලක් උපයා ගත්තා. වසර ගණනාවක් මෙලෙස වෙහෙස වී කටයුතු කිරීමෙන් ඔහු එම ප්‍රදේශයේ සිටිනා විශාලම ධනවතා බවට පත්වුණා. ඔහු ඉතා රූමත් කුමරියක්ද විවාහ කරගෙන ඉතා සැපසේ ජීවත් වුණා.

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails