ඔන්න එකමත් එක නගරයක දුප්පත් බක්කරේ කෙනෙක් හිටියා. ඔහු බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක්. ඒත් ඔහු හදන පාන් බනිස් කන්න ඒ නගරයේ මිනිස්සු කැමති නෑ. ඒ නිසා වෙළඳාම අඩුයි. දුප්පත් බක්කරේ බොහොම කණගාටුවෙන් තමයි දවස් ගත කළේ. ඔහු ගෙදර ගිහින් සුසුම් හෙලන කොට බක්කරේගේ හොඳ බිරිඳ මෙහෙම කියනවා.
"ඔයා කණගාටු වෙන්න එපා. අපිට හොඳ කලක් යාවි."
කොහොම හොඳ කලක් යන්න ද? බක්කරේ කල්පනා කරනවා. මිනිස්සු බක්කරේ හදන-
දේවල් ගන්නෙ නෑ. නගරයේ දුප්පත් ම මිනිස්සු විතරක් වෙන කන්න දෙයක් නැති නිසා ද කොහෙ ද ඔහුගෙ පාන් බනිස් ගත්තා. ඉතිං ඔහුට ජීවත් වෙන්න ලැබුණෙ සුළු මුදලයි. බක්කරේ වෙන රස්සාවක් දන්නෙත් නෑ. මෙහෙම කල්පනා කර කර ඔහු නිදා ගන්නවා.
තවත් දවසක් උදා වුණා. බක්කරේ සුපුරුදු පරිදි පාන් බනිස් හදන්න පටන් ගත්තා. මෙහෙම හදද්දි එක පිටි ගුලියක් වැරදිලා සීනි ගෝනියට වැටුණා. බක්කරේ ඒ පිටි ගුලිය ආපහු අරගෙන අනෙක් පිටි ගුලි එක්කම පෝරණුවට දමලා බනිස් හැදුවා. ඔන්න ටික වෙලාවකින් බනිස් ටිකක් හැදුණා. හැබැයි ඔක්කොම බනිස් ගෙඩි දුඹරු පාටට තියෙන කොට එක බනිස් ගෙඩියක් විතරක් තියෙනවා රන්වන් පාට වෙලා. ලස්සන වෙලා..... ඒ තමයි අර සීනි ගෝනියට වැටුණු බනිස් ගෙඩිය. හවස් වෙනකොට මිනිස්සු ටික දෙනෙක් ඇවිත් හදපු බනිස් ගත්තා. ඒත් බක්කරේ ඒ බනිස් ගෙඩිය වික්කෙ නෑ. ඔහු ඒක තියා ගත්තා ළමයින්ට ගිහින් දෙන්න.
අඳුර වැටීගෙන ආවා. උපයපු මුදල රෑට කෑමටත් මදි. ළමයි බඩගින්නෙ අඬනවා ඇති. බක්කරේ සුසුම් හෙළුවා. එකපාරට ම සද්දයක් ඇහිලා බක්කරේ ඔළුව උස්සලා බලන කොට වැරහැලි ඇඳ ගත්ත හිඟන්නෙක් දොර ළඟ හිටගෙන ඉන්නවා.
"මොනවද නුඹට ඕනෙ?" බක්කරේ ඇහුවා.
"මට බඩගිනියි. හොඳ මනුස්‍සයෝ මට කන්න දෙයක් දීපන්" හිඟන්නා බැගෑපත් වුණා.
"අපොයි! මම හදන්නෙ බනිස් පාන් ටිකයි නෙව. මට ලොකු ආදායමක් නැති එකේ මම නුඹට මොනවා දෙන්න ද?"
"අනේ මට බඩගිනියි. මොනව හරි දෙන්න. නැත්නම් මේ සීතලේ බඩගින්නෙ මාව මැරිල යාවි." හිඟන්නා වෙව්ල වෙව්ල කිව්වා.
වටපිට බලපු බක්කරේ රන්වන් පාට බනිස් ගෙඩිය දැක්කා.
"හරි. නුඹ මේක ගනින්. මා ළඟ වෙන මොකවත් ම නෑ. මොනව කරන්න ද..." බක්කරේ බනිස් ගෙඩිය හිඟන්නට දුන්නා.
"හොඳ මනුස්සයෝ, නුඹට බොහොම ස්තූතියි" හිඟන්නා ස්තූතිකරලා බනිස් ගෙඩිය අරන් යන්න ගියා.
බනිස් ගෙඩිය අරගෙන අගු පිළක ඉඳ ගත්ත හිඟන්නා ඒක කන්න පටන් ගත්තා. හරිම පුදුමයක්! හිඟන්නා කොච්චර කෑවත් බනිස් ගෙඩිය ඉවර වෙන්නෙ නෑ. ඒ විතරක් ද? බනිස් ගෙඩිය හරිම රසයි. ඒ රස වෙන කිසිම බනිස් ගෙඩියක නෑ... කේක් වලත් නෑ. චොකලට් වලත් නෑ.
"මේ මොන පුදුමයක් ද?" හිඟන්නා කිව්වා.
"පුදුම වෙන්න එපා." එක පාරටම බනිස් ගෙඩිය කතා කරා. හිඟන්නා හොඳට ම බය වුණා.
"නුඹ මොන ජාතියෙ බනිස් ගෙඩියක් ද? අර බක්කරේ මායාකාරයෙක් වෙන්න ඕනෙ මේ වගේ බනිස් හදන්න" හිඟන්නා බයේ කෑ ගැහැව්වා.
"නුඹ බය වෙන්න එපා. මාව ආපහු බක්කරේ ළඟට අරන් පලයන්. ඔහු නුඹට හැමදාම කන්න දෙයි." බනිස් ගෙඩිය උපදෙස් දුන්නා.
බයවෙලා හිටපු හිඟන්නා බනිස් ගෙඩිය අරගෙන බක්කරේගෙ ගෙදරට දිව්වා. බක්කරේ පුදුම වෙලා හිඟන්නගෙ විස්තරේ අහගෙන හිටියා. හිඟන්නා ගියාට පස්සෙ කාමරේට ගිහින් බනිස් ගෙඩියට කතා කරා.
"නුඹට ඇත්තටම කතා කරන්න පුළුවන් ද?"
"කතා කරන්න විතරක් නොවයි. මට පුළුවන් නුඹව පෝසතෙක් කරන්න. මම නුඹට කියලා දෙන්නම් රසට පාන් බනිස් කෑම ජාති හදන හැටි. නුඹ රසට කෑම හදන කොට මුළු නගරයෙ ම මිනිස්සු පෝළිමේ ඉඳියි නුඹෙන් කෑම ගන්න." බනිස් ගෙඩිය කිව්වා.
"ඒත්.. ඇයි නුඹ මට උදව් කරන්නෙ?" බක්කරේ අදහගන්න බැරුව ඇහුවා.
"මම තමා ජිවිත කාලෙට ම නුඹ හදපු රස ම ලස්සන ම බනිස් ගෙඩිය. එහෙම වෙලත් නුඹ මාව ළමයින්ට නොදී පාරෙ ඉන්න හිඟන්නෙකුට දෙන්න තරම් කරුණාවන්ත වුණා. ඒ නිසයි නුඹට මේ වාසනාව ලැබෙන්නෙ. අපි දේවල් රැස් කරන තරමට නෙවෙයි අපිට යහපත උදා වෙන්නෙ, අපි ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න තරමට යි. "
බක්කරේට තේරුණා. පහුවදා ඉඳන් බක්කරේ බනිස් ගෙඩිය කියන විදිහට පාන් බනිස් හදන්න පටන් ගත්තා. ඒ කෑම වල රස කොයි තරම් ද කියනවා නම් වෙන නගර වල පවා ඔහුගෙ කෑම වල රස ගැන කතා වුණා. බක්කරේ පෝසතෙක් වුණා. දරුවෝ දීග දුන්නා. අර දුප්පත් හිඟන්නට හැමදාම කන්න දුන්නා. ඒ නිසා හිඟන්නා ආයිත් හිඟා කෑවෙ නෑ. ඒ වගේ ම දුප්පත් අයට උදව් කළා.
ඒත් බනිස් ගෙඩිය තමයි ඔහුගෙ හොඳ ම මිතුරා වුණේ. බක්කරේ තමන්ගෙ පවුලෙ අය ත් බනිස් ගෙඩිය ත් සමග බොහොම කල් සතුටින් ජීවත් වුණා.
වසිලිස්සා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook