
පොළවම් බානවා නම් කළ වරදකට
පිළිවන් අපට එවරද යළි නොකරනට
කිසිවක් කියා නොදෙමින් දුන් නමුත් බැට
බැරිකම් දුරුවේද බිය වී වේවැලට
නිසි දේ ඉගෙන ගන්නට මග කියා නොදී
බැටදේ නමුත් කළ කළ දේ යයි වැරදී
කෙවිටේ බෙලෙන් එනවා නම් නුවණ ඇදී
මෙ රටේ ගොනුන් පඩිඳුන් වනු ඇත ළඟදී
මේ අපූරු උපහාස කවිය, පොඩිත්තෙකුට වේවැලෙන් තලා දඬුවම් කරන ගුරුවරයෙකු දැක ලියූවකි. කවිය ලිවුවේ කවුද?
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා; "දණ ගහපල්ලා! ආචාර කරපල්ලා!"
සුදුපාට ඇතෙකු එන හැටි ගල් වඩුවා දැක්කා. ඇතා පිට වාඩි වී හිටියා රජ කෙනෙක්. ගල් වඩුවා දණ ගසා රජතුමාට ආචාර කළා. ඔහු මෙහෙම සිතුවා.
"රජතුමාට මාව පෙනෙන්නෙ වත් නැහැ, එහෙනම්, මම නමස්කාර කරන්නේ ඇතාට වෙන්න ඕනේ. ඇතා බොහොම වැදගත් සතෙක්.ඇතාත් මට වඩා හොඳට ජීවත් වෙනවා. මටත් ඇතෙකු වෙන්නට ඇත්නම් කොතරම් හොඳද" කියලා ගල් වඩුවා හිතුවා. එහෙම හිතුවා විතරයි ගල් වඩුවා එකවරම ඇතකු වුණා.
ඇතා බවට පත්වුණු ගල් වඩුවාගේ පිට උඩ රජා වාඩිවෙලා තේ බොනවා. රජ්ජුරුවන්ගේ උණු තේ කෝප්පයෙන් උණු තේ ටිකක් ඇතාගේ පිටට වැටුණා. උගේ පිට රිදුණා. "මීට වැඩිය හොඳයි රජ කෙනෙකු වෙනවානම්" කියලා ගල්වඩු ඇතා සිතුවා. එහෙම සිතුවා විතරයි, ගල් වඩු ඇතා රජ කෙනෙකු බවට පත් වුණා.
ඔන්න දැන් ගල් වඩු රජතුමා සුදු ඇතා පිට නැගිලා යනවා. රජතුමා උණු තේ බීලා සතුටු වුණා. සතුට අසතුටට හැරුණා. බොහොම සැරට ඉඅර පායන්නට පටන් වුණා. රජතුමාට ඇස් අරින්නවත් බැහැ. කඳුළු ගලන්නට වුණා. ඉර අව්ව එතරම් සැරයි. " ඉර මටත් වඩා බල සම්පන්නයි. මා කැමතියි ඉර වෙන්ට" රජා සිතුවා.

සිතුවා විතරයි ගල් වඩු රජා එක පාරටම ඉර බවට පත් වුණා. එදා සිට මේ අලුත් ඉර පායන්නට පටන් ගත්තා. ඉර අව්ව නිසා මහ පොළොව ගිනි රත් වුණා. අහසේ වළාකුළු ඇති වෙලා, වැහි වළාවක් හැදුණා. මේ වැහි වලාකුල නිසා ඉර අව්ව මහ පොළොවට පායන්නෙ නැහැ. ඉර තරහ වෙලා මෙහෙම සිතුවා. " මා කැමතියි වැහි වලාකුලක් වෙන්ට!" සිතුවා විතරයි ගල් වඩු ඉර එක වරම වැහි වළාකුලක් වුණා. දැන් ඉතින් කුණාටුවට අසු වෙච්ච වැහි වළාව අහස හැම තැනම දුවනවා. " හරි වැඩක් නෙව, මාව හැම තැනම එළවන්නෙ කවුද? කුණාටුව තමයි! මා කැමතියි කුණාටුවක් වෙන්නට!"
සිතුවා විතරයි, ගල්වඩු වැහි වලාව කුණාටුවක් වෙලා ඉවරයි. කුණාටුව වේගයෙන් හමන්නට වුණා. ගස්, වැල්, ගෙවල්වල වහලවල් කැඩිලා බිම වැටුණා. බොහොම සැර කුණාටුවක්! මේ කුණාටුව ලොකු ගල් කන්දක හැප්පිලා බිඳුණා. "ගල් කන්ද මටත් වඩා බල සම්පන්නයි. මං කැමතියි ගල් කන්දක් වෙන්නට" එතකොටම වාගේ කුණාටුව ගල් කන්දක් වුණා.
කඳු මුදුන වලාකුළු වලටත් වඩා උසයි. කඳු පා මුල ඉන්න මිනිසුන් බොහොම පුංචියි. මහ විසාල කන්ද මිනිසුන් කරන වැඩ ගැන සැලකුවේ නැහැ. හයිය අත් දෙකක් ඇති මිනිහෙක් ලොකු ගල් කටුවක් අරගෙන එන හැටි ගල් කන්ද දැක්කේ නැහැ. මිනිහා ගල් කටුවෙන් කන්දට ඇන්නා.
"මිනිහා තමා අනිත් හැමදේටම වඩා බල සම්පන්න." ගල් කන්ද වේදනාවෙන් කෑගහන අතර සිතුවා. " මා කැමතියි මිනිහකු වෙන්නට!" ඔන එතකොට ගල් කන්ද එකවරම මිනිහකු වුණා. ගල්වඩු ගල් කන්ද නැවත ගල් වඩුවකු වෙලා ගල් කඩන්නට පටන් ගත්තා.
අසුන් පිට නැග ගත්තු රාජ සේවකයෝ කෑ ගහන්නට වුණා. "රජතුමා වඩිනවා. දණ ගහපියව්! නමස්කාර කරව්!" ඇතකු, රජකු, වැහිවලාවක්, කුණාටුවක්, ගල් කන්දක් බවට පත් වෙලා ආයෙමත් ගල්වඩුවකු වුණු මිනිහා මෙහෙම සිතුවා; "දණ ගහන්නේ නැහැ!" ඔහු දණ ගැසුවේ නැහැ. ඔහු දණ ගැස්සවීමට පුළුවන් බලවතෙක් ලෝකයේ නැහැ. මිනිහා යටත් වන්නේ පිටින් ඇති බලයක් නිසා නොවෙයි. තමාගේම බියසුළු, නිවට කම් හන්දා.
[තජික් කතාවක් ඇසුරින් පිළියෙල කරන ලද්දකි.]
ඇන්දේ| විනකූරොව් සහ ෂ්වාර්ට්ස්මාන්
ආර්. කුෂ්නේරෝවිච්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

"හෑන්ඩ් ෆිශ්" ලෙස හඳුන්වන මෙම මත්ස්‍ය විශේෂය ජීවත් වෙන්නෙ දකුණු ඕස්ට්ට්‍රේලියාව සහ තස්මේනියාව නිජබිම කරගෙනයි. ඕස්ට්ට්‍රේලියාවට ආවේණික ජීවින් ලයිස්තුගත කළහොත් එහි ප්‍රමුඛතම ස්ථානය ගන්නේ මේ අත් සහිත සුවිශේෂි මත්ස්‍යන්. හෑන්ඩ් ෆිෂ් සමුදුරු වාසි මත්ස්‍ය විශේෂයක්. ජීවත් වෙන්නෙ මූදූ පතුළට සමීපයෙන් නොගැඹුරු ස්ථානවල.
මොවුන් ප්‍රමාණයෙන් කුඩා වන අතර දිගින් සෙ.මී 15 ක් පමණ වෙනවා. ශරීරය වැසී තිබෙන්නෙ දන්තාකාර කොරපොතුවලින්. බැලූ බැල්මට මෙම මසුන් අන් මසුන්ට වඩා වෙනස්. එහෙම වෙන්නෙ මොවුන්ගේ විකරණය වූ වරල් අත් වල හැඩයෙන් යුතුයි. ඒ නිසා පිහිනීමට වඩා මොවුන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ සෙමින් මූදු පතුලෙහි ඇවිද යාමටයි.පෘෂ්ඨීය වරල මුව කෙළවර තෙක් වැඩීමෙන් කිරුලක් ලෙසයි දිස්වෙන්නෙ.
මූදු පතුළට සමීපයෙන් සංචරණය කරමින් පණුවන් සහ ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනියි. පතුළට සමීපව නොගැඹුරු ස්ථාන වාසස්ථාන වල ජීවත් වන බැවින් අනෙක් සතුන්ට ගොදුරු වීමෙ ඉඩකඩ සුලබයි. එමනිසා අනෙකුත් විලෝපීන් ගෙන් ආරක්ෂා වීම පිණිස ඉතා විෂ ග්‍රන්ථි සහිතවූ සමක් මෙම මත්ස්‍යන් විශේෂය සතු වෙනවා. ඉතා ස්වල්ප ප්‍රමාණයක් බිත්තර හෙළයි. එබැවින් බෝවීමේ සීග්‍රතාව ඉතා පහල අගයක පවතියි. එනිසාම වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුන පා සිටින මත්ස්‍ය විශේෂකි.
දැනට විශේෂ 14 ක් හඳුනාගෙන ඇති නමුත් නාමකරණයට ලක් කර ඇත්තේ ඉන් විශේෂ 9ක් පමණයි. මෙම මසුන්ගේ විරල ස්වභාවය නිසාම ඔවුන් අධ්‍යනය තරමක් අපහසු කටයුතුත්තක්.
නීල්යා කාරියවසම්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
කුමරිය ඇතු පිට එනවා
වළාකුළු ද කළු වෙනවා
වැහි කුමරිය හිනැහෙනවා
විදුලි එළිය විහිදෙනවා
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
වැහිලිහිණියෝ රැල් බැඳලා
පිණුම් ගසති උඩ පැනලා
වැහි කුමරිගෙ හිනා කටයි
වැහි බිඳු අතු රිකිලි නටයි
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
සිංදුව අහන්න
මියැසිය- අමරදේව
ගායනය- අමරදේව ඇතුලු පිරිස
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ළමයා : ලේනෝ මගෙ යාළුවේ මේ දත අරගෙන
අලුත් දතක් දෙනවද මට ඒ දත වෙනුවට
ලේනා: හිතුමතේට පැණිරස කා දත් නොමදින කොට
ඔය දේ වෙන බව නම් මං කිව්ව ඔයාට
ළමයා: සීනී බෝල අරගෙන මුදලාලි මාමගෙන්
තනියෙන්මයි කෑවේ මං හරි ආසාවෙන්
ලේනා: ඔයා සීනි බෝල කද්දි ගහමුල තනියෙන්
මං කෑවේ රස පළතුරු මිතුරන් සමගින්
ළමයා: සමාවෙන්න යාළු එදා කළ වරදට මං
ඔයාගෙ දත් හයිය වුණේ කොහොමද ඔතරම්
ලේනා: සීනි බෝල ටොපි චොකලට් නොකා අද ඉඳන්
රස පලතුරු බෙදන් කන්න හෙට අලුත් දතෙන්
අමිල තේනුවර
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|