
ඇය කළ සොයාගැනීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවට මහත් බලපෑමක් කළේය. එය ඇයට කීර්තිය ගෙන ආවේය. එහෙත්, ඒ සොයාගැනීම ම ඇගේ මරණයට ද හේතු විය. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ට විද්‍යාඥවරියක් වූ ඈ කවුද?
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ලොව සිටින ලොකුම ගෙඹි විශේෂය ජීවත් වෙන්නෙ බටහිර අප්‍රිකාවේ. සාමාන්‍ය ව්‍යවහාරයේදි "ගොලියත් ෆ්‍රොග්" ලෙස හැඳින්වෙන්න මෙම විශාල ගෙඹි විශේෂය සත්ව විද්‍යාත්මකව නම් කරලා තියෙන්නෙ Conraua Goliath ලෙසයි. බටහිර අප්‍රිකාවෙ කැමරූන් සහ සමකාසන්න ගිනියාව නිජබිම කරගත් මෙම ගෙඹි විශේෂයේ වැඩුණු සතෙක් දිගින් සෙ.මී. 33 ක්ද, බරින් කිලෝ ග්රෑම් 3.3 ක්ද වෙනවා. ක්‍රස්ටේසියාවන්, කුඩා ගෙම්බන් සහ වෙනත් කෘමි විශේෂ ආහාර වශයෙන් ගන්නා මොවුන් ජීවත් වෙන්නෙ නොගැඹුරු වැලි පතුළක් ඇති වේගයෙන් ගලා යන ජල පහර සහිත ගංගා වලයි. මෙවැනි ගංගා වල හොඳින් ඔක්සිජනීකෘත වූ ඉතා පැහැදිලි ජලය තිබීම එයට හේතුවයි. කැමරූන් හි උතුරු ප්‍රදේශයේ සිට දකුණු දෙසට සමකාසන්න ගිනියාවේ බෙනිටෝ නදිය තෙක් කි.මී. 50 ක් වූ ප්‍රදේශය වාසස්ථානය කරගෙන තමයි මෙම ගෙඹි විශේෂයේ පැතිරීම සටහන් වෙන්නෙ. මෙම ගෙම්බන්ගේ ආයු කාලය වසර 15 ක්. මොවුන්ගේ ශ්‍රවණ සංවේදනයන් ඉතාම තියුණුයි. එහෙත් අනෙකුත් ගෙම්බන්ගේ මෙන් ඝෝෂක මඩි පිහිටා නෑ.
බටහිර අප්‍රිකානුවන්ට නම් ගොලියත් ගෙම්බන් කියන්නෙ ප්‍රණීත ආහාරයක්! ඒ විතරක් නෙමෙයි හොඳ සුරතලෙක්! වාසස්ථාන සීග්‍රයෙන් විනාශ වී යාමත්, ආහාරයක් ලෙස යොදා ගැනීමත් ලොව වටා විවිධ සත්වෝද්‍යාන වලට සහ සුරතලුන් ලෙස අපනයනය කිරිමත් මේ වන විට ඔවුන්ගේ සීග්‍ර වඳවී යෑමට හේතුවක් වෙලා තියෙනවා. එමෙන්ම මෙම ගෙඹි විශේෂය ස්වභාවික පරිසරයේ හැරෙන්නට කෘතිම පරිසරන්හිදී අභිජනනය නොකිරීමත් සැලකිය යුතු හේතුවක්. ඒ නිසාම, වඳවි යාමේ තර්ජනයට මුහුණ පා සිටින ගෙඹි විශේෂයක් ලෙස කැමරූන් රජය විසින් නම් කරනු ලැබ ඇති මොවුන් අපනයනය කළ හැක්කේ වසරකට ගෙම්බන් 300 ක් පමණක් ලෙස සීමා පනවලා තිබෙනවා.
පුබුදු ගයාන් වර්ණකුලසූරිය
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල් ගල් භාවිතය මුලින්ම ආරම්භ වෙලා තියෙන්නෙ නියෝලිතික යුගයෙදියි. ඒ කාලේදී බොහොම සරල ක්‍රමයක් අනුගමනය කරලා තමයි ගඩොල් සෑදිම කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ අනා ගත් මැටි හෝ මඩ සකසා ගත් අච්චුවක දමලා ඉර අව්වේ වේලෙන්නට තියලා තමයි ආදි වාසින් ගඩොල් නිර්මාණය කරගත්තෙ. සූර්ය තාපයෙන් වියලූ මඩ ගඩොල් සෑදිම සහ භාවිතය ඇරඹී ඇත්තේ මෙසපොතෙමියාවෙන්.
ඒ ක්‍රිස්තු පූර්ව 4000 කට පමණ පෙර. මැටි කර්මාන්තයේ හා තාක්ෂණයේ ක්‍රමික දියුණුවත් සමග පෝරණු උපකාරයෙන් ගඩොල් පිළිස්සීම ඇරඹිල තියෙනවා. එමගින් වඩා කල්පවතින විදියට ගඩොල් සකස් කරගන්නට පුළුවන් කම ලැබී තිබෙනවා. මුල්ම ශිෂ්ඨාචාර යුගවලට අයත් මෙසපොටේමියාවෙ සහ ඊජිප්තුවේ ගොඩනැගිලි වල මෙසේ පුළුස්සා සකසා ගත් ගඩොල් තවමත් දක්නට ලැබෙනවා. ඒවායෙහි පිටත බිත්ති පිලිස්සු ගඩොල් ඇතිරීමෙනුත් ඇතුළත බිත්ති සූර්ය තාපයෙන් වියලා ගත් ගඩොල් වලිනුත් සකසා තිබෙනු දක්නට පුළුවන්.
පුරාණ ඊජිප්තුවෙ සහ ඉන්දු නිම්න ශිෂ්ඨාචාර වාසීන් මඩ වියලා සකස් කරගත් ගඩොල් සුලබව භාවිතා කරලා තිබෙන බව බුහෙන්, මොහෙන්ජදාරෝ සහ හරප්පාහි නටබුන් වල පැහැදිව පෙනෙන්නට තිබෙනවා.
ඉන් පසු කාලයේදී රෝමානුවන්, ජර්මානුවන් සහ චීන ජාතිකයින් ගඩොල් සෑදිම සහ භාවිතය බොහෝ සෙයින් සිදු කලා. ඒ විතරක් නෙමෙයි ගඩොල් භාවිතා කරලා සුවිසල් එමෙන්ම ව්ශ්මිත ගොඩනැගිලි ඉදිකරන්නටත් පෙළඹුනා.
4 වෙනි සියවසේ ඉදිකල රෝමානු- කොන්ස්තන්තීනු බැසිලිකාව, වර්ෂ 1500 දී ජර්මනියේදී ඉදිකළ ලොව උසම ගඩොල් කුළුන සහිත ශාන්ත මාර්ටිනස් පල්ලිය, ඔර්ඩන්ස්බර්ගිහි ඉදිකර ඇති ලොව විශාලම ගඩොලින් නිම වූ රජ මාළිගය ලෙස සැළකෙන මැල්බර්ක් මාලිගය මේ විස්මිත ගඩොල් නිර්මාණ අතර තිබෙනවා. ඒ වගේම ජේතවනාරාම ස්ථූපය ලොව ඇති සුවිසල්ම ගඩොල් නිර්මාණ අතරින් එකක්.
නීල්යා කාරියවසම්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නිල් අහස වෙන්න ආසයි මට අම්මේ
වලාකුළක ගෑවි ගෑවි කතා කරන්න
පොඩි තරු කැටයක් වෙන්න ඕනෙ අම්මේ
හඳ නැති දාටත් අම්මා ළඟ තනියට ඉන්න
ලොකු ගඟක් වෙන්න ආසයි මට අම්මේ
වන වදුලු මැදින් නගර මැදින් ගලා බහින්න
මහ මුහුද වෙන්න ආසයි මට අම්මේ
දඟ රැල්ල වෙලා පුංචි අයගෙ කකුල් තෙමන්න
තිත් මුව පැටියෙක් උනොත් එහෙම අම්මේ
මට පුළුවන් වෙයි පිම්මෙ දුවලා ඔට්ටු තියන්න
රන් සමනලයෙක් වෙන්නද මම අම්මේ
දුර පියාඹලා දේදුන්නෙන් පාට ගේන්න
හැඩ මල් යායක් වෙන්නම් මම අම්මේ
ඉරත් එක්ක අවදි වෙලා සුවඳ බෙදන්න
මම හොඳ ළමයෙක් වෙන්නම් මගෙ අම්මේ
මාව ආදරේට තුරුල් කරන් කතා කියන්න
වසිලිස්සා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|