
පුංචි පුංචි බොල් පිණිකැට
පුංචි දෙපා සිපගන්නට
ලා තණ ගොබ උඩට වෙලා
රණ්ඩු කරනවා
පුංචි මලේ උඹ වෙනුවෙන්
උඳුපියලිය පලස එලා
වෙලේ නියර නිල්ල ඉහන්
බලා ඉන්නවා
කුරුළු ගෙවල් දොර ඇරියා
වත්ත පහළ දොළ හැඬුවා
නෑහුන ගානින් නිදියා
ඉන්න එපා මලේ
ගිරව් රෑන උදේ රැයින්
වෙල් ඉපනැල්ලට ඇවිදින්
ගුරු ගෙදරට උඹ යන මග
සිංඳු කියනවා
පුංචි පුංචි බොල් පිණිකැට....
මද්දහනේ නුඹ එනකොට
කුසගිනි විමසා බලන්න
බැද්ද පුරා ඇඹුල් පේර
පොකුරු පැහෙනවා
මුළු ලෝකෙම ඉහට අරන්
පුංචි මලේ ගෙදර වරෙන්
ඉදිකඩ ළඟ මං නැවතී
බලා ඉන්නවා
පුංචි පුංචි බොල් පිණිකැට....
සිංදුව අහන්න
මියැසිය- රෝහණ වීරසිංහ
ගායනය- එඩ්වඩ් ජයකොඩි
කුමාරදාස සපුතන්ත‍්‍රී
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මහ පාරක් අසල ලොකු ගහක කූඩුවක් හදාගත් රාජාලියෙක් පැටවු ගැහැව්වා. මේ කූඩුව තිබුණේ මුහුදෙන් බොහොම ඈත.
ගහ අසල මිනිසුන් කීපදෙනෙක් වැඩකරමින් ඉන්නකොට රාජාලි අම්මා මුහුදෙන් ලොකු මාළුවෙකු ඩැහැගෙන පැටව් ලඟට ආවා. මාලුවා දුටු මිනිස්සු ගහ වට කරගෙන කෑ ගහන්ටයි, රාජාලියාට ගල් ගහන්ටයි පටන් ගත්තා. රාජාලියා මාළුවා බිම දැම්මා. මිනිස්සු මාලුවා අරගෙන ගියා.
රාජාලියා කූඩුව අයිනේ වහලා හිටියා. රාජාලි පැටව් කෑම ඉල්ලා කෑ ගහන්ට පටන් ගත්තා.
රාජාලියාට බොහොම මහන්සි හන්දා ආයෙත් මූදට පියඹා යන්ට ශක්තිය තිබුණේ නැහැ. ඌ තම පැටව් පියාපත් වලින් වහගෙන හුරතල් කලා. උන්ගේ පිහාටු හොටෙන් පිස දැම්මා. ටිකක් ඉවසන ලෙස රාජාලි අම්මා පැටවුන්ගෙන් ඉල්ලා හිටියා වගෙ. පැටවුන්ව වැඩියෙන් හුරතල් කල තරමට උන් කෑම ඉල්ලා කෑ ගැසුවා.
එතකොට රාජාලි අම්මා ඉහළ අත්තකට පියඹා ගියා. පැටවු වැඩියෙන් කෑ ගහන්ට පටන් ගත්තා.

රාජාලි අම්මා මහ හයියෙන් හඬ නගා පියාපත් වනලා මුහුද දෙසට පියාඹා ගියා.
හවස ඇඳිරි වැටුණායින් පසු රාජාලි අම්මා සෙමින්, සෙමින් පහළින් පියාඹා ආවා. ඌ ආවේ ලොකු මාලුවෙකු ඩැහැගෙනයි.
ගහ ළඟට ආ රාජාලි අම්මා වට පිට බැලුවා මිනිසුන් නැත්ද කියා දැනගන්ට. ඉක්මනට ඌ කූඩුව අයිනෙ වැහුවා.
රාජාලි පැටවු කටවල් ඇරලා කෑම ඉල්ලුවා. රාජාලි අම්මා මාලුවා කෑලි වලට ඉරලා පැටවුන්ට බෙදා දුන්නා.
[උපුටනය- ලියෝ තෝල්ස්තෝයි ළමා කතා| ප්‍රකාශනය -ප්‍රෝග්‍රසිව් පබිලිෂින් හවුස්]
ලියෝ තෝල්ස්තෝයි
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ශ්‍රී පාදෙන් මතු වෙලා
කඳු අසිරිය බල බලා
මහවැලි ගං කුමරි වඩියි
කඳු අතරින් ගල ගලා
හෝහෝ ගාමින් හෙමින්
පොල්ගොල්‍ලෙන් හැරවෙමින්
ශ්‍රී දළදා සමිඳු වඳියි
රජ රට වෙත යන ගමන්
මාදුරු ඔය කොත්මලේ
මොරගහ රන්දෙනි ගලේ
මහවැලි ජලකඳ එක්වෙයි
වික්ටෝරිය ඇළදොරින්
කල්පනා ඇම්බ්‍රෝස්
1987| 5 වසර C
'කව්මුතු' කාව්‍ය සංග්‍රහයෙනි
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මේ පැන ඔබේ විදු දැනුම විමසීමටයි.
1. රබන් ගැසීමට පෙර රබාන රත් කර ගන්නේ ඇයි?
2. ඈත දුම්රියක් එන හඬ රේල්පීලි වලට කණ තබා අසා සිටීමෙන් දැන ගත හැක. එසේ වන්නේ ඇයි?
3. අපේ සඳ මතුපිට කිසිදු ආකාරයකින් ජීවීන් බිහි වීමට කිසිදු ඉඩක් නැත්තේ ඇයි?
4. අමු පළතුරු කූඩයකට ඉදුණු පළතුරු කිහිපයක් දැමීමෙන් අමු පළතුරු ඉදීම වේගවත් වන්නේ ඇයි?
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පුංචලාගේ ගෙදර පිළිකන්නෙ තියෙනවා සරුවට වැවිච්ච පේර ගහක්. ඒ තරම්ම වයස නැති උනත් ගහ බොහොම අපූරුවට අතු විහිදිලා සෑහෙන උසට වැවිලයි තිබුණෙ. ඒ විතරක් නම් මදැයි, වාරෙටත් අවාරෙටත් ගහ පිරෙන්න මලුත් ගෙඩිත් තියෙන මේ පේර ගහේ ගෙඩි රසයෙනුත් ඉහළයි. හැබැයි දන්න දවසෙ ඉඳන් හොඳම පේර වල රස වැඩියෙන්ම බැලුවෙ නම් පුංචම තමයි.
අහල පහල කාටත් දෙන්න ඕනෑ වුනත් කවදාවත් හොඳ ගෙඩියක් ගහෙ ඉතිරිවෙන්නෙ නෑ කියලා තාත්තා හැමදාමත් අමනාපෙන් උන්නෙ. මොකද හැම ගෙඩියක්ම හීනියට කොනිති ගහල වගෙ ලකුණු.
"මේ සත්තු එක්ක බෑ... හැම ගෙඩියම නාස්ති කරනවා"
ඉතින් මේ වාරෙ තාත්තා අපූරු යෝජනාවක් ගෙනාවා. ඒ තමයි තරමක් ලොකු වෙච්චි ගෙඩි පොලිතීන් උරයකින් වහමු කියන එක.
"පුතේ, පරිස්සමෙන් නැගලා ආං අර අත්තෙ ගෙඩියත් වහලා දන්න ඕනෑ .ගෙඩි දහයක් පහළොවක් විතර ඉතුරු කලාම ඇති. " තාත්තා කිවුවා.
"ඒ මොකටද?" පුංචා ඇහුවා.
"ගස් වල ගෙඩි හැදෙන්නෙ අපිට විතරක් කන්න නෙමෙයි. කුරුල්ලන්ටයි, ලේනුන්ටයිත් එක්ක"
" හොඳයි තාත්තේ" පුංචා කිවුවා.
ඔන්න ඉතින් පුංචා තාත්තත් එක්ක එකතු වෙල පේර ගෙඩි සෑහෙන ගනනක් වැහුවා.
දවස් ගෙවිලා ගියා.
පුදුමයකට වගේ ඒ වතාවෙත් පොලිතින් උරය ඉතුරු වෙන්න පේර ගෙඩි අතුරුදන් වෙලා තිබුනා. ඒ විතරක් නම් මදැයි ඉතිරි පේර ගෙඩි ආයෙත් කොනිති ගහලා.
"හ්ම්ම්..." බැරෑරුම් විදියට කියූ තාත්තා පුංචා දිහා බලල යන්න ගියා.
දවසක් තාත්තා වෙනදාට වඩා කලින් ගෙදර ආවා. ගෙට ගොඩ වුණා විතරයි මෙන්න "දඩස්" ගාලා සද්දයක් ඇහුණා ගෙයි පිළිකන්නෙන්. ඒත් එක්කම මොකද්දෝ බර දෙයක් පේර ගහ උඩට වැටුණා වගේ ගහ හෙලවෙන්න පටන් ගත්තා.
තාත්තත් අම්මත් දුවගෙන ආවා පිළිකන්නට. ආතයි, අත්තම්මයි ත් දුවගෙන ආවා පිළිකන්නට. දැක්ක දෙයින් හැමෝම පුදුම වුණා.
" පුංචා..?" අම්මා පුදුමයෙන් කිව්වා.
අනේ, මෙන්න පුංචා ඉන්නව පේර අත්තක එල්ලිලා, ඔලුවෙන් හිටගෙන. කලිසම ඇමිණිලා ගහේ අත්තක. තාත්තගෙ සද්දෙන් කලබල වෙච්චි පුංචා ගහෙන් බිමට පනිනකොට තමයි මේ අකරතැබ්බය වෙලා තියෙන්නෙ.
ඒ විතරක් නම් මදැයි, ඔලුවෙන් හිටවිලා ඉන්න පුංචගේ සාක්කුවෙන් "දඩ බඩස් - දඩ බඩස්" ගාලා පේර ගෙඩි එක එක බිමට වැටුණා.
"හොරා අහුවුණා එහෙනම්...ඈහ්?" අම්මා කිවුවා.
“ඔයගොල්ලො කවුරුත් නොදැන උන්නට මං හිතුවා, මේ වැඩේ කරන්නෙ සතෙක් නං නෙමෙයි කියලා. ලමයෙක්ගෙ නියපොතු පාරවල් තමයි හැම ගෙඩියකම තිබුණේ.“ තාත්තා කාට කාටත් ඇහෙන්න කිවුවා.
"ඒත් ඉතිං හැම පේර ගෙඩියක්ම කොනිති ගහන්නෙ අහවල් වුවමනාවකටද?" අත්තම්මා ඇහුවා.
"ගෙ.. ගෙ.. ගෙඩිය පැහිලද කියල බලන්නයි ආතම්මෙ.." පුංචා අමාරුවෙන් ඒ ටික කියා ගත්තා.
"හා.. හා.. හා.. නියමයි! අන්තිමේදි පේර ගහම හොරාව අල්ලලා දුන්නා එහෙනම් ඈහ්..!" ආතා හැමෝටම ඇහෙන්න හයියෙන් කිවුවා.
"මදැයි දැං ඉතිං වෙච්ච හරිය..වැරැද්දට හොඳ දඬුවම කුත් ලැබිලා තියෙන්නෙ?" තාත්තා කිවුවා.
එහෙම කියලා හැමෝම බඩ අල්ලාගෙන හිනාවෙද්දි අමාරුවෙන් වුණත් ඉතිං පුංචටත් හිනා නොවී ඉන්න බැරිවුණා.
සිත්තම- රුවන්මලී
ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|