මහ පාරක් අසල ලොකු ගහක කූඩුවක් හදාගත් රාජාලියෙක් පැටවු ගැහැව්වා. මේ කූඩුව තිබුණේ මුහුදෙන් බොහොම ඈත.

ගහ අසල මිනිසුන් කීපදෙනෙක් වැඩකරමින් ඉන්නකොට රාජාලි අම්මා මුහුදෙන් ලොකු මාළුවෙකු ඩැහැගෙන පැටව් ලඟට ආවා. මාලුවා දුටු මිනිස්සු ගහ වට කරගෙන කෑ ගහන්ටයි, රාජාලියාට ගල් ගහන්ටයි පටන් ගත්තා. රාජාලියා මාළුවා බිම දැම්මා. මිනිස්සු මාලුවා අරගෙන ගියා.

රාජාලියා කූඩුව අයිනේ වහලා හිටියා. රාජාලි පැටව් කෑම ඉල්ලා කෑ ගහන්ට පටන් ගත්තා.

රාජාලියාට බොහොම මහන්සි හන්දා ආයෙත් මූදට පියඹා යන්ට ශක්තිය තිබුණේ නැහැ. ඌ තම පැටව් පියාපත් වලින් වහගෙන හුරතල් කලා. උන්ගේ පිහාටු හොටෙන් පිස දැම්මා. ටිකක් ඉවසන ලෙස රාජාලි අම්මා පැටවුන්ගෙන් ඉල්ලා හිටියා වගෙ. පැටවුන්ව වැඩියෙන් හුරතල් කල තරමට උන් කෑම ඉල්ලා කෑ ගැසුවා.

එතකොට රාජාලි අම්මා ඉහළ අත්තකට පියඹා ගියා. පැටවු වැඩියෙන් කෑ ගහන්ට පටන් ගත්තා.


රාජාලි අම්මා මහ හයියෙන් හඬ නගා පියාපත් වනලා මුහුද දෙසට පියාඹා ගියා.

හවස ඇඳිරි වැටුණායින් පසු රාජාලි අම්මා සෙමින්, සෙමින් පහළින් පියාඹා ආවා. ඌ ආවේ ලොකු මාලුවෙකු ඩැහැගෙනයි.

ගහ ළඟට ආ රාජාලි අම්මා වට පිට බැලුවා මිනිසුන් නැත්ද කියා දැනගන්ට. ඉක්මනට ඌ කූඩුව අයිනෙ වැහුවා.

රාජාලි පැටවු කටවල් ඇරලා කෑම ඉල්ලුවා. රාජාලි අම්මා මාලුවා කෑලි වලට ඉරලා පැටවුන්ට බෙදා දුන්නා.

[උපුටනය- ලියෝ තෝල්ස්තෝයි ළමා කතා| ප්‍රකාශනය -ප්‍රෝග්‍රසිව් පබිලිෂින් හවුස්]

ලියෝ තෝල්ස්තෝයි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails