If I create 10,000 poems,
my room and the halls
would be filled with paper,
And the roof would break
and shatter the windows,
fill the city and break someone’s clan,
fill up the country and takeover the lakes,
cover the rivers,
cut down all the trees,
stack so high and touch the sky

Filled with poems,
it would reach in space,
reach mars,
take all the planets and connect them,
break all the spaceships,
and fall down
covering the entire North America,
making a bridge to Asia,
takeover half of Russia

And after a few minutes
the world would be covered in papers,

If that happened…

The globe would be gray,
from all the papers,

I used…

සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


එය පාස්කු වේ පූර්ව භාගය විය. හිම මත ලිස්සා යාම මේ දැන් අවසන් වූවා පමණි. හිම කැටිති තවමත් ගෙවතු මත වැතිර ගත් වනමය. ඉන් ගලා එන දිය දහරාවන් ගෙන් සැදු කුඩා ඇලවල් වීදිය ඔස්සේ පහළට ඇදෙයි. අහල පහළ ගෙවල් දෙකක පුංචි ගෑණු ළමෝ දෙදෙනෙක් ගොවි පලවලින් ඉවත ලූ ජලය ගලාවිත් එක් රැස් වී සැදුණු කුඩා මඩකඩිත්තක් තැනුණු ගෙවතු අතරෙහි වූ කුඩා පටු මගෙහි දී හමුවූහ. එක කෙල්ලක වඩා කෙසඟ වූ අතර අනෙක් කෙල්ල තරමක් වැඩුණු එකියකි. මව්වරුන් විසින් ඔවුන් දෙදෙනාට අලුත් ඇඳුම් අන්දවා තිබිණි. එක් කෙල්ලක් නිල් පැහැ ගවොමකින් සැරසී සිටියාය. අනෙක් කෙල්ල කහ පැහැති මුද්‍රිත ගවොමක් හැඳ සිටි අතර දෙදෙනාම රතු පැහැ ලේන්සු වලින් හිස් වසා සිටියහ. ඔවුන් මේ දැන් පල්ලියෙන් සිට ආවා පමණි. එකිනෙකා ගේ අලුත් ඇඳුම් එකිනෙකා ට පෙන්වා ගත් ඔවුහූ සෙල්ලමට වන්හ.

හැඳ සිටි සපත්තු සමගින්ම පුංචි කෙල්ල මඩ කඩිත්තට පනින්නට තැත් කළාය.ඒ දුටු වැඩිමහල් කෙල්ල කෑගෑවාය.

"ඔහොම වතුරට බහින්නෙපා මලාෂා. අම්මා බනියි ඔයාට. මගේ සපත්තුයි මේසුයි මං ගලවන්නයි යන්නේ. ඔයත් ගලවන්න." ඈ කීවාය.

ඉදින් ඔවුහු එසේ කළෝය. පසුව සායවල් අතින් අල්වාගෙන මඩ කඩිත්ත දෙසට ඇවිද ගියෝය. වතුර මලාෂාගේ වළලු කර තෙක් තිබිණි.

"මේක ගැඹුරුයි අකෝල්යා. මට බයයි!" ඈ කෑගෑවාය.

"මෙහෙ එන්න. මේක ඒ තරම් ගැඹුරු නෑ" අනෙකා පිළිතුරු දුන්නාය.

"මලාෂා බලාගෙන, වතුර ඉහින්න එපා ඇවිදිනකොට. ඔන්න පරිස්සමට ඇවිදින්නෝනේ..." දෙදෙනා එකිනෙකාට සමීප වූ විට අකෝල්යා කුඩා කෙසඟ කෙල්ල අමතා කීවාය.

අකෝල්යා එසේ කියනවාත් සමගම මලාෂා වේගයෙන් ජලය මතට පා තැබුවාය. ඉන් ඉහුනු අපිරිසිදු ජලයෙන් අකෝල්යාගේ ගවොම මත පැල්ලම් ඇති කෙරිණි. එපමණකින් නොනැවති ඇගේ නාසයත් ඇසුත් ඉන් තෙමී ගියේය. ඇගේ ගවොමේ වූ මඩ පැල්ලම් දැක කෝපයට පත් වූ අකෝල්යා මලාෂා ට පහර දෙන්නට යයි සිතා ඈ පසුපසින් දිව ගියාය. අකෝල්යාව තමා කරදරයට පත් කළ බව වටහා ගත් මලාෂා ඉන් තැතී ගැනී වහා දිවයන්නට සිතා මඩ කඩිත්තෙන් පැන ගෙදර යන්නට සූදානම් වූවාය. ඔන්න එවිටම වාගේ අකෝල්යාගේ මව එතැන පසු කරමින් යමින් සිටියාය. කිළුටු වූ අකෝල්යාගේ සාය සහ ගවොමෙ අත් දුටූ ඇය,

"විසේකාර කෙල්ල. මක් කරගත්තද මේ අලුත් ඇඳුමට?" යි ඇසුවාය.

"මලාෂා මඩා ඉස්සා ගවුමට. එයා ඕනෙකමින්මයි එහෙම කළේ." කෙල්ල පිළිතුරු දුන්නාය.

මළාෂා අල්ලා ගත් අකෝල්යාගේ මව ඇගේ ගෙල පිටුපසට පහරක් එල්ල කළාය. මළාෂා මහ හඬින් හඬන්නට වූයේ මුලු විදීයෙම යන්නවුන්ට ඇසෙන්නටය. එය ඇසී ඇගේ මව වහා වීදියට දිව ආවාය.

"මගෙ කෙල්ලට ගහන්නෙ මොකද?" එසේ අසමින් මලාෂාගේ මව තම අසල්වැසියාට දොස් නගන්නට වූවාය. විසි කරන එක් එක් වචනයක් පාසා තව තවත් වචන දහස් ගණනක් මැවෙමින් සිදුවීම ද්වේෂ සහගත රණ්ඩුවක් බවට පෙරළිනි. මිනිසුන් එකා දෙන්නා බැගින් එම ස්ථානයට ඇදුනු අතර මොහොතකින් එතැන මිනිසුන්ගෙන් පිරීතිරි යන්නට වූයේය. හැම දෙනාම කෑ කොස්සන් ගසන්නට වූ අතර සවන්දෙන්නට තරම් කෙනෙකු ඒ අතර නොවූයේය.

මාරුවෙන් මාරුවට වරෙක දෙදෙනාගේ පැත්ත ගමිනින් ද, එකිනෙකා තල්ලු කරගනිමින්ද සියල්ලෝම රණ්ඩුවේ පැටලී සිටින අතරතුර මෙය සමථයකයට පත් කරන්නෙ මැයි සිතූ අකෝල්යාගේ අත්තම්මා ඔවුන් අතරට පැමිණියාය.

"මේ වගේ හැසිරෙන එක හරිද මං අහන්නෙ? අනිත් එක මේ වගේ දවසක? සතුටින් ඉන්නෝනෙ දවසක මේ වගේ සුළු සුළු දේට ආරවුල් ඇති කරගන්න එක හොඳ මදි. ඒ ගැන හාංකවිසියක්වත් නැද්ද හැබෑට, මං අහන්නෙ?"

මැහැල්ලට ඇහුම්කන් නොදුන් ඔවුහූ ඈ පසෙකට තල්ලු කොට දැමුවෝය. අකෝල්යා සහ මලාෂා ට ම හැර, කෑකොස්සන් ගසන පිරිස සන්සුන් කිරීමට ඕ අපොහොසත් වූවාය. ගැහැණුන් දෙදෙනා ඔවුනොවුන් ට දෙස් තබා ගන්නා අතර තුර තම ගවොමේ මඩ පිසදා ගත් අකෝල්යා නැවත මඩ කඩිත්ත වෙත දිව ගියාය. කුඩා ගල් කැබැල්ලක් අතට ගත් ඈ මඩ කඩිත්ත ඉදිරියෙන් පොළොව සූරා වීදීය දෙසට ජලය බැසයන පරිදි කුඩා ඇලක් සෑදූවාය. එවිටම වාගේ මළාෂා ද දිව විත් වහා ඇය හා එක් වූවාය. කුඩා ලී පතුරක් සොයා ගත් ඈ කුඩා ඇල පහර තනන්නට අකෝල්යාට උදවු වුවාය.

මැහැල්ල තව දුරටත් රණ්ඩුවේ පැටලී හුන් මිනිසුන් සමථයකට පත් කරමින් හුන් තැනට කුඩා දිය පහර ගලා ගෙන යන්නට වූයේය. ඒ පසුපසින් කුඩා දැරියෝ දෙදෙනා දිව ගියහ. එකකු දිය පහරේ මේ පස ද අනෙකා අනෙක් පස ද ලෙස.

"අල්ලන්න! මලාෂා අල්ලන්න!" අකෝල්යා කෑ ගසන්නට වූවාය. සිනාව කොතෙක්ද යත් මලාෂා ගේ මුවින් එකදු වදනක් හෝ නික්මුණේ නැත.

දිය පහර ඔස්සේ ඉදිරියට ගසා ගෙන යන කුඩා ලී කැබැල්ල පසුපස මහත් ප්‍රීතියෙන් කෑ ගාමින් කුඩා දැරියෝ දෙදෙනා කෑ කොස්සන් ගසන මිනිසුන් දෙසට දිව ගියහ.

ඒ දුටු මැහැල්ල මෙසේ කීවාය.

"උඹලට ලැජ්ජා නැද්ද? මේ වගේ පොඩි දරුවන්ගේ දේවල් වලට පැටලෙන්නෙ. උන්ටම උන් ගැන අමතක වෙච්චි. උන් සන්තෝසෙන් සෙල්ලං කරන හැටි බලාපල්ලා. අනේ, පුංචි පැටවු! උන් උඹලා ඔක්කොටම වඩා නුවණක්කාරයි!"

මිනිස්සු කුඩා දැරියන් දෙස බැලූහ. ඔවුන්ට තම තමා පිළිබඳ මහත් ලජ්ජාවක් හට ගත්තේය. අවසන දැරියන්ට හිනාවෙමින් ඔවුහු නිවෙස් බලා ඇදී ගියෝය.

"උඹලා කවදාවත් ආපහු හැරිලා පොඩි දරුවො වගේ නොවුනොත් නං උඹලට කිසි කාලෙක ස්වර්ගයට යන්න ලැබෙනවා කියන්නෙ බොරුවක්!"

ලියෝ තෝල්ස්තෝයි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


Many have asked...
...the point of a poem.

To say that, you must not know...

A poem is a work,
a work of art,
a work you may never forget
It is a working star.

Time goes slow
when the mime is a crow
When stuff goes by
a way to flow.

The world may not be big
to compare to the sun.

Bright lights,
fire might,
time you may not loose.

Giant crows,
hornless moose,
a clock without hands,
a world with no end,
would be great.

But a poem with no end would be bad
So, let’s end this poem with…

…The End.


සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


සුරූපී ‘මී වොං’ සහ වැදගත් මුලාදෑනියෙක් වන ඇගේ පියා ජීවත් වුණේ රතු ඟග අසබඩ. ‘මී වොං’ ගේ තත්ත්වයේ සිටි අනෙක් සියලුම තරුණියන් වගේම, පිරිමි ඇස් වලින් ඇයව බේරගන්න ඕනැ නිසා, ඇයටත් සිද්ද වුණේ ගේ ඇතුළටම හිර වෙලා ජීවත් වෙන්න. ගේ ඇතුලෙ කීවට ඉතින් ඒක මහ උස කුලුණක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කාලය ගත කළේ, කුලුණෙ එයාගේ කාමරය ඇතුළෙ. ඒ කාමරයේ තිබුණා සඳක් හැඩයේ කවුළුවක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කළේ, එයාගෙ තනි නොතනියට ඉන්න, මෙහෙකාරිය සමග සල්ලාපයේ යෙදෙමින්, පොතක් පතක් කියවන එක. එහෙමත් නැත්නම් මැහුමක් ගෙතුමක් මහන ගොතන එක. එහෙම වෙලාවටත් කවුළුවෙන් පිටත පේන උයනට සහ ගංගාව පෙදෙසට, ‘මී වොං’ ගෙ ඇස් දුවන එක සාමාන්‍ය දෙයක්.

දවසක් ‘මී වොං’ සඳ කවුළුව ළඟ ඉඳගෙන ඉන්න වෙලාවක, එයාට ඇහුණා, ඈතින් පාවෙලා එන ගැඹුරු ඒත් සුමිහිර කටහඬක්. විමසිලි දෑසින් එළිය බලපු ‘මී වොං’ ට දකින්න ලැබුණෙ; ගඟ දිගේ පාවෙලා එන ධීවර ඔරුවක්.

"ඇහෙනවද.. ඇහෙනවද?" 'මී වොං' එයාගෙ මෙහෙකාරියගෙන් ඇහුවා.

"කොච්චර ලස්සනට ඔහු ගයනවද?" කටහඬ එන්න එන්නම ළං වෙන්න ගත්ත නිසා ‘මී වොං’ තව තවත් උවමනාවෙන් ඒ හඬට ඇහුම්කන් දුන්නා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"


"ඔහු ගොඩක් තරුණ කඩවසම් කෙනෙක් වෙන්න ඕනෑ." ‘මී වොං’ කීවා.

"සමහරවිට මම මෙහෙ ඉන්න විත්තිය දැනගෙන, මට ඇහෙන්නම ඔහු ඒ ගීතය ගයනවා ඇති." ‘මී වොං’ අමුතුම සතුටකින් පිබිදෙමින් කීවා.

මෙහෙකාරියගෙ ඇසුත් සතුටින් දිලිසුණා. "ඔය වෙස්වලාගෙන එන්නෙ මුලාදෑනියෙක් ගෙ පුතෙක් ද දන්නෙ නෑ. සමහරවිට ඒ ඔබතුමියව සරණ පාවා ගන්න නියමිත කෙනා වෙන්නැති." ඇය කීවා. ‘මී වොං’ ගෙ මූණ ලැජ්ජාවෙන් රතු වුණා. හදවත හයියෙන් හැහෙන්න පටන්ගත්තා. ‘මී වොං’ ඔහුගේ මුහුණවර පැහැදිලිව දැක ගන්න උත්සහ කළා. ඒත් ගීතයයි ඔරුවයි දෙකම ගඟ දිගේ ඈතට ඇදිලා ගියා.



"ඔව්," ‘මි වොං’ හිමිහිට කටහඬ මතු කළා. "සමහරවිට ඒ ඔහු වෙන්න ඇති."

එදා දවසම ‘මී වොං’ සඳ කවුළුව ළඟට වෙලා, ආයෙත් ඔහුව දැකගන්න බලාගෙන හිටියා. පහුවදාත්, ඊටපස්සෙ උදාවුණු හැම දවසකමත් ‘මී වොං’ දෑස අයාගෙන ඔහුව දැකගන්න බලාගෙන හිටියා. නමුත් කිසිම කටහඬක් ගඟ දිගේ ඇදිලා ආවෙ නෑ.

"ඇයි, ඔහු එන්නෙ නැත්තෙ?" ‘මී වොං’ මෙහෙකාරියගෙන් දුකෙන් ඇසුවා.

දවස් ගත වෙනකොට ‘මී වොං’ සුදුමැලි වෙමින් දුර්වල වෙන්න පටන්ගත්තා. බැරිම තැන ඇය ඇඳට ගොස් එහිම කල් ගත කළා.

‘මී වොං’ ගෙ තාත්තා දවසක් ඇයව බලන්න ආවා. "ඇයි දුව, ඇයි මේ?" තාත්තා ඇහුවා.

"මුකුත් නෑ තාත්තා.." ‘මී වොං’ අඩ සිහියෙන් උත්තර දුන්නා.

මුලාදෑනි තාත්තා; ‘මී වොං’ ව බලන්නට, වෛද්‍යවරයෙක්ව කුලුනට එව්වා. "මට නම් කිසිම ලෙඩක් හොයාගන්න නෑ. කිසි ලෙඩක් නැතුව මට බෙහෙත් කරන්න පුළුවන්කමක් නෑ" ‘මී වොං’ ව පරීක්ෂා කරපු දොස්තර කීවා.

සති ගණන් පහු වුණා. ඒත් ‘මී වොං’ නෙමෙයි ටිකක්වත් සනීප වුණේ. දවසක් මෙහෙකාරිය මුලාදෑනියා ඉදිරිපිටට ආවා.

"ස්වාමිනී, මම දන්නවා ඔබතුමාගේ දුව අසනීප වෙන්නට හේතුව. එතුමිය ආදරය නිසයි මේ අසනීප වෙලා ඉන්නේ. ඉතින් එතුමියව සනීප කරගන්න නම්, මේ ගීතය ගයන කඩවසම් තරුණයාව ඔබතුමාට හොයාගන්නම වෙනවා." ඊටපස්සෙ මෙහෙකාරිය ඒ ගීතය මුලාදෑණියාට ගයා පෙන්නුවා.

"හරි, මං ඒක කරන්නම්." මුලාදෑනියා ඒවෙලේම ඒ කඩවසම් තරුණයාව සොයන්නට දූතයෙක් යැව්වා.

දවස් කීපයකට පස්සෙ දූතයා නැවත පැමිණියා. "ස්වාමිනී, මේ පළාතේ කිසිම වැදගත් ගෙදරක; මේ ගීතය දන්න තරුණයෙක් නෑ. ඒත් ළඟපාත ගමකින් මට හම්බවුණා; මේ ගීතය දන්න, ‘ඕං චී’ කියල ධීවරයෙක්. මම ඔහුව මාළිගාවට එක්කගෙන ආවා."



"ධීවරයෙක්?" ඒ වචන අදහාගන්නවත් බැරි විදිහට මුලාදෑනියා ඇහුවා. "කෝ බලමු එයාව."

දූතයා ඔහුව මාළිගය ඇතුළට කැඳෙව්වා. ‘ඕං චී’ හිටියෙ වික්ෂිප්තව නොසන්සුන්ව. මාළිගය ඇතුළෙ තිබුණු වටිනා බඩු මුට්ටු දුටු ඔහුගේ ඇස් ලොකු වුණා.

‘ඕං චී’ ව දුටු මුලාදෑනියා මොහොතකට මවිත වුණා, ඔහුට කතා කරන්නට පවා අපහසු වුණා. ඒ මොකද තරුණ හෝ කඩවසම් කෙනෙක් නෙමෙයි ‘ඕං චී’ කියන්නෙ. ඔහු ඇඳන් හිටියේ මාළු දුගඳ හමන වැරහැලි ඇඳුම්. ‘මගේ දුවට මෙයා කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! ’ මුලාදෑනියා සිතුවා.

"මේ ධීවරයාව මගේ දුවගෙ කාමරයේ දොර ගාවට එක්කෙගෙන ගිහින්, ගීතය කියන්න ඉඩ සලසල දෙන්න." මුලාදෑනියා දූතයාට අණ දුන්නා.

සිද්දවෙන කිසිම දෙයක් හිතාගන්න බැරුවයි ‘ඕං චී’ හිටියෙ. ‘ඕං චී’ ට හිතාගන්න බෑ, ඇයි එයාව මාළිගාවට එක්කගෙන ආවෙ කියලා. එයාගෙන් මොනව බලාපොරොත්තුවෙන්ද කියලා. කිසිම වැරදි වැඩක් නොකරන අවංක ධීවරයෙක් වුණු ‘ඕං චී’; කාටවත් නපුරක්, හිංසාවක් නැති අහිංසක මනුස්සයෙක්. ටික වෙලාවකින් ‘මී වොං’ ගෙ, කාමරයේ දොර ළඟට ‘ඕං චී’ ආවා.
දූතයා දුන් සංඥාවකට පසු, ‘ඕං චී’ ගැහෙමින් ගීතය ගායනා කරන්න පටන්ගත්තා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"


කාමරයේ ඇතුළෙ හිටි ‘මී වොං’ගෙ ඇස් වහා ඇරුණා. "ඔහු මෙහාට ඇවිත්!" ඇය කඳුළු පුරවගත් දෑසින් මෙහෙකාරියට කීවා. "කොහොමද ඒක සිද්ද වුණේ? අනේ ඉක්මන් කරලා මට ඇඳගන්න උදව් වෙන්න."

‘මී වොං’ ඉක්මණින් ඇඳෙන් බැස්සා. කවමදාවත් නැති විදිහට; කඩි මුඩියේ ඇඳුමක් ඇඳගෙන, කොණ්ඩෙ පීරගෙන ලෑස්ති වුණා. ගීතයෙ හඬ ළං- ළං ව ඇසුණු නිසාත්, ඇය සැරසුණු මලින් සිත්තම් වුණු සේද ඇඳුම් කට්ටලය නිසාත්, ‘මී වොං’ ව දිස්වුණේ දිව්‍යමය දර්ශණයක් ලෙසට.

"දැන්, දොර අරින්න!" ‘මී වොං’, වේගයෙන් ගැහෙන තම හදවත, සන්සුන් කරගන්න උත්සහ කරමින් කීවා. විනීතව හැදුණු, නිරහංකාර, ඒත් ලැජ්ජාවෙන් බර යුවතියක් ලෙසට, හිස බිමට නැඹුරු කරගෙන ඉන්න ඇය සිතාගත්තා.

කාමරයේ දොර හිමිහිට ඇරෙත්ම, වෙන්න යන්න දේ හිතාගන්න බැරුව ‘ඕං චී’ පිටිපස්සට වුණා. ඉන්පසු ඔහුට දැකගන්න හැකි වුණේ, මෙතෙක් තම ජීවිතයේ කිසිම දා නොදුටු, නෙත්කළු, අයස්කාන්ත දසුනක්. ‘ඕං චී’ ට දැනුණෙ එයාගෙ හදවත පැනයන්නට හදන ආකාරයක්. ඒ තරමට ‘ඕං චී’ ට, ‘මී වොං’ ගැන, තද ගැඹුරු, වචනයෙන් කෙසේවත් විස්තර කළ නොහැකි ආදරයක් ඇති වුණා.



තව සුළු මොහොතක්වත් තම ආදරවන්තයාව නොදැක ඉන්නට නොහැකි වුණු ‘මී වොං’, හිමිහිට ඇස් ඔසවා ඔහු දෙස බැලුවා. ඒ වෙලාවෙ ‘මී වොං’ ගෙ ඇස් ලොකු වුණා. ‘මී වොං’ මහ හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා.

මුලාදෑණියෙක්ගෙ පුතා? ඇයව බඳින්න නියමිත කෙනා? නිකම්ම නිකන් ධීවරයෙක්! ඇය මෙතෙක් දවසක් හැසිරිලා තියෙන්නෙ ගොඩක් මෝඩ විදිහට.

ඇගේ මෝඩකමට මහ හයියෙන් විනෝදයෙන් සිනාවෙමින් ‘මී වොං’ අහක බලාගෙන මිමිණුවා; "වහන්න දොර!"

‘ඕං චී’ ගේ ඇස් පනාපිට දොර වේගයෙන් වැසුණා. ‘ඕං චී’ එතැනම ගල් ගැහී බලා හිටියා. ‘මී වොං’ ගේ හිනාව ‘ඕං චී’ ගේ දෙසවන ඇතුළෙ රැව්පිළි රැව් දුන්නා. ‘ඕං චී’ ට දැනුණා එයාගේ හදවත දුකින් ගල්ගැහෙන විදිහ.

‘ඕං චී’ ව නිවස බලා පිටත් කළා. ඒත් පෙර මෙන් ඇවිද ගන්න පණක් ‘ඕං චී’ ට තිබුණෙ නෑ. කන්න, බොන්න, අඩුම ගානේ ටිකක් නිදාගන්නවත් බැරිවුණ ‘ඕං චී’, දුර්වල වෙමින් අසනීප වුණා. මැරුණත් එකයි, නැතත් එකයි මෙන්; හිටිය ‘ඕං චී’ ඉතින් මියැදුණා.

දුප්තපත් කුටියක නිදන කලාලයක් උඩ සිටි ‘ඕං චී’ ව, ගම්වැසියන්ට හම්බවුණා. ඔහුගෙ පපුව උඩ විශාල පළිඟුවක් තියෙනවා ඔවුන් දුටුවා.

"මොකද්ද ඒ?" ගම්වැසියෙක් ඇසුවා.

"ඒ එයාගේ හදවත!" ප‍්‍රඥාවන්ත වයසක කාන්තාවක් උත්තර දුන්නා. "මුලාදෑනියාගේ දුව ඔහුගෙ හිත ගැඹුරටම තුවාල කළ නිසා, වේදනාව නැවතෙන්න හදවත ගල් ගැහිලා."

"අපි දැන් මොකද මේ හදවතට කරන්නෙ?" තරුණ කාන්තාවක් ඇසුවා. "ඔහුගේ ගීත වගේම හදවතත් ගොඩක් ලස්සනයි, ආදරණීයයි!"

"අපි මේ හදවත ‘ඕං චී’ ගේ ඔරුවෙ ඇතුළෙ තියලා, මුහුදට යන්න ගඟ දිගේ පා කරල ඇරියනම් හරි." තව තරුණයෙක් කීවා.

මළහිරු බැස යන මොහොතක ඔවුන් පළිඟු හදවත ‘ඕං චී’ ගේ ධීවර ඔරුව ඇතුළෙන් තිබ්බා. ඉන්පසු ඔරුව ගඟ දිගේ තල්ලු කර, ඒ දිහා වේදනාවෙන් දැවෙන ඇස් වලින් බලාන සිටියා. ගඟ දිගේ සෝකයෙන් පාවුණ ඔරුව ඔවුන්ගේ ඇස් වලින් සමුගන්නාතෙක්ම, ඔවුන් එතැනින් නික්ම ගියේ නම් නෑ.

ඒත් ඔරුව මුහුදට නොයා මුලාදෑනියාගේ මාළිගාව අසල වෙරළට සේන්දු වුණා. අරුණළු උදයේ ඉවුර අසබඩ, සක්මනේ නියැලෙන මුලාදෑනියාට, ඔරුව නෙත ගැටුණා.

"මොනාද මේක ඇතුළෙ තියෙන්නෙ?" පළිඟුව ගන්නට ඔරුවට නැඹුරු වෙන ගමන් ඔහු කීවා. "මොනතරම් කදිම, ලස්සන, තෑග්ගක්ද; ඟංගාව මට ගෙනැත් තියෙන්නේ!" අතටගත් පළිඟුව බොහොම උවමනාවෙන් නරඹන ගමන් ඔහු කීවා.

දවස් කීපයකට පසු කිසිවෙක් පළිඟුටවට අයිතිවාසිකම් කියාගෙන නොපැමිණි නිසා; මුලාදෑනියා එය තේ කෝප්පයක් හැඩයට නිමවන්න, ලියවන පට්ටලකරුවෙක් වෙත ඇරියා.
එක් සැන්දෑවකදී මුලාදෑනියා පළිඟු කෝප්පය තම දියණියගේ වෙත ගෙනයනු ලැබුවා.

"මගේ ආදරණීය දුවට තෑග්ගක්!" ඔහු කීවා.

"ගොඩක් ලස්සන තෑග්ගක් තාත්තෙ! මට මේකෙන් බොනකල් සිහියක් නෑ!"

මුලාදෑනියා ගියාට පසු, ‘මී වොං’ සිය මෙහෙකාරියට කීවා, "දැන් ගොඩක් රෑ වෙලා. මට මේ අලුත් කෝප්පෙන් බොන්න තේ ටිකක් හදල දීලා, ඔයා නිදාගන්න."

තම වැඩ සියල්ලම අහවර කළ මෙහෙකාරිය නිදාගන්නට ගියා. මේසය උඩ තිබුණ ඉටිපන්දම් සියල්ලම නිවා දැමූ, ‘මී වොං’; කෝප්පයට තේ ටිකක් වක්කරගෙන, සඳ කවුළුව ළඟ පුටුවට ගියා. පුරහඳ එළිය ඇගේ කාමරයට නොඅඩුව ගලා එමින් තිබුණා. රත්තරං සඳළිය, ගඟ දිය මත සෙල්ලම් කරනායුරු, ‘මී වොං’ ආසාවෙන් නැරඹුවා. පිවිතුරු මල් සුවඳක් උයනේ සිට හමා ආවා.

‘මී වොං’ තේ උගුරක් බොන්න කෝප්පය තොල් ළඟට ගත්තා. ඒත් බොන්න හදනවාත් සමගම නොහිතූ පරිදි ඇය බයෙන් අඬන්නට පටන් ගත්තා. ඊටපස්සෙ ඉක්මණින් පළිඟු කෝප්පය බංකුව මත තිබ්බා.

තේ වතුර උඩ ‘ඕං චී’ ගේ වත මැවී තිබුණා. ඔහු ආදරය දෝරෙ ගලායන ඇස් වලින් ‘මී වොං’ දෙස බලාගෙන හිටියා. මොහොතකින් ඔහුගේ ආදරණීය ගීතය හුරු පුරුදු, ඒත් ටිකක් වෙනස් වුණ හඬකින් ‘මී වොං’ ගේ, කාමරය පුරා විසිරුණා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"




දොර ළඟදි දුටු ‘ඕං චී’ ගේ ඇස්, සැණෙකින් ‘මී වොං’ ට මතක් වුණා. ඒ ගමන්ම ‘මී වොං’ ට මතක් වුණා එදා ඈ සිනහසුණ ආකාරය. "දෙයියනේ! මම මොනාද කළේ? මම ගොඩක් නපුරු වුණා. මම හිතා මතා නෙමෙයි එදා ඔබව රිදෙව්වෙ. මම දැනගෙන හිටියෙ නෑ........ මට සමාවෙන්න. මට සමාවෙන්න. මට ගොඩක් සමාවෙන්න!"

‘මී වොං’ ගෙ ඇස් ඇතුළෙ කඳුළු පොකුරු පිටින් පිපුණා. එක කඳුළු බිංඳුවක් තේ කෝප්පය ඇතුළට වැටුණා. එතකොට පළිඟු කෝප්පය හිමින් සීරුවෙ දියවුණා. ‘ඕං චී’ ගේ ආත්මය නිදහස් කරන්නට ඒ හොඳටෝම ඇති වුණා. ‘මී වොං’ ට ‘ඕං චී’ ගේ ආදරණීය ගීතය අවසාන වතාවට ඟග දිගේ ඈතට ඇදිල යනව ඇහුණා.

සුළඟේ ළෙලදෙන මලකි ‘මී වොං’
රැල්ලේ නැලවෙන සඳළිය ‘මී වොං’


"ආයුබෝවන්!" ‘මී වොං’ හිමිහිට කීවා. "ඔබට ආයුබෝවන්!"

*****

ඊට සුළු කාලයකට පස්සෙ ‘මී වොං’; බලවත් මුලාදෑනියෙක්ගෙ පුතෙක් සමගින් අතිනත ගත්තා. ඔහු ඉතාමත් ලස්සන කඩවසම් තරුණයෙක්. ‘මී වොං’ට දැනුණෙ එයාගේ හැම සිහිනයක්ම ඉෂ්ට සිද්ද වුණ බවක්.

ඒත් කොච්චර වුණත්, අදටත්; උයනක් හෝ නදියක් ‘මී වොං’ ගෙ ඇස ගැටුණොතින්, තවමත් ඇයට, ඒ ආදරණීය ධීවරයාගේ ගීතය සිය හදවත පතුළේ දෝංකාර දෙනවා ඇහෙනවා.

වියට්නාමයේ ජනකතාවක් ඇසුරෙන් කතාව නැවත කිවුවේ - ආරෝන් ෂපර්ඩ්
පින්තූර ඇන්ඳේ- ජෝසප් ඩැනියෙල් ෆිඩ්ලර්


ආරෝන් ෂපර්ඩ්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


සෙර්ගේයි උපන් දවසේ උත්සවයේදි ඔහුට බොහොම තෑගි ලැබුණා. බමර, ලී අශ්වයෝ සහ පින්තූර ඔහුට තෑගි දුන්නා. හොඳම තෑග්ග ලැබුණේ මාමාගෙන්. ඔහු සෙර්ගේයි ට කුරුල්ලන් අල්ලන දැලක් තෑගි දුන්නා. රාමුවකුයි ලෑල්ලකුයි දැලට සවි කර තිබුණා. ලෑල්ල උඩට කෑම ටිකක් දාලා ගෙවත්තේ තියනවා. කුරුල්ලෙක් කෑම දැකලා වහපු හැටියේම දැල ඉබේටම උගේ ඇඟට වැටෙනවා. සෙර්ගේයි බොහොම සතුටු වෙලා තෑග්ග අම්මාට පෙන්නුවා.

"මේක ඒ තරම් හොඳ සෙල්ලම් බඩු වක් නොවෙයි. කුරුල්ලන් අල්ලන්නේ මොකටද? උන්ට හිරිහැර කරන්ට පුතා කැමතිද?" අම්මා ඇසුවා.

"මම උන්ව කූඩුවක දාලා ඇති කරන්නම්. උන්ට කෑම දෙන්නම්. උන් සින්දු කියාවි."

සෙර්ගේයි ඇට වගයක් හොයා ගෙන ඒවා ලෑල්ල උඩ තියලා කුරුල්ලන් අල්ලන දැල ගෙවත්තේ තැබුවා. ඔහු දැල ළඟ බොහෝ වේලාවක් සිටගෙන සිටියා. එක කුරුල්ලෙක් වත් අසලට ආවේ නෑ. උන් සෙර්ගෙයිට බය වුණා. පසුව ඔහු දවල් බතට ගෙදර ගියා. ආපහු ගෙවත්තට එන විට දැලට පුංචි කුරුල්ලෙකු අහුවෙලා හිටියා. ඌ බොහොම හයියෙන් කොටන්ට පටන් ගත්තා. සෙර්ගෙයි බොහොම සතුටු වෙලා කුරුල්ලාව ගෙදර ගෙනැවිත් අම්මාට කතා කරලා මෙහෙම කීවා.

"අම්මේ! බලන්න මම කුරුල්ලෙකු ඇල්ලුවා. මූ සැලලිහිණියෙන් වෙන්ට ඕන. බලන්න උගේ හදවත ගැහෙන හැටි!"

"මේකා වීෂ් වර්ගයට අයත් කුරුල්ලෙක්. ඌට හිරිහැර නොකර ඌව නිදහස් කරපන්." අම්මා කිවුවා.

"නැහැ, මම ඌට කෑම දෙන්නම්. වතුර දෙන්නම්."

සෙර්ගේයි ඌව කූඩුවක දමා දවස් දෙකක්ම නොයෙකුත් ඇට ජාති ගෙනවිත් ඌට කෑමට දුන්නා. වතුර දුන්නා. කූඩුව සුද්ද කළා. තුන්වැනි දවසෙදි කුරුල්ලාට කෑම දෙන්නටයි, වතුර දෙන්ටයි ඔහුට අමතක වුණා.

"ඔන්න පේනවද! නුඹ කුරුල්ලා ගැන අමතක කළා. ඌව නිදහස් කරපන්!" අම්මා ඔහුට ආයෙත් කිවුවා.



"නැහැ. මට අමතක වුණේ නැහැ. මම දැන්ම කෑමයි, වතුරයි තියන්නම්. කූඩුව සුද්ද කරන්නම්."

සෙර්ගෙයි කූඩුවේ දොර හැරලා සුද්ද කරන්ට පටන් ගත්තා. කුරුල්ලා බයවෙලා කූඩුවට කොටන්ට පටන් ගත්තා. කූඩුවේ දොර වහන්ට අමතක වුණු සෙර්ගේයි ඌට වතුර ගේන්ට ගියා. දොර වසා නැති බව දුටු අම්මා පුතාට කතා කළා.

" සෙර්ගෙයි ඉක්මනට දොර වහන්න. නැතිනම් කුරුල්ලා ඉගිලී යාවී!" අම්මා මෙහෙම කීව විතරයි, කුරුල්ලා දොර ඇර ඇති බව දැකලා සතුටු වෙලා, කූඩුවෙන් පිටවී පියඹා ගියා. ජනේලයේ වීදුරු වසා තිබෙන සැටි ඌ දැක්කේ නෑ. වේගයෙන් පියාඹා ගිහින් ඌ ජනේලේ වීදුරුවේ හැප්පිලා ජනේල් පඩිය උඩ වැටුණා. සෙර්ගේයි කුරුල්ලා දෙස බලාගෙන ඇඬුවා.

"අම්මේ දැන් ඉතින් මම මොනවා කරන්නද?"

"දැන් ඉතින් කළ හැකි දෙයක් නැහැ." අම්මා කිවුවා.

සෙර්ගෙයි කුරුලු කූඩුව ළඟ වාඩි වෙලා කුරුල්ලා දිහා බලාගෙන හිටියා. කුරුල්ලා උඩුබැලි අතට පෙරළි අමාරුවෙන් හුස්ම ගත්තා. ඔහු නිදාගන්ට යන විටත් කුරුල්ලා බොහොම අමාරුවෙන් තමා හිටියේ. සෙර්ගේයි ට එදා රෑ නින්දන් නෑ. කුරුල්ලා බිම වැටී, පියාපත් දිගහැරගෙන හුස්ම ගන්නා හැටි ඔහු හීනෙන් කිහිප වරක් ම දුටුවා. උදේ නැගිට්ට හැටියෙම සෙර්ගේයි කුරුල්ලා බැලීමට ආවා. ඌ දැන් වකුටු වෙලා හරස් පොල්ල උඩ ලැගලා හිටියා. එදා ඉඳලා සෙර්ගෙයි කුරුල්ලන් ඇල්ලීමට කවදාවත් ගියේ නෑ.



ලියෝ තෝල්ස්තෝයි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails