සුරූපී ‘මී වොං’ සහ වැදගත් මුලාදෑනියෙක් වන ඇගේ පියා ජීවත් වුණේ රතු ඟග අසබඩ. ‘මී වොං’ ගේ තත්ත්වයේ සිටි අනෙක් සියලුම තරුණියන් වගේම, පිරිමි ඇස් වලින් ඇයව බේරගන්න ඕනැ නිසා, ඇයටත් සිද්ද වුණේ ගේ ඇතුළටම හිර වෙලා ජීවත් වෙන්න. ගේ ඇතුලෙ කීවට ඉතින් ඒක මහ උස කුලුණක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කාලය ගත කළේ, කුලුණෙ එයාගේ කාමරය ඇතුළෙ. ඒ කාමරයේ තිබුණා සඳක් හැඩයේ කවුළුවක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කළේ, එයාගෙ තනි නොතනියට ඉන්න, මෙහෙකාරිය සමග සල්ලාපයේ යෙදෙමින්, පොතක් පතක් කියවන එක. එහෙමත් නැත්නම් මැහුමක් ගෙතුමක් මහන ගොතන එක. එහෙම වෙලාවටත් කවුළුවෙන් පිටත පේන උයනට සහ ගංගාව පෙදෙසට, ‘මී වොං’ ගෙ ඇස් දුවන එක සාමාන්‍ය දෙයක්.

දවසක් ‘මී වොං’ සඳ කවුළුව ළඟ ඉඳගෙන ඉන්න වෙලාවක, එයාට ඇහුණා, ඈතින් පාවෙලා එන ගැඹුරු ඒත් සුමිහිර කටහඬක්. විමසිලි දෑසින් එළිය බලපු ‘මී වොං’ ට දකින්න ලැබුණෙ; ගඟ දිගේ පාවෙලා එන ධීවර ඔරුවක්.

"ඇහෙනවද.. ඇහෙනවද?" 'මී වොං' එයාගෙ මෙහෙකාරියගෙන් ඇහුවා.

"කොච්චර ලස්සනට ඔහු ගයනවද?" කටහඬ එන්න එන්නම ළං වෙන්න ගත්ත නිසා ‘මී වොං’ තව තවත් උවමනාවෙන් ඒ හඬට ඇහුම්කන් දුන්නා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"


"ඔහු ගොඩක් තරුණ කඩවසම් කෙනෙක් වෙන්න ඕනෑ." ‘මී වොං’ කීවා.

"සමහරවිට මම මෙහෙ ඉන්න විත්තිය දැනගෙන, මට ඇහෙන්නම ඔහු ඒ ගීතය ගයනවා ඇති." ‘මී වොං’ අමුතුම සතුටකින් පිබිදෙමින් කීවා.

මෙහෙකාරියගෙ ඇසුත් සතුටින් දිලිසුණා. "ඔය වෙස්වලාගෙන එන්නෙ මුලාදෑනියෙක් ගෙ පුතෙක් ද දන්නෙ නෑ. සමහරවිට ඒ ඔබතුමියව සරණ පාවා ගන්න නියමිත කෙනා වෙන්නැති." ඇය කීවා. ‘මී වොං’ ගෙ මූණ ලැජ්ජාවෙන් රතු වුණා. හදවත හයියෙන් හැහෙන්න පටන්ගත්තා. ‘මී වොං’ ඔහුගේ මුහුණවර පැහැදිලිව දැක ගන්න උත්සහ කළා. ඒත් ගීතයයි ඔරුවයි දෙකම ගඟ දිගේ ඈතට ඇදිලා ගියා.



"ඔව්," ‘මි වොං’ හිමිහිට කටහඬ මතු කළා. "සමහරවිට ඒ ඔහු වෙන්න ඇති."

එදා දවසම ‘මී වොං’ සඳ කවුළුව ළඟට වෙලා, ආයෙත් ඔහුව දැකගන්න බලාගෙන හිටියා. පහුවදාත්, ඊටපස්සෙ උදාවුණු හැම දවසකමත් ‘මී වොං’ දෑස අයාගෙන ඔහුව දැකගන්න බලාගෙන හිටියා. නමුත් කිසිම කටහඬක් ගඟ දිගේ ඇදිලා ආවෙ නෑ.

"ඇයි, ඔහු එන්නෙ නැත්තෙ?" ‘මී වොං’ මෙහෙකාරියගෙන් දුකෙන් ඇසුවා.

දවස් ගත වෙනකොට ‘මී වොං’ සුදුමැලි වෙමින් දුර්වල වෙන්න පටන්ගත්තා. බැරිම තැන ඇය ඇඳට ගොස් එහිම කල් ගත කළා.

‘මී වොං’ ගෙ තාත්තා දවසක් ඇයව බලන්න ආවා. "ඇයි දුව, ඇයි මේ?" තාත්තා ඇහුවා.

"මුකුත් නෑ තාත්තා.." ‘මී වොං’ අඩ සිහියෙන් උත්තර දුන්නා.

මුලාදෑනි තාත්තා; ‘මී වොං’ ව බලන්නට, වෛද්‍යවරයෙක්ව කුලුනට එව්වා. "මට නම් කිසිම ලෙඩක් හොයාගන්න නෑ. කිසි ලෙඩක් නැතුව මට බෙහෙත් කරන්න පුළුවන්කමක් නෑ" ‘මී වොං’ ව පරීක්ෂා කරපු දොස්තර කීවා.

සති ගණන් පහු වුණා. ඒත් ‘මී වොං’ නෙමෙයි ටිකක්වත් සනීප වුණේ. දවසක් මෙහෙකාරිය මුලාදෑනියා ඉදිරිපිටට ආවා.

"ස්වාමිනී, මම දන්නවා ඔබතුමාගේ දුව අසනීප වෙන්නට හේතුව. එතුමිය ආදරය නිසයි මේ අසනීප වෙලා ඉන්නේ. ඉතින් එතුමියව සනීප කරගන්න නම්, මේ ගීතය ගයන කඩවසම් තරුණයාව ඔබතුමාට හොයාගන්නම වෙනවා." ඊටපස්සෙ මෙහෙකාරිය ඒ ගීතය මුලාදෑණියාට ගයා පෙන්නුවා.

"හරි, මං ඒක කරන්නම්." මුලාදෑනියා ඒවෙලේම ඒ කඩවසම් තරුණයාව සොයන්නට දූතයෙක් යැව්වා.

දවස් කීපයකට පස්සෙ දූතයා නැවත පැමිණියා. "ස්වාමිනී, මේ පළාතේ කිසිම වැදගත් ගෙදරක; මේ ගීතය දන්න තරුණයෙක් නෑ. ඒත් ළඟපාත ගමකින් මට හම්බවුණා; මේ ගීතය දන්න, ‘ඕං චී’ කියල ධීවරයෙක්. මම ඔහුව මාළිගාවට එක්කගෙන ආවා."



"ධීවරයෙක්?" ඒ වචන අදහාගන්නවත් බැරි විදිහට මුලාදෑනියා ඇහුවා. "කෝ බලමු එයාව."

දූතයා ඔහුව මාළිගය ඇතුළට කැඳෙව්වා. ‘ඕං චී’ හිටියෙ වික්ෂිප්තව නොසන්සුන්ව. මාළිගය ඇතුළෙ තිබුණු වටිනා බඩු මුට්ටු දුටු ඔහුගේ ඇස් ලොකු වුණා.

‘ඕං චී’ ව දුටු මුලාදෑනියා මොහොතකට මවිත වුණා, ඔහුට කතා කරන්නට පවා අපහසු වුණා. ඒ මොකද තරුණ හෝ කඩවසම් කෙනෙක් නෙමෙයි ‘ඕං චී’ කියන්නෙ. ඔහු ඇඳන් හිටියේ මාළු දුගඳ හමන වැරහැලි ඇඳුම්. ‘මගේ දුවට මෙයා කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! ’ මුලාදෑනියා සිතුවා.

"මේ ධීවරයාව මගේ දුවගෙ කාමරයේ දොර ගාවට එක්කෙගෙන ගිහින්, ගීතය කියන්න ඉඩ සලසල දෙන්න." මුලාදෑනියා දූතයාට අණ දුන්නා.

සිද්දවෙන කිසිම දෙයක් හිතාගන්න බැරුවයි ‘ඕං චී’ හිටියෙ. ‘ඕං චී’ ට හිතාගන්න බෑ, ඇයි එයාව මාළිගාවට එක්කගෙන ආවෙ කියලා. එයාගෙන් මොනව බලාපොරොත්තුවෙන්ද කියලා. කිසිම වැරදි වැඩක් නොකරන අවංක ධීවරයෙක් වුණු ‘ඕං චී’; කාටවත් නපුරක්, හිංසාවක් නැති අහිංසක මනුස්සයෙක්. ටික වෙලාවකින් ‘මී වොං’ ගෙ, කාමරයේ දොර ළඟට ‘ඕං චී’ ආවා.
දූතයා දුන් සංඥාවකට පසු, ‘ඕං චී’ ගැහෙමින් ගීතය ගායනා කරන්න පටන්ගත්තා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"


කාමරයේ ඇතුළෙ හිටි ‘මී වොං’ගෙ ඇස් වහා ඇරුණා. "ඔහු මෙහාට ඇවිත්!" ඇය කඳුළු පුරවගත් දෑසින් මෙහෙකාරියට කීවා. "කොහොමද ඒක සිද්ද වුණේ? අනේ ඉක්මන් කරලා මට ඇඳගන්න උදව් වෙන්න."

‘මී වොං’ ඉක්මණින් ඇඳෙන් බැස්සා. කවමදාවත් නැති විදිහට; කඩි මුඩියේ ඇඳුමක් ඇඳගෙන, කොණ්ඩෙ පීරගෙන ලෑස්ති වුණා. ගීතයෙ හඬ ළං- ළං ව ඇසුණු නිසාත්, ඇය සැරසුණු මලින් සිත්තම් වුණු සේද ඇඳුම් කට්ටලය නිසාත්, ‘මී වොං’ ව දිස්වුණේ දිව්‍යමය දර්ශණයක් ලෙසට.

"දැන්, දොර අරින්න!" ‘මී වොං’, වේගයෙන් ගැහෙන තම හදවත, සන්සුන් කරගන්න උත්සහ කරමින් කීවා. විනීතව හැදුණු, නිරහංකාර, ඒත් ලැජ්ජාවෙන් බර යුවතියක් ලෙසට, හිස බිමට නැඹුරු කරගෙන ඉන්න ඇය සිතාගත්තා.

කාමරයේ දොර හිමිහිට ඇරෙත්ම, වෙන්න යන්න දේ හිතාගන්න බැරුව ‘ඕං චී’ පිටිපස්සට වුණා. ඉන්පසු ඔහුට දැකගන්න හැකි වුණේ, මෙතෙක් තම ජීවිතයේ කිසිම දා නොදුටු, නෙත්කළු, අයස්කාන්ත දසුනක්. ‘ඕං චී’ ට දැනුණෙ එයාගෙ හදවත පැනයන්නට හදන ආකාරයක්. ඒ තරමට ‘ඕං චී’ ට, ‘මී වොං’ ගැන, තද ගැඹුරු, වචනයෙන් කෙසේවත් විස්තර කළ නොහැකි ආදරයක් ඇති වුණා.



තව සුළු මොහොතක්වත් තම ආදරවන්තයාව නොදැක ඉන්නට නොහැකි වුණු ‘මී වොං’, හිමිහිට ඇස් ඔසවා ඔහු දෙස බැලුවා. ඒ වෙලාවෙ ‘මී වොං’ ගෙ ඇස් ලොකු වුණා. ‘මී වොං’ මහ හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා.

මුලාදෑණියෙක්ගෙ පුතා? ඇයව බඳින්න නියමිත කෙනා? නිකම්ම නිකන් ධීවරයෙක්! ඇය මෙතෙක් දවසක් හැසිරිලා තියෙන්නෙ ගොඩක් මෝඩ විදිහට.

ඇගේ මෝඩකමට මහ හයියෙන් විනෝදයෙන් සිනාවෙමින් ‘මී වොං’ අහක බලාගෙන මිමිණුවා; "වහන්න දොර!"

‘ඕං චී’ ගේ ඇස් පනාපිට දොර වේගයෙන් වැසුණා. ‘ඕං චී’ එතැනම ගල් ගැහී බලා හිටියා. ‘මී වොං’ ගේ හිනාව ‘ඕං චී’ ගේ දෙසවන ඇතුළෙ රැව්පිළි රැව් දුන්නා. ‘ඕං චී’ ට දැනුණා එයාගේ හදවත දුකින් ගල්ගැහෙන විදිහ.

‘ඕං චී’ ව නිවස බලා පිටත් කළා. ඒත් පෙර මෙන් ඇවිද ගන්න පණක් ‘ඕං චී’ ට තිබුණෙ නෑ. කන්න, බොන්න, අඩුම ගානේ ටිකක් නිදාගන්නවත් බැරිවුණ ‘ඕං චී’, දුර්වල වෙමින් අසනීප වුණා. මැරුණත් එකයි, නැතත් එකයි මෙන්; හිටිය ‘ඕං චී’ ඉතින් මියැදුණා.

දුප්තපත් කුටියක නිදන කලාලයක් උඩ සිටි ‘ඕං චී’ ව, ගම්වැසියන්ට හම්බවුණා. ඔහුගෙ පපුව උඩ විශාල පළිඟුවක් තියෙනවා ඔවුන් දුටුවා.

"මොකද්ද ඒ?" ගම්වැසියෙක් ඇසුවා.

"ඒ එයාගේ හදවත!" ප‍්‍රඥාවන්ත වයසක කාන්තාවක් උත්තර දුන්නා. "මුලාදෑනියාගේ දුව ඔහුගෙ හිත ගැඹුරටම තුවාල කළ නිසා, වේදනාව නැවතෙන්න හදවත ගල් ගැහිලා."

"අපි දැන් මොකද මේ හදවතට කරන්නෙ?" තරුණ කාන්තාවක් ඇසුවා. "ඔහුගේ ගීත වගේම හදවතත් ගොඩක් ලස්සනයි, ආදරණීයයි!"

"අපි මේ හදවත ‘ඕං චී’ ගේ ඔරුවෙ ඇතුළෙ තියලා, මුහුදට යන්න ගඟ දිගේ පා කරල ඇරියනම් හරි." තව තරුණයෙක් කීවා.

මළහිරු බැස යන මොහොතක ඔවුන් පළිඟු හදවත ‘ඕං චී’ ගේ ධීවර ඔරුව ඇතුළෙන් තිබ්බා. ඉන්පසු ඔරුව ගඟ දිගේ තල්ලු කර, ඒ දිහා වේදනාවෙන් දැවෙන ඇස් වලින් බලාන සිටියා. ගඟ දිගේ සෝකයෙන් පාවුණ ඔරුව ඔවුන්ගේ ඇස් වලින් සමුගන්නාතෙක්ම, ඔවුන් එතැනින් නික්ම ගියේ නම් නෑ.

ඒත් ඔරුව මුහුදට නොයා මුලාදෑනියාගේ මාළිගාව අසල වෙරළට සේන්දු වුණා. අරුණළු උදයේ ඉවුර අසබඩ, සක්මනේ නියැලෙන මුලාදෑනියාට, ඔරුව නෙත ගැටුණා.

"මොනාද මේක ඇතුළෙ තියෙන්නෙ?" පළිඟුව ගන්නට ඔරුවට නැඹුරු වෙන ගමන් ඔහු කීවා. "මොනතරම් කදිම, ලස්සන, තෑග්ගක්ද; ඟංගාව මට ගෙනැත් තියෙන්නේ!" අතටගත් පළිඟුව බොහොම උවමනාවෙන් නරඹන ගමන් ඔහු කීවා.

දවස් කීපයකට පසු කිසිවෙක් පළිඟුටවට අයිතිවාසිකම් කියාගෙන නොපැමිණි නිසා; මුලාදෑනියා එය තේ කෝප්පයක් හැඩයට නිමවන්න, ලියවන පට්ටලකරුවෙක් වෙත ඇරියා.
එක් සැන්දෑවකදී මුලාදෑනියා පළිඟු කෝප්පය තම දියණියගේ වෙත ගෙනයනු ලැබුවා.

"මගේ ආදරණීය දුවට තෑග්ගක්!" ඔහු කීවා.

"ගොඩක් ලස්සන තෑග්ගක් තාත්තෙ! මට මේකෙන් බොනකල් සිහියක් නෑ!"

මුලාදෑනියා ගියාට පසු, ‘මී වොං’ සිය මෙහෙකාරියට කීවා, "දැන් ගොඩක් රෑ වෙලා. මට මේ අලුත් කෝප්පෙන් බොන්න තේ ටිකක් හදල දීලා, ඔයා නිදාගන්න."

තම වැඩ සියල්ලම අහවර කළ මෙහෙකාරිය නිදාගන්නට ගියා. මේසය උඩ තිබුණ ඉටිපන්දම් සියල්ලම නිවා දැමූ, ‘මී වොං’; කෝප්පයට තේ ටිකක් වක්කරගෙන, සඳ කවුළුව ළඟ පුටුවට ගියා. පුරහඳ එළිය ඇගේ කාමරයට නොඅඩුව ගලා එමින් තිබුණා. රත්තරං සඳළිය, ගඟ දිය මත සෙල්ලම් කරනායුරු, ‘මී වොං’ ආසාවෙන් නැරඹුවා. පිවිතුරු මල් සුවඳක් උයනේ සිට හමා ආවා.

‘මී වොං’ තේ උගුරක් බොන්න කෝප්පය තොල් ළඟට ගත්තා. ඒත් බොන්න හදනවාත් සමගම නොහිතූ පරිදි ඇය බයෙන් අඬන්නට පටන් ගත්තා. ඊටපස්සෙ ඉක්මණින් පළිඟු කෝප්පය බංකුව මත තිබ්බා.

තේ වතුර උඩ ‘ඕං චී’ ගේ වත මැවී තිබුණා. ඔහු ආදරය දෝරෙ ගලායන ඇස් වලින් ‘මී වොං’ දෙස බලාගෙන හිටියා. මොහොතකින් ඔහුගේ ආදරණීය ගීතය හුරු පුරුදු, ඒත් ටිකක් වෙනස් වුණ හඬකින් ‘මී වොං’ ගේ, කාමරය පුරා විසිරුණා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"




දොර ළඟදි දුටු ‘ඕං චී’ ගේ ඇස්, සැණෙකින් ‘මී වොං’ ට මතක් වුණා. ඒ ගමන්ම ‘මී වොං’ ට මතක් වුණා එදා ඈ සිනහසුණ ආකාරය. "දෙයියනේ! මම මොනාද කළේ? මම ගොඩක් නපුරු වුණා. මම හිතා මතා නෙමෙයි එදා ඔබව රිදෙව්වෙ. මම දැනගෙන හිටියෙ නෑ........ මට සමාවෙන්න. මට සමාවෙන්න. මට ගොඩක් සමාවෙන්න!"

‘මී වොං’ ගෙ ඇස් ඇතුළෙ කඳුළු පොකුරු පිටින් පිපුණා. එක කඳුළු බිංඳුවක් තේ කෝප්පය ඇතුළට වැටුණා. එතකොට පළිඟු කෝප්පය හිමින් සීරුවෙ දියවුණා. ‘ඕං චී’ ගේ ආත්මය නිදහස් කරන්නට ඒ හොඳටෝම ඇති වුණා. ‘මී වොං’ ට ‘ඕං චී’ ගේ ආදරණීය ගීතය අවසාන වතාවට ඟග දිගේ ඈතට ඇදිල යනව ඇහුණා.

සුළඟේ ළෙලදෙන මලකි ‘මී වොං’
රැල්ලේ නැලවෙන සඳළිය ‘මී වොං’


"ආයුබෝවන්!" ‘මී වොං’ හිමිහිට කීවා. "ඔබට ආයුබෝවන්!"

*****

ඊට සුළු කාලයකට පස්සෙ ‘මී වොං’; බලවත් මුලාදෑනියෙක්ගෙ පුතෙක් සමගින් අතිනත ගත්තා. ඔහු ඉතාමත් ලස්සන කඩවසම් තරුණයෙක්. ‘මී වොං’ට දැනුණෙ එයාගේ හැම සිහිනයක්ම ඉෂ්ට සිද්ද වුණ බවක්.

ඒත් කොච්චර වුණත්, අදටත්; උයනක් හෝ නදියක් ‘මී වොං’ ගෙ ඇස ගැටුණොතින්, තවමත් ඇයට, ඒ ආදරණීය ධීවරයාගේ ගීතය සිය හදවත පතුළේ දෝංකාර දෙනවා ඇහෙනවා.

වියට්නාමයේ ජනකතාවක් ඇසුරෙන් කතාව නැවත කිවුවේ - ආරෝන් ෂපර්ඩ්
පින්තූර ඇන්ඳේ- ජෝසප් ඩැනියෙල් ෆිඩ්ලර්


ආරෝන් ෂපර්ඩ්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| edit post
Reactions: 
Related Posts with Thumbnails