සෙර්ගේයි උපන් දවසේ උත්සවයේදි ඔහුට බොහොම තෑගි ලැබුණා. බමර, ලී අශ්වයෝ සහ පින්තූර ඔහුට තෑගි දුන්නා. හොඳම තෑග්ග ලැබුණේ මාමාගෙන්. ඔහු සෙර්ගේයි ට කුරුල්ලන් අල්ලන දැලක් තෑගි දුන්නා. රාමුවකුයි ලෑල්ලකුයි දැලට සවි කර තිබුණා. ලෑල්ල උඩට කෑම ටිකක් දාලා ගෙවත්තේ තියනවා. කුරුල්ලෙක් කෑම දැකලා වහපු හැටියේම දැල ඉබේටම උගේ ඇඟට වැටෙනවා. සෙර්ගේයි බොහොම සතුටු වෙලා තෑග්ග අම්මාට පෙන්නුවා.
"මේක ඒ තරම් හොඳ සෙල්ලම් බඩු වක් නොවෙයි. කුරුල්ලන් අල්ලන්නේ මොකටද? උන්ට හිරිහැර කරන්ට පුතා කැමතිද?" අම්මා ඇසුවා.
"මම උන්ව කූඩුවක දාලා ඇති කරන්නම්. උන්ට කෑම දෙන්නම්. උන් සින්දු කියාවි."
සෙර්ගේයි ඇට වගයක් හොයා ගෙන ඒවා ලෑල්ල උඩ තියලා කුරුල්ලන් අල්ලන දැල ගෙවත්තේ තැබුවා. ඔහු දැල ළඟ බොහෝ වේලාවක් සිටගෙන සිටියා. එක කුරුල්ලෙක් වත් අසලට ආවේ නෑ. උන් සෙර්ගෙයිට බය වුණා. පසුව ඔහු දවල් බතට ගෙදර ගියා. ආපහු ගෙවත්තට එන විට දැලට පුංචි කුරුල්ලෙකු අහුවෙලා හිටියා. ඌ බොහොම හයියෙන් කොටන්ට පටන් ගත්තා. සෙර්ගෙයි බොහොම සතුටු වෙලා කුරුල්ලාව ගෙදර ගෙනැවිත් අම්මාට කතා කරලා මෙහෙම කීවා.
"අම්මේ! බලන්න මම කුරුල්ලෙකු ඇල්ලුවා. මූ සැලලිහිණියෙන් වෙන්ට ඕන. බලන්න උගේ හදවත ගැහෙන හැටි!"
"මේකා වීෂ් වර්ගයට අයත් කුරුල්ලෙක්. ඌට හිරිහැර නොකර ඌව නිදහස් කරපන්." අම්මා කිවුවා.
"නැහැ, මම ඌට කෑම දෙන්නම්. වතුර දෙන්නම්."
සෙර්ගේයි ඌව කූඩුවක දමා දවස් දෙකක්ම නොයෙකුත් ඇට ජාති ගෙනවිත් ඌට කෑමට දුන්නා. වතුර දුන්නා. කූඩුව සුද්ද කළා. තුන්වැනි දවසෙදි කුරුල්ලාට කෑම දෙන්නටයි, වතුර දෙන්ටයි ඔහුට අමතක වුණා.
"ඔන්න පේනවද! නුඹ කුරුල්ලා ගැන අමතක කළා. ඌව නිදහස් කරපන්!" අම්මා ඔහුට ආයෙත් කිවුවා.
"නැහැ. මට අමතක වුණේ නැහැ. මම දැන්ම කෑමයි, වතුරයි තියන්නම්. කූඩුව සුද්ද කරන්නම්."
සෙර්ගෙයි කූඩුවේ දොර හැරලා සුද්ද කරන්ට පටන් ගත්තා. කුරුල්ලා බයවෙලා කූඩුවට කොටන්ට පටන් ගත්තා. කූඩුවේ දොර වහන්ට අමතක වුණු සෙර්ගේයි ඌට වතුර ගේන්ට ගියා. දොර වසා නැති බව දුටු අම්මා පුතාට කතා කළා.
" සෙර්ගෙයි ඉක්මනට දොර වහන්න. නැතිනම් කුරුල්ලා ඉගිලී යාවී!" අම්මා මෙහෙම කීව විතරයි, කුරුල්ලා දොර ඇර ඇති බව දැකලා සතුටු වෙලා, කූඩුවෙන් පිටවී පියඹා ගියා. ජනේලයේ වීදුරු වසා තිබෙන සැටි ඌ දැක්කේ නෑ. වේගයෙන් පියාඹා ගිහින් ඌ ජනේලේ වීදුරුවේ හැප්පිලා ජනේල් පඩිය උඩ වැටුණා. සෙර්ගේයි කුරුල්ලා දෙස බලාගෙන ඇඬුවා.
"අම්මේ දැන් ඉතින් මම මොනවා කරන්නද?"
"දැන් ඉතින් කළ හැකි දෙයක් නැහැ." අම්මා කිවුවා.
සෙර්ගෙයි කුරුලු කූඩුව ළඟ වාඩි වෙලා කුරුල්ලා දිහා බලාගෙන හිටියා. කුරුල්ලා උඩුබැලි අතට පෙරළි අමාරුවෙන් හුස්ම ගත්තා. ඔහු නිදාගන්ට යන විටත් කුරුල්ලා බොහොම අමාරුවෙන් තමා හිටියේ. සෙර්ගේයි ට එදා රෑ නින්දන් නෑ. කුරුල්ලා බිම වැටී, පියාපත් දිගහැරගෙන හුස්ම ගන්නා හැටි ඔහු හීනෙන් කිහිප වරක් ම දුටුවා. උදේ නැගිට්ට හැටියෙම සෙර්ගේයි කුරුල්ලා බැලීමට ආවා. ඌ දැන් වකුටු වෙලා හරස් පොල්ල උඩ ලැගලා හිටියා. එදා ඉඳලා සෙර්ගෙයි කුරුල්ලන් ඇල්ලීමට කවදාවත් ගියේ නෑ.
ලියෝ තෝල්ස්තෝයි
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook